ඉදිරිදර්ශන

අනාරක්ෂිතව වැඩකරන කම්කරුවන් ඉල්ලා සිටින ආරක්ෂාව නොලැබෙද්දී ඔවුන් අතර කෝපය වැඩෙයි

මෙම ලිපිය 2020 මාර්තු 18 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

පැතිරී ඇති කොරෝනා වසංගතය හමුවේ තමන් දිගටම රැකියාවෙහි රඳවා සිටීම සහ තමන්ගේගේ ජීවිත හා ජීවනෝපායන් සුරක්ෂිත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිලිබඳව එක්සත් ජනපදය තුල හා ජාත්‍යන්තර ව කම්කරුවන් අතර කෝපය වැඩිවෙමින් පවතී.

අඟහරුවාදා පස්වරුවේ, ඉන්දියානා ප්‍රාන්තයේ ටිප්ටන් හි ෆියට් ක්‍රයිස්ලර් කම්හලක මෝටර් රථ කම්කරුවෝ,  ප්‍රාන්තය පුරා වැඩපලින් පිටත විශාල රැස්වීම් තහනම් කර තිබියදී පවා බලෙන් වැඩෙහි යොදා තිබීමට විරෝධය දැක්වීම සඳහා තම වැඩ මුරයට පෙර තම කම්හලින් පිටත රැස්වූහ. කලමනාකාරිත්වය ඔවුන්ට කියා සිටියේ වැඩ නො කලහොත් ඔවුන් සේවයෙන් පහ කරනු ඇති බව යි. එය කම්කරුවන් යලිත් වැඩට ඇද දැමීමට බියවද්දනු පිනිස එක්සත් මෝටර්රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය කම්හලක් ගානේ පවත්වන රැස්වීමක දී සහාය දෙන ලද තර්ජනයකි.

එදිනම, ඉන්දියානා හි හැමන්ඩ් හි පිහිටි ලියර් සීටිං කම්හලේ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් වැඩ කිරීම ප්‍රතික්ෂේප කලේ අමතර කොටස් කම්හල හා ඒ අසල පිහිටි චිකාගෝ එකලස් කම්හල වසා දැමීමට බල කරමිනි. ඩෙට්‍රොයිට් හි බස් රියදුරන් ද අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

කෙන්ටකි, ලුයිස්විල් හි ෆෝඩ් කෙන්ටකි ට්‍රක් කම්හලේ කම්කරුවෝ ෆෝඩ් ට්‍රක් රථ එකලස් කරති (AP ඡායාරූපය / තිමෝති ඩී. ඊස්ලි)

එය පසුපස සඳුදා ඩෙට්රොයිට් හි උප නගරයක ෆියට් ක්‍රයිස්ලර් සමාගමේ රන් ට්‍රක් එකලස් කිරීමේ කම්හලේ තීන්ත වෙලඳසැල් කම්කරුවන්ගේ වැඩවර්ජනයක් හා පසුගිය බ්‍රහස්පතින්දා ඔන්ටේරියෝ හි වින්ඩ්සර් හි කැනේඩියානු ෆියට් ක්‍රයිස්ලර් කම්කරුවන් විසින් කරන ලද වැඩවර්නයක් ද පැවතුනි. ඉතාලිය හා ස්පාඤ්ඤයේ මෝටර් රථ හා වෙනත් කර්මාන්තවල කම්කරුවන් පුලුල් ව පැතිරුනු වැඩවර්ජනවල නියැලී ඇත්තේ රට ජාතික පරිමානව අකර්මන්‍ය කිරීමක් මධ්‍යයේය. 

ඩෙට්‍රොයිට් නගරයෙන් පිටත ස්ටර්ලිං හයිට්ස් එකලස් කිරීමේ කම්හල ඇතුලුව මෝටර් රථ කම්කරුවන් කිහිප දෙනෙකු දැනටමත් රෝගයට ගොදුරු වී ඇති බව පරීක්ෂනවලින්  තහවුරු කෙරී ඇත. නිෂ්පාදනය දිගටම කරගෙන යාමේ සාපරාධී තීන්දුවේ ප්‍රතිඵලයක් ලෙස, කම්කරුවන් විශාල සංඛ්‍යාවක් මේ වන විටත් ආසාදනය වී ඇති බවට සැකයක් නැත.

එක්සත් ජනපදය පුරා නිෂ්පාදන කම්හල් ක්‍රියාත්මක වෙමින් පවතී. ආන්ඩුවේ ඇප මුදල් වලින් ඩොලර් බිලියන ගනනක් ඉල්ලා සිටින බෝයිං සමාගම, සේවකයින්ට මෙහෙයුම් පවත්වා ගෙන යාමට බලකරමින් සිටින අතර, ජ්‍යෙෂ්ඨ කලමනාකාරිත්වයට නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දී ඇත. බෝයිං කම්කරුවන් කිහිප දෙනෙකුට මේ වන විටත් කොරෝනා රෝගය වැලඳී ඇති අතර, එය නිසැකවම තවත් බොහෝ දුරට ව්‍යාප්ත වී තිබිය හැක.

සිය ගනනක් පුද්ගලයින් සමඟ සම්බන්ධ වන සේවා කර්මාන්තයේ කම්කරුවෝ සෑම දිනක ම නොකඩවා වැඩ කරති.

අන්තර්ජාල සාප්පු සවාරි සඳහා ඇති ඉල්ලුම ඉහල යාම සැපිරීම සඳහා ඇමසෝන් සිය දහස් ගනනක් කම්කරුවන් බඳවා ගනී. කලමනාකරනය නිවසේ සිට වැඩ කරන අතරම, ඇමසොන් ගබඩාවල ඇති බිහිසුනු තත්වයන් එලෙස ම පවතී. එක් සේවකයෙක් බුස්ෆීඩ් නිවුස් වෙත මෙසේ පැවසුවේ ය, “ඔවුන් කිසිදු රෝග වැලැක්වීමේ විසඳුමක් ලබා දෙන්නේ නෑ, අපි ආසාදනය වූනාට පස්සෙ ගෙවීමක් සිදු කරනවා, වසංගතය පැතිරීම අඩු කිරීමට හෝ දුක් වේදනා සමනය කිරීමට වගේ ම මරනයට ගොදුරු වීමේ අවදානම වලක්වා ගන්න එයින් උදව්වක් නෑ."

වෙනත් වචන වලින් කිවහොත්, ඇමසෝන් සිය සේවකයින්ගේ ජීවිත වියදම් කල හැකි යැයි සලකන අතර, වෛරසය වැලඳුනු අයට එය ලබා දෙන ඕනෑම වැටුප් සහිත නිවාඩුවක්,  ලාභයේ ඉහල යාමෙන් උපද්දන ප්‍රමානයට වඩා වැඩි ව්‍යාපාර පිරිවැයේ කොටසක් ලෙස සැලකේ.

සමාජයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය නොවන කර්මාන්තවල කම්කරුවන් දිගටම වැඩ කල යුතු බවට කිසිදු හේතුවක් නැත. සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවල  කම්කරුවන්ට ආරක්ෂිත සේවා කොන්දේසි ලබා දිය යුතු ය. මූලික ආරක්ෂක උපකරන නොමැතිව අතිශය භයානක තත්වයන් යටතේ තම තීරනාත්මක රැකියා කරගෙන යාමට ඔවුන්ට සිදුවීම පිලිබඳව රට පුරා සෞඛ්‍ය කම්කරුවෝ කෝපයට පත්ව සිටිති.

අනෙකුත් කම්කරුවන් සේවයෙන් පහ කර හෝ ඔවුන්ගේ වැඩ පැය ගනන හා ආදායම තියුනු ලෙස කප්පාදු කර ඇත. විරැකියාව දැනටමත් ඉහල යාමට පටන් ගෙන ඇති අතර ඇස්තමේන්තු අනුව එය සියයට 20 ක් දක්වා ඉහල යා හැකිය. “අනියම් ආර්ථිකයේ” ඌබර්, ලයිෆ්ට් සහ අනෙකුත් කම්කරුවන්ට රැකියාවක් ලබා ගත හැකි නම් අඛන්ඩව භයානක තත්වයන්ට නිරාවරනය වීමට සිදු වේ.

තමන්ගේ මෙන් ම තම ප්‍රජාවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සඳහා සාමූහික ක්‍රියාමාර්ග ගැනීමේ කම්කරුවන්ගේ උත්සාහයේ සෑම පියවරක් ම වෘත්තීය සමිති විසින් අවහිර කර ඇත. මෙම සංගත කොල්ලකරුවන් සම්බන්ධයෙන් ගත් විට, ඔවුන් නියෝජනය කරන බව කියා සිටින කම්කරුවන්ගේ ජීවිතවලට වඩා සමාගම්වල ලාභ අවශ්‍යතා ප්‍රමුඛත්වය ගනී.

ෆෙඩරල් දූෂන චෝදනාවලට අධිචෝදනා ලැබීමේ තර්ජනයට ලක්ව සිටින සමස්ත ඉහල නායකත්වය දරන සාපරාධී ව්‍යාපාර හවුලක් වන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් අඟහරුවාදා අගභාගයේදී ප්‍රකාශ කලේ තමන් කිසිදු ක්‍රියාමාර්ගයක් නො ගන්නා බවත් “රැකියා ස්ථානයේ සමාජ දුරස්ථභාවය පිලිබඳ [රෝග පැතිරීම පාලනය පිලිබඳ] සීඩීසී නිර්දේශ වෙත විශ්වාසය වැඩි කරනු ඇති නව පියවර” ඉදිරිපත් කරන සමාගම් සමග පමනක් කටයුතු කරන බවත් ය.

යූඒඩබ්ලිව් මෙම ගනුදෙනුව “අර්ධ වශයෙන් වසා දැමීමක්” ලෙස ප්‍රකාශ කර තිබේ. ඇත්ත වශයෙන්ම, වැඩ මුර අවම කිරීමත් සමඟ නිෂ්පාදනය දිගටම පවතිනු ඇත. වැඩ මුර පවත්වා ගෙන යාමේ අරමුන වන්නේ ජීවිත අවදානමට ලක්ව සිටින කම්කරුවන්ගෙන් ලාභයේ සෑම අන්තිම සතයක්ම මිරිකා ගැනීමට යි. 

අඟහරුවාදා රාත්‍රියේ කම්කරුවෝ සමාජ මාධ්‍යවල කෝපයෙන් ප්‍රතිචාර දැක්වූහ. ගිවිසුම නිවේදනය කරන යූඒඩබ්ලිව් ෆේස්බුක් පිටුවේ මෙසේ අදහස් දැක්වීම් ඇතුලත් විය: “එහෙනම් ආයිත්, මොනවත් කෙරෙන එකක් නැහැ, කම්කරුවන් ආරක්ෂිත නැහැ.” “කොහොමද ලොකු ස්ට්‍රයික් එකක් කලොත්? ;” “දැන්මම ෆැක්ටරි වසා දමනු; ඔබ [යූඒඩබ්ලිව්] පැය ගනනක් කතා කරලා තීන්දු කලෙත් අප දැනටමත් කරමින් සිටි දේ කරන්නයි. ඒක නිකන් කොන්ත්‍රාතුවේ කේවලයක් වගේ!”

වෛරසය තවදුරටත් පැතිරීම වැලැක්වීමට හා මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමට, අත්‍යවශ්‍ය නො වන සියලුම සේවා ස්ථාන වහාම වසා දැමිය යුතුය! කිසිම සේවකයෙකු ඔහුගේ හෝ ඇයගේ ජීවිතය අනතුරේ හෙලීමට අපේක්ෂා නො කල යුතු ය. සියලුම නිෂ්පාදන සෞඛ්‍ය සේවා ඇතුලු හදිසි අවශ්‍යතා සඳහා යොමු කල යුතුය. තමන් කරන දෙයින් ජීවිත බේරා ගත හැකි බව දැනගත් විට කම්කරුවන් සතුටින් දිගටම වැඩ කරනු ඇත, නමුත් විද්‍යාඥයින් හා සෞඛ්‍ය සේවා වෘත්තිකයන් විසින් අධීක්ෂනය කරනු ලබන ආරක්ෂිත තත්වයන් යටතේ මෙම කාර්යය සිදු කල යුතු ය.

සේවයෙන් නෙරපා හරින ලද සියලුම කම්කරුවන්ට සංගත හා රාජ්‍ය සම්පත් මගින් මුදල් ලැබිය යුතු ය. සියලුම කම්කරුවන්ට වැටුප් සහිත අසනීප නිවාඩු සඳහා ප්‍රවේශය තිබිය යුතු ය. තම ආදායමේ අඩුවීමක් දකින ඕනෑම සේවකයෙකුට මූලික අවශ්‍යතා සපුරාලිය හැකි බව සහතික කිරීමට, කොරෝනා වෛරස අර්බුදය තුල ගෙවල් කුලී, උකස් හා උපයෝගිතා අය කර ගැනීම් අත්හිටුවිය යුතු ය.

මෙම ඉල්ලීම් සපුරාලීම සඳහා “මුදල් නැත” යන ප්‍රකාශය සියල්ලන්ගෙන් ම වඩාත්ම විකාර ප්‍රකාශයකි. මේ සියලු සංගත ඔවුන්ගේ කම්කරුවන් සූරාකෑමෙන් බිලියන ගනනක ලාභ රැස් කර ගෙන තිබේ. ට්‍රිලියන ගනනක් වෝල් වීදියට හරවා ඇත. ඒ වෙනුවට මෙම සම්පත් හදිසි සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා යොමු කල යුතු ය.

මෙම ඉල්ලීම් සඳහා සටන් කිරීමට කම්කරුවන් තම සෞඛ්‍යය හා ආරක්ෂාව රැක ගැනීමට  දූෂිත වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්හල් හා සේවා ස්ථානවල සමාජික ක්‍රියාකාරී කමිටු පිහිටුවිය යුතු ය.

විරුද්ධත්වය සංවිධානය කිරීම, රැස්වීම් හා සාකච්ඡා පැවැත්වීම, වෙනත් කර්මාන්තවල කම්කරුවන් වෙත ලඟාවීම සහ ජාත්‍යන්තරව කම්කරුවන් සමඟ සම්බන්ධීකරනය  සඳහා කම්කරුවන් සමාජ මාධ්‍ය ඇතුලු සියලුම මාධ්‍යයන් භාවිතා කල යුතු ය. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කල හැක්කේ තනි ක්‍රියාමාර්ගයකින් නොව, සාමූහික අරගලයකින් පමනි.

මෙය පූර්න පරීක්ෂන, සැමට නොමිලේ හා සමාන සෞඛ්‍ය සේවා, හා මාරාන්තික වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා සම්පත් විශාල වශයෙන් නැවත වෙන් කිරීම ඇතුලුව, සමස්ත කම්කරු පන්තියම ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාකාරී වැඩසටහන්  සමඟ ඒකාබද්ධ කල යුතු ය. මූල්‍ය කතිපයාධිකාරියේ ග්‍රහනයෙන් ඩොලර් ට්‍රිලියන ගනන් මුදා ගත යුතු අතර වසංගතයට ගෝලීය වශයෙන් සම්බන්ධීකෘත ප්‍රතිචාරයක පාලනය යටතේ තැබිය යුතු ය.

සමාජවාදී සමානාත්මතා පක්ෂයේ ජාතික කමිටුව  කල ප්‍රකාශය පරිදි: “මෙම අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට මඟ පෙන්විය යුතු සාරභූත මූලධර්මය වන්නේ, සංගත ලාභ හා පෞද්ගලික ධනය පිලිබඳ සියලු සලකා බැලීම්වලට වඩා වැඩ කරන ජනතාවගේ අවශ්‍යතා නිරපේක්ෂ මෙන් ම කොන්දේසි විරහිත ප්‍රමුඛතාවක් ගත යුතු බව යි. එය පාලක පන්තිය තමන්ට දැරිය හැකි යැයි කියන දේ නොව, මහජනතාවට අවශ්‍ය දේ පිලිබඳ කාරනයකි. ”

මෙම වැඩසටහන සඳහා සංවිධානය වීමට සහ සටන් කිරීමට දැන් කාලය යි. ජීවිත මිලියන ගනනක් අනතුරේ.

Loading