කොරෝනා වෛරස් වසංගතයේ ඊලඟ තෝතැන්න ඉන්දියාව විය හැකි බවට වෛද්‍ය විශේෂඥයා අනතුරු අඟවයි

මෙම ලිපිය 2020 මාර්තු 21 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

ඉන්දියාව පුරා කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් ඇති බවට වෛද්‍ය විශේෂඥයින් කිහිප දෙනෙකු අනතුරු අඟවා තිබේ. මූලික පහසුකම් නොමැතිකම සහ පුලුල් කාර්ය මන්ඩල හිඟයකින් පෙලෙන, අර්බුදකාරී මහජන සෞඛ්‍ය පද්ධතියක් සහ මිලියන සිය ගනනක් විශේෂයෙන් නවදිල්ලිය, මුම්බායි, චෙන්නායි සහ කොල්කටා වැනි ඉහල ජන ඝනත්වයකින් යුත් නගරවල ජීවත්වන හා දරිද්‍රතාවයෙන් පෙලෙන තතු හමුවේ රට, වසංගතය වේගයෙන් පැතිර යාමේ අවදානමට මුහුනපා සිටියි.

කෙසේ වෙතත් මේ දක්වා  223 කට අධික කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාවක් සහ  මරන 4 ක් වාර්තා වී ඇති නමුත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආන්ඩුව, මහා පරිමාන පරීක්ෂන ආරම්භ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය බලධාරීන්ගේ  ප්‍රතිචාරය සීමාවී ඇත්තේ, සංචාරක සීමාවන් පැනවීම, පැමිනෙන සංචාරකයින් සඳහා පරීක්ෂන සහ ලියාපදිංචි කර ඇති ආසාදනය වී ඇති බවට සැක කරන අය හඳුනා ගැනීමට පමනි.

බිලියන 1.3 ක ජනගහනයක් සිටින රටක වසංගතයේ පැතිරීම නැවැත්වීමට, ඛේදජනක ලෙස, මෙම පියවර පමනක්  ප්‍රමානවත් නොවේ. කොවිඩ්-19 ආසාදනය වූ පලමු රෝගියා ගැන වාර්තාවී සති ගනනක් ගත වුවද, රට පුරා පවත්වා ඇත්තේ, පරීක්ෂන 14,175 ක් පමනි.

ආසාදන සංඛ්‍යාව වැඩිවෙමින් තිබියදීත් සෟඛ්‍ය අමාත්‍යංශය අවධාරනය කරන්නේ, ඉන්දියාව තුල පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂනය වන බවට " කිසිදු සාක්ෂියක් " නැති බවයි. එය විශාල වශයෙන් පරීක්ෂන සිදු නොකිරීම යුක්ති සහගත කිරීම පිනිස යොදාගන්නා තර්කයකි .

වෛරස් පිලිබඳ උසස්  වෛද්‍ය පර්යේෂන සඳහා වන ඉන්දීය සභාවේ හිටපු ප්‍රධානියා වන ආචාර්ය ටී ජාකොබ් ජෝන් අනතුරු අඟවා ඇත්තේ, මේ දක්වා ආසාදිත අනුපාතය සාපේක්ෂව පහත් මට්ටමක ඇති බව පෙනී ගිය ද අප්‍රේල් 15 වන විට රෝගීන් සංඛ්‍යාව  දස ගුනයකින් වැඩි වනු ඇති බවටය.  

එන්ඩීටීවී විසින් මාර්තු 18 වන දින වාර්තා කරන ලද පරිදි  ජෝන්,  “මෙය හිම කුනාටුවක් බව බලධාරීන් වටහාගෙන නොමැති බවට අනතුරු ඇඟවීය. සෑම සතියක් ගෙවී යත්ම හිම කුනාටුව තව තවත් විශාල වන්නේය. ”

කොරෝනා වෛරසය පැතිරීම අඩපන කිරීමේ මාධ්‍යයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, සමාජීය වශයෙන් එකිනෙකාගෙන් දුරස්ත වන ලෙස ඉල්ලා සිටිය ද වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇත්තේ, ජනගහන ඝනත්වය ඉහල මට්ටමක පවතින ප්‍රදේශවල මෙය ප්‍රායෝගික නොවන බවයි.

ඉන්දියාවේ සෑම වර්ග කිලෝමීටරයකම සාමාන්‍යයෙන් මිනිසුන් 420 ක් ජීවත් වන අතර චීනයේ එම ජනගහනය වර්ග කිලෝමීටරයකට 148 ක් පමනි. මිලියන 400 කට අධික ජනතාවක් නගරවල වෙසෙති. මුම්බායි හි පමනක් ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට 21,000 කි. දිල්ලියේ ජනතාවගෙන් අඩක් පමන වන මිලියන 18ක් ජනතාව ජීවත් වන්නේ තදබදයෙන් යුත් පැල්පත් ජනාවාස වලය.

මෙම තත්වයන් යටතේ ඉන්දියාවේ මහජන සෞඛ්‍ය පදනමේ සභාපති ආචාර්ය කේ. ශ්‍රීනාත් රෙඩ්ඩි පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ  “සමාජ දුරස්ථභාවය බොහෝ විට කතාබහට ලක්වන දෙයක් වන නමුත් එය අදාල වන්නේ නාගරික මධ්‍යම පන්තියට පමනක් ” බවයි.

හාවඩ් විශ්ව විද්‍යාලයේ ටී. එච්. චෑන් මහජන සෟඛ්‍ය විදුහලේ වසංගත රෝග විද්‍යා අතිරේක මහාචාර්යයවරයෙක් ද වන රෙඩ්ඩි,  එන්.ඩී.ටී.වී. වෙත පැවසුවේ, "බෙහෙවින් තදබදව වාසය කරන නිවාසවල මෙන්ම බොහොමයක් සමාජීයව එකිනෙකාගෙන් දුරස්තව කටයුතු කල නොහැකි ප්‍රදේශවල වැඩ කරන නාගරික දුගීන් හෝ  ග්‍රාමීය ජනතාව සඳහා එය බෙහෙවින් දුෂ්කර කටයුත්තකි” යනුවෙනි.

ලොව පුරා සිටින සිය සගයන් මෙන්ම ඉන්දීය පාලක ප්‍රභූවේ ද ප්‍රතිචාරය වී ඇත්තේ, සාපරාධී නොතැකීමයි. ඉහත අනතුරු ඇඟවීම් තිබියදීත් මෝඩි ආන්ඩුව , මහජන පරීක්ෂන සඳහා හෝ අබලන්ව ඇති මහජන සෞඛ්‍ය පද්ධතියට අරමුදල් සම්පාදනය කිරීමට කිසිවක් කර නැත.

ඉන්දියන් එක්ස්ප්‍රස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මාර්තු 17 වන දින, ඉන්දියානු වෛද්‍ය පර්යේෂන කවුන්සිලයේ (අයිසීඑම්ආර්) ජ්‍යෙෂ්ඨ වෛරස් විද්‍යාඥ නිවෙදීටා ගුප්තා කියා සිටියේ, ඉන්දියාව සිය පරීක්ෂන, රෝග ලක්ෂන සහිත සංචාරකයින්ට සහ තහවුරු වූ සිද්ධීන්ට පමනක් සීමා කර ඇති බවයි. ආසාදිත රෝගීන් සමඟ කටයුතු කිරීම හේතුවෙන් අවදානමට ලක්ව ඇති සෞඛ්‍ය සේවකයින් සඳහා ද පරීක්ෂන සිදුකරන බව නිවේදනය කරන ලද්දේ අඟහරුවාදා පමනි. ගුප්තාට අනුව ඉන්දියාවේ දැනට දිනකට පරීක්ෂන 6,000 ක් සඳහා ධාරිතාවයක් ඇත. විද්‍යාගාර 51 ක පරීක්ෂන කට්ටල 150,000 ක් පමන ඇත.

වසංගතය මැඩපැවැත්වීමට හැකි තරම් පිරිසක් පරීක්‍ෂා කිරීම සඳහා, ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති මඟ පෙන්වීමට ප්‍රතිචාර දක්වමින් අයසීඑම්ආර් හි ප්‍රධානී බාලාම් භාර්ගවා කියා සිටියේ, මහා පරිමාන පරීක්ෂන ඉන්දියාවට “නොමේරූ” එකක් වනු ඇති බවයි. ප්‍රජාව තුල සම්ප්‍රේෂනය තවමත් අනාවරනය වී නොමැති බව පවසමින් භාර්ගවා මෙම ස්ථාවරය සාධාරනීකරනයට උත්සාහ කලේය.

මෙම ප්‍රකාශය වෛද්‍ය විශේෂඥයින් ගනනාවක් විසින් ප්‍රතික්ෂේප කර ඇත. ආර්ථික විද්‍යාව සහ ප්‍රතිපත්ති පිලිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රාමදාන් ලක්ෂ්මනාරායන් බ්‍රහස්පතින්දා හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට මෙසේ පැවසීය.       “ප්‍රජා සම්ප්‍රේෂනය, අනෙක් රටවල මෙන්ම ඉන්දියාව තුල ද සති දෙක තුනකට පෙර ආරම්භ විය. ඉන්දියාව එම වෛරසයේ හැසිරීමට  ව්‍යතිරේකයක් නොවේ,”  ඔහු සඳහන් කලේය. “බිලියන 1.34 ක ජනගහනයක් සහිත රටක අවශ්‍ය තරමේ නියැදියක් පවා අපි  පරීක්ෂා කර නැත.”

 ද ටයිම්ස් පුවත්පත ද නිර්නාමික මහජන සෞඛ්‍ය විශේෂඥයෙකු උපුටා දක්වමින් අනතුරු ඇඟවූයේ, “පරීක්ෂාකර නැත්නම් ඔබ කිසිවක් දන්නේ නැත. ප්‍රමානවත් පරීක්ෂන සිදු නොවේ. වසංගතය ආරම්භක අවධියේදී ඉතා සුලු සංඛ්‍යාවක් රෝගීන් හමුව ඇත. එහෙත් ආරම්භ වූ වහාම එය ලැව් ගින්නක් මෙන් පැතිරෙයි. ”

බලධාරීන්ගේ මන්දගාමී ප්‍රතිචාරය නිසා මිනිසුන් මිලියන ගනනාවකගේ  ජීවිත දැනටමත් අවදානමට ලක් වී ඇත.

අනාගත මහජන ව්‍යසනයක  බලාපොරොත්තු පෙන්නුම් කරමින් ආචාර්ය ටී. ජාකොබ් යොහන්, සතිපතා ආර්ථික හා දේශපාලන සඟරාවෙහි මාර්තු 14 දා මෙසේ ලිවීය “ඉන්දියාවේ සමස්ත වැඩිහිටි ජනගහනය මිලියන 800න් සියයට 10 ක් වන මිලියන 80 කට ආසාදනය වුවහොත්, ඔවුන්ගෙන් සියයට 10 ක් හෙවත් මිලියන 8ක්, විශේෂයෙන් වයෝවෘද්ධ, දියවැඩියාව, නිදන්ගත පෙනහලු රෝග සහිත, දරුනු රෝගාබාධයන්ට ගොදුරුවිය හැක. සියයට එකක් වන මරන අනුපාතයට අනුව ගත් කල, වඩාත්ම දුර්වල අයගෙන් 80,000ක් මිය යනු ඇත. සියයට 2 ලෙස ගතහොත් 160,000ක්. ඒ වසරක් තුලය.

ඉන්දීය ආන්ඩුව කියන්නේ, එහි අරමුන, මහජන භීතිකාව වැලැක්වීම සහ රටේ රෝහල් පද්ධතිය පරීක්ෂාවන්ගෙන් යටපත් නොවන බව සහතික කර ගැනීම බවයි. යථාර්ථය නම්, එහි මූලික අවධානය යොමු වී ඇත්තේ, වියදම් කපා හැරීම සහ රටේ ආයෝජකයින්ගේ සහ ධනවත් ප්‍රභූන්ගේ ධනය ඉහල නැංවීම සඳහා වන අඛන්ඩ ව්‍යායාමය මධ්‍යයේ රාජ්‍ය වියදම් සීමා කිරීමයි.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන කිසිවක් ලබා දී නොමැති අතර, මෝඩි ආන්ඩුව මේ වසරේ ජාතික අයවැයෙන් ආරක්ෂක කටයුතු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 66 ක් වෙන් කර ඇත. එය ලෝකයේ ඕනෑම ආන්ඩුවක් වෙන්කර තිබෙන තුන්වන විශාලතම වාර්ෂික වියදම වේ. එම අයවැය මගින් සෞඛ්‍ය සේවා සඳහා ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 9.7 ක් පමනි. මෙයින් පෙනී යන්නේ, ඉන්දියානු ප්‍රභූ පැලැන්තියට, කොල්ලකාරී භූ-දේශපාලනික අවශ්‍යතා සඳහා තම මිලිටරි බලය ඉහල නැංවීම, සෞඛ්‍යයට හා සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට වඩා ප්‍රමුඛතාවයක් ගන්නා  බවයි.

මේ අතර, ඉතා කුඩා හා දූෂිත සුපිරි පොහොසත් තට්ටුවක් ඉමහත් ධනස්කන්ධයක් රැස් කරගෙන තිබේ. මේ වසර මුලදී නිකුත් කරන ලද ඔක්ස්ෆෑම් හි “රැකවරනය සඳහා වේලාව” වාර්තාවෙන් පෙනී ගියේ, ඉන්දියාවේ ධනවත්ම සියයට 1, රටේ දුප්පත්ම සියයට 70 කගේ ධනය මෙන් හතර ගුනයකටත් වඩා වැඩි පංඟුවක් හිමිකරගන්නා බවයි. රටේ ප්‍රකෝටිපතියන් 63 දෙනාගේ සාමූහික ධනය වාර්ෂික ජාතික අයවැයට වඩා වැඩිය.

Loading