ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුවේ රුදුරු ප්‍රතිවිපාක කොරෝනා වසංගතයත් සමග මතුවේ

නවතම වාර්තා වලට අනුව ලංකාවේ කොරෝනා රෝගීන් 113 දෙනෙකු වාර්තා වී ඇති අතර රෝගය වැලඳී ඇතැයි සැක කෙරෙන පුද්ගලයින් 237 දෙනෙක් රෝහල් 18 ක් තුල අධීක්ෂනය යටතේ සිටිති. ලංකාවේ රෝග ව්‍යාප්තිය දැනට තුන්වන අදියරේ පසුවන අතර එය සිව් වන අදියරට ගමන් කලහොත් ඉදිරියේ අධි වසංගත තත්වයක් කරා ගමන් කිරීමේ අවදානමක් පවතී.

ආසාදනය උග්‍ර වන රෝගීන් සුවකර ගැනීමට නම් දැඩි සත්කාර පහසුකම් යටතේ ඔවුන්ට ප්‍රතිකාර කල යුතුය. රෝගය පාලනය කරගැනීමට රටකට පවතින හැකියාව මැන බැලෙන දර්ශකයක් වන, පුද්ගලයින් ලක්ෂයක් වෙනුවෙන් සැපයිය හැකි දැඩි සත්කාර ඇඳන් ගනන ලැයිස්තු ගත කලහොත් එහි ඉහලින්ම සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එහි පුද්ගලයින් ලක්ෂයකට දැඩිසත්කාර ඇඳන් 34.7ක් තිබියදී පවා, ඇමරිකාව මේවන විට රෝග ව්‍යාප්තියේ නව කේන්ද්‍රය බවට පෙරලෙමින් වැඩිම ආසාදිතයන් ගනනක් වාර්තා වූ රට බවට පත්වී තිබේ. 

රෝගය හේතුවෙන් ඉමහත් ව්‍යසනයකට මුහුනපා සිටින ඉතාලියේ එම අගය 12.5කි.  රෝග ව්‍යාප්තිය උත්සන්න වුවහොත් පුද්ගලයින් ලක්ෂයකට ඇඳන් 2කට මඳක් වැඩි ධාරිතාවක් සතු ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය දැවැන්ත අර්බුදයකට මුහුන පෑම නතර කල නොහැකි බව එයින් පැහැදිලිය.

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් රෝහල විසින් රෝගය දැඩිව පැතිරගිය චීනයේ හූබෙයි ප්‍රාන්තයට අදාලව සිදුකල ප්‍රක්ෂේපනයන්ට අනුව තහවුරු කරගෙන ඇත්තේ දෙනලද මොහොතකදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව මෙන් 8 ගුනයක් සමාජය තුල සංචරනය වන බවයි. ලංකාවේ දැනට ප්‍රකාශයට පත්ව ඇති රෝගීන් අතරින් 80 දෙනෙකුට ආසන්න ප්‍රමානයක් වාර්තාවන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පරිබාහිරව සාමාන්‍ය ජනකායන් අතුරෙනි. ඉහත ප්‍රක්ෂේපනයට අනුව, වාර්තා නොවූ රෝගීන් 500කට ආසන්න ප්‍රමානයක් තවමත් රෝග වාහකයින් ලෙස රට පුරා පැතිරී සිටින්නට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

රටේ මහජනතාව මුහුනපා ඇති අන්තරාය මේ සා බරපතල වුවත් ආන්ඩුව සපයා ඇති සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය අවම ප්‍රමානයටත් බෙහෝ සෙයින් පහල ය. රෝගය පාලනය කරගැනීම සඳහා ජනතාව නිවෙස්වල කොටුකර තැබීම පමනක් ප්‍රමානවත් නොවන බව අවධාරනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අතිමූලික නිර්දේශය වන්නේ මෙයයි:  “පරීක්ෂාව පමනක්  නොවේ. රෝගීන් හඳුනාගැනීම පමනක්  නොවේ. නිරෝධායනය විතරක් නොවේ. සමාජ දුරස්තවීම පමනක් නොවේ. මේ සියල්ලම කරන්න.”‍ 

එහෙත් ලංකාව තුල, ආසදිත යැයි සැකකරන්නන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමේ හැකියාව පවතින රසායනාගාර පවතින්නේ 6 ක් පමනි. රෝගය පැතිරීම වලක්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පියවර ලෙස ජනතාව හැකිතාක් හුදකලා කරතැබීම යෝජනා කරන ආන්ඩුව කොලඹ, කලු‍තර, ගම්පහ සහ යාපනය යන දිස්ත්‍රික් හතරට දින නියමයක් නොමැති ඇඳිරි නීතිය පනවා ඇති අතර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය දින කිහිපයකට වතාවක් පැය කිහිපයක් සඳහා ඉවත්කෙරෙයි.     

වෛද්‍යවරු ඇතුලු‍ කාර්ය මන්ඩල අවම ආරක්ෂක පහසුකම් යටතේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරත වී සිටිති “ආරක්ෂක ආම්පන්න නොමැතිකමින් සෞඛ්‍ය සේවකයින් දැඩි අවදානමකට මුහුනදෙන බව වෛද්‍යවරු ලෝසවෙඅ ට පවසති, ”. ඔවුන් රෝගයට බිලිවීමේ ඉහල අවදානමකට මුහුන දී සිටින අතර සෞඛ්‍ය කාර්ය මන්ඩල සාමජිකයින් ආසාදිතයන් බවට පත්වීම තත්වය තවත් දරුනු අතට හරවනු ඇත.

වෛරසයට මුහුනදීම සඳහා ආන්ඩුව එදා වේල පිරිමසාගැනීමේ ක්‍රමයට විවිධ වැඩපිලිවෙල අටවමින් සිටියත් එහි අප්‍රමානවත්භාවය හේතුවෙන් දරුනු වසංගත තත්වයක් පුපුරායාමේ අද්දරට ලංකාව පැමින තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සහ ආන්ඩුවේ නියෝජිතයන්ගේ ප්‍රකාශ වල අවසාන නිගමනය ලෙස ඉදිරිපත් වන්නේ “‍රෝහල්වල ධාරිතාව ඉක්මවා ගියහොත් තත්වය පාලනය කල නොහැකි” නිසා මහජනතාව හැකිතාක් නිවෙස්වලට වී සිටීමෙන් එම ධාරිතාව ඉක්මවා නොයන ලෙස වැඩකටයුතු සලස්වාගත යුතු බවයි.  

එම ධාරිතාව ඉතා පහසුවෙන් ඉක්මවා යාහැකි පහල අගයක් වන බව සහ එය ඉක්මවා යාමේ අන්තරාය පැහැදිලි කෙරුනේ 25 වනදා පැවත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හාරිත අලු‍ත්ගේ ඉදිරිපත් කල අදහස් වලිනි. “‍ලෙඩේ මේ විදිහටම යන්න දීලා බලාගෙන හිටියොත් එහෙම, රෝගීන් 100, 200 වාර්තා වෙන්න ගත්ත දවසට, සමස්ත රෝගීන් ගාන 1000, 1500, 2000 වුන දවසට අපේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා. රෝගීන් අපේ ඇස් ඉදිරිපිට මැරෙන්න දීලා බලාගෙන ඉන්න තත්ත්වයට එනවා”‍ යනුවෙන් ඔහු පැවසීය. 

ආන්ඩුවේ පන්දම්කාර සමිතියක නායකයෙක් වන අලු‍ත්ගේ මෙම ප්‍රකාශ කලේ වෛද්‍යවරුන් අතර මතුවී ඇති උත්සුකතා හේතුවෙනි. ඔහු හෝ මෙම සංගමය අවදානම්කාරී තත්වය ඇතිවුයේ කෙසේදැයි පැහැදිලි නොකරයි. 

ගෝලීය වශයෙන්ම ධනපති ක්‍රමය ඇදවැටී ඇති පරිහානිය, ලක්ෂ ගනනක් කම්කරු-පීඩිත මහජනතාවන්ගේ මරනවලින් පියවාගැනීමට සෑම රටකම පාලක පන්තීන් සූදානම් වන අන්දම කොරෝනා වසංගත අර්බුදය මධ්‍යයේ වඩා විවෘතව විද්‍යමාන වී ඇත. මහජනතාවන් එම තත්වයට ඇද දැමීමේ සම්පූර්න වගකීම ධනපති පාලක පන්තිය මත පැටවී ඇති අන්දම මහජන සුභසාධන කුඩුපට්ටම් කරදැමීම සඳහා ඔවුන් වසර ගනනාවක් මුලු‍ල්ලේ ක්‍රියාවට නගා ඇති කප්පාදුවේ න්‍යාය පත්‍ර පිරික්සීමෙන් දැකගත හැකිය.   

ලංකාවේ ආන්ඩු, සෞඛ්‍ය බලධාරීන් සහ ජනමාධ්‍ය, සංසන්දනාත්මක තත්වයන් හුවා දක්වමින් ගිරවුන් සේ ප්‍රකාශ කලේ ලංකාවේ සෞඛ්‍ය සේවාව කලාපයේද ලෝකයේ ද ඉහලම ගනයේ එකක් බවයි. දැන් මේ ප්‍රකාශවල පල්ල ගොස් ඇත. 

1970 දශකයේ අග සිට සිට ලංකාවේ සෞඛ්‍යය සඳහා වන රාජ්‍ය වියදම් විශාල වශයෙන් කප්පාදු කෙරී තිබේ. ඊට පෙර සෞඛ්‍ය වියදම් සාමාන්‍ය වසයෙන් දල දේශීය නිෂ්පාදනයෙන් (දදේනි) සියයට 2ක මට්ටමේ පැවතී ඇත. 2007 වසරේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල ආන්ඩුව යොදවන මුදල් ප්‍රමානය එක දිගටම කඩා වැටී ඇති අතර 2017 මහ බැංකු වාර්තාවට අනුව එය, දදේනි ප්‍රතිශතයක් ලෙස සියයට 1.5කි.  රටකට ප්‍රමානවත් වන පරිදි එහි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනැගීමට නම් අවම වශයෙන්  රටේ දදේනියෙන් සියයට 5ක් වත් වෙන් කලයුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වසරේදීම ලංකාව පිලිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාවක රටේ සමස්ත සෞඛ්‍ය වියදම් තුල ආන්ඩුවේ වියදම් සහ මහජනතාවන්ට තමන්ගේ පසුම්බියෙන් කරන වියදම් අතර සං‍යුතිය සංසන්දනය කර ඇත. 2000 සිට 2015 දක්වා ගෙවුනු දශක එකහමාරක කාලය තුල සමස්ත සෞඛ්‍ය වියදම් තුල ආන්ඩුවේ පංගුව සියයට 65 සිට සියයට 52ක් දක්වා කඩා වැටි අතර ඊට අනුරූපව මහජනතාව තමන්ගේ අතින් කරන වියදම් සියයට 35 සිට සියයට 48ක් දක්වා ඉහල නැග ඇත. මහජනතාව අත පැටවී ඇති බර පසුගිය වසරවල තවත් ඉහල ගිය බවට නිසැක ය. 

පසුගිය දශක හතරක ලංකාවේ සිදුකර ඇති මෙම කප්පාදුව හුදු දේශීය සංසිද්ධියක් නොවේ. එහි මූලය ගෝලීය පරිමාන එකකි. 1970 ගනන් අග පටන්, ලෝකධනවාදය අර්බුද ග්‍රස්ත වන තත්වයේ දී ප්‍රධාන ධනපති රටවලින් පටන්ගෙන සමාජ වියදම් කපා හරිමින් ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ රුදුරු සූරාකෑමේ පිලිවෙත් මුදාහැරුනි. ලංකාව වැනි පැරනි විජිත රටවල් ලාභ ශ්‍රම තටාක ලෙස විවෘත කරගැනීම සමග මේ ප්‍රතිපත්ති නිර්දේශ විය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එම කප්පාදු වැඩසටහන් උසිගැන්වුයේය. 

ආන්ඩුවේ කප්පාදුව හේතුවෙන් වෛද්‍යවරු, රෝහල්, රසායනාගාර සහ ඖෂධ යන සියලු‍ අවශ්‍යතාවයන් හිදී වැඩි වැඩියෙන් පෞද්ගලික අංශය වෙත යොමුවීමට මහජනතාවට බලකෙරී තිබේ. කොරෝනා වසංගතය හඳුනාගැනීමේ පරීක්ෂන මධ්‍යස්ථාන ස්ථාපනය කිරීමේදී රසායනාගාර හිඟවීම පිලිබඳ ගැටලු‍ව ඉතා උග්‍ර අන්දමින් මතුවී තිබේ. පරීක්ෂන අවශ්‍යතාවය සපුරාලීමට ආන්ඩුවට නොහැකිවී ඇති පසුබිමක ඒ සඳහා පෞද්ගලික අංශය විසින් කල ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ “රුපියල් 6000ක ගාස්තු සීමාවකට යටත්ව පරීක්ෂන පැවැත්වීමට අවසර දෙන බව” මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කලේය. රෝගයේ පැතිරීම ඉහලගිය හොත් පෞද්ගලික අංශයට දමා ඇති මෙම කොන්දේසි ඉවත්කිරීමට ආන්ඩුවට බලකෙරෙනු ඇත.

සෞඛ්‍ය සේවයේ වියදම් කප්පාදුව ක්ෂේත්‍රය තුල මානව සම්පත් හිඟයක් නිර්මානය කර ඇත. මෙවැනි වසංගත තත්වයකදී මහජනතාව දැනුවත් කිරීම, ඔවුන් ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු වලට යොමුකිරීම ආදී තීරනාත්මක වැඩකටයුතු දියත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය නිලධාරී සේවාවන්ට කෙරන බඳවා ගැනීම් වසර ගනනාවක් තිස්සේ එක තැන පල්වී ඇත. 1990 සිට 2014 දක්වා දත්ත ගෙන හැර දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ 1990දී පුද්ගලයින් ලක්ෂයක් සඳහා 5ක් ලෙස තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගනන දශක දෙකහමාරක් තුල 3 දෙනෙක් දක්වා පහල වැටී ඇති බවයි.

කප්පාදුවේ තරම මේසා පරිමාන වුවත්, ධනපති මාධ්‍යයේද සහය ඇතිව ආන්ඩුව සහ එහි නියෝජිතයින් රෝගය පැතිරීමේ වරද සම්පූර්නයෙන්ම මහජනතාව මත පැටවීමට පටන්ගෙන තිබේ. එහෙත් ගිනිය නොහැකි තරම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුල කෙරෙන සාකච්ඡා තුල, වසර ගනනක් තිස්සේ දියත් කෙරුනු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කප්පාදුව සම්බන්ධයෙන් අංශුමාත්‍රික සඳහනක් නැත. එවැනි සාකච්ඡාවකදී ආන්ඩුවේ ප්‍රමුඛ නියෝජිතයෙකු වන නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහන පැවසුවේ “ආන්ඩුව මොනව කලත්, මිනිස්සු හරියට හිටියෙ නැත්නම් වැඩක් නෑ” යනුවෙනි. එවැනි ප්‍රකාශ පසුපස ඇත්තේ, ඉදිරියේදී යම් හෙයකින් රෝගයේ පැතිරීම උත්සන්න වුවහොත් මහජනතාවන්ට ඇඟිල්ල දික්කිරීමට කල්තියාම පාර කපාගැනීමේ උවමනාවයි.

කොරෝනා මර්දනය උදෙසා ආන්ඩුව මත පැටවෙන වගකීමෙන් තවත් දුරස් වීම සඳහා “කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීමේ” ප්‍රකාශිත අරමුන සහිතව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අරමුදලක් ස්ථාපනය කලේය. “කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂන අරමුදල” ලෙස නම්කර මහජන අධාරය වෙනුවෙන් විවෘත කර ඇති ගිනුමේ එක්රැස්වන මුදල් කොවිඩ්-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂන උපකරන හා ධාරිතා වියදම් ඇතුලු‍ වියදම් පියවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය මුදල් වහා සම්පාදනය කිරීමට යොදවන බව අරමුදල පිහිටුවමින් රාජපක්ෂ සඳහන් කලේය. ධනපති ක්‍රමයේ නියෝජිතයින් එහි ආන්තික නොහැකියාව ප්‍රදර්ශනය කරන්නේ එලෙසිනි.

වසංගතය උත්සන්න වුවහොත් එම තත්වයට මුහුන දුන් ලෝකයේ අනෙකුත් ධනපති පාලක පන්තීන් කලාක් මෙන් කම්කරු-පීඩිත මහජනතාවන් මියයන්නට ඉඩහැරීම ලංකාවේ ආන්ඩුවේ ද ප්‍රතිපත්තිය වනු ඇත. සිද්ධීන්ගේ මෙම වර්ධනය විසින්, ධනපති ක්‍රමය තවදුරටත් තමන් සඳහා ක්‍රමයක් නොවන බවත්, තමන්ගේ ජීවත්වීමේ අයිතිය පවා ඊට එරෙහි ගෝලීයව වර්ධනය කරන සමාජවාදය සඳහා සටනකින් මෙපිට ආරක්ෂා කරගත නොහැකි බවත් කම්කරු පන්තියට මුනගස්වා ඇත.

Loading