ශ්‍රී ලංකාව: ජනාධිපති ආඥාදායක බලතල සඳහා උද්ඝෝෂනය කිරීමට කොරෝනා වෛරස් අර්බුදය යොදාගනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කල කතාවේ දී, කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමට ඔහුගේ ආන්ඩුවට තිබෙන හැකියාව ගැන හිස් පූච්චානම් දොඩවමින්, එම වෛරසය ගෙන ඒම ගැන “පිටස්තරයන්ට” ප්‍රතිගාමී ලෙස දොස් පැවරී ය.

ජනාධිපතිගේ ආඥාදායකත්වයක් ශක්තිමත් කිරීම සඳහා, එලඹෙන මහ මැතිවරනයේ දී ඔහුගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට (ශ්‍රීලපොපෙ) විශාල බහුතරයක් ලබාදෙන ලෙස ආයාචනා කිරීමටත්, දැඩි ලෙස බලපා ඇති මහ ව්‍යාපාරවලට හා මූල්‍ය ප්‍රභූවට සහන පැකේජයක් නිවේදනය කිරීමටත් ඔහු කතාව යොදාගත්තේ ය.

මාර්තු 17දා රාත්‍රීයේ කතාව සිදුකරමින් රටේ කෝවිඞ් -19 ආසාදනය වුනු රෝගීන් ගනන 34ක් බව ඔහු ප්‍රකාශ කලේය. මාර්තු 21දා සවස් භාගය වන විට එම සංඛ්‍යාව 77 දක්වා ඉහල ගියේ, 3,000කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටිය දී හා නිරීක්ෂනය සඳහා 11,000කට අධික පිරිසක් සිය නිවෙස්වල හුදකලාවේ තබා ඇති තතු තුල ය.

මාර්තු 21 වන විට, ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව 300,000 කරා ලඟාවූ අතර  මරන ගනන 11,000 ඉක්මවීය. රෝගයේ නව අපිකේන්ද්‍රය බවට යුරෝපය පත්ව ඇති අතර, එක්සත් ජනපදය ඊට පසුපසින් සිටී. බැංකු හා සංගතවල ලාබ තර කිරීම සඳහා දශක ගනනාවක් තිස්සේ අනෙකුත් සමාජ සේවාවන් ද සමග   සෞඛ්‍ය සේවා කප්පාදු කරමින් සිටි ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන ඇතුලු සෑම රටක ම ධනපති පන්තීන් හා ඔවුන්ගේ ආන්ඩු, වත්මන් අර්බුදය මධ්‍යයේ ඒවා වර්ධනය කිරීමට ප්‍රමානවත් සම්පත් බලමුලු ගන්වන්නේ නැත. 

ඔවුහු මිලියන ගනනකගේ ජීවිත මාරක අනතුරකට ඇද දමමින් සිටිති. රාජපක්ෂගේ ප්‍රතිපත්ති ඊට වෙනස් නැත.

භයානක වසංගතය සීමාකිරීම සඳහා තමන්ගේ පාලනය හැකි සෑම දෙයක් ම කරමින් සිටින බව විස්තර කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති ප්‍රයත්න දැරී ය. ජනවාරියේ චීන ජාතික සංචාරක කාන්තාවක් ආසාදිත වී සිටිය දී සොයාගෙන සුව වීමෙන් පසු පෙබරවාරියේ පිටත් කර යැවූ බව ඔහු කීවේ ය. වෛරසය අනෙකුත් රටවලට පැතිර යාම ආරම්භ වී මාසයක් පමන ගතවූ පසුව පමනක් ආන්ඩුව විසින් නිරෝධායන ආරම්භ කල බව ඔහුගෙන් කියවිනි.

මෙය වනාහි, දියුනු පූර්වාපේක්ෂනීය පියවර නො ගනිමින් සති ගනනක් තිස්සේ වටිනා කාලය නාස්ති කර ඇති, එක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව වැනි රටවල ආන්ඩුව කර ඇති දෙය ම මිස වෙනකක් නො වේ.

ඔහුගේ කතාවේ මුල් අර්ධය ඔප දමන ලද්දේ, කොරෝනා වෛරසය යනු දේශසීමාවන්ට පිටස්තරින් තර්ජනයක් බවත්, ඒ නිසා මිලිටරි-පොලිස් ක්‍රම යොදාගෙන එය පාලනය කල හැකි බව පෙන්නුම් කිරීමට යි.

මෙම කියාපෑම, රෝගය ගැන වගකීම සංක්‍රමනික කම්කරුවන් හා සංචාරකයින් මත පැටවීමකි. “අපි ප්‍රතිකාර පටන්ගැනීමට සති දෙකකට පමන පෙර ඉහල අන්තරායකින් යුත් රටවලින් මෙරටට පැමින තිබූ ආසන්න වසයෙන් 2,000ක් වන සංචාරකයන් අප මුහුන දෙන විශාලතම ගැටලුව” යයි කී ඔහු “වගකීම් විරහිත හැසිරීම” දෝෂදර්ශනයට ලක් කලේය.

මෙම ජාතිකවාදී කියාපෑම් අත්‍යන්තයෙන් ප්‍රතිගාමී ය. ගෝලීයකරනයේ මෙම යුගයේ, වෛරසය ජාතික දේශසීමා හෝ වීසා සීමාවන් දැකගන්නේ නැත. නිෂ්පාදනයේ හා බෙදාහැරීමේ මෙන් ම මහජනයාගේ ගෝලීය චලනයට මුද්‍රා තැබිය නො හැක. එවන් මුද්‍රා තැබීමක් කල හැක්කේ මනුෂ්‍ය වර්ගයාගේ   ප්‍රගතිශීලී පෙරගමනට වලකපන්නාවූ පරාගතවාදී වැසුනු ආර්ථිකයක් යටතේ පමනි. රාජපක්ෂ මෙම අපසරනීය කියාපෑම් යොදාගන්නේ අවශ්‍ය නිසි පියවර නො ගැනීම ආවරනය කිරීමට යි.

පරීක්ෂන පහසුකම් හා ඉහල යමින් පවත්නා, රෝගී තත්වය ගැන සැකකෙරෙන සංඛ්‍යාවට නවාතැන් දිය හැකි පරිදි රජයේ රෝහල්වලට උපකරන ලබාදීම ඇතුලු සෞඛ්‍යාරක්ෂන පද්ධතිය වැඩි දියුනු කිරීම ගැන රාජපක්ෂගේ කතාවේ දී සඳහන් නො වී ය. සෞඛ්‍ය වියදම් සඳහා රුපියල් මිලියන 500ක සොච්චමක් වෙන්කිරීම ආන්ඩුව විසින් නිවේදනය කලේ මාර්තු 20දා පමනි.

අනුප්‍රාප්තික ආන්ඩු විසින් අරමුදල් කපාදැමීම නිසා රටේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය පවතින්නේ ජරාවාස වූ තත්ත්වයක ය. මේ වර්ගයේ බැරෑරුම් තත්ත්වයකට මුහුන දීම සඳහා රජයේ සෞඛ්‍ය පද්ධතියේ බියකරු නො සෑහෙන භාවය කොරෝනා වෛරසය පැතිරීම සමග හෙලිවී ඇත.

ප්‍රධාන නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකරනු ලැබ ඇත්තේ සන්නද්ධ හමුදා විසින් පාලනය කරන කඳවුරු හෝ කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා මඩකලපුව විශ්ව විද්‍යාලය වැනි ආයතනවල ය. ආන්ඩුව ගෙන තිබෙන පියවර සමගින් “මෙම තත්ත්වය සම්පූර්නයෙන් පාලනය කිරීමට අපට හැකි වනු ඇතැ” යි ඔහු අවධාරනය කලේ ය.

තමන්ගේ ජනාධිපතිත්වය යටතේ ශ්‍රී ලංකාව අනෙක් රටවලට වඩා හොඳින්    ක්‍රියාත්මක බව රාජපක්ෂ කීවේ ය! “අනෙක් රටවලට හොඳ ම වෛද්‍ය පහසුකම් තිබිය හැකි වුවත් අපේ ම උත්සාහයන් සමගින් ආසාදිත පුද්ගලයන් සුවපත් කිරීමට අපට හැකිවුනා” යි ඔහු හාස්‍යජනක ලෙස කියා සිටියේ ය.

මීට විපරීත ව, කොරෝනා වෛරස් රෝගීන්ට තිබෙන රෝහල් ඇඳන් ගනන ක්ෂනික ව අඩුවෙද්දී, ඉදිකර ඇති නිරෝධායන මධ්‍යස්ථාන -දැනට රටතුල 22ක් තිබේ යයි නිවේදනය වී ඇත - සමහරක් ඉහල උෂ්නත්වය හා අවම පහසුකම් හේතුවෙන් වාසයට නුසුදුසු වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ඩබ්ලිව්එච්ඕ) කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්‍රාපල් සිං ශ්‍රී ලංකාව ඇතුලු දකුනු ආසියාවේ රටවල් සමූහයකට කර ඇති අනතුරු අඟවීමෙන්, “සූදානම් සහිත කම” ගැන ඔහුගේ ව්‍යාජ පුරාජේරු කතාවේ පල්ලයයි. වෛරසයට එරෙහි ව සටන් කිරීමට “හදිසි වැඩිදුර පියවර ගන්නා” ලෙස යි. මෙම රටවල ආසාදිතයන් සංඛ්‍යාව අඩුවීමට එක් හේතුවක් වන්නේ පරීක්ෂන ඉතා අඩුවීම බව ඇය කීවා ය.

රාජපක්ෂගේ කතාවේ දෙවන කොටස, “මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන ශක්තිමත් ආන්ඩුවක් සමගින්” තමන් ව බලවත් කරන ලෙස මහජනයාගෙන් ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) වෙනුවෙන් මහ මැතිවරනය ඉලක්ක කරගෙන කල මැතිවරන ප්‍රචාරනයක් විය.  “මා දුන් පොරොන්දු ඉටුකිරීමට නම්, මට ස්ථාවර බහුතර ආන්ඩුවක් අවශ්‍ය යි” යි ඔහු කියා සිටියේ ය.

රාජපක්ෂ විසින් මැතිවරනයක් කැඳවීමේ ප්‍රකාශිත අරමුන වන්නේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් ලබාගෙන, විධායක ජනාධිපති මත පනවා ඇති 19 වන සංශෝධනය වැනි ව්‍යවස්ථාමය සීමා කිරීම් කටුගා දැමීම යි.

කිසිවෙක් ඔහුගේ වචන මතුපිටින් නො ගත යුතු ය. ඔහු සූදානම් වන්නේ දියුනු ජීවන හා සමාජ කොන්දේසි පිලිබඳ පොරොන්දු ඉටුකිරීමට නො ව ආර්ථික අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පැටවීම යි. රාජපක්ෂ බලයට පැමිනියේ, පන්ති අරගලවල තීව්‍ර වීම් මධ්‍යයේ, ගැඹුරු දේශපාලන අර්බුදයක් විසින් පාලක ප්‍රභූව ගිලගනිද්දී ය. කෝවිඩ්-19 වෛරසය ධනපති පන්තියේ අර්බුදය තීව්‍ර කරද්දී, කම්කරුවන් හා දුගීන්ගේ ජීවන හා සමාජ කොන්දේසි මත ප්‍රහාරය දියත් කිරීම සඳහා රාජපක්ෂ ආන්ඩුව තියුනු ලෙස හැරෙනු ඇත. ජනාධිපතිගේ උත්සාහය වන්නේ ඊට සූදානම්වෙමින් මිලිටරීකරනය වැඩිදුර ගැඹුරු කිරීම සඳහා වසංගතය යොදාගැනීම යි. 

ජාතිය ඇමතීමට පෙර වසංගතය මැඩපැවැත්වීමට පිහිටුවූ විශේෂ කාර්ය සාධක බලකාය සමග රැස්වීමක් පැවැත්වූ රාජපක්ෂ ඔහුගේ මිලිටරිවාදී ප්‍රවිෂ්ටය අවධාරනය කලේ ය. මෙම කාර්ය සාධක බලකාය මත් බොහෝ ජ්‍යෙෂ්ට මිලිටරි නිලධාරීන්ගෙන් පිරී තිබේ.

කාර්ය සාධක බලකා රැස්වීමේ දී රට මුලුමනින් ම වසාදැමීමට ගෙන ආ යෝජනා පසෙකට දැමූ ඔහු, “ලෝකයේ අනෙක් රටවලට වෙනස් ව එල්ටීටීඊ  ත්‍රස්තවාදය පරාජය කිරීමට අපිට හැකි වුනා” යයි කියමින්  එලෙස 

මෙම ප්‍රශ්නයේදීද ක්‍රියාත්මක වන බව කිවේය. 

“මෙය මිලිටරියට අයිති කාලයකි. අනෙක් හැමෝ ම පස්ස කැඩිච්ච හිකනැල්ලෝ වගේ නටනවා. මිලිටරිය ප්‍රමුඛත්වය ගත යුතු” යි දැනට වරාය අධිකාරියේ සභාපති වන හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක කීවේ ය.

ක්ෂනික ව එය අනුමත කල රාජපක්ෂ මෙසේ ප්‍රතිචාර දැක්වී ය: “වහා ම  ප්‍රකාශකයෙක් පත් කරගන්නා ලෙසත් කොරෝනා වෛරසය වැලැක්වීම සම්බන්ධ හැම දෙයක් ම මධ්‍යස්ථානය හරහා යා යුතු බවත් මම දැනට මත් මිලිටරියට කියා තිබෙනවා.”    

එදින ම “කෝවිඞ්-19 වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය” නිවේදනය කල ඔහු, එහි ප්‍රධානියා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කලේ ය.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධය ජයග්‍රහනය කිරීම ගැන ඔහුගේ සඳහන, ඕනෑම ප්‍රජාතන්ත්‍ර-විරෝධී ක්‍රියාවක් ආවරනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රභූව හා මිලිටරිය විසින් යොදාගන්නා ප්‍රචාරයකි. මෙම යුද්ධයට වැඩකරන ජනයාගේ අයිතීන් ආරක්ෂා කිරීම සමග මොන ම සම්බන්ධයක් වත් නො තිබුනි. එම යුද්ධය, කම්කරු පන්තිය බෙදා ධනපති පන්ති පාලනය රැකගැනීමට සඳහා යොදාගත් දෙමල-විරෝධී වෙනස්කම් කිරීම්වල කූටප්‍රාප්තිය විය. රාජපක්ෂ හා ඔහු වටා සිටින මිලිටරි නායකයන් ඉඟිකරමින් සිටින්නේ අනුකම්පා විරහිත විධික්‍රම යොදාගැනීමට ඔවුන් සූදානම් බව යි. 

“මේ රට දුවන්නේ මම යි. වගකිව යුතු නිලතල දරන අය මං කියන ආකාරයට වැඩ කල යුතු යි” යි රාජපක්ෂ කී බව මාධ්‍ය විසින් වාර්තා කලේ ය. මෙය වචන වැරදීමක් නො ව ජනාධිපතිමය ආඥාදායකත්වයක් සඳහා බලතල ගොනු කරගනිමින් සිටින මිනිසෙකුගේ වචන ය.

පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 65 ට ද මාලු ටින් එකක මිල රුපියල් 100 ටද අඩුකරන බව රාජපක්ෂ නිවේදනය කලේ ය. මෙම සොච්චම් ක්‍රියා පෙන්නුම් කරන්නේ ආන්ඩුවට හා ධනපතියන්ට දුගීන් කෙරෙහි පවතින අවඥා සහගත ආකල්පයයි.  

ඒ හුස්මට ම ව්‍යාපාරිකයන් ට ප්‍රකෝටි ගනනින් මුදල් සම්පාදනය කිරීම රාජපක්ෂ නිවේදනය කලේ ඔහු මූල්‍ය ප්‍රාග්ධනයේ එජන්තයෙකු බව පෙන්නුම් කරමිනි. ඔහු මෙසේ කිවේය: “ව්‍යාපාර විසින් ලබාගත් නය පහසුකම් වර්තමානයේ දී ඔවුන්ට විශාල බරක් වන නිසා නැවත අය කරගැනීමේ කාලයක් මාස හයකින් දික්කරන ලෙස මම බැංකුවලට හා මූල්‍ය සමාගම්වලට නියෝග කරනවා. ඒ අතර ම ප්‍රාග්ධන නය සියයට හතරක පොලියට ලබාදීමට ද පියවර ගනිමින් තිබෙනවා. මම ඔබට දුන් පොරොන්දු කිසිවක් බිඳින්නේ නැති බව ඔබට සහතික වෙනවා.”

Loading