ඇඳිරි නීතිය නිසා සිරවී සිටි ඇඟලුම් කම්කරුවන් 20,000 ක් වැටුප ද නොදී නිවෙස් කරා යවයි

ඇඳිරි නීතිය නිසා සතියකට ආසන්න කාලයක් කටුනායක නිදහස් වෙලඳ කලාපය තුල සිරවී සිටි කම්කරුවන් 20,000 කට ආසන්න පිරිස ඔවුනට අදාල වැටුප ද ලබා නොදී ඊයේ සිය නිවෙස් කරා පිටත් කර හැරිනි. තමා පත්ව සිටින තත්වය සම්බන්ධයෙන් කම්කරුවන් අතරේ පැතිර පවත්නා විරෝධයේ පුපුරායාමක් වහාම මැඩීමේ අරමුනෙන් ඔවුන් බස්රථ වලට පටවා නිවෙස් වලට යැවීමේ මෙහෙයුම පොලීසිය සහ යුද හමුදාව යොදාගෙන සිදු කෙරිනි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කල සෞඛ්‍ය පරීක්ෂනයකින් අනතුරුව ඔවුන්ගේ විස්තර සටහන් කරගැනීමෙන් අනතුරුව බස් රථ වලට පැටවිනි. බස් රථ ඉදිරියෙන් සහ පසුපසින් යුද හමුදා බස් ගමන් කිරීමට නියමිත බව ලංකාදීප පුවත් පත වාර්තා කලේය. මෙම පිරිස් ඔවුන්ගේ නිවෙස් වලට යවනුයේ ඒ ඒ ප්‍රදේශ වල පොලිස් ස්ථානයට භාර දීමෙන් අනතුරුවය.

දින ගනනක් තිස්සේ කම්කරුවන් මුහුන දෙමින් සිටි අනතුරුදායක තත්වය හමුවේ නිහඬව සිටි ආන්ඩුව ඊයේ දිනයේ ඔවුන් පටවා යැවුනු ආකාරය ප්‍රදර්ශනය කෙරුනේ මහජනතාව සම්බන්ධයෙන් පවතින ආන්තික නොතැකීමයි. සිරවී සිටින පිරිස ප්‍රවාහනයට ප්‍රමානවත් තරම් බස් රථ යොදා නොතිබුනු අතර එම නිසා විශාල තදබදයක් ඇතිවිය. කම්කරුවන්ට බස් රථ පැමිනෙන තෙක් බොහෝ වේලා බලා සිටීමටද සිදු විය. සෞඛ්‍ය පරීක්ෂනය හුදෙක් උන පරීක්ෂනයකට පමනක් සීමා වූ බව ජන යුගය වෙබි අඩවිය වාර්තා කලේය.

රැස්ව සිටි පිරිසට උදෑසන ආහාර හෝ ජලය සම්පාදනය කිරීමට කිසිදු පියවරක් ගෙන නොතිබූ අතර ඒ නිසා කිහිපදෙනෙකු ක්ලාන්ත වූ බව පුවත් පත් වාර්තා කලේය. මෙසේ සිටි පිරිස අතර කුඩා දරුවන්ද විය. ඇතම් අවස්ථා වල මේවා සිදු කෙරුනේ කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට පුද්ගලයින් දෙදෙනෙකු අතරේ පවත්වා ගතයුතු අවම දුර වන මීටරයේ පරතරය පවා නොතකාය.

කම්කරුවන් මෙසේ බස් රථ මගින් පටවා යැවූයේ මාර්තු මාසයේ වැටුප පවා ඔවුනට ලබා නොදෙමිනි. ආයෝජන මන්ඩලය කම්කරුවන්ට රුපියල් පන්දහසක මුදලක් ලබා දීමට පොරොන්දුව සිටි අතර එයද ලබාදීමට කටයුතු සම්පාදනය නොකර තිබුනි. 

කම්කරුවන් නේවාසිකාගාර වලින් නිවෙස් වලට ගෙන ගියද එහිදී ඔවුන් මුහුන දෙන්නේ පෙරටත් වඩා දුෂ්කර කොන්දේසි වලටය. කම්කරුවන් ජීවත් වූ  අනාරක්ෂිත කොන්දේසි අනුව ඔවුන් කොරෝනා රෝගයට ගොදුරු වීමේ විශාල අවදානමක් ඇති අතර මුදල් නොමැති වීම නිසා එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය භාන්ඩ පවා සම්පාදනය කර ගැනීමේ දුෂ්කරතාවන්ට ඔවුන් මුහුන දීමට නියමිතය.

ඇඳිරි නීතිය පනවන තෙක් ඔවුන්ට නිවෙස් බලා යා නොහැකිවූයේ නිදහස් වෙලඳ කලාපයේ සමාගම් විසින් පෙබරවාරි 20 වනදා තෙක් කම්කරුවන් රැකියාවෙහි යෙදවූ බැවිනි. කම්කරුවන් මෙසේ රඳවා තබාගත්තේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය 19 වනදා නිකුත් කල, අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත අත්‍යවශ්‍ය සේවා බවට පත් කල නියෝගය යොදාගෙනය. මෙම නියෝගය යහමින් යොදා ගත් කම්හල් පාලකයෝ, කම්කරුවන්ට පිටතට යා නොහැකි සේ ගේට්ටු වසා දමමින් දිගින් දිගටම කම්කරුවන්ගෙන් සේවය ලබා ගත්හ. 

ඇඳිරි නීතිය පැනවීමත් සමග ඔවුහු සිය දරුවන් සමග නේවාසිකාගාර තුල සිරවිය. මෙම නේවාසිකාගාර තුලද ඔවුන් මුහුන දුන්නේ දුෂ්කර කොන්දේසි වලටය. ඔවුහු ප්‍රධාන වශයෙන් ආහාර හිඟයකට මුහුන දුන්හ. මීට අමතරව 30-40 ආසන්න පිරිස් නවාතැන්ගෙන සිටින මෙම බෝඩිම් වල සනීපාරක්ෂක පහසුකම් ඉතා දුර්වලය. කොරෝනා වෛරසය ඉක්මනින් පැතිරීමට බෙහෙවින් හේතු කාරක වන කොන්දේසි සහිත මෙම නවාතැන් වසංගතයේ අධි අවදානම් කලාපයක පිහිටීම වඩාත් අන්තරායකාරීය.

පුවත්පත් වාර්තාකලේ ආහාර හිඟය හේතුවෙන් අතැම් කම්කරුවන් සිය දරුවන් ද සමග නිරාහාරව සිටිනු දැකගත හැකිවූ බවයි. පාලක පන්තිය විසින් කම්කරුවන් සතියකට ආසන්න කාලයක් සිරකොට තිබුනේ මෙම දුෂ්කර කොන්දේසි වලය.

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීමට කිසිදු සංයුක්ත පියවරක් නොගත් ආන්ඩුව හදිසියේම 20 වනදා සවස හයේ සිට දිවයිනේ සියලු ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පැනවීය. එදින කර්මාන්ත ශාලා සවස 2.00 පමන වනතෙක් කම්කරුවන්ගෙන් වැඩගත් බව වාර්තා වේ. ඉන් අනතුරුව දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද තහනම් වූ බැවින් මොවුන් ට නිවෙස් බලා යාමට තිබූ සියලුම ඉඩකඩ ඇහිරිනි. වෙලඳ කලාපයේ සේවය කරන කම්කරුවන්ගෙන් බහුතරය දුර පලාත් වල සිට පැමිනි පිරිස් ය. ඊට උතුරු නැගෙනහිර පලාත් වලින් පැමිනි විශාල පිරිසක් අයත් ය.

කටුනායක වෙලඳ කලාපයට අමතරව ශ්‍රී ලංකා ආයෝජන මන්ඩලය යටතේ පවතින බියගම, කොග්ගල, පල්ලෙකැලේ ආදී ආයෝජන කලාප 13 කද අපනයන සංවර්ධන මන්ඩලය යටතේ පවතින දංකොටුව වැනි ආයෝජන කලාප ද ඒකල, රත්මලාන වැනි කාර්මික ජනපද වලද කම්කරුවෝ ද මේ හා සමාන කොන්දේසි වලට මුහුන දෙමින් සිටිති.

මෙම අර්බුදය තියුනු මට්ටමකට උත්සන්න වී ඇත්තේ මෙම කලාප තුල සේවය කරන බහුතරය “මෑන් පවර්” ක්‍රමය යටතේ රැකියා කරන්නන් වීමයි. කටුනායක වෙලඳ කලාපයේ සමස්ත සේවක පිරිස වන තිස්පන්දහසෙන් දසදහසක් මෑන් පවර් කම්කරුවන් ය. මෙම කම්කරුවන්ට වැටුප් ලැබෙන්නේ දෛනිකවය. ස්ථිර කම්කරුවන් භුක්ති විඳින අසනීප නිවාඩු වැනි කිසිදු අයිතිවාසිකම් මෑන් පවර් සේවකයන්ට හිමි නොවේ. ඔවුහු දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය කරන දෑ පවා මිලදී ගැනීමට නොහැකිව අසරනව සිටිති.

කම්කරුවන් අතරේ වැඩෙමින් පැවති බලගතු විරෝධය හමුවේ විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රනතුංග ආයෝජන මන්ඩලය සතු කර්මාන්ත වසා දමන ලෙස නියෝග කලේය. කෙසේ වෙතත් කම්කරුවන් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සඳහන් කලේ විසි දහසක පමන විශාල පිරිසක් නොමැති බවත් සිරවී ඇත්තේ පන්දහසක් පමනක් බවත් ය. 

ආයෝජන කලාපයන්හි කම්කරුවන් මුහුනදුන් මෙම සිද්ධියෙන් පෙන්වා දෙන්නේ තම ලාභ අවශ්‍යතාවයන් හඹා යද්දී කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ධනපති පන්තියේ සාපරාධී නොතැකීමයි. මෙය ජාත්‍යන්තර ප්‍රපංචයකි. ලෝකය පුරා මාරාන්තික වෛරසය සීඝ්‍රයෙන් පැතිරී යද්දී කම්කරුවන්ගේ ජීවිත නොතකා ඔවුන් අත්‍යවශ්‍ය නොවන කර්මාන්ත හා සේවා වල දිගින් දිගටම යොදවමින් සිටී. 

ඇමරිකාව කොරෝනා වෛරසය පැතිරී යාමේ අපිකේන්ද්‍රයක් බවට පත්වෙමින් තිබියදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා ප්‍රකාශ කලේ කම්කරුවන් “නැවත වැඩට පැමිනිය යුතු” බවයි.

වෛරසයෙන් ඇතිවන මිලියන සංඛ්‍යාත ජීවිත විනාශය වලක්වා ගැනීමේ  පියවර සඳහා බිලියන ගනනින් මුදල් අවශ්‍ය වී ඇති තතු තුල එය මුලුමනින්ම නොතකා සිටින ආන්ඩු ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සඳහා දැවැන්ත සහන මලු ප්‍රදානය කරමින් සිටිති. 

ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ වානිජ මන්ඩලය මාර්තු 18 වනදා ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් බරපතල බලපෑමකට ලක්ව ඇති කර්මාන්ත වෙත කෙටි කාලීන ප්‍රාග්ධනය ලබාදීම, අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට ගෙවීම මාස තුනකට නතර කිරීම, මහා පරිමාන කර්මාන්ත වල නය ගෙවීම කල් දැමීම ආදී ඉල්ලීම් රාශියක් ඉදිරිපත් කලේය. ධනපතියන් කරන ලද ඉල්ලීම් කැබිනට් මන්ඩලය අනුමත කල බව 20 වනදා බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කලේය.

ධනපති ක්‍රමයේ නරුම යතාර්ථය මෙයයි. බහුතරයක් වන මහජනතාව දරිද්‍රතාවයට ඇද දැමෙද්දී මහා ධනපතියන් වෙත ලාභ පොදි ගසා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

වෙලඳ කලාප කම්කරුවන් අතර වැඩෙන විරෝධය කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් දෙසට යොමු වීමට එරෙහිව ඔවුන් ධනපති ලාභ පද්ධතියට ගැටගැසීමේ ප්‍රතිගාමී භූමිකාවේ යෙදී සිටින වෘත්තීය සමිති  මෙම තත්වය හමුවේ ආන්ඩුවට කන්නලව් කිරීමේ    ක්‍රියා මාර්ග වල නිරතව සිටිති.

ඇන්ටන් මාකස් නායකත්වය දරන නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය (නිවෙකපොසේස), පසුගිය 25 වනදා කම්කරු සබඳතා අමාත්‍ය දිනේශ් ගුනවර්ධන වෙත ලිපියක් යවමින් සිරව සිටින කම්කරුවන්ට වියලි ආහාර මල්ලක් ලබාදෙන ලෙසද, කම්කරුවන්ගේ වැටුප් බැංකු වෙත බැර කරන ලෙසද, මෑන් පවර් සේවක සේවිකාවන්ට සහනයක් දෙන ලෙසද බැගෑපත් වී ඇත.

කම්කරුවන් ඇද දමා ඇති තත්වය සම්බන්ධයෙන් මෙම වෘත්තීය සමිති මුලුමනින්ම වගකිව යුතුය. තමා මුහුන දෙන දුෂ්කර කොන්දේසි වලට එරෙහිව කම්කරුවන් අතරින් පැන නැගුනු අරගල මෙම සමිති විසින් ආන්ඩුවලට බලපෑම් දැමීමේ මාර්ග ඔස්සේ හරවා යැවීය. නිවෙකපොසේස හි ලිපියේ සමාගම් විසින් කම්කරුවන් නැවත සේවයට කැඳවීමට එරෙහිව විරෝධය පල කරමින් ඇතැම් ස්ථාන වල වැඩ වර්ජන පවා පැවැත්වුනු බව සඳහන් ය. එහෙත් එම වෘත්තීය සමිති කම්කරුවන්ගේ ශක්තිය බලමුලු ගැන්වීමට කිසිවක් කර නොමැත. පසුගිය කාලය පුරාවටම මෙම සමිති ක්‍රියාත්මක වූයේ පාලකයින් සමග සහයෝගයෙන් කම්කරුවන්ට එරෙහි කාර්මික පොලීසි ලෙසය.

මෙම සංවිධානය පසුගිය වසරේ මාර්තු මාසයේදී නිදහස් වෙලඳ කලාපයේ ඒටීජී සිලෝන් කම්කරුවන්ගේ සේවක දඩයමට එරෙහි දින 75 ට ආසන්න වැඩවර්ජනය හුදෙකලා කිරීමට කටයුතු කල අතර අවසානයේ සමාගම වර්ජනයේ නිරත වූ සේවකයින් සිය ගනනක් සීමිත වන්දියක් ගෙවා දොට්ට දැමීය.

ඇඟලුම් කර්මාන්තය වැනි අත්‍යවශ්‍ය නොවන නිශ්පාදන කෙටිකලකට වසා දැමුවහොත් රටේ ආර්ථිකය කඩා වැටෙතැයි යන කියාපෑම් අරටුවෙන්ම ව්‍යාජය. යටිතල පහසුකම් වෙත දැවැන්ත ආයෝජනයක් කරමින් සමාජයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍යවන ආර්ථික කටයුතු සුරක්ෂිතව පවත්වාගෙන යා හැකිය. වසංගතය පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන සියලු නිශ්පාදන යම් කාලයකට නවතා දැමිය යුතුය. මෙය ඉල්ලා සිටින්නේ ආන්ඩු වල ක්‍රියා මාර්ග තීරනය කරන මූලධර්මය ධනවතුන්ගේ ලාභ අවශ්‍යතා වලින් මුලුමනින්ම ස්වාධීන විය යුතු බවයි. එය ධනපති ආන්ඩුවක් යටතේ කල නොහැක්කකි.

Loading