ඉදිරිදර්ශන

කොරෝනා වෛරසය පිලිබඳ ට්‍රම්ප් කල කතාව: අඥානකම, පරභීතිකාව සහ අසරනභාවය

මෙම ලිපිය 2020 මාර්තු 12 දින ඉංග්‍රීසියෙන් පලකෙරින.

ගෝලීය ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් මාරාන්තික කොරෝනා වසංගතයෙන් ආසාදනය විය හැකි බවට ඉහලයන අනතුරු ඇඟවීම් මධ්‍යයේ, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බදාදා දිනයේ ජනමාධ්‍ය වෙත බොහෝ නෙත් යොමුවන හෝරාවක අඥානකම, පරභීතිකාව සහ මිනිස් ජීවිත කෙරෙහි නොතැකීම විදහා දැක්වූ කතාවක් පැවැත්වීය.

මුලුමනින්ම පාහේ ආත්ම වර්නනාවෙන් සමන්විත තම අදහස් දැක්වීමේදී, ට්‍රම්ප් තම පාලනාධිකාරය අර්බුදයට දක්වන ප්‍රතිචාරය තුලින් විද්‍යමාන වූ අකාර්යක්ෂමතාව සහ අවුල් සහගතභාවය සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොගත්තේය. ඒ වෙනුවට [ලොව පුරාම නින්දිත යැයි දැකගත්] රෝගයට එරෙහි බෙලහීන ඇමරිකානු ප්‍රතිචාරය “ලෝකයේ කොතැනකටත් වඩා ඉහල බව” ඔහු පැවසුවේය.

ට්‍රම්ප්ගේ කතාවෙහි රෝගය ව්‍යාප්තිය මන්දගාමී කරන සහ එහි බලපෑම් අවම කරන කිසිදු ක්‍රියාමාර්ගයක් ඇතුලත් නොවිනි. රෝහල් පුලුල් කිරීමකට හෝ පරීක්ෂා කිරීම සඳහා පවතින සම්පත් වැඩි කිරීමකට හෝ පෙරමුනේ සිටින වෛද්‍ය සේවකයින් සඳහා වඩාත් මූලික ආරක්ෂක උපකරන සැපයීමකට හෝ අරමුදල් නොමැති බව ඔහු ප්‍රකාශ කලේය. ඒ වෙනුවට ඔහු ව්‍යාපාර සඳහා ඩොලර් බිලියන 50 ක නය මුදලක් ප්‍රකාශයට පත් කල අතර සංගත ගැති වැටුප් ලැයිස්තුවලින් බදු කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියේය: ඒවා රෝගය ව්‍යාප්ත වීම නැවැත්වීම හෝ එයින් පීඩාවට පත් කම්කරුවන්ට උපකාර කිරීම උදෙසා කිසිවක් නොකෙරන ක්‍රියාමාර්ගයන්ය.

ට්‍රම්ප් වසංගතය සැලකුවේ එය විදේශීය ආක්‍රමනයක් ලෙස ය. ඔහු මෙම රෝගය “චීනයේ ආරම්භ වූ” විදේශීය වෛරසයක් ලෙස විස්තර කල අතර පෙර නොවූ විරූ සංචාරක සීමාවන් ප්‍රකාශයට පත් කරමින් යුරෝපයේ සිට එක්සත් ජනපදයට පුරවැසියන් නොවන සියලුම අය ගමන් කිරීම තහනම් කලේය.

2020 මාර්තු 12 වන බ්‍රහස්පතින්දා දකුනු කොරියාවේ සෝල් හි දුම්රිය ස්ථානයේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාව සජීවීව විකාශය කරන රූපවාහිනී තිරයක් ඉදිරිපිට මුහුනු ආවරන පැලැඳි මිනිසුන් ඇවිදිති. (AP Photo/Ahn Young-joon)

 ටෙලිප්‍රොම්ප්ටරයකින් කියවීමට වෙහෙසට පත්ව සිටි ට්‍රම්ප් ප්‍රකාශ කල මෙම තහනම “අතිවිශාල වෙලඳ හා භාන්ඩ සඳහා අදාල වන” බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු විශාලතම වෙලඳ තහනම ලෙස අර්ථකථනය කෙරී ඇති දෙය මධ්‍යයේ වෙලඳපල අනාගතය කඩා වැටෙද්දී ට්‍රම්ප් පසුව ට්විටර් පනිවිඩයක් මගින් මෙසේ පැහැදිලි කලේය: “මෙම තහනම භාන්ඩ නොව මිනිසුන් නවත්වයි.”

තම පාලනයෙන් පරිබාහිරව පැතිරෙන අර්බුදයක් සහ මානව දුක් වේදනා පිලිබඳ තමාගේ සමාජ-ව්‍යාධිමය උදාසීනත්වය හමුවේ තම පක්ෂාඝාතය තුල ට්‍රම්ප් හුදෙක් සෑම රටකම පාහේ වසංගතයට දැක්වෙන ප්‍රතිචාරයට විශේෂයෙන් ම ද්‍රෝහී ප්‍රකාශයක් කරමින් සිටියේය.

පැය 24 කටත් අඩු කාලයකට පෙර ජර්මානු චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කෙල් විශ්මයට පත්ව නිරුත්තරවූ පිරිසකට පැවසුවේ ජර්මානු ජනගහනයෙන් සියයට 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් මාරාන්තික රෝගයට ගොදුරු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

මර්කල්ගේ ප්‍රකාශය කරුනු පිලිබඳ ප්‍රකාශයකට වඩා ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රකාශයකි. ඇය කියා සිටියේ, ඇත්ත වසයෙන් ම, රෝග ව්‍යාප්තිය තම රටේ විශාල හානියක් සිදුවීම වැලැක්වීමට කිසිදු බැරෑරුම් පියවරක් නොගන්නා බවයි.

සතිය මුලදී, කලබලයට පත් වූ බවක් පෙන්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් අනතුරු ඇඟවූයේ ලොව පුරා අගනගරවල “සදාචාරාත්මක පරිහානියක්” සිදුවන බවයි.

මෙම රෝගය මැඩපැවැත්වීම සඳහා වන කවර හෝ බැරෑරුම් උත්සාහයක් ආන්ඩු විසින් වේගයෙන් අත්හැර දැමීමක් පෙන්නුම් කරද්දී වයෝවෘද්ධ අය කෙරෙහි එයින් ඇතිකරන අසමාන බලපෑම ගැන කම්පනයට පත් වූ ඇඩනොම්, “පුද්ගලයා කවුරුන් වුවත් කුමන වයස් මට්ටමක සිටියත්, ඕනෑම මිනිසෙකු වැදගත් වේ” යනුවෙන් අවධාරනය කලේය.

ඇඩනොම් මෙසේ පැවසීය: “එය තරුනයෙකු හෝ මහලු අයෙකු හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ඝාතනය කලත්, ඕනෑම ආන්ඩුවකට එම පුද්ගලයා බේරා ගැනීමට බැඳීමක් තිබේ. ඒ නිසා තමයි අපි කියන්නේ අපි යටත් වීමට සුදු කොඩියක් ඔසවන්නේ නැහැ, අපි අතහරින්නේ නැහැ, අපි සටන් කරනවා. අපේ දරුවන් ආරක්ෂා කිරීමට, අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ආරක්ෂා කිරීමට, දවස අවසානයේදී එය මිනිස් ජීවිතයකි. අපි තනි පුද්ගලයෙකු ගැන සැලකිල්ලක් නොදක්වන විට මිලියන ගනනක් ගැන සැලකිලිමත් යැයි අපට පැවසිය නොහැක. ”

පසුගිය සතියේ සිදුවීම්වලින් දැඩි කම්පනයට පත්ව ඇති ලොව පුරා වැඩ කරන ජනතාව ඔවුන්ගේ මිතුරන්ගේ, සහායකයන්ගේ සහ ආදරනීයයන්ගේ ජීවිත ආසන්න අවදානමක පවතින ලෝකයක ජීවත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සිතාගැනීමට වෙහෙසෙති.

මෙම නව යථාර්ථය තේරුම් ගැනීමට කම්කරුවෝ පටන් ගත් පසු, ඔවුහු මෙහෙයවෙන්නේ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් පන්නයේ නොතකාහැරීමෙන් නොව, “ඕනෑම මිනිසෙකුගේ ජීවිතය වැදගත්” යන සංකල්පයෙනි.

ට්‍රම්ප් සහ මර්කල් පිලිගත් දේ, එනම්, මිලියන ගනනක් මිය යනු ඇති බව කම්කරු පන්තිය පිලිගත යුතු නැත:. කම්කරුවෝ ඔවුන්ගේ ආත්මාර්ථය සාධනය කර ගන්නාවු හා උදාසීන බොරු හා නිදහසට කරුනු පිලිගත යුතු නැත.

ඒ වෙනුවට කම්කරුවෝ ඉල්ලා සිටිය යුත්තේ රෝගයට එරෙහිව ක්ෂනික හා හදිසි පියවර ගත යුතු බවයි. පරීක්ෂන කිරීම, රෝග වාහකයින්ගේ සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය පිලිබඳ පරිපූර්න රාජ්‍ය යන්ත්‍රනයක් සහතික කිරීම සඳහා ඩොලර් සිය බිලියන ගනනක් වහාම ලබා දිය යුතුය. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂක යටිතල පහසුකම් කඩිනමින් ගොඩනැංවීම සඳහා ඩොලර් ට්‍රිලියන ප්‍රමානයක අවශ්‍යතාවය අමුතුවෙන් කිව යුතු නොවේ.

ගෙවීම් සහිත අසනීප නිවාඩු සහ දරුවන් රැකබලා ගැනීම සඳහා ගෙවීම් සහිත නිවාඩු සහ නිරෝධායන මගින් සිදු වන ආර්ථික බලපෑම් සඳහා පූර්න වන්දි වහාම සැමට ලබා දිය යුතුය. පාලක පන්තීන් විසින් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන තෙක් කම්කරුවන්ට බලා සිටිය නොහැකි අතර, රෝගීන්ට සහ පීඩා විඳින අයට ආරක්ෂාව, සනීපාරක්ෂාව සහ මානුෂිකව සැලකීම සහතික කිරීම සඳහා වහාම වැඩපොල සහ අසල්වාසයන්ගේ ක්‍රියාකාරී කමිටු සංවිධානය කිරීමට පටන් ගත යුතුය. 

අවසානයේදී, ට්‍රම්ප්ගේ සියලු බොරු සහ අන්දමන්දය වනාහි වසංගතයේ ව්‍යසනකාරී ව්‍යාප්තියම සඳහා ඔහුගේම ආන්ඩුවේ වගකීම සහ එය සේවය කරන ආර්ථික අවශ්‍යතා වසන් කිරීමේ උත්සාහයකි.

රෝගයේ අධික ලෙස ව්‍යාප්තිය යනු ලාභ අවශ්‍යතාවය - එනම් ඊනියා කොටස් මිලට - මිනිස් අවශ්‍යතාවයන් නිරන්තරයෙන් යටත් කිරීමේ අවසාන ප්‍රතිඵලයයි. සෑම ධර්මාසනයක් මතම දශක ගනනාවක් පුරා දේශනා කරන ලද මෙම වෙලඳපොල දහම සමාජය ආවෘත අන්තයකට යොමු කර තිබේ.

Loading