කොරෝනා වෛරසය මුල්කරගෙන නේපාලය සතියකට අගුලු දමන බව ප්‍රකාශයට පත් කරයි

මෙම ලිපිය 2020 මාර්තු 25 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

සෞඛ්‍ය බලධාරීන් සඳුදා දෙවන කොවිඩ්-19 ආසාදනය  අනාවරනය කිරීමෙන් පසු නේපාල ආන්ඩුව, සතියක කාලයකට රටම අගුලු දමන බව ප්‍රකාශ කලේය. පසුගිය සතියේ පැරීසියේ සිට කටාර් හරහා ආපසු පැමිනි 19 හැවිරිදි සිසුවා මේ වන විට කත්මන්ඩු හි සුක්‍රරාජ් නිවර්තන හා බෝවන රෝග රෝහලේ ප්‍රතිකාර ලබයි. ඇගේ පවුල නිවසේ හුදෙකලා කර ඇත. ජනවාරි මාසයේදී සොයා ගන්නා ලද, චීනයෙන් ආපසු පැමිනි සිසුවෙකු නේපාලයේ පලමු කොරෝනා වෛරස් ආසාදිතයා විය. 

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ඊයේ ආරම්භ වූ මෙම අගුලු දැමීම “නිවසේ රැඳී සිටීමේ දැඩි නියෝගයක්” සහ ඇඳිරි නීතිය වන බවයි. සියලුම රජයේ කාර්යාල, ව්‍යාපාර සහ සාප්පු, ජාත්‍යන්තර හා දේශීය ගුවන් ගමන් සහ පොදු ප්‍රවාහන කටයුතු වසා දමා ඇත. අමාරුම තත්වයන්ට මුහුන දෙන්නේ දෛනික වැටුප් උපයන්නන් ය. බොහෝ දෙනෙක් කම්කරුවන් වන මිලියන 1.5 ක ජනතාවක් මේ වන විටත් අගනුවර වන කත්මන්ඩු නුවර සිට ග්‍රාමීය දිස්ත්‍රික්කවල සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.

කිලෝමීටර් 1,800 ක ඉන්දියානු දේශ සීමාව,නේපාල ආන්ඩුව දැන් මුද්‍රා තබා ඇත. ගොඩබිමෙන් කොටු වූ නේපාලයේ ප්‍රධාන පිවිසුම් ස්ථාන ඉන්දියාව තුලින් වැටී ඇති අතර මෑතකදී චීනය දෙසට ද සංක්‍රමන ස්ථාන ආරම්භ කෙරුනි. සතියකට පෙර, දේශ සීමාව හරහා ගමන් කිරීම අර්ධ වශයෙන් සීමා කරන ලදී. මීට පෙර ඉන්දියානු දේශසීමා හරස් මාර්ගවල නවතා ගෙන සිටි සිය ගනනක් නේපාල ජාතිකයින්ට ඇඳිරි නීතිය පැනවීමට දිනකට පෙර උන පරික්ෂාවකින් පසු ආපසු සිය රට බලා යාමට අවසර දෙන ලදී.

වෛරසය සම්බන්ධයෙන් ප්‍රමානවත් පූර්වාරක්ෂක පියවර ගැනීමට හෝ සෞඛ්‍ය සේවකයින්ට පුද්ගලික ආරක්ෂක උපකරන, එනම්, මුහුනු ආවරන සහ තොප්පි හෝ පුහුනුව ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ෂර්මා ඔලි සහ ඔහුගේ ඊනියා වාමාංශික සන්ධාන ආන්ඩුව ජාතික මාධ්‍ය විසින් හෙලා දකිනු ලැබින.

රට තුල ආසාදිත පුද්ගලයින් සිටින බවට බොහෝ මහජන සෞඛ්‍ය විශේෂඥයින් “ඒත්තු ගෙන” ඇති බවත් “මෙම සතිය වන තුරු වැලැක්වීමේ පියවරයන් ගැනීම හෝ රෝග විනිශ්චය පරීක්ෂන ඇති තරම් කර නොමැති” බවත් සඳුදා, නේපාල ටයිම්ස් පුවත්පත වාර්තා කලේ ය. 

කොවිඩ්-19 රෝගය වැලඳී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු සුක්‍රරාජ් නිවර්තන හා බෝවන රෝග රෝහලට ගිය විට සෞඛ්‍ය සේවකයින් භීතියට පත්ව කඳුලු සැලූ බව කත්මන්ඩු පෝස්ට් පුවත්පත මාර්තු 20 දා සටහන් කලේය. දින කිහිපයකට පසු, ත්‍රිබුවන් විශ්ව විද්‍යාලයේ(ටීයූ) ශික්ෂන රෝහලේ වෛද්‍යවරු සහ හෙදියෝ, නිසි රැකවරනයක් ලබා නොදුනහොත් රැකියාවට යාම නවත්වන බවට තර්ජනය කලහ.

ලලිත්පූර්හි සුමේරු රෝහලේ හෙදියන් සහ වෛද්‍යවරුන් ඇතුලු කම්කරුවන් 20 කට වැඩි පිරිසක් සෙනසුරාදා නිවාඩු සඳහා ඉල්ලුම් කලහ. “නිවාඩු සඳහා ඉල්ලුම් කරන කාර්ය මන්ඬලයේ සංඛ්‍යාව දවසින් දවස ඉහල යමින් පවතිනවා” යැයි රෝහලේ සභාපති හේම්රාජ් දහාල් පෝස්ට් පුවත්පතට පැවසීය. “හේතුව අනුමාන කිරීම අපහසු නැත. කොරෝනා වෛරසය පැතිර යා හැකි යැයි සෞඛ්‍ය සේවකයින් බිය වී ඇත. ”

බසුන්දරා හි ග්‍රීන් සිටි රෝහලේ හෙදියන්, විද්‍යාගාර තාක්ෂ‍න ශිල්පීන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් ද පසුගිය සතියේ නිවාඩු සඳහා ඉල්ලුම් කලහ. “රෝහලේදී භාවිතා කිරීම සඳහා අපිම  මුහුනු ආවරන මසා ගනිමින් සිටිමු” යයි කලමනාකරු මනීෂ් ඩවාඩි පුවත්පතට පැවසීය.

ටීයූ ශික්ෂන රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රධානී වෛද්‍ය සුභාෂ් ප්‍රසාද් ආචාර්යා මෙසේ පැවසීය:“ආරක්ෂිත පුහුනුවක් හා උපකරන ලබා නොදී ආසාදිත රොගීන්ට ප්‍රතිකාර කරන ලෙස එවැන්නන්ට බල කිරීම විනාශකාරී වනු ඇත.”

රජයේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන්, කොරෝනා වෛරසයේ අනතුරු සහ ඔවුන්ගේම අකාර්යක්ෂමතාව අවතක්සේරු කිරීමට උත්සාහ කරයි.

කොවිඩි-19 නිසා මේ වන විට පුද්ගලයින් 17,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර ගෝලීය වශයෙන් 400,000 කට වඩා ආසාදනය වී ඇති නමුත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර ප්‍රසාද් ශ්‍රෙෂ්තා කියා සිටියේ, විශේෂ පුහුනුවක් අවශ්‍ය නොවන බවයි. “නව රෝග ඇති වූ සෑම අවස්ථාවකම සියලු සෞඛ්‍ය සේවකයින්ට නව දැනුම ලබා දිය නොහැකි ය” යනුවෙන් ප්‍රකාශ කල ඔහු එය අවශ්‍ය වන්නේ “දැඩි ප්‍රතිකාර සඳහා සම්බන්ධ වූවන්ට” පමනක්  යයි කියා සිටියේ ය

ජාතික මහජන සෞඛ්‍ය විද්‍යාගාරය දැනට නේපාලයේ කොරෝනා වෛරසය පරීක්‍ෂා කල හැකි  පහසුකම් ඇති එකම ස්ථානයයි. රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය රූනා ජහා මාධ්‍ය වෙත පැවසුවේ, සතියකට කොරෝනා වෛරස් රෝගීන් 500 ක් පරීක්ෂා කිරීමට පමනක් උපකරන එය සතුව ඇති බවයි. ප්‍රමානවත් මානව සම්පත්, නිසි යටිතල පහසුකම් සහ රසායනික ප්‍රතික්‍රියාකාරක ලබා දෙන්නේ නම් මෙය රෝගීන් 3,000 ක් දක්වා වැඩි කල හැකි බව ඔහු පැවසී

රසායනාගාරයේ ප්‍රධාන වෛද්‍ය තාක්‍ෂනිකඥයා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද පරීක්ෂන කට්ටල 1,000 ක් පමනක් භාවිතා කරන බව පිලිගත්තේ ය. බලධාරීන් තවත් කට්ටල 5,000 ක් ඉල්ලා සිටියද ඒ්වා ලැබී නැත.

ආසාදිතයින්ට නිසි සෞඛ්‍ය සේවාවක් සැපයීම තබා වෙනත් ස්ථානවල පරීක්ෂන පැවැත්වීමේ කිසිදු සැලසුමක් හෝ නේපාල ආන්ඩුවට නොමැත.

හිමාලයන් ටයිම්ස් සඳහන් කලේ, “දකුනු කොරියාවේ අත්දැකීම් අනුව වෛරසය පැතිරීම පාලනය කිරීම අමාරු ව්‍යායාමයක් බව පෙන්නුම් කල තතු තුල ආන්ඩුව මෙම උදාසීන ආකල්පය ගෙන ඇත.”

මෙම මාරාන්තික කොරෝනා වෛරස් රෝගයට ක්ෂනික ප්‍රතිචාරයක් ලෙස නිරෝධායනය සහ ප්‍රතිකාර කිරීම සඳහා කැස්ස, උන සහ වෙනත් රෝග ලක්ෂන වාර්තා කරන අය ක්ෂනිකව පරීක්ෂනයට භාජනය කල යුතු වුවත්, නේපාලයේ ඇති සොච්චම් සම්පත් නිසා ඔවුන් ආපසු හරවනු ලැබේ. වෛද්‍ය සුන්දර් මනි ඩික්සිත් මාර්තු 17 දා මාධ්‍යයට පැවසුවේ, තමා සුක්‍රරාජ් නිවර්තන හා බෝවන රෝග රෝහලට යොමු කල රෝගීන් තිදෙනෙකු පරීක්ෂාවට ලක් නොකල බවයි. ඔහුගේ රෝගීන් විදේශයන්හි සිට මෑතකදී ආපසු පැමිනි අයයි. 

කෙසේ වෙතත්, ආන්ඩුවේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ, වෛද්‍ය වෘත්තිකයන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යය හා ආරක්ෂාව නොව, අගුලු දැමීම මඟින් මිලියන එක හමාරක් සේවයේ නියුතු හා ආන්ඩුවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආදායමක් ලබා දෙන සංචාරක ව්‍යාපාරයට වන බලපෑම ගැනයි. සංචාරක කර්මාන්තයේ ලක්ෂ ගනනකට රැකියා අහිමිවන අතර ආන්ඩුව මෙම කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල් වලට සහන සලසන කිසිදු සහන වැඩසටහනක් ප්‍රකාශයට පත් කර නොමැත.

ආසියාවේ දුප්පත්ම රටවලින් එකක් වන නේපාලයේ වයස අවුරුදු පහ දක්වා ලමුන්ගෙන් සියයට 50 ක් පමන මන්දපෝෂනයෙන් පෙලේ. මිලියන 29 ක් වන එහි ජනගහනයෙන් හතරෙන් එකක් දිනකට රුපියල් 35 ට (ඩොලර් 0.29) අඩු ආදායමක් ලබන අතර රටේ සිදුවන මරන වලින් සියයට 66 ක් බෝ නොවන රෝගවල ප්‍රතිපල ලෙස සිදු ව

පෙනහලු රෝග වලින් සිදුවන ලෝකයේ දෙවන නරකම මරන අනුපාතය නේපාලයට ඇති අතර සෑම වසරකම ඉන් 100,000 කට 101 ක් මිය යන අතර ක්ෂය රෝගයෙන් 70,000 ක් පමන ආසාදනය වී ඇත.

කොවිඩ්-19 සඳහා නේපාල ආන්ඩුව දක්වන සාපරාධී හා මුලුමනින්ම නොතකා හැරීමේ ප්‍රතිචාරය මෙම  බෝවන රෝගයෙන් දස දහස් ගනනක් මිය යන බව සහතික කරයි.

Loading