ඉදිරිදර්ශන

සංගත වලට ඇපදීම් එපා! මූල්‍ය සම්පත් ධනේශ්වර ප්‍රභූවට නොව වැඩකරන ජනතාව වෙත යොමු කරනු!

මෙම ලිපිය 2020 මාර්තු 23 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

නව සතිය ආරම්භ වන විට, එක්සත් ජනපදයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව වේගයෙන් ඉහල යමින් පවතී. දැන් වසංගතයේ බාහිර කේන්ද්‍රය වී ඇති නිව්යෝර්ක් නගරය, සෞඛ්‍ය සේවා පද්ධතිය බිඳවැටීම හා මරන සංඛ්‍යාව ඛේදජනක ලෙස ඉහල යාමේ තර්ජනයට ලක්ව ඇත. ආසාදිත පුද්ගලයින් සිටින ස්ථාන හඳුනා ගැනීම සඳහා පුලුල් පරීක්ෂන සිදු නොවීම පිලිබඳ කාරනය සලකන කල, නිව්යෝර්ක්, කැලිෆෝනියා සහ වොෂිංටන් ප්‍රාන්තවල දැන් දිග හැරෙමින් පවතින සමාජ ව්‍යසනය ඉදිරි දින හා සති කිහිපය තුල රට පුරා වේගයෙන් ව්‍යාප්ත වනු ඇති බව නිශ්චිතය.

වසංගතය පැතිර යත්ම එහි ආර්ථික බලපෑම, එක්සත් ජනපද ඉතිහාසයේ පූර්වාදර්ශයක් නොමැති මානයන් ලබා ගනිමින් ඇත. “එක් තැනක රැඳී සිටින්න” සහ  “සමාජ දුරස්ථභාවය ” අනුගමනය කිරීමට මිනිසුන්ට උපදෙස් දී ඇති තතු හමුවේ, ආර්ථිකය වසා දැ‍මෙමින් තිබේ. කුඩා හා මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර, විශේෂයෙන් සිල්ලර හා සේවා අංශ වල ගනුදෙනුකරුවන් නොමැති අතර ඒවා වසා දැමීමට බල කෙරෙයි. සියලු අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන නැවැත්වීමේ අවශ්‍යතාවයෙන් අදහස් වන්නේ, රැකියා විරහිතයින්ගේ සංඛ්‍යාව 1930 ගනන්වල මහා අවපාතයට සමාන හා සමහර විට එය පරයා යන මට්ටම් කරා වේගයෙන් ලඟා වනු ඇති බවයි.

2020 මාර්තු 17 වන අඟහරුවාදා ටෙක්සාස් හි වසන්තයේ දී එච්-ඊ-බී සිල්ලර වෙලඳසැලක් විවෘත කරන තෙක් ජනතාව බලා සිටිති (ඒපී ඡායාරූපය / ඩේවිඩ් ජේ. ෆිලිප්)

කම්කරු පන්තියේ සහ මධ්‍යම පන්තියේ විශාල කොටස්වලට ඔවුන්ගේ ආදායම අහිමිවීමත් සමඟ ආහාර ලබාගැනීමේ හැකියාවට හා ඔවුන්ගේ සතිපතා සහ මාසික වියදම් පියවා ගැනීමේ හැකියාවට තර්ජනය එල්ලවී ඇත. සුලු හෝ කිසිදු ඉතිරියක් නොමැති මිලියන ගනනක් සිටින රටක, වැටුපේ සිට ඊලඟ වැටුප දක්වා ජීවත් වන රටක,  වෛරසය  ආසාදනය නොවූ අයට පවා වසංගතය සමාජ ව්‍යසනයකි.

සියලු කම්කරු පන්තික සහ මධ්‍යම පන්තික පවුල්වල වේතන හා අහිමි වූ වැටුප් සම්පූර්නයෙන් ආවරනය කිරීම සඳහා හදිසි අරමුදල් සැපයීම, වසංගතය කෙරෙහි වන ආර්ථික ප්‍රතිචාරයේ හදිසි හා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවය විය යුතුය. සෞඛ්‍ය අර්බුදයේ කාලසීමාව තුල, උකස් හා කුලී ගෙවීම්, රථවාහන නය, වෛද්‍ය වියදම්, රක්ෂන වාරික සහ උපකාරක සහ ශිෂ්‍ය නය අත්හිටුවිය යුතුය.

ඒ අතරම, කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍යාපාරවලට මූල්‍යමය ආධාර ලැබිය යුතු අතර එමඟින් බංකොලොත් වීම වලක්වා ගැනීමට සහ වෛද්‍ය වාතාවරනය ඉඩ සලසන විගසම ඔවුන්ගේ ව්‍යාපාර නැවත විවෘත කිරීමට හැකි වේ.

අධ්‍යාපන, සංස්කෘතික හා අනෙකුත් සමාජීය වශයෙන් අවශ්‍ය ආයතනවල පැවැත්ම සහතික කිරීම සඳහා ද මුදල් ලබා දිය යුතුය.

කම්කරු පන්තියේ ඕනෑඑපාකම් වලට ද අවශ්‍යතාවන්ට ද ප්‍රමුඛතාවය දෙන මෙම වැඩසටහන, ට්‍රම්ප් පරිපාලනය, කොන්ග්‍රස් නායකයින් සහ ව්‍යාපාර විධායකයන් අතර වැසූ දොරවල් පිටුපස කෙරෙන සාකච්ඡා වලදී සකස් කෙරෙන ඩොලර් ට්‍රිලියන ගනනක “මූල්‍ය උත්තේජනයට ” සම්පූර්නයෙන්ම විරුද්ධ ය .

කම්කරුවන් ආරක්ෂා කරන බවට කරන රැවටිලිකාර හා නරුම කටින් බතල කොල සිටුවීම තිබියදීම වොෂිංටන් සාකච්ඡා වල එකම අරමුන,  සුපිරි ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරීන්ගේ ධනය හා ලාභය ආරක්ෂා කිරීමයි. වෝල් වීදියේ කප්පිත්තන් සහ ව්‍යාපාරික විධායකයින් ඉල්ලා සිටින්නේ, 2008-09 ඇපදීම්වලට ද වඩා විශාල පරිමානයකින්, තමන්ට හිතූ හැටියට පරිහරනය කල හැකි පරිදි අසීමිත මුදල් ප්‍රමානයක් වෙන් කරන ලෙසයි.

වසංගතයට සම්බන්ධ හදිසි ආපදා සහන සඳහා ෆෙඩරල් ආන්ඩුව මේ දක්වා වැය කර ඇත්තේ,ඩොලර් බිලියන 10 කටත් වඩා අඩු මුදලකි. එහෙත් එක්සත් ජනපද භාන්ඩාගාරය මෑත සතිවල දී ඩොලර් බිලියන 600 ක සුරැකුම්පත් මිල දී ගෙන ඇති අතර, එයින් අදහස් වන්නේ සෞඛ්‍ය ආරක්ෂන අර්බුදයට විසඳුම් සෙවීමට වඩා බැංකුවලට මුක්කු ගැසීමට 60 ගුනයකින් වැඩි මුදලක් වැය කර ඇති බවයි.

ප්‍රධාන බැංකු සතු මූල්‍ය වත්කම්වල වටිනාකම් ක්ෂයවීමට හිලව් වශයෙන් දැනටමත් පොරොන්දු වී ඇති ඩොලර් ට්‍රිලියන 2 කට අමතරව  අතිරේක ඩොලර් ට්‍රිලියන 2 ක ඇප පැකේජයක් ගැන කොන්ග්‍රසය විවාද කරමින් සිටී.

එම යෝජනාවේ වැඩිම කොටස සමන්විත වන්නේ, විශේෂයෙන් ගුවන් සේවය සහ වෙනත් කර්මාන්ත ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග ඇතුලුව, වැටුප් ලේඛනවලින්  බදු විරාම, නය වල ස්වරූපයෙන් ව්‍යාපාරයන්ට දෙන විවිධ ගතමනාවන්ගෙනි. වසංගතයට එරෙහිව සටන් කිරීමේ හදිසි පියවරයන් සඳහා ඩොලර් බිලියන 50 කට වඩා අඩු මුදලක් සැපයෙනු ඇත. බෝයිං ගුවන් සමාගම, පනතේ අඩංගු සෑම මහජන සෞඛ්‍ය පියවරකටම වඩා විශාල ඇපදීමක් ඉල්ලා සිටී.

රිපබ්ලිකානුවන් හා ඩිමොක්‍රටිකයින් ඇපදීම පිලිබඳ විස්තර මත කේවලයක යෙදී සිටිය ද, 1) දැවැන්ත මුදල් ප්‍රධාන සමාගම් හරහා මුදා හැරීම; 2) විධායකයින්ගේ සහ විශාල ආයෝජකයින්ගේ ධනය සීමා කිරීමට හෝ ඒවාට තර්ජනයක් වන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම;  3) ධනේශ්වර ලාභ ක්‍රමයේ සහ පෞද්ගලික දේපලවල අවශ්‍යතා පාලනයකින් තොරව හා අභියෝගයට ලක් නොවී පවතිනු ඇති බවට ඔවුහු එකඟවෙති. බැංකු සහ විශාල සමාගම් තවදුරටත් පාලනය කරනවා පමනක් නොවේ.  අර්බුදය තුලින් මෙම ආයතන, ඔවුන්ගේ විධායකයින් සහ විශාල කොටස් හිමියන් වෙන කවරදාටත් වඩා ධනවත් හා බලවත් ලෙස මතුව ආ යුතුය.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඊයේ ප්‍රකාශයට පත් කල කතුවැකියක මෙසේ ප්‍රකාශ කලේය. “ මහා විරැකියාව අවම කිරීමට සහ කලින් සාර්ථකව පැවති සමාගම් ආරක්ෂා කිරීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමය වන්නේ, ආන්ඩුව පෞද්ගලික අංශයට මුදල් පොම්ප කිරීමයි. ”

2008 බිඳවැටීමට ප්‍රතිචාර වශයෙන් මෙය අවසන් වරට සිදු වුන අතර, ප්‍රතිපලය, මූල්‍ය වත්කම් අයිතිකාර  සුපිරි ධනවත් හා වරප්‍රසාදිත හිමිකරුවන්ට එය ප්‍රසාද දීමනාවක් වීමයි. ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් 400 දෙනාගේ ධනය 2009 දී ඩොලර් ට්‍රිලියන 1.27 සිට 2019 දී ඩොලර් ට්‍රිලියන 2.96 දක්වා ඉහල ගියේය.

ඇමසොන් ප්‍රධාන විධායක ජෙෆ් බෙසොස්ගේ වටිනාකම 2009 දී ඩොලර් බිලියන 6.8 ක් වූ අතර 2018 වන විට එය ඩොලර් බිලියන 160 ක් විය. වොරන් බෆට්ගේ වත්කම 2009 දී ඩොලර් බිලියන 37 ක් වූ අතර එය පසුගිය වසරේ ඩොලර් බිලියන 90 ක් දක්වා වැඩි විය. ෆේස්බුක් ප්‍රධාන විධායක මාක් සුකර්බර්ග්ගේ වටිනාකම 2009 දී ඩොලර් බිලියන 2 ක් වූ නමුත් ඔහුගේ ධනය 40 ගුනයකින් වර්ධනය වී 2019 දී ඩොලර් බිලියන 85 ක් විය. ටෙස්ලා හි ප්‍රධාන විධායක නිලධාරි එලොන් මස්ක් සිය ධනය ඊටත් වඩා වේගයෙන් වැඩිකරගත් අතර, එය 2019 මැයි මාසයේදී ඩොලර් බිලියන 20 සිට දෙගුනයකින් ඉහල නැඟ මේ වසර මුලදී ඩොලර් බිලියන 45 ක් විය.

2019 දී එක්සත් ජනපද සමාගම් ඩොලර් බිලියන 798 ක් තමන්ගේම කොටස් ආපසු මිල දී ගැනීම සඳහා වියදම් කල අතර, එය 2008 මූල්‍ය අර්බුදයට පෙර වියදම් කල මුදල ඉක්මවා ගිය ප්‍රමානයකි.

පොහොසත් වීම සඳහා ව්‍යාපාර විධායකයින් යොදා ගන්නා ප්‍රධාන මාධ්‍යයකි, තමන්ගේම කොටස් යලි මිලට ගැනීම. හාවඩ් ව්‍යාපාර සමාලෝචනය පැහැදිලි කල පරිදි:

2009 ජනවාරි සිට 2018 දක්වා කාලය තුල ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කර ඇති,  එස් ඇන්ඩ් පී 500 2019 ජනවාරි දර්ශකයේ සමාගම් 465, එම දශකය තුල, ඩොලර් ට්‍රිලියන 4.3 ක් සිය කොටස් ආපසු මිල දී ගැනීම් සඳහා වැය කර ඇත. එය සමාගම්වල ශුද්ධ ආදායමෙන් සියයට52ට සමාන වන අතර තවත් ඩොලර් ට්‍රිලියන 3.3 ක් ලාභාංශ වශයෙන් ගෙවා ඇත. එය ශුද්ද ආදායමෙන් අතිරේක සියයට 39කි. බදු ගෙවීමෙන් පසු ලාභ වාර්තාගත මට්ටම්වල තිබියදීත්, රිපබ්ලිකානුවන්ගේ බදු කප්පාදුව නිසා 2018 දී පමනක්, එස් ඇන්ඩ් පී 500 සමාගම් විසින් කොටස් යලි මිලදී ගැනීම් ශුද්ධ ආදායමෙන් විශ්මය ජනක සියයට 68 ක් විය.  තවත් සියයට 41 ක් ලාභාංශ සඳහා වෙන්කර ගැනුනි.

එක්සත් ජනපද සමාගම් මෙම දැවැන්ත මිලදී ගැනීම් සිදු කලේ ඇයි? ඔවුන්ගේ දීමනාවන්ගෙන් වැඩි කොටස, කොටස් ගනුදෙනු සහ කොටස් සම්මාන වලින් හිමිවන අතර, ජ්‍යෙෂ්ඨ සංගත විධායකයන් තමන්ගේම වාසියට ඔවුන්ගේ සමාගම්වල කොටස් මිල හැසිරවීමට මැදිහත් වූ අතර, ඒ සඳහා භාවිතා කලේ විවෘත වෙලඳපොල තුලින් යලි මිලට ගැනීමයි. ඒ වන විට එම ව්‍යාපාරයේ නියුතු අනෙකුත් අයට ප්‍රසිද්ධියේ ලැයිස්තුගත කොටස් මිලට ගැනීම සඳහා ඉඩ හැරියේය. නැවත මිලදී ගැනීම් මඟින්, මෙම අවස්ථාවාදී කොටස් අලෙවිකරුවන් වන ආයෝජන බැංකුකරුවන් සහ හෙජ් අරමුදල් කලමනාකරුවන් මෙන්ම ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විධායකයින්, සේවකයින්ගේ  මෙන්ම අව්‍යාජ කොටස් හිමියන්ගේ වියදමින් පොහොසත් වෙයි.

ධනේශ්වර මූල්‍ය භාවිතයන්ගේ අවලස්සන යථාර්ථය සහ ව්‍යාපාරික වත්කම් අමු අමුවේ කොල්ලකෑම, කම්කරු පන්තියේ අවශ්‍යතා ගැන සඳහන් කරන සෑම අවස්ථාවකම “මුදල් නැත!” යනුවෙන් සඳහන් කෙරෙන බොරුව ප්‍රතික්ෂේප කරයි.

ගැටලුව මුදල් නොමැතිකම නොව ධනේශ්වර පන්තිය විසින් සමාජයේ නිෂ්පාදන බලවේග පාලනය කිරීමයි.

සමාජවාදී සමානතා පක්ෂය සංගතවලට ඇපදී බේරාගැනීම තරයේ ප්‍රතික්ෂේප කරයි. ඩොලර් බිලියන දහස් ගනන් වටිනා වත්කම් පාලනය කරන, බැංකු හා ඒකාධිකාරී සංගත, පොදු අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන සංවිධාන බවට පරිවර්තනය කල යුතු යයි අපි කියා සිටිමු. බොහෝ දෙනෙක් විශ්‍රාම ගන්නා විට තමන්ට හිමිවූ මුදල් ඉතුරුම් ලෙස ආයෝජනය කර ඇති, කුඩා හා මධ්‍යම ප්‍රමානයේ කොටස් හිමියන්ගේ ආයෝජන සම්පූර්නයෙන්ම ආරක්ෂා කෙරෙනු ඇත.

පසුගිය දශකය තුල තමන්ගේම වාසිය තකා මෙම සංස්ථා කොල්ලකෑ විධායකයින්ට ඒවා ආපසු ගෙවන ලෙස නීත්‍යානුකූලව බල කල යුතුය.

2008 කඩාවැටීම මෙන්ම මෙම අර්බුදය ද ධනවාදී පුද්ගලවාදයේ මිථ්‍යාව හෙලිදරව් කර තිබේ. දැවැන්ත රාජ්‍ය සහාය නොමැතිව බැංකු හා සංගතවලට නොනැසී පැවතිය නොහැකි බව එය පැහැදිලි කර තිබේ.

මෙම ඉල්ලීම් මතු කිරීමේදී සමාජවාදී සමානතා පක්ෂය, ට්‍රම්ප් පරිපාලනය හෝ ඩිමොක්‍රටිකයින්ගේ නායකත්වයෙන් යුත් පාලනයක් යටතේ, ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරයේ අවශ්‍යතාවන්ට පටහැනිව යන කිසිදු පියවරක් ගනු ඇතැයි මොහොතකටවත් විශ්වාස නොකරයි. සමාජවාදී සමානතා පක්ෂය විසින් දියත් කරන ලද වැඩපිලිවෙල සාක්ෂාත් කරගත හැක්කේ, සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත කම්කරු පන්තිය කාර්මික හා දේශපාලන වශයෙන් බලමුලු ගැන්වීමෙන් පමනි. මෙම වැඩපිලිවෙලේ අවශ්‍යතාවය හඳුනා ගන්නා සියලුම කම්කරුවන් සසපට සම්බන්ධ විය යුතුය.

ගෝලීය වසංගතය, කම්කරු පන්තියේ සැලකිය යුතු කොටස් තුල සමාජවාදී හැඟීම් සහ සටන්කාමීත්වයේ රැල්ලක් ඇති කර තිබේ. පසුගිය සතියේ හටගත් ක්ෂනික වැඩ වර්ජන නිසා මෝටර් රථ කර්මාන්තය වසා දැමීමට බල කෙරුනු අතර රට පුරා කම්කරුවන් අනාරක්ෂිත තත්වයන් යටතේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ලොව පුරා පැනනැඟ ඇති අරගල ද  සමඟ බද්ධව මෙම අරගල,  සමාජවාදී පදනමක් මත අර්බුදයට විසඳුම සපයන වෛෂයික පදනම වන අතර, එහි අදහස, වසංගතයට එරෙහිව සටන් කිරීමට සහ මහජන සෞඛ්‍ය යටිතල පහසුකම් පුලුල් කිරීම තුලින් මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට ඩොලර් ට්‍රිලියන ගනනක් ආයෝජනය කිරීමයි. 

අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීමට ධනපති පන්තිය දරන උත්සාහයට විරුද්ධ නොවන්නේ නම්, එය මිලියන ගනනකගේ ජීවිතවල වන්දිය වනු ඇත. මානව වර්ගයා පැමින ඇත්තේ, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම යන සමාජයේ මූලිකම කාර්යය ධනවාදය සමඟ නොපෑහෙන තැනකට ය. 

 

 

Loading