කොරෝනා වසංගතයට බිලි නොදෙන ලෙස ඉල්ලා විරෝධය පෑ අනුරාධපුර රැඳවියන්ට වෙඩි තැබීමෙන් දෙදෙනෙකු මිය යයි.

සිරකඳවුර තුල ඇති තදබදය නිසා කොරෝනා වසංගතයට තමන් බිලිවීමට ඇති අවදානම අවධාරනය කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් සෙනසුරාදා (21) සවස විරෝධතාවයක නිරතවූහ. එහිදී ඔවුනට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් රැඳවියන් දෙදෙනෙක් මරනයට පත්වූහ. තුවාල ලැබූ තවත් සිවුදෙනෙක්    අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති. 

විරෝධයට එක්වූබව කියන 700 ක් පමන රැඳවියන් අතරින් සිද්ධියට සෘජුවම සම්බන්ධයැයි සැක පිට සිරකරුවන් 30 පමන වෙනත් බන්ධනාගාරවලට මාරුකර යවා ඇති අතර වෙඩිතබා මිනීමැරීම් කිරීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනු වෙනුවට ආන්ඩුව සිරකරුවන් දඩ⁣යමේ යෙදී සිටී. 

කොරෝනා වසංගතය (කොවිඩ්- 19) පැතිරීම වැලැක්වීම සඳහා යැයි පවසමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ භාරකාර ආන්ඩුව පමාවී ගත් පියවර අතරට පසුගිය බදාදා (18) සිට දෙසතියක් පුරා සිරකරුවන් බැලීමට පිටතින් පුද්ගලයන් පැමීනීම තහනම් කිරීමද ඇතුලත් විය. මේ හේතුව නිසා රැඳවියන්ට තම ඥාතීන්ගෙන් ලැබෙන ආහාරවේල අහිමි වුන අතර  බන්ධනාගාරයෙන් ලැබුන නීරස හා  ප්‍රමානවත් නොවන ආහර වේලෙන් යැපීමට සිරකරුවන්ට බලකෙරිනි. විරෝධතාවයට එයද එක් හේතුවක් විය. 

බන්ධනාගාර පොලීසිය සමග පොරබැදි සිරකරුවන් පලායාමට තැත් කිරීමත් සමග බන්ධනාගාර ආරක්ෂක භටයන් ඔවුනට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න  මාධ්‍යවලට ප්‍රකාශකොට තිබිනි. 

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (සිඅසුක) නම් සංවිධානයේ සභාපති සේනක පෙරේරා ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලේ සිරකරුවන් පලායාමට තැත්කලේය යන්න ප්‍රතික්ෂේප කරන බවයි. කිසිදු සිරකරුවෙකු පලාගොස් ද නොමැත.         

රැඳවියන්ගේ විරෝධයට බලපෑ මූලිකම හේතුව කොරෝනා වසංගතය බෝවීමේ අන්තරායක් බන්ධනාගාරය තුල තිබීම බව පෙරේරා පැවසීය. 

මීට පෙර වෛරසය ආසාදනය වූ බවට සැකකරන රැඳවියෙකු බන්ධනාගාරය තුලින් සොයාගෙන රෝහල්ගත කර තිබීම රැඳවියන් තුල නොසන්සුන්තාවය ජනනය කර තිබිනි.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියද, අර්ධ මිලිටරි කන්ඩායමක් වන පොලිස් විශේෂ කාර්ය බලකායද, යුද හමුදාවද කැඳවා තිබිනි. සිද්ධිය සම්බන්ධ පරීක්ෂනයක් මේවනතෙක් පවත්වා නැත.

කොරෝනා රෝගය වැලඳුනු චීන කාන්තාවක් රටතුල හඳුනාගැනීමත් සමගම නිරෝධායන කටයුතු අරඹමින් වසංගතය බෝවීම වැලැක්වීම හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කලයුතුව තිබූ නමුදු, ආන්ඩුව එය නොතකා සති ගනනක් කල් මැරීය. 

ගෝඨාභය රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ ජනාධිපති ලෙස පත්වූ තැන් පටන් රාජ්‍ය ආයතනයන්හි ඉහලම පුටු වලට විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරමින් සහ රටේ සෑම සිවිල් කාර්යයකටම මිලිටරිය යොදවමින් මිලිටරීකරන ක්‍රියාවලිය වේගවත් කලේය. මෙහි කොටසක් ලෙස වසංගතය වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගිය අඟහරුවාදා(17) පත්කලේය. 

මිලිටරිය ”රන විරුවන්” ලෙස වඩවඩාත් ඔසවා තබන රාජපක්ෂ, හමුදා සෙබලුන් යුද අපරාධ චෝදනාවලින් සහ පවරා ඇති අපරාධ නඩු වලින් නිදහස් කරමින් සිටින්නේ වඩවඩාත් මිලිටරිය මත පදනම් වෙමින් ආඥාදායක පාලනයක් තහවුරු කරගැනීමේ වැඩපිලිවෙලේ කොටසක් ලෙසය.

2015 දී සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ සමඅනුග්‍රහයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙනෙන ලද 30/1 යෝජනාවෙන් පෙබරවාරි අග ලංකාව ඉවත්කර ගැනීම මගින්, මිලිටරියට තම බලය නොබියව දිගේලි කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂ කොල එලිය නිකුත් කලේය. 

වසංගතය පාලනය කිරීම සඳහා රුපියල් මිලියන 500ක සොච්චමක් පමනක් වෙන්කර ඇති රාජපක්ෂ තම මිලිටරීකරන වැඩපිලිවෙල වඩාත් තීව්‍ර කිරීමට කොරෝනා වසංගතය ඩැහැගෙන ඇත.  

මාර්තු 12 දින කොරෝනා වෛරසය ආසාදිත පලමු ලාංකික සංචාරක මගපෙන්වන්නා හඳුනාගැනීමෙන්  පසුවත් ආන්ඩුව ප්‍රසිද්ධ නිවාඩු  ප්‍රකාශයට පත්කිරීමටත්, පාසැල් වසා දැමීමටත් කටයුතු කලේ රජයේ නොසැලකිලිමත් ප්‍රතිචාරයට එරෙහි මහජන වික්ෂෝපය වර්ධනය වීමත් සමගය. 

වෛරසය ආසාදිතයැයි හඳුනාගත් පුද්ගලයන් ගනන 65 ක් දක්වා ඉහලයාමත්  සමග මුලින් මීගමුව, වත්තල, ජාඇල, පුත්තලම ඇතුලු  ප්‍රදේශ කිහිපයකට පමනක් පනවා තිබූ ඇඳිරිනීතිය රටපුරා ක්‍රියාත්මක වන පරිදි ගිය සිකුරාදා (20) සවස සිට සඳුදා (23) දක්වා පනවනු ලැබිනි. පැය කිහිපයක විරාමයන් සහිතව ඇඳිරිනීතිය දීර්ඝ කෙරෙමින් පවතී. අනුරාධපුර බන්ධනාගාරයේ වෙඩිතැබීම සිදුවූයේ රටපුරා  ක්‍රියාත්මක මෙම ඇඳිරිනීතිය මධ්‍යයේය.

ලංකාවේ බන්ධනාගාර තුල සිරකරුවන්ට එරෙහිව සිදුකෙරෙන අමානුෂික සැලකීමට අමතරව එයට එරෙහිව රැඳවියන්ගේ විරෝධතා දරුනු ලෙස මර්දනය කරන ලද අවස්ථා ගනනාවකි. පොලීසිය හා මිලිටරිය යොදා කිහිප අවස්ථාවකදීම රැඳවියන්ට වෙඩිතබා ඝාතනය කෙරිනි. අල්ලාගත් සැකකරුවන් පලායාමට තැත්කිරීමේදී වෙඩිතැබීමට සිදුවූබව දක්වමින් පුද්ගලයන් ඝාතනයට ලක්කිරීම පිලිබඳ ශ්‍රී ලංකා පොලීසියට ඇත්තේ කුප්‍රකට වාර්තාවකි.

මී⁣ට ආසන්නතම සිද්ධිය වූයේ අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදා රැඳවියන් බැලීමට එන අමුත්තන් නග්න කොට සෝදිසි කිරීමේ ක්‍රියාවට එරෙහිව පැන නැගුන රැඳවියන්ගේ විරෝධතාවයට අමානුෂික ලෙස පහරදීමයි. 

2011 ජනවාරි මස ආහාරවල අයහපත් තත්වයට එරෙහිව උද්ඝෝෂනය කල අනුරාධපුර බන්ධනාගාරයේම රැඳවියන්ට වෙඩිතැබූ ආරක්ෂකයෝ එක් රැඳවියෙකු මරා දැමූ අතර 20 කට පමන තුවාල සිදු කලහ.  2012 දී වැලිකඩ බන්ධනාගාරය තුලට කඩා වැදුනු කැරලි මර්දන පොලීසිය ලැයිස්තු වලට අනුව සිරකරුවන් 27 දෙනෙකු වෙඩිතබා ඝාතනය කලේය.

බන්ධනාගාර තුල ප්‍රකෝපකරනයන් නිර්මානය කර අවශ්‍ය සිරකරුවන් සමූහ වශයෙන්  තෝරා ගෙන ඝාතනය කිරීම ලංකාවේ ධනපති රාජ්‍ය යන්ත්‍රය විශේෂයෙන් ම දෙමල ජනයාට එරෙහි ව දියත් කල සිවිල් යුද්ධ සමයේ දී, වැඩි වර්ධනය කර ගත් මර්දන ක්‍රමෝපායකි. 1983 දී වැලිකඩ බන්ධනාගාරය තුල දී 53 දෙනෙකු ද, 1997 දී කලුතර බන්ධනාගාරයේ දී 3 දෙනෙකු ද, 2000 දී බිඳුනුවැව පුනරුත්ථාපන කඳවුරේ දී 26 දෙනෙකු ද වශයෙන්, දෙමල දේශපාලන සිරකරුවන් සාපරාධී ලෙස ඝාතනය කෙරුනි.

රටේ බන්ධනාගාර සැම එකක් තුලම සිරකරුවන් රඳවා තබා ඇත්තේ රැඳවිය හැකි ප්‍රමානයට වඩා තුන්ගුනයකට වැඩි ප්‍රමානයක් පමන ගාල් කරමිනි. බන්ධනාගාර 22ක් තුල රැඳවිය හැකි ගනන 12,000ක් පමන වුවද රජයේ දත්ත අනුවම ඒවා තුල 25,000කට ආසන්න ප්‍රමානයක් රඳවා තිබේ. මෙම රැඳවුම්ගාල් වල චර්ම රෝග ඇතුලු අනිකුත් බෝවන රෝග බහුල වන අතර කොරෝනා වැනි ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව පවතී. 

සිඅසුක සභාපති පෙරේරා සඳහන් කලේ අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 800 ක් පමන රඳවා තිබෙන නමුත් පහසුකම් ඇත්තේ 250 කට පමනක් බවයි. 

මේ අතර, ගාල්ල බන්ධනාගාරයේ වෛරසය ආසාදිත රැඳවියන් සිව්දෙනෙකු, 22 දා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. කෑගල්ල බන්ධනාගාරයේද ⁣වෛරසයෙන් ආසාදිත වූ පුද්ගලයෙකු රඳවා තැබීම නිසා නොසන්සුන්කාරී තත්වයක් උද්ගත වූ බවට වාර්තා විය. රැඳවියන්ගේ උත්සුකයන්හි සාධාරනභාවය සහ බන්ධනාගාර තුල රෝගය ව්‍යාප්තවීමේ බරපතල කොන්දේසි පවතින බව මෙම සිද්ධීන් මගින් සනාථ වෙයි. 

කොරෝනා වසංගතය බෝවීමේ අවදානම යටතේ තමන් නිදහස් කරන ලෙස ලොව සෙසු රටවලද බන්ධනාගාර තුල උද්ඝෝෂන සිදුවෙමින් පවතී. වසංගතය නිසා දිනකට සියගනනින් පුද්ගල මරන සිදුවන වාතාවරනයක් තුල ඉතාලියේ බන්ධනාගාරයන්හි පැනනැගි කැරලිවලට වෙඩිතබා සිරකරුවන් 13 දෙනෙකු මරා දැමුනි. 

21 වන දා, කොලොම්බියාවේ බොගෝටා බන්ධනාගාරයේ රැඳවියන් සිදුකල විරෝධතාවයට එහි ආරක්ෂකයන් විසින් වෙඩිතබා රැඳවියන් 23 දෙනෙකු මරා දමා 32 කට තුවාල සිදුකර තිබේ.

වසංගතය වැලැක්වීම සඳහා ලොව පුරා ආන්ඩුවල සාපරාධී නොසැලකිලිමත්භාවය මධ්‍යයේ වැ⁣ඩෙන මහජන විරෝධය මර්දනය කිරීම සඳහා පොලීසිය, මිලිටරිය ඇතුලු ආරක්ෂක අංශ හා බුද්ධි අංශ සීරුවෙන් තැබීම ජාත්‍යන්තර ප්‍රපංචයකි. 

ලොවම වෙලාගත හැකි මාරාන්තික වෛරසයක් පිලිබඳව වසර ගනනාවකට පෙර සිටම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුනද, තුන්වන ලෝක යුද්ධයකට සූදානම් වීම සඳහා ද, බැංකු හා මූල්‍ය ආයතන ගලවා ගැනීමටද කටයුතු කල ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් සෞඛ්‍ය ඇතුලු මහජන සුභසාධන කප්පාදු කල ලොව පුරා ධනපති ආන්ඩු දැන් මංමුලාසහගත ලෙස මිලිටරිය මත වාරු වෙමින් සිටී.

මේ වන විට රටතුල වෛරසය ආසාදිතයන් ගනන 86 ක් බවට රජය වාර්තා කර තිබේ.  රෝගය පිලිබඳ පරීක්ෂන වාර්තා සඳහා තවත් 222ක් රෝහල් ගතව සිටිති. රාජපක්ෂ ආන්ඩුව බරපතල නය අර්බුදයක ගිලී පවතින අතර දශක ගනනාවක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් දැවැන්ත කප්පාදුවකට ලක්කල පොදු සෞඛ්‍ය සේවයක සීමිත පහසුකම් යටතේ වෛරසය ආසාදිතයින් ගනන ඉහල යත්ම රෝගය පාලනය කිරීමේ හැකියාව තමන් වෙතින් ගිලිහීයාමේ අවදානමට ආන්ඩුව මුහුනදී සිටී.  

රැඳවියන් මත මුදාහරින මෙම මර්දනය නිසැකවම එල්ලවනු ඇත්තේ ධනපති ආන්ඩුවල බලවත් නොහැකියාවට, නොසැලකිලිමත්භාවයට හා කප්පාදුවට එරෙහිව වර්ධනය වීමට නියමිත කම්කරු පන්තික අරගලවලට එරෙහිවය. කම්කරු පන්තිය මෙම මර්දනයට එරෙහිව තමාගේම බල සංස්ථා ගොඩනගා ගනිමින් දේශපාලන ප්‍රතිප්‍රහාරයකට සූදානම් විය යුතුව ඇත.

Loading