ඉදිරිදර්ශන

ධනවාදී විදේශික භීතිකාව ප්‍රතික්ෂේප කරනු! කොරෝනා වෛරස් වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර සමාජවාදී සහයෝගීතාව සඳහා!

මෙම ලිපිය 2020 මාර්තු 19 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

සිය මුග්ධත්වය, සමාජ-ව්‍යාධිමය දුෂ්ටත්වය සහ ෆැසිස්ට් ස්වෝත්තමවාදය තවත් ප්‍රදර්ශනය කරමින්, වසංගතයට තමන්ගේ ආන්ඩුවේ ප්‍රමාද සහ අකාර්යක්ෂම ප්‍රතිචාරය දැක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මිලියන ගනනක් ජීවිත අවදානමට ලක් කර ඇති අතර, කෝවිඩ්-19 “චීන වෛරසය” ලෙස ප්‍රසිද්ධියේ ලේබල් කර ඇත.

ට්‍රම්ප්ගේ වචන [නැගෙනහිර ආසියානුවන් බටහිර රටවලට තර්ජනයක්ය යන අරුත සහිත] “කහවන් අනතුර” පිලිබඳව පැරනි ජාතිවාදී අධිරාජ්‍යවාදී යෙදුම සිහිපත් කරමින් ආසියානු ඇමරිකානුවන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය උසිගැන්වනවා පමනක් නොව, ඔහුගේ වචන කොරෝනා වෛරසය  පිලිබඳව විද්‍යාත්මක සහ කරුනු මත පදනම්වූ වැටහීමක් ජනගහනය තුල වර්ධනය කිරීම ද රෝගය පැතිරීම නැවැත්වීමට ගතයුතු පියවර පිලිබඳව විවේචනාත්මක ප්‍රයත්නයන් ද වලක්වනු ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝසෞසං) ප්‍රකාශක වෛද්‍ය මයික් රයන් පැවසුවේ “මෙහි කිසිවෙකුට චෝදනාවක් නැත, මෙය සහයෝගීතාවය සඳහා කාලයකි, මෙය කරුනු සඳහා කාලයකි, මෙය එකට ඒකාබද්ධව ඉදිරියට යා යුතු කාලයකි." යනුවෙනි.

නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කල පරිදි සිය ජාතිකවාදී අවධානය අවධාරනය කරමින් “ඕනෑම එන්නතක් පලමුව සහ සමහර විට එක්සත් ජනපදයේ පමනක්ම තිබිය යුතුය” යන අපේක්ෂාව මතු කල ට්‍රම්ප් ආන්ඩුව කොරෝනා වෛරස් එන්නතක් නිපදවමින් සිටින ජර්මනියේ ජෛව තාක්ෂනික සමාගමකින්න් ඉල්ලා ඇත්තේ එය එක්සත් ජනපදයේ ස්ථානයක පිහිටුවන ලෙසයි. 

ජාතිකවාදය සඳහා කෙරෙන ඉල්ලීම්, රෝගයට එරෙහි සටනට බාධාවක් ලෙස සේවය කරන අතරතුර සටන ව්‍යාකූල කරමින් අවතක්සේරු කරයි. ට්‍රම්ප්ගේ ප්‍රකාශය වනාහි වසංගතයට එරෙහි සටනට ව්‍යාජ හා ව්‍යාකූල ජාතිකවාදී න්‍යාය පත්‍රයක් ලබා දීමට දරන උත්සාහයේ අතිශය විකාරසහගත ප්‍රකාශනයක් පමනි. වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා අවශ්‍ය පියවරයන් ආවරන ලෙස යොදා ගනිමින් ආන්ඩු ජාතිකවාදය සහ දේශපාලන ප්‍රතිගාමිත්වයන් ප්‍රවර්ධනය කිරීමට වෑයම් කරයි.

2020 මාර්තු 8 වන ඉරිදා ඉරානයේ ටෙහෙරානයේ රෝහලක නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා වෙන් කරන ලද වාට්ටුවක හෙදියන් ඇඟිලි තුඩු වලින් හදවතේ සලකුනක් සාදයි. (AP ඡායාරූප/මොහොමඩ් ගඩාමලී)

ගෝලීය වසංගතය ජාතික දේශසීමා වලට තැකීමක්වත් නොදක්වයි. කොරෝනා වෛරසය ජනවාර්ගික, ජාතිකත්ව හෝ ලිංග භේද අතර වෙනස හඳුනා නොගනී.

නගර වර්ධනය වන විට සහ ගෝලීය ජනගහනය එකිනෙකට සම්බන්ධ වී ඇති හෙයින් ගෝලීය වසංගතයේ තර්ජනය පිලිබඳව විද්‍යාඥයන් වසර ගනනාවක් තිස්සේ අනතුරු අඟවා තිබේ. 2018 දී ලෝක සෞඛ්‍ය සංවිධානය නාඳුනන “X රෝගය” ගැන අනතුරු ඇඟවූයේ එය “සතුන්ගෙන් හටගන්නා වෛරසයක ප්‍රතිඵලයක් වන අතර එය ආර්ථික සංවර්ධනය විසින් මිනිසුන් සහ වන ජීවීන් වඩා සමීප කිරීමට පෙලඹීම් ‌කෙරෙන පෘථිවියේ කොතැනක හෝ මතු වනු ඇතැයි” යනුවෙනි. ව්‍යාධිවේද විද්‍යාඥ පීටර් ඩස්සාක් එය සිහිපත් කලේය.

“මිනිස් සංචාරක හා වෙලඳ ජාලයන් සූරාකමින්, එය රටවල් කිහිපයකට ලඟා වී පාලනය කිරීම වලක්වනු ඇත. සෘතුමය උනකට වඩා මරන අනුපාතය ඉහල අගයක් X රෝගය ගන්නා නමුත් උන මෙන්ම පහසුවෙන් පැතිරෙනු ඇත. එය වසංගත තත්ත්වයට පත්වීමට පෙර සිටම මූල්‍ය වෙලඳපොලවල් සොලවනු ඇත. ”

බටහිර යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය පුරා, ආන්ඩු ප්‍රමානවත් පරීක්ෂන සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට පැහැදිලිව හෝ ගම්‍ය ලෙස එක්සත් රාජධානියේ ආන්ඩුවේ ස්ථාවරය ක්‍රියාවේ දමයි. මෙම ස්ථාවරය නම්  තමන්ගේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට ආසාදනය වීම “යෝග්‍ය” වනු ඇත යන්නයි. මෙය මිලියන සංඛ්‍යාත ජනතාවකට මරන දඬුවමකි.

එක්සත් ජනපදය හා බටහිර යුරෝපය වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වඩාත්ම ඵලදායී ක්‍රමය වන ප්‍රමානවත් පරීක්ෂන සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අපොහොසත් වී ඇතත්, ඔවුන් මිලියන සංඛ්‍යාත ජනතාවක් කොටු කර වසා දමා කුරිරු ගමන් සීමාවන් පනවා ඇත.

මාර්තු 17 වන දින යුරෝපා සංගමය සිය බාහිර දේශසීමා වසා දැමූ අතර, එකින් එක එහි සාමාජික රටවල් තමන්ගේ දේශසීමා මුද්‍රා තබා ඇත. බදාදා එක්සත් ජනපදය හා කැනඩාව තම දේශ සීමාව වසා දමන බව පැවසූ අතර එක්සත් ජනපදය නිවේදනය කලේ සියලුම සංක්‍රමනිකයන් සහ සරනාගතයින් රට තුලට ඇතුලු වීම වලක්වන බවයි.

ලෝසෞසං මෙම ප්‍රමුඛතා පුන පුනා වාචිකව විවේචනය කර තිබේ. නිරෝධායන සහ ගමන් සීමාවන් අවශ්‍ය වුවද ඒවා ප්‍රමානවත් නොවේ. වසංගතය පාලනය කිරීමට ඇති එකම ක්‍රමය රෝගය පරීක්ෂා කිරීම, අනතුරට ලක්වූවන් සොයා ගැනීම සහ රෝගී අයව රැකබලා ගැනීම සඳහා වෙන් කර ඇති සම්පත් පුලුල් කිරීම බව ලෝසෞසං නැවත නැවතත් පැහැදිලි කර තිබේ.

ලෝසෞසං යේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අදානොම් ගෙබ්‍රෙයෙසස් ප්‍රකාශ කල පරිදි, “පාසල් වැසීම, සිදුවීම් සහ වෙනත් රැස්වීම් අවලංගු කිරීම වැනි සමාජ දුරස්ථ කිරීම් පියවරයන්හි වේගවත් වර්ධනයක් අපි දැක ඇත්තෙමු. කෝවිඩ්-19 පිලිබඳ ප්‍රතිචාරයේ කොඳු නාරටිය වන පරීක්ෂන, හුදකලා කිරීම් සහ සම්බන්ධතා සොයාගැනීම්වල ප්‍රමානවත් තරම් වැඩි වීමක් අප දැක නැත.”

වෛද්‍ය මයිකල් රයන් තවදුරටත් කියා සිටියේ, “වෛරසය වැලැක්වීමේ මාර්ගයක් ලෙස සංචාරක පියවරයන් මත විශ්වාසය තබන රටවල් සාර්ථක නොවනු ඇත.” යනුවෙනි.

රෝග විනිශ්චය කරනු ලැබ ඇති සියලු දෙනා සුවය ලබන විට ඔවුන්ට මානුෂීයව වාසය කිරීම සඳහා සුදුසු පහසුකම් සහිත විශාල පරීක්ෂන හා ප්‍රතිකාර ක්‍රමයක් කම්කරුවෝ ඉල්ලා සිටිය යුතුය.

වසංගතයට එරෙහිව සටන් කිරීම ජාතික පදනමක් මත කල නොහැකි ය. රෝගයට ප්‍රතිචාර දැක්වීම සඳහා හුවමාරු කරගත් මානව සහයෝගීතාවයේ පදනම මත මානව වර්ගයාගේ සියලුම වෛද්‍ය, විද්‍යාත්මක හා සමාජ සම්පත් බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

වෛරසය මැඩ පැවත්වීම, සුව කිරීම  හා අවසානයේ දී එය අතු ගා දැමීමට අත්‍යවශය ඵලදායි ප්‍රතිපියවරයන්ගේ වර්ධනය ප්‍රමාද කිරීමට පමනක් සේවය කරන, “ජාතික අවශ්‍යතා” හා භූදේශපාලනික ගැටුම්වල බාධාවන්ගෙන් තොර ව, ලොව පුරා සිටින විද්‍යාඥයින්ට ඔවුන්ගේ පර්යේෂන හා තාක්ෂනය බෙදාහදා ගැනීමට ඉඩ දිය යුතු ය.

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත්, චිකිත්සාවේදය සහ හොඳම භාවිතයන් සංවර්ධනය කිරීම ජාතික දේශසීමාවන් බාධකයන් බවට පත් කල නොහැක. තම රටේ වසංගතය වීරෝදාර ලෙස සමනය කල චීන වෛද්‍ය සේවකයින් ඔවුන්ගේ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා වෙනත් රටවලට ගෙන ආ යුතුය.

මුහුනු ආවරන, කෘතිම ශ්වසනාධාර සහ වාතන උපකරන නිපදවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයක් තිබිය යුතු අතර සහ සමාජ අවශ්‍යතා මත ඒවා වෙන් කිරීම කල යුතුය.

වසංගතයට එරෙහිව සටන් කිරීමේ සාර්ථක ප්‍රයත්නයක් අධිරාජ්‍යවාදී භූදේශපාලනය හා සියලු ආකාරයේ ජාතික ගැටුම් සමඟ නොගැලපේ. එහි ආරම්භක ස්ථානය කුමක් වුවත්, ඕනෑම රටක වසංගතයක් පැතිරීම ගෝලීය සිදුවීමකි. ඉරානයේ කෝවිඩ්-19 හි බලපෑම පිලිබඳව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායඥයින් ප්‍රමෝදයෙන් සිනාසීම ඔවුන්ගේ අමානුෂිකත්වයට පමනක් නොව, මිනිසාගෙන් මිනිසාට වෛරසය සම්ප්‍රේෂනය වීමේ ගෝලීය විභවය පිලිබඳව බිහිසුනු නොදැනුවත්කමට ද සාක්ෂි දරයි.

ඉරානයට පනවා ඇති ආකාරයේ සියලුම වෙලඳ යුද ක්‍රියාමාර්ග සහ ආර්ථික සම්බාධක වහාම ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලුම උපකරන නිසි පරිදි සේවයේ යොදවා ඇති රෝහල්, සරනාගතයින්ට සහ සංක්‍රමනිකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ද ඉදි කල යුතුය. හදිසි ප්‍රතිකාර අවශ්‍ය කිසිදු පුද්ගලයෙකු ප්‍රතික්ෂේප නොකල යුතුය.

වසංගතයේ බොහෝ ඛේදජනක අංග අතර එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේම බෙලහීන භූමිකාවද ඇත. මෙහි කැපවූ විද්‍යාඥයෝ, වෛද්‍යවරු සහ මහජන සෞඛ්‍ය විශේෂඥයෝ - ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉබෝලා තුරන් කිරීමේ සටනේ ප්‍රවීනයන් - අර්බුදයට තාර්කික හා මානුෂීය ප්‍රවේශයක් ගන්නා ලෙස ආන්ඩුවලින් අයැද සිටිති.

වසංගතයට පෙර සිටම විශාල වශයෙන් අරමුදල් ඌනතාවයකින් පෙලුනු ලෝසෞසං සම්පත් අගහිඟකමින් පෙලෙන අතර මෙම තත්වය අභ්‍යන්තර විගනන මගින් සංවිධානයට “පිලිගත නොහැකි” උවදුරක් ලෙස හැඳින්වීමට තුඩු දෙනු ලැබ ඇත. එයට එහි ඩොලර් මිලියන 675 ක ඉලක්කයෙන් මේ වන විට ඩොලර් මිලියන 30 කටත් වඩා අඩු මුදලක් ලබා ගනිමින් ආන්ඩුවලින් මුදල් සොච්චමක් හිඟා කෑමට එයට බල කෙරී ඇත්තේ ආන්ඩු විසින් ට්‍රිලියන ගනනක් බැංකුවලට බැර කර තිබියදීය.

මිලියන ගනනකගේ ජීවිත බේරා ගැනීමට නම්, කම්කරුවෝ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන් කල යුතුය, එනම් සියලු කම්කරුවන්ගේ පොදු අවශ්‍යතා සහ සහයෝගීතාවය මත පදනම් වූ ජාත්‍යන්තර සමගිය යි. වසංගතයට එරෙහි සටනේදී වෛද්‍ය සේවකයින්, විද්‍යාඥයින් සහ සමාජයේ සියලුම ප්‍රගතිශීලී කොටස්වලට උපකාර වනු ඇත්තේ මෙම ජාත්‍යන්තර සහයෝගීතාවයයි.

වසංගතයට එරෙහි අරගලයේදී, ලෝකයේ වැඩකරන ජනතාව ජාතික ස්වෝත්තමවාදයේ සියලු ප්‍රකාශනයන්ගේ තර්ජනය, කොරෝනා වෛරසය වඩා නොඅඩුව, මනුෂ්‍යත්වයට තර්ජනයක් ලෙස සැලකිය යුතුය.

Loading