ආරක්ෂක ආම්පන්න නොමැතිකමින් සෞඛ්‍ය සේවකයින් දැඩි අවදානමකට මුහුනදෙන බව වෛද්‍යවරු ලෝසවෙඅ ට පවසති

අද උදෑසන වාර්තා වලට අනුව ලංකාවේ කොවිඩ්-19 රෝගීන් 86 දෙනෙකු වාර්තා වී ඇති අතර පුද්ගලයින් 222 දෙනෙක් රෝහල් 18 ක් තුල අධීක්ෂනය යටතේ සිටිති. 

දිනෙන් දින වැඩිවන රෝගීන් සංඛ්‍යාව සමග වෛරසයේ බලපෑම අවම කිරීමට සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය සේවකයෝ විශාල පරිශ්‍රමයක් දරමින් සිටිති. නමුත් ඔවුනට අත්‍යවශ්‍ය වන ආරක්ෂක උපකරන වල පවතින්නේ දැඩි හිඟයකි. 

මාර්තු 3 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක උපකරනවල සීමාසහිතභාවය හේතුකොටගෙන සෞඛ්‍ය සේවකයින් “සැබෑ අනතුරකට” මුහුන දෙන බවයි. “සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා නොකොට” කොවිඩ්-19 “නවතාලිය නොහැකි” බව ද එම ප්‍රකාශයේ සඳහන් වෙයි. කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම අනතුරු ඇඟවීමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව මුලුමනින්ම නොතකා ඇත. 

ලෝක සමාජවාදී වෙබි අඩවිය (ලෝසවෙඅ) සමග කතා කල රජයේ වෛද්‍යවරයෙකු සඳහන් කලේ “දැඩි අවදානමක් පවතින බාහිර රෝගී ඒකකයන්, හදිසි සත්කාර ඒකකයන් සහ දියවැඩියාව, ඇදුම, උන වැනි රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්ටුවල කාර්ය මන්ඩලයන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂන උපකරන ( Personal protective equipment-PPE) වන, ඇස් ආවරන, මුහුනු ආවරන සහ කබා නැති තරම්” බවයි. 

මේ හේතු කොට ගෙන සමහර රෝහල් වලට, ප්‍රමිතියෙන් තොර ද්‍රව්‍ය යොදා ගනිමින් පීපීඊ උපකරන නිෂ්පාදනය කිරීමට සිදුව ඇති බව ඔහු පැවසීය. මේ තතු තුල “කාර්යමන්ඩල මෙන්ම රෝගීන් ද දැඩි අවදානමකට පත් කොට ඇතැ”යි ඔහු තවදුරටත් සඳහන් කලේය.

මෙය හුදෙක් කොරෝනා වසංගතය හේතුකොට ගෙන ඇතිවූ තත්වයක් නොවන බවත්, දිගු කාලයක් තිස්සේ අනුප්‍රාප්තික ආන්ඩු විසින්    සෞඛ්‍ය සේවය තුල කරන ලද කප්පාදු හේතුවෙන් ක්‍රමිකව වර්ධනය වූ හිඟයක් බවත් වෛද්‍යවරයා පැවසීය. “වසංගතය හේතුවෙන් දැන් එය අර්බුදයක් බවට පත්ව ඇතැ” යි ඔහු කීවේය. 

අංගොඩ මූලික රෝහලේ අධ්‍යක්ෂක පවා මෑතක් වනතුරු රෝගීන් පරික්ෂා කිරීමට පැලැඳ ගියේ ඔවුන් විසින්ම නිපදවාගත් පොලිතීන් කබායක් බව වෛද්‍යවරයා සඳහන් කලේය. නිසි ආරක්ෂාව නොමැතිවීමෙන් වෛද්‍යවරයෙකු ආසාදනයට ලක්වුවහොත් “ඔහුට දින 14 ක නිරෝධායන කාලයකට යටත් වීමට සිදුවෙනවා”යැයි ඔහු තවදුරටත් පැවසීය. 

එහි ඇති අවදානම වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මෙසේය: “විශාල වෛද්‍ය පිරිසකට නිරෝධායනය වීමට සිදුවුවහොත් බරපතල තත්වයක් උද්ගත වෙනවා. එමෙන්ම ඉතිරි වන සේවකයින්ට දැරිය නොහැකි වැඩ ප්‍රමානයකට මුහුන දීමට සිදුවේවි.”මේ වන විටත් කොලඹ හා රාගම රෝහල්වල සෞඛ්‍ය කාර්යය මන්ඩල වලින් කොටසක් නිරෝධායනය කර ඇති බව ඔහු කීවේය.

මෙම තත්වය යටතේ කටයුතු කිරීමට නම් “අවශ්‍ය ප්‍රමිතිගත පීපීඊ උපකරන වෛද්‍යවරුන්ගේ සිට රෝහල් කනිෂ්ඨ කාර්යය මන්ඩලය දක්වා සියලු දෙනාටම ලබා දිය යුතු බව” ඔහු පැවසීය.

කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් වර්ධනය වන අන්තරාය පැහැදිලි කරමින් තවත් රජයේ වෛද්‍යවරයෙකු ලෝසවෙඅ ට මෙසේ පැවසීය: “ලංකාවේ දෙවැනි රෝගියා හමු වීමේ දිනසිට පනස්වැනි රෝගියා හඳුනාගැනීම දක්වා ගත වූ කාලය දින හතක්. එය ඉතාලියේ දවස් විසිහතරක්. ලංකාවේ පලමු සතිය තුල රෝගීන් හතලිස් හතක් වාර්තා වුනා. ඉතාලියේ තුන්දෙනෙක්.” 

තෙවන සතිය වනවිට ඉතාලියේ රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවූ බව සඳහන් කල ඔහු මේ සියලු දත්ත ලංකාවේ වෛරසය ව්‍යාප්ත වීමේ බරපතල අවදානම මතු කරන බව කීය. එය වලක්වා ගැනීමට නම්     “නිසි සහ ප්‍රමානවත් නිරෝධායන වැඩපිලිවෙලක්” අත්‍යවශ්‍ය බව ඔහු පැහැදිලි කලේය.

මෙවන් වසංගතයකට මුහුන දීමට ඇති දැඩි සත්කාර ඒකක වල සීමිත භාවය සම්බන්ධයෙන් අවධානය යොමු කල ඔහු, ලංකාවේ ඇති මුලු දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව පන්සියයක් පමනක් වන බැවින් එය  ප්‍රමානවත් වන්නේ මාසයක් තුල රෝගීන් තුන්දාහකට ප්‍රතිකාර කිරීමට පමනක් බව පෙන්වා දුන්නේය. “මෙවැනි වසංගතයක් නැති කාලවලදී පවා අසාධ්‍ය රෝගියකු සඳහා දැඩිසත්කාර ඒකකයේ ඇඳක් සොයාගැනීම ඉතාම අපහසු” යැයි පැවසීය.

ලංකාවේ  ජනතාව ලක්ෂයක් සඳහා ඇති දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව වන්නේ 2 කට වඩා මඳක් වැඩියෙනි. ලක්ෂයකට 12.5 ක් දැඩි සත්කාර ඇඳන් ඇති ඉතාලියේ පවා රෝගීන්ට ඇඳන් සපයා ගත ගත නොහැකිව සිටින තතු තුල ශ්‍රී ලංකාවේ රෝග ව්‍යාප්තිය ඉහල ගියහොත් ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකි බව ඔහු සඳහන් කලේය.

කොරෝනා රෝග පරීක්ෂාවට ඇති පහසුකම්වල ඌනතාවය පැහැදිලි කරමින් වෛද්‍යවරයා මෙසේ පැවසීය: “යම් තැනැත්තෙකු රෝග පරීක්ෂාවට යොමුකලහැකි වන්නේ සැක සහිත රෝගීන් තෝරා ගැනීමට රජයෙන් ලබාදී ඇති මාර්ගෝපදේශවල සඳහන් රෝග ලක්ෂන ඇත්නම් පමනයි.” 

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වනුයේ ආසාදිත බවට සැක සහිත සියලු දෙනාට පරීක්ෂන ප්‍රවේශය ලැබෙන පරිදි පහසුකම් වැඩි දියුනු කල යුතු බව යැයි වෛද්‍යවරයා පැවසීය. ජපානයේ සහ දකුනු කොරියාවේ එම පියවර මගින් කොරෝනා ආසාදිත රෝගීන් වර්ධනයේ සාමාන්‍ය වක්‍රය වෙනස් කර ගැනීමට හැකි වූ බවද ඔහු සඳහන් කලේය.

මෙම තත්වය “හදිසි අවශ්‍යතාවයක් සේ සලකා ලංකාව තුල ඇති දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව අවම තරමින් පස් ගුනයකින් හෝ වැඩි කිරීම අත්‍යවශ්‍ය” බව වෛද්‍යවරයා පැවසීය. එමෙන්ම වසංගතය පාලනය කිරීමට නම් “සැක සහිත ඕනෑම කෙනෙකුට නිදහසේ කොරෝනා වෛරස් පරීක්ෂනය කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතු” බව ඔහු අවධාරනය කලේය.

රාගම ශික්ෂන රෝහලේ ප්‍රධාන හෙද නිලධාරිනී මේනකා ප්‍රියන්ති ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අත්‍යවශ්‍ය ආරක්ෂිත ඇඳුම්වල ඌනතාවය හෙදියන් ඇතුලු රෝහල් සේවකයන්ට ඇති ප්‍රධානතම ගැටලුවක් බවයි. “ගෙදර තියෙන මහන මැෂින් රෝහලට ගෙනත් ආරක්ෂිත ඇඳුම් මහන තත්වෙක” ඔවුන් සිටින බව ඇය පැවසුවාය. 

ආරක්ෂිත උපකරනවල දැඩි ඌනතාවය හේතුවෙන් තමාට මුහුන දීමට සිදුව ඇති බලගතු අවදානම සම්බන්ධයෙන් ආන්ඩුවේ නරුම නොතැකීම පිලිබඳව සෞඛ්‍ය සේවක සේවිකාවන් අතර වැඩෙමින් පවතින්නේ දැඩි විරෝධය කි. එම විරෝධය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තීය සමිති කෙඳිරිලි හඬක් නගන්නට පටන්ගෙන ඇත. 

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවකදී සඳහන් කලේ තවමත් රෝග පාලනයට අදාල පියවර අඩංගු ”මාර්ගෝපදේශන සංග්‍රහයක්” සෞඛ්‍ය සේවකයින්ට ලැබී නොමැති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පසුගිය බදාදා මාධ්‍ය සාකච්ඡාවකදී කියා සිටියේ ”දිස්ත්‍රික් රෝහල් වල වෛද්‍යවරු ඇතුලු නිලධාරීන් වැඩ කරන්නෙ මාස්ක් නැතුව” බවයි.   නිරෝධායන මධ්‍යස්ථානයන්හි ඌනතා ලැයිස්තුවක් අඩංගු පත්‍රිකාවක් ප්‍රදර්ශනය කරමින් ඔහු පැවසුවේ ”මධ්‍යස්ථාන දහඅටක අඩුපාඩු කොලයක් පිරෙන්න තියෙන” බවයි.

“අවශ්‍ය තැන් වලට ආරක්ෂක ඇඳුම් කට්ටල එකක් වත් සපයා නැතැ” යි සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරලේආරච්චි මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මීට අමතරව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ජනාධිපති රාජපක්ෂට  ලිපියක් යවමින් කොරෝනා රෝගය හමුවේ තම සාමාජිකයින් “මුඛ ආවරන සහ අත් ආවරන වැනි මූලික අවශ්‍යතාවන් ද නොමැතිව සේවයේ යෙදෙන බැවින් එයට විසඳුමක් ලබාදෙන ලෙස” ඉල්ලීය.

අනුප්‍රාප්තික ආන්ඩු මගින් මහජන සෞඛ්‍ය සේවයට එල්ල කල ප්‍රහාර හමුවේ නිරන්තරවම සටන්කාමී වූ සෞඛ්‍ය සේවකයන්ගේ අරගල පාවා දෙමින් සමස්ත සෞඛ්‍ය සේවයම විනාශකර දැමීමට දායකවූ මෙම සමිති නායකයෝ උද්ගතව ඇති තත්වයට මුලුමනින්ම වගකිව යුතුය.  

ආරක්ෂිත උපකරන වල හිඟකම සෞඛ්‍ය සේවකයින් ජාත්‍යන්තරව මුහුන දෙන සැබෑ අනතුරකි. චීනයේ සහ ඉතාලියේ අත්දැකීම් වලට අනුව ප්‍රධාන රෝහල් වල ප්‍රධාන වෛද්‍යවරයා පවා කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් ඇත.මාර්තු 22 දා ඉතාලියේ මිය ගිය රෝගීන් 627  දෙනා අතුරින් 17 ක් වෛද්‍යවරුන් ය. එමෙන්ම එරට සෞඛ්‍ය කාර්යය මන්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි සඳහන් ය.

මෙම සියලු වාර්තා මගින් පෙන්නුම් කෙරෙන්නේ වසංගතයේ හානිය අවම කරගැනීම සම්බන්ධයෙන් ලෝකය පුරා ධනපති ආන්ඩු වල ආන්තික නොතැකීම සහ නුසූදානමයි. එයින් යලිත් සනාථ කෙරෙනුයේ මහජනතාව මුහුනදෙන දැවෙන ප්‍රශ්න විසඳීමට ලෝක ධනපති ක්‍රමයට ඇති ඓතිහාසික නොහැකියාවයි.

Loading