කොරෝනා වසංගතයෙන් මහජනයා ආරක්ෂා කිරීම බලගතු ලෙස නොතකා සිටි ආන්ඩුව අවසානයේදී රටපුරා ඇඳිරි නීතිය පනවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව ඊයේ සවස 6.00 සිට ලබන සඳුදා උදේ 6.00 දක්වා මුලු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. 

”කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධාන සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කිරීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත්” බව වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නිකුත් කල ප්‍රකාශයේ සඳහන් වේ. ඇඳිරි නීතිය සහ නිරෝධායන ආඥාපනතේ අනපනත් උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මුලදී මෙම ඇඳිරි නීතිය පනවා තිබුනේ, පුත්තලම දිස්ත්‍රික්කය, මීගමුව, ජාඇල සහ වත්තල යන ප්‍රදේශ වලට පමනි. කොරෝනා වෛරසය දැවැන්ත පරිමානයෙන් ව්‍යාප්තව ඇති ඉතාලියේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් බහුලව වෙසෙන ඉහත ප්‍රදේශ, ශ්‍රී ලංකාවේ ප්‍රධාන රෝගී කාරක ප්‍රදේශයන් ලෙස සැලකේ. 

රෝග ව්‍යාප්තිය වැලැක්වීම සඳහා කඩිනම් සහ සප්‍රමානවත් පියවර කිසිවක් නොගෙන, ලක්ෂ සංඛ්‍යාත මහජනතාවගේ ජීවිත මුලු‍මනින්ම නොතකා හරිමින් සති ගනනක් වටිනා කාලය කා දැමූ ආන්ඩුව අවසානයේදී මෙම පියවර ගෙන ඇත්තේ, ඒ පිලිබඳව වෛද්‍යවරුන් ඇතුලු‍ අදාල ක්ෂේත්‍රයේ ප්‍රාමානිකයන්ගෙන් සහ මහජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධය මධ්‍යයේ ය.

රෝගය ගැන දැනගත් වහාම, රෝග පරීක්ෂාව සහ සියලු‍ නිරෝධායන කටයුතු නොමිලේ කර ගැනීම සඳහා සියලු‍ම දෙනාට අවස්ථාවන් ලැබෙන පරිදි පහසුකම් සැපයීම ආන්ඩුවේ වගකීමක්ව පැවතුනි. ඒ සමගම රෝගය වේගයෙන් පැතිර යන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ වලින් මහජනතාව පිටතට සංචරනයවීම වලකා ලීම අත්‍යවශ්‍ය විය. මෙහිදී, හදිසියේ ආහාරපාන රැස්කර ගැනීමට අතමිට නොමැති ලක්ෂ සංඛ්‍යාත මහජනතාවට එම ආහාරපාන නොමිලයේ සම්පාදනය කිරීම ද ආන්ඩුවේ වගකීමකි.

මෙම කටයුතු සඳහා දැවැන්ත පරිමානව මුදල් වෙන්කල යුතුව ඇත. නමුත් මාර්තු 18 වන දා පැවති කැබිනට් රැස්වීමේදී කොරෝනා ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අනුමතකොට ඇත්තේ රුපියල් මිලියන 500 ක් වැනි සොච්චමකි. වසංගතයෙන් මහජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කිසිසේත් සූදානම් නොමැති ධනපති ආන්ඩුව, තම මිලිටරීකරන වැඩපිලිවෙල වඩාත් තීව්‍ර කිරීමට කොරෝනා වසංගතය ඩැහැගෙන ඇත.  

දැඩි ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවේ මූලෝපාය වනුයේ, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ රැකියා ඇතුලු‍ සමාජ අයිතීන් මත පෙරනොවූවිරූ ප්‍රහාරයක් එල්ල කිරීම සහ එයට එරෙහිව නොකඩවා මතුවෙමින් පවත්නා පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීමයි. ජනාධිපති රාජපක්ෂ පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බලයක් ඉල්ලා සිටින්නේ ඒ සඳහා අවශ්‍ය ආඥාදායක බලතල තහවුරුකර ගැනීමටයි.

වැටුප් කප්පාදුව හා ජීවන තත්වයන් කාබාසිනියා වීම මගින් පරිපීඩිතව සිටින කම්කරු පන්තිය හා ගම්බද දිලිඳු ජනයා, වසංගතයේ පලල් පරිමාන ව්‍යාප්තියක් මගින් පැන නංවන අර්බූදයක් තුල කැරලිකාරී වනු ඇතැයි ආන්ඩුව ගනන් බලා ඇත. 

පැන නැගිය හැකි මහජන විරෝධයන් තලා දැමීමේ අරමුනෙන් රෝග ව්‍යාප්තිය මර්දනය කරන සිවිල් සම්බන්ධීකරන වැඩකටයුතුවල ප්‍රධානත්වය මිලිටරියට ලබා දී ඇත. ආරක්ෂක මාන්ඩලික ප්‍රධානියා සහ යුද හමුදාපති වන ශවේන්ද්‍ර සිල්වා, කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා බවට පත්කොට තිබේ.  

දශක ගනනාවක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල කරන ලද දැවැන්ත කප්පාදු හේතුවෙන් මෙවන් වසංගත ව්‍යසනයකට මුහුනදීමේ හැකියාවක් ආන්ඩුවට ඇතුලු‍ සමස්ත පාලක පන්තියට නොතිබුනි.  ආරම්භයේදීම නිරෝධායන පියවරට       නොගිය ආන්ඩුව, ඉතාලියේ සිට සහ දකුනු කොරියාවේ සිට පැමිනි 2000 කට ආසන්න පිරිසක්, නිවෙස්වල සිට ම ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස උපදෙස් දෙමින් පිටත් කර යැවීය. වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත ව ඇති රටවල සිට පැමිනෙන අය නිරෝධායනයකට ලක් කල යුතු බවට වෛද්‍යවරුන් දිගින් දිගට ම ආන්ඩුවට කල අනතුරු ඇඟවීම් නොතකා හල ආන්ඩුව, දැන් එම පිරිස් හඹාගොස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කොට ඇත. 

එම පිරිසෙන් 800 ට වැඩි පිරිසක් පුත්තලම දිස්ත්‍රික්කයේ සිටින බව වාර්තාවන අතර ස්වයං නිරෝධායනය උල්ලංඝනය කල අය සොයා ආයුධ සන්නද්ධ පොලිස් විශේෂකාර්ය බලකා සෙබලු ජීප්රථවලින් එම ප්‍රදේශය පුරා සැරිසරමින් සිටිති. 

පුත්තලම දිස්ත්‍රික්කය තුල ඉතාලියේ විදේශ  රැකියාවන්ගේ නිරත පවුල් මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරත පිරිස් ද වාසය කරති. රෝගය වැලඳුන හා සැකකටයුතු පුද්ගලයන් කිහිප දෙනෙක් වාර්තාවීමත් සමග ප්‍රදේශයේ ජනයා අතර රෝග බිය වර්ධනය වූ අතර සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිනුනි. ඇඳිරි නීතිය පැනවීමත් සමග සියලු දෛනික කටයුතු  දිස්ත්‍රික්කය පුරා ඇන හිට තිබේ. 

ඇඳිරි නීතිය පනවන බවට නිවේදනය ලත් වහාම ජනයා අත්‍යවශ්‍ය ආහාර මිල දී ගැනීම සඳහා ප්‍රධාන මාර්ග හා නගර වෙත හදිසියේ දිව ආහ. බොහොමයක් කඩ හා සුපිරි වෙලඳසැල්වල දිගු පෝලිම් දක්නට ලැබුනි. කෙසේ නමුත් උද්ගත වෙමින් තිබෙන තත්වය දෛනික කුලීි රැකියාවල නිරත කම්කරු පීඩිත දිලිඳු ජනයා සඳහා දරුනු ලෙස බලපා තිබේ. 

කොරෝනා රෝගීන් සඳහා වෙන් කරන ලද රෝහල් විසි ගනනක් රටපුරා තිබෙන බව ආන්ඩුව ප්‍රකාශ කල ද මෙම සෑම රෝහලකම එම රෝගීන් වෙන් කොට ප්‍රතිකාර කිරීමට ඇති කාමර තිබෙන්නේ කිහිපයක් පමනි. රෝහල්වල පවත්නා සීමිත පහසුකම්වලින් අනිකුත් රෝගවලට අදාල වාට්ටු ඒ අයුරින් පවත්වා ගෙන යන අතර කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර ලබාදීම වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මන්ඩලවලට අතිශය දුෂ්කර තත්වයක් උද්ගත කොට තිබේ. 

හලාවත හා මාරවිල මූලික රෝහල් මෙතෙක් කොරෝනා ප්‍රතිකාර සඳහා වෙනම ඒකක වෙන් කර නැති මුත් ඒ බවට සැක කලහැකි රෝගීන් පැමිනි බවත් ඔවුන් පරීක්ෂා කොට වෙනත් රෝහල් වෙත මාරු කල බවත් හලාවත රෝහලේ හෙද කාර්ය මන්ඩල සේවිකාවක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලා ය. රෝහල තුල මුඛ ආවරන හිඟයක් ද පවතින බව ඇය සඳහන් කලා ය. මාරවිල රෝහලේ හෙදියක් ප්‍රකාශ කලේ රෝගීන් පරීක්ෂාවට අදාල මුලු ශරීරයම වැසෙන අන්දමට සකස්කල නිර්දේශිත ඇදුම් කට්ටල රෝහල තුල නොමැති බවයි. 

මේ වන විට රෝගය ආසාදිත පුද්ගලයන් සංඛ්‍යා 72 ක් දක්වා ඉහල ගොස් ඇති අතර කලුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වාර්තා වී ඇත. රෝගය බෝ වී ඇත්දැයි සැක පිට දිවයින පුරා රෝහල්වල තවත් කිහිප සියයක් ප්‍රතිකාර ගනිමින් සිටිති. 

පෞද්ගලික අංශයට තහනම්කොට තිබූ කොරෝනා වෛරස් පරීක්ෂනය දැන් “දැඩි කොන්දේසි” යටතේ සිදු කල හැකි යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මාර්තු 19 දා ප්‍රකාශ කලේ ය. එම තීන්දුව රෝග ව්‍යාප්තියේ වර්ධනය හමුවේ රජයේ රෝහල්වලට එම පරීක්ෂනය දරා ගත නොහැකි වීම පිලිබඳ එක සාධකයකි. නමුත් පරීක්ෂනය සඳහා අදාල පෞද්ගලික රෝහල් රුපියල් 6,000 ක් අය කරනු ඇත. මුඛ ආවරන වැනි උපකරනවල හිඟයක් රෝහල්වල ඇත්දැයි මාධ්‍යවේදියෙක් ඇසූවිට ජාසිංහගේ පිලිතුර වූයේ “එම උපකරන ලංකාවේ පමනක් නොව මුලු ලෝකයේම හිඟ” බවයි.  

කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ අනිල් ජාසිංහ, හමුදාපති සිල්වා මෙන්ම, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සහ ආන්ඩුවේ වෙනත් බලධාරීන් විසින් දිනපතා පවත්වන මාධ්‍ය සාකච්ඡා මූලිකවම එල්ල වී ඇත්තේ ආන්ඩුව නිසි පියවර ගෙන ඇතිමුත් රෝග ව්‍යාප්තිය නතර කිරීම සම්බන්ධයෙන් මහජනයා නිසි ලෙස කටයුතු නො කරනවා ය යන චෝදනාව නැගීමටයි. මාර්තු 19 දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ද, “තවමත් ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන උනන්දුව ප්‍රමානවත් නැතැ” යි වන්නිආරච්චි ප්‍රකාශ කලාය. මහජනයා මත වරද පැටවීමේ ආන්ඩුවේ ප්‍රතිචාරය, කම්කරු පීඩිත මහජනයා මුලුමනින්ම ප්‍රතික්ෂේප කල යුතු ය. රෝගය ව්‍යාප්තවීම සම්බන්ධ වගකීම මුලුමනින් පැවරෙන්නේ ආන්ඩුවට හා ධනේශ්වර සංස්ථාපිතයටයි. 

ආන්ඩුවේ චෝදනාවට විපරීතව, සැබැවින්ම මහජනතාව උත්සුක වන්නේ ආන්ඩුවේ උනන්දුව නොමැතිකම ගැනයි.

මේ මස මුල සිට පැමිනි විදේශගත ශ්‍රී ලාංකික ජනයා නිරෝධායනයට ලක් කිරීමට යවා ඇත්තේ අවශ්‍ය පහසුකම්වලින් යුක්ත මධ්‍යස්ථාන වලට නොවේ.  

ආසාදිත රෝගියෙකු ගැවසුනු ප්‍රදේශ ආශ්‍රිත වායුගෝලයේ සහ විවිධ පෘෂ්ඨ මත වෛරසය දින කිහිපයක් සක්‍රීයව පැවතිය හැකි බව දැන් පරීක්ෂන මගින් තහවුරු වී ඇතැයි මාධ්‍ය වාර්තා පල වේ. නමුත්, ආන්ඩුවේ බලධාරීන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමටත්, රෝගීන් කොටුකර ගැනීමට මිලිටරිය යෙදීමට යුහුසුලු‍ වන නමුත් ප්‍රාදේශීය මට්ටමින් ජනතාව දැනුවත් කිරීමට සැලකිය යුතු මැදිහත්වීමක් කර නැත. එයට හේතුව වන්නේ මහජන සෞඛ්‍ය අංශවල බරපතල ඛාදනයයි. එවන් මැදිහත්වීම් සඳහා අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මන්ඩලයන්ගේ ඌනතාවකින් මහජන සෞඛ්‍ය අංශය හිර වී තිබේ.  

කප්පාදුව හේතුවෙන් මහජන සෞඛ්‍යයට උදා වී ඇති මේ තත්ත්වය ජාත්‍යන්තර ප්‍රපංචයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සාර්ස්, ඉබෝලා හා කොරෝනා වැනි වෛරස ව්‍යාප්තිය පිලිබඳව අඛන්ඩව කල අනතුරු ඇඟවීම් නොතකා හැරි  “මහ බලවතුන්” ඇතුලු‍ ධනපති පාලකයන් ට්‍රිලියන ගනන් මහජන මුදල් යොදවන්නේ දූෂිත බැංකු, මූල්‍ය ආයතනවලට ඇප දීමට හා මානව වර්ගයා විනාශ මුඛයට ඇද දමන තුන්වන ලෝක යුද සැලසුම් සඳහා ය. මේ තතු තුල පැන නැංවිය හැකි මහජන අරගල මැඩීම සඳහා සෑම රටකම පාලක පන්තීන් මිලිටරිය සීරුවෙන් තබා ඇත.

Loading