වසංගතය මැඩලීමේ ක්‍රියාදාමයට සමගාමීව ජීවන තත්වයන් සුරක්ෂිත කිරීමේ වැඩපිලිවෙලක් නොමැතිකමින් කම්කරුවෝ ඉමහත් දුෂ්කරතාවයන්ට මුහුන දෙති

කොරෝනා වසංගත ව්‍යාප්තිය සීමා කිරීමේ පියවර යටතේ කම්හල්  සහ වැඩපලවල්  වසා දැමීම නිසා ලෝක පරිමානව මෙන් ම, ශ්‍රී ලංකාවේ ද ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ  දිගුකාලීනව හෝ තාවකාලිකව රැකියා අහිමිවීමේ සහ ජීවන තත්වයන් කඩා වැටීමේ තර්ජනයට මුහුන දී සිටිති. 

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2018 තුන්වන කාර්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ රැකියා නියුක්ත රාජ්‍ය හා  පුද්ගලික අංශයේ සමස්ත ශ්‍රම බලකාය පිලිවෙලින් මිලියන 1.06 හා 3.48 කි .පුද්ගලික අංශයේ ශ්‍රම බලකායෙන් බහුතරයක් අවිධිමත් අංශයේ සහ අනියම් පදනමේ කම්කරුවන් වන අතර රාජ්‍ය අංශයේ ද අනියම් සහ කොන්ත්‍රාත් පදනමේ කම්කරුවෝ දසදහස් ගනනක් වෙති. අර්බුදයට මුහුන දී ඇති කම්හල් සහ වැඩපලවලින් ඍජුව හෝ වක්‍රව යැපෙන පවුල් ලක්ෂ ගනනකි.

කොරෝනා වසංගතය පැතිරීම වැලැක්වීම පිනිස අත්‍යවශ්‍ය සේවා සම්පාදනය නොකරන කම්හල් සහ වැඩපලවල් වසා දැමීම අවශ්‍ය නමුත් කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල දිවි පැවැත්ම සුරක්ෂිත කල යුතුය. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව කවර හෝ නිශ්චිත පියවරක් ගෙන නොමැත. එහෙත් ආන්ඩුව ධනපතියන්ට අඩු පොලී නය හා  පැරනි නය ගෙවීම සඳහා දිගුකාලීන සහන ඇතුලු පහසුකම් සපයා ඇත. 

දැනටමත් තමන් මුහුන දී සිටින දුෂ්කර තත්වය සම්බන්ධව විවිධ ක්ෂේත්‍රයන් හි කම්කරුවන් කිහිප දෙනෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට විස්තර කලේ ය. 

අම්බලන්ගොඩ වතුගෙදර සීනිගොඩ පදිංචි ඩබ්ලිව්. ඒ. ප්‍රසන්න කුමාර,   පපඩම්, නූඩ්ල්ස් සහ කුලු බඩු නිෂ්පාදන සමාගමක් වන බවානි සමාගමේ සේවය කරයි. ඔහු තිදරු පියෙකි. කොරෝනා වසංගතය නිසා කම්හල වසා දැමීමෙන් එම කම්කරුවන්ගේ රැකියා තාවකාලිකව අහිමි වී ඇත.

”දවසේ පඩිය රුපියල් 1100 යි. නිවාඩු ගත්තොත් පඩි කැපෙනවා.  දවස් 25 ම වැඩ කලොත් අර්ථසාධක ආදියට කැපිලා රුපියල් 25,000 විතර ලැබෙනවා. ගෙදර වියදමටයි ලමයින්ගේ අධ්‍යාපන කටයුතු වලටයි ඒක මදි. වැඩපල වහපු නිසා ඒකත් නැති වුනා” යැයි කුමාර පැවසීය.

ඉඩ ලද අවස්ථාවන්හි ඔහුගේ බිරිඳ කුලී වැඩවලට ගොස් දිනකට රුපියල් 500 ක් විතර උපයාගත් බවත් ඇඳිරි නීතිය නිසා එයද ඇහිරී ඇති බව ඔහු කීවේය.

”නයට සල්ලි අරගෙන තමයි ජීවිතේ ගැට ගහ ගන්නේ. වැඩපල වහපු  දවසෙත් කෑමට අවශ්‍ය බඩු  ටික ගන්න  රුපියල් 10,000 ක් සියයට දහයේ පොලියට ගත්ත. එක නයක්  ගෙවන්න තව නයක්  ගන්නවා.” 

ක්ෂුද්‍ර නයදෙන ආයතනයන්ට රුපියල් ලක්ෂයක් නය වී ඇති ඔහුට ඒ වෙනුවෙන් මසකට රුපියල් 4500 ක් බැගින් මාස 18 ක වාරික ගෙවීමට සිදුවී ඇත. 

කුමාර වසර තුනක සිට හෘද රෝගයෙන් පෙලෙන්නෙකි. අවශ්‍ය සියලු ඖෂධ රෝහල්වල නොමැති නිසා සමහර ඖෂධ පිටතින් ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කලේ ය. “අයිවබ්‍රඩින් (ivabradine) පෙත්තක් රුපියල් 40 ක් වෙනව. සල්ලි නැති නිසා ඒක කවදාවත් ගන්නේ නැහැ. හම්බකර ගන්න මුදල එදිනෙදා වියදම් වෙනව. ඉතිරිකර ගත්තු සතයක්වත් නැහැ. අපි කවදාවත් දේශපාලන පක්ෂයකට වැඩ කරල නැහැ. ඒත් මේ පාර ගෝඨාභයට චන්දෙ දුන්නා සෙතක් වෙයි කියල. නමුත්.අපිට කවදාවත් ගොඩ  ඒමක් නැහැ” යි ඔහු පැවසුවේය.   

“මෙම තත්වය දිග්ගැස්සුනොත් අපිට මැරෙන්න තමයි වෙන්නේ” යයි ඔහුගේ බිරිඳ පැවසුවාය.

ඉතාලි ජාතිකයෙකුට අයත් කැල්සෙඩෝනියා සමුහ ව්‍යාපාරයට අයත් බෙන්ජි, ඇල්ෆා, ඔමේගා, සිරියෝ සහ වව්නියා ඇපරල් යන කම්හල් පහ ද වසා දමා ඇත. අපනයනය සඳහා කාන්තා ඇඳුම් නිපදවන මෙම කම්හල් පහේ 15,000 කට ආසන්න කම්කරුවෝ සේවය කලහ. කොරෝනා වසංගතය අවසන් වුවහොත් ඒවා යලි විවෘත කරනු ඇතැයි  කම්කරුවෝ විස්වාශ කරති. කෙසේ නමුත් එය තීරනය වන්නේ  අපනයන ඉල්ලුම හා ලෝක වෙලඳපොලේ තරඟකාරිත්වය ඇතුළු සංකීර්න සාධක මතය.  

දන්කොටුවේ පිහිටි ඕමේගා ඇඟලුම් කම්හලේ කම්කරු  කාන්තාවක් මෙසේ පැවසුවාය: “මගේ  මූලික වැටුප රුපියල් 23,500 යි. අතිකාල සමග 30,000 ක් විතර ගන්න  පුලුවන්. පැමිනීමේ දීමනාව 4200.යි. එක් නිවාඩුකට රුපියල් 500ක් කපනවා. හදිසි අවස්ථාවක දී දුරකතනයෙන් දැනූම් දීල නිවාඩුවක්  ගත්තොත් රුපියල් 1500 ක් කපනවා. අවුරුදු දෙකකට කලින් ෆැක්ටරිය ගිනිගත් වෙලාවේ මාස දෙකක් පඩි ගෙව්වා. මේ පාරත් දෙයි කියලා අපි විශ්වාස කරනවා. තත්වය තවත් දරුනු වෙයි කියල හිතෙනවා. එහෙම වුනොත් මොනවා වෙයි ද කියල හිතා ගන්න බැහැ”.

කොරෝනා වසංගතය නිසා අපනයන මාලු සඳහා ඉල්ලුම පහත වැටීමත්, රටතුල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් නිසා ධීවර කර්මාන්තය ද බරපතල අර්බුදයකට මුහුන  දී ඇත විශේෂයෙන් ම සාමාන්‍ය ධීවරයෝ  සහ බහුදින යාත්‍රාවල සේවය කරන ධීවර කම්කරුවෝ ඉන් පීඩාවට පත්ව  සිටිති.  

හලාවත තොඩුවාවේ බහුදින යාත්‍රා ධීවර කම්කරුවෙක් මෙසේ පැවසූවේය. “මාස එකහමාරක් මුහුදෙ ඉඳලා  පෙබරවාරි 18 දා වරායට පැමිනෙන විට මාලු කිලෝවක් රුපියල් 280 ක් දක්වා අඩු වී තිබුනා.  බෝට්ටු මුදලාලිගෙන් ලැබුනේ රුපියල් 14,000 යි. දැන්  මාසයක් තිස්සේ කිසිම වැඩක් නැහැ. මුදලාලි නයට කියක්වත් දෙන්නත් බැහැ  කිව්වා.  ගෙදර කෑමට බඩු  ගත්තේ ඥාතියෙක්ගේ රත්රන් බඩු උගස් කරලා. ඒ සල්ලිවලින් මෝටර් බයික් එකේ වාරික ගෙව්වා. දුවගේ හෙද පාඨමාලාවට සල්ලි දුන්නා. දැන් සතයක්වත් නැහැ. මූදු රස්සා කරනවා කියලා මට සමෘධියත්  නැහැ.” 

පොල් කැඩීම හා වෙනත් එදිනෙදා කූලී වැඩ කොට ජීවිකාව ගෙන යන හලාවත මහවැව ප්‍රදේශයේ කම්කරුවෙක් ප්‍රකාශ කලේ පසුගිය සති දෙකක පමන කාලයක් කිසිම කුලී වැඩක් නො ලැබුන බවයි. ඔහුගේ මාසික  ගෙවල් කුලිය රුපියල් 3500 කි. “කරන්න කිසිම දෙයක් නැහැ. ගෙදර උයන්න දෙයකුත් නැහැ. ඒ නිසා දැන් මම ගගේ බිලී බාන්න යන්න ඉන්නේ. දුවයි, පුතයි, බිරිඳයි යැපෙන්නේ මම උපාය ගන්න මුදලකින්. බිරිඳ අසනීපෙන් ඉන්නේ. ඇඳිරි නීතිය නිසා සායනයට යන්න පුලුවන් වෙයි ද දන්නේ නැහැ. සමෘධියෙන් අපි කලින් නය අරන් තියෙන නිසා දැන් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. තව හාල් කිලෝ එකහමාරක් විතර ගෙදර තියෙනවා. මෙහෙම ගියොත් අපිට මොනව වෙයි ද කියලා හිතා ගන්න බැහැ” යයි ඔහු ප්‍රකාශ කලේය. 

රාජ්‍ය හා අර්ධ-රාජ්‍ය ආයතනවල කම්කරුවන් ගේ මාසික වැටුප මාර්තු 23 දා ගෙවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම ආයතනවලට නියෝග කල බව මාධ්‍ය විසින් වාර්තා කල නමුත් දෛනික වැටුපට සේවය කල අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන් සම්බන්ධයෙන් කවර පියවරක් ගන්නේ දැයි සඳහනක්  නැත.  එමෙන් ම, ස්ථීර කම්කරුවන්ගේ ද අතිකාල ඇතුළු අතිරේක ගෙවීම් නොලැබීම මගින් ඔවුන්ගේ මාසික ආදායම හරි අඩකින් හෝ ඊටත්  වැඩි ප්‍රමානයකින් කප්පාදු කෙරෙනු ඇත. 

පුද්ගලික අංශයේ කම්කරුවන් මුහුන දෙනු ඇත්තේ වඩා නරක තත්වයකට ය. පුද්ගලික විධිමත් අංශයේ කම්කරුවන්ට වැටුප් ගෙවීම සඳහා හාම්පුතුන් ආන්ඩුවෙන් පහසු අඩු පොලී නය ඉල්ලා ඇතත් යැපීමට ප්‍රමානවත් මුදලක් කම්කරුවන් අතට ලැබීම ගැන සහතිකයක් නැත. හෝටල්, කඩ සාප්පු, ගොඩනැගිලි හා මහාමාර්ග තැනීම ඇතුලු  අවිධිමත් අංශවල සේවය කල  කම්කරුවන්ට කිසිදු ගෙවීමක් නොලැබෙනු ඇත.  

සහන සැපයීම වෙනුවට දැනට භුක්ති විඳින අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල ඇතුලු  සමාජ අයිතීන් පවා  කප්පාදු කිරීමට ද කම්හල් වසා තබන කාලයේ නිෂ්පාදනය පහත වැටීම පියවා ගැනීම පිනිස ශ්‍රම සූරාකෑම තීව්‍ර කිරීමේ කොටසක් ලෙස මාසික අතිකාල  පැය ගනන 60 සිට 80 හෝ 90 දක්වා ඉහල දැමීමට ද අවසර දෙන ලෙස වානිජ සහ කර්මාන්තකරුවන්ගේ ඒකාබද්ධ මන්ඩලය ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා ඇත. හාම්පුතුන්ගේ මෙම ඉල්ලීම් වලට ආන්ඩුව දැනටමත් අවසර දී තිබේ.  

බෙහෙවින් ම අන්තරාදායක කාරනය වන්නේ රැකියා අහිමිවීමේ තර්ජනයයි. කොරෝනා වසංගතය නිසා මෙම වසරේ දෙවන  කාර්තුව තුල ඇඟලුම්, තේ, රබර්, පොල් ඇතුලු ප්‍රධාන අපනයනයන් සියයට 25 කින් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා අපනයන මන්ඩලය අනතුරු අඟවා තිබේ. එහි තේරුම  වන්නේ කම්කරුවන්ගේ රැකියා හා ජීවන තත්වයන්ට බරපතල ප්‍රහාර එල්ලවීමට නියමිත බවය.

ධනපතියන් උත්සුක වන්නේ ලාබය ගැන මිස කම්කරුවන්ගේ රැකියා සහ ජීවන තත්වයන් ගැන නොවේ. ධනපති රාජ්‍යය යනු එය සාක්ෂාත් කෙරෙන දේශපාලන උපකරනයයි. කම්කරුවන්ට කොරෝනා වසංගතයෙන් අත්මිදිය හැක්කේත් රැකියා ඇතුලු තම අයිතීන් රැක ගත හැක්කේත් ධනපති ලාබ පද්ධතිය සහ එහි  ආරක්ෂකයන් වන ධනපති රාජ්‍යයන් පෙරලා දමා විද්‍යාත්මක හා සමාජවාදී පදනමක් මත ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කිරීම තුලින් පමනි.

Loading