වසංගතය, ආර්ථික ව්‍යසනයක් ඇති කරද්දී, එක්සත් ජනපදයේ නව විරැකියා සහන ඉල්ලීම් මිලියන 3.28 ක් දක්වා නඟී

මෙම ලිපිය 2020 මාර්තු 27 දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුව විසින් මාර්තු 21 න් අවසන් සතිය සඳහා වාර්තා කර ඇති  විරැකියා සහන සඳහා  සතිපතා ඉල්ලීම්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මිලියන ගනනක් කම්කරුවන් මුහුන දෙන, වර්ධනය වෙමින් පවත්නා සමාජ ව්‍යසනය පිලිබඳ අවබෝධයක් ලබා දෙයි.

කාලානුරූපව සකස් කල , එක්සත් ජනපදයේ රාජ්‍ය විරැකියා සහන සඳහා නව ඉල්ලීම්, පසුගිය සතියේ වාර්තාගත මිලියන 3.28 ක් දක්වා නැඟුනි. එය මෙතෙක් වාර්තා වූ ඉහලම ඉල්ලීම් සංඛ්‍යාවය. එය 1982 ඔක්තෝබර් මාසයේදී ඉල්ලීම් 695,000 ක වාර්තාව මෙන් සිව් ගුනයකටත් වඩා වැඩිය. පසුගිය සතියේ වාර්තාවූ සංඛ්‍යාව මෙන් 1000 ගුනයකි. 

ප්‍රාන්ත ආන්ඩු නිවෙස්වල රැඳී සිටිය යතු බවට පැනවූ නියෝග සමඟින්, එක්සත් ජනපදය පුරා වසංගත ආසාදන ඉහල ගොස් රෝහල් පිරී ඉතිරී යමින් ඇත. එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආශ්‍රිත මරන  දැන් 1,100 ඉක්මවා වේගයෙන් ඉහල යයි.

නව ඉල්ලීම් මිලියන හතරකට ලඟා වනු ඇතැයි විශ්වාස කිරීමට හේතු තිබේ.  දැනට එක්සත් ජනපදය තුල කොවිඩ්-19 වසංගතයේ කේන්ද්‍රස්ථානය වන නිව්යෝර්ක් ප්‍රාන්තයේ, වෙබ් අඩවිය, නව අයදුම්පත් ගලා ඒම නිසා අර්බුදයකට මුහුනපා ඇත. ප්‍රාන්තය වාර්තා කර ඇත්තේ නව ඉල්ලීම් 80,334 ක් පමනි. නිව් යෝර්ක් නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ සඳහන් කලේ, වෛරසය හේතුවෙන් නගරවාසීන් 500,000 කට රැකියා අහිමිවන බවත්, තදාසන්න ප්‍රදේශවල සහ ප්‍රාන්තයේ උතුරු කොටසේ සිටින අය ගැන කිසිවක් නොකියන බවත්ය.

වසංගතය හේතුවෙන් ප්‍රාන්ත ආන්ඩුව පාසල් හා ව්‍යාපාර වසා දැමූ හෙයින් පෙන්සිල්වේනියාවේ 378,908 ක විශාලතම විරැකියා ඉල්ලීම් වාර්තා විය. ඒ අනුව, පසුගිය දින 11 තුල ප්‍රාන්තයේ විරැකියා ඉල්ලීම් 650,000 ක් විය. මෙම සතිය අවසන් වන විට එම සංඛ්‍යාව 800,000 දක්වා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආන්ඩුකාර ටොම් වුල්ෆ් සියලුම “ ආරක්ෂක නොවන ” ව්‍යාපාරවලින් ඉල්ලා සිටියේ, ආන්ඩුව තහවුරු කරන ලද වසංගත ආසාදන 1,600 ඉක්මවා ඇති හෙයින් ඒවා වසා දමන ලෙසයි .

රාජ්‍ය ඇස්තමේන්තුවකට අනුව පෙන්සිල්වේනියාවට පසුව ඔහියෝවේ  ඉල්ලීම් 187,784 ක් වාර්තා විය. 26දා වන විට ඔහියෝහි කොරෝනා වෛරස් රෝගීන් 867 ක් වාර්තා වී ඇත. පුද්ගලයින් 223 ක් රෝහල් ගත කර, 91 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබාගෙන ඇති අතර එම සංඛ්‍යාව ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආන්ඩුකාර ජෝන් හස්ටඩ්ට අනුව, ප්‍රාන්ත වෙබ් අඩවිය පසුගිය දින පහක් තුල විරැකියා ඉල්ලීම්  මිලියන 1.7 ක් වාර්තා කර ඇත.

කැලිෆෝනියාවේ  විරැකියා ඉල්ලීම් පසුගිය සතියේ පැවති 57,606 සිට 186,809 ක් දක්වා ඉහල ගොස් ඇත. කැලිෆෝනියාවේ දැන් 3,000 කට අධික වෛරස් ආසාදන වාර්තා වන අතර, අනිවාර්යයෙන්ම නිවෙස්වල රැඳී සිටීමේ නියෝගයක් ක්‍රියාත්මක වීමෙන් පසුව  සෑම දින තුන හතරකට වරක් එම සංඛ්‍යාව දෙගුන වේ.

මිචිගන් හි නව රැකියා විරහිත ඉල්ලීම් 129,298 ක් ද මැසචුසෙට්ස් හි 147,995 ක් ද විය. ප්‍රාන්ත දෙකම අගුලු දැමීමේ නියෝග යටතේ පවතී. 26දා වන විට මිචිගන්හි  වෛරස් රෝගීන් 2,856 ක්  වාර්තා වී ඇති අතර මරන සංඛ්‍යාව 60 ඉක්මවා ඇත.  ප්‍රාන්ත දෙකෙහිම සංඛ්‍යා ඉහල යමින් පවතී.

වසංගතයේ තවත් මධ්‍යස්ථානයක් වන වොෂිංටන් ප්‍රාන්තයේ රැකියා විරහිත ඉල්ලීම් 133,478 ක් වාර්තා විය. ප්‍රාන්තයේ රෝගීන් 2,500 කට වැඩි සංඛ්‍යාවක් ඇති අතර අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය නතර කරන ලෙස ඉල්ලා ඇත. බෝයිං සමාගම සියැටල් නිෂ්පාදනය 25දා සති දෙකක් වසා දැමීය.

රොඩ් අයිලන්ඩ් හි කම්කරුවන් 15 දෙනෙකුගෙන් එක් අයෙකු, එනම් ශ්‍රම බලකායෙන් සියයට 6.4 ක් සහන අපේක්ෂා කලේ, ආහාර ගැනීමේ ආයතන සහ අවන්හල්වල සියලු පරිභෝජන තහනම් කිරීමෙන් පසුවය. ආන්ඩුකාර ස්ටීව් සිසොලැක්ගේ නියෝග මත ප්‍රාන්තයේ දින 30ට ක්‍රීඩා ක්ෂේත්‍රය වසා දැමීමත් සමඟ නෙවාඩාහි ශ්‍රම බලකායෙන් සියයට හයකට ආසන්න ගනනක් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මෙම සියලු සංඛ්‍යා, එක්සත් ජනපද ජනගහනය මත වසංගතයේ ආර්ථික බලපෑම සැලකිය යුතු ලෙස අවතක්සේරු කරන බව අවධාරනය කල යුතුය. ප්‍රාන්තවල විරැකියා කාර්යාල නව විරැකියා ඉල්ලීම්වලින් පිරී ඉතිරී ගොස්  ඇති අතර, දැනටමත් බොහෝ දුරට සේවක සංඛ්‍යාව සැලකිය යුතු පරිදි අඩුකම සහ කප්පාදු නිසා ප්‍රතිපාදන අඩුවීමට  මුහුනපා ඇත. එහි අදහස බොහෝ ඉල්ලීම් ගොනු කිරීමට නොහැකිවී ඇති බවයි. බොහෝ අවස්ථාවන්හීදී දුරකථන හා වෙබ් අඩවි අධික තදබදයෙන් යුක්තය. ගොනු කිරීමට නොහැකිවූ අය ඉදිරියට ඒමත් සමඟ අනාගත දත්ත බෙහෙවින් වැඩිවනු ඇත.

තවද, සමහර විට අධික තදබදය නිසා නියමිත වේලාවට වාර්තා ගොනු කිරීමට අපොහොසත් වන විරැකියා කාර්යාලවල සංඛ්‍යා, කම්කරු දෙපාර්තමේන්තු ක්‍රියා පටිපාටිවලට අනුව, නිල  ගනන් ගැනීම් වලට හසු නොවේ. ඊට අමතරව, ඊනියා ගිග් ආර්ථිකයේ තවත් මිලියන ගනනක් කම්කරුවන් ස්වයං රැකියාලාභීන් ලෙස වර්ගීකරනය කර ඇති නිසා නිත්‍ය රාජ්‍ය විරැකියා වන්දි සඳහා සුදුසුකම් නොලබති. සිසුන්, ලේඛනගත නොකල සංක්‍රමනිකයන්, වර්ෂයේ මාස හයකට වඩා අඩු කාලයක් සේවය කල අය සහ සෘතුමය වශයෙන් වර්ගීකරනය කල අය ද සුදුසුකම් නොලබති.

රාජ්‍ය විරැකියා රෙගුලාසි වල ප්‍රතිගාමී වෙනස්කම් හේතුවෙන්, සහන සඳහා සුදුසුකම් ලබන කම්කරුවන්ගේ අනුපාතය වසර ගනනාවක් තිස්සේ ක්‍රමයෙන් අඩු වී ඇත. මෙම වෙනස්කම් වලට, කම්කරුවන්ට සහන ලබා ගත හැකි කාල සීමාව දැඩි ලෙස කෙටි කිරීම, වෙහෙසකාරී වැඩ සොයා යාමේ තත්වය සහ ඉහල ඉපැයීම් සීමාවන් ඇතුලත් වේ. එහි ප්‍රතිපලයක් වශයෙන්, විරැකියා ප්‍රතිලාභ ලබා ගන්නේ,  දැනට රැකියා විරහිතයින්ගෙන් අඩකටත් වඩා අඩු සංඛ්‍යාවකි.

මෙය එක්සත් ජනපද ආර්ථිකයට පහර දෙමින් මහජනතාවගේ ජීවිත කඩාකප්පල් කිරීමේ දැවැන්ත කම්පන තරංගයක ආරම්භක සංඥාව පමනි. කොන්ග්‍රස් අයවැය කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂක සහ ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ උපදේශකයෙකු වූ කීත් හෝල් මෙසේ පැවසීය. “අවපාත සමයේදී පවා මේ තරම් දරුනු වැටීමක් අප දැක නැත. එය '' ඇත්තටම ක්ෂනික මහා පසුබෑමක් වැනි ය." ඔහු නිල විරැකියා අනුපාතය, මහා අවපාතයේ මට්ටම වන සියයට 20 ක් දක්වා පහත වැටිය හැකි බවට ගනන් බලා ඇත.

තවත් ආර්ථික විද්‍යාඥයෙක් ගනන් බලා ඇති පරිදි, අවන්හල්වල සහ සිල්ලර වෙලඳාමේ නියුතු කම්කරුවන්ගෙන් අඩකට පමන රැකියා අහිමි වුවහොත් විරැකියාව සියයට 10 කින් එනම්, සියයට 13 දක්වා ඉහල යා හැකිය. එය 1981-82  අවපාතයේ ඉහලම තුඩේදී පැවතුන සියයට 10.8 ට වඩා ඉහල අගයක් ගනී.

මේ තත්වය රැකියා කොපමන ප්‍රමානයකට බලපානු ඇත්දැයි මේ අවස්ථාවේ නොදනී. 2008 ආර්ථික කඩාවැටීමේ ප්‍රතිපලයක් ලෙස රැකියා මිලියන 26 ක් පමන අහෝසි විය. වර්තමාන අර්බුදය ඉතා කෙටි කාලයක් තුල එය ඉක්මවා යා හැකිය.

යේල් විශ්වවිද්‍යාලයේ විශ්ලේෂකයෙකු වන පෝල් ගෝල්ඩ්ස්මිත්-පිංහැම් සහ මිනසෝටා විශ්ව විද්‍යාලයේ ආරොන් සොජර්නර් පැවසුවේ, මේ සතියෙහි රැකියා විරහිත ඉල්ලීම් මිලියන 4.7 ක් විය හැකි බවයි. ඔවුන් සිය තක්සේරුව පදනම් කලේ, අන්තර්ජාල සෙවුම් දත්ත විශ්ලේෂනය කිරීම මත ය.

අර්බුදය තවමත් ආරම්භක අවධියේ පවතින අතර, වසංගතයෙන් මතු කෙරෙන අභියෝගයට ක්‍රමානුකූලව හා තාර්කිකව ප්‍රතිචාර දැක්වීමට, ලාභය මත පදනම් වූ ධනවාදී ක්‍රමයට මුලුමනින්ම නොහැකි වී තිබේ. මාස ගනනක සිට අන්තරාය නොසලකා හැර හෝ අවම කිරීමෙන් පසුව, සියල්ලටම වඩා විශාල සමාගම්වල අවශ්‍යතා ආරක්ෂා කිරීමට කැපවූ, ලෝකයේ අනෙකුත් ධනපති ආන්ඩු මෙන්ම එක්සත් ජනපද ආන්ඩුව ද ප්‍රතිචාර දක්වා ඇත්තේ, ආවාට ගියාට මෙන් හා පැලැස්තර ඇලවීමේ ක්‍රමයටය. 

වෛරසය පැතිරයාම මුල් අවධියේදී හුදකලා කිරීමට හා පාලනය කිරීමට අපොහොසත් වීම නිසා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර තාවකාලිකව වසා දැමීම, දැනටමත් යන්තම් යැපුම් මට්ටම්වල දිවි ගලවාගෙන සිටින ජනගහනයේ පුලුල් කොටසකට කිව නොහැකි දුක් වේදනා හා දුෂ්කරතා ඇති කරයි. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට සතියක වැටුප අහිමි වීම වුව ද එය ආර්ථික වශයෙන් දරාගත නොහැකි වනු ඇත.

වෛරසය පැතිරීම මත වසා දැමීම්වලින් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති සිල්ලර හා ආපනශාලා වැනි අංශවල අඩු වැටුප් ලබන කම්කරුවන් බහුල  වශයෙන් සේවයේ නිරතවී සිටින අතර, ඔවුන්ට තත්වය දරාගැනීමට කිසිසේත්ම හැකියාවක් නැත. බොහෝ විට ඔවුන්ට සෞඛ්‍ය ප්‍රතිලාභ නොමැති අතර ඔවුන් ගිලෙන්නට ඔන්න මෙන්න කියා සිටින කොටසකි .

දැවැන්ත රැකියා කප්පාදුවලින් පසු බංකොලොත්භාවය සහ අත්පත් කර ගැනීම් රැල්ලක් පිලිබඳව අර්ථශාස්ත්‍රඥයෝ බිය පලකරති. වසංගතය හේතුවෙන් වසා දමා ඇති බොහෝ ව්‍යාපාර කිසි විටෙකත් නැවත විවෘත නොවනු ඇත. මහා අවපාතයෙන් පසු නොදුටු ආකාරයෙන් දල දේශීය නිෂ්පාදිතයේ  පහත වැටීමක් අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යසනයට එක්සත් ජනපදය හා අනෙකුත් ධනේශ්වර ආන්ඩු දැක්වූ ප්‍රතිචාරයේ වැරදි සහ සෘජු සාපරාධී ස්වභාවය, පන්ති අවශ්‍යතා සහ සමස්තයක් ලෙස සමාජයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තිය ස්වාධීනව මැදිහත් වීමේ අවශ්‍යතාව තියුනු ලෙස මතු කරයි. තාර්කික හා මානුෂීය විසඳුමක් සොයාගත හැක්කේ, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩපිලිවෙලක් සඳහා වන අරගලය තුලින් පමනි.

Loading