පාකිස්ථානයේ කොරෝනා ආසාදිතයන් ගනන ඉහල යද්දී එරට අගමැති “වද වීමට දෙයක් නැතැයි” පවසයි

මෙම ලිපිය 2020 මාර්තු 21 වැනි දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි.

සතියකටත් වඩා අඩු කාලයක දී, තහවුරු කර ගත් කොරෝනා වෛරස් ආසාදිතයන් ගනන තිහකටත් අඩු ස්වල්ප දෙනෙකුගේ සිට 495 දෙනෙකු දක්වා ඉහල යාමත් සමඟ පාකිස්ථානය කොවිඩ්-19 ආසාදිතයන්ගේ ක්ෂනික ඉහල යාමක් අත්දකිමින් සිටී. අද වන විට එම රෝගයෙන් මරන තුනක් වාර්තා වී ඇත.

මිලියන 200කට වඩා අධික ජනගහනයකින් යුතු දකුනු ආසියාවේ රටක් වන, දරිද්‍රතාවයෙන් බැට කන පාකිස්ථානය තුල මෙම මාරක වෛරසයේ පැතිරී යාමක් මිලියන සංඛ්‍යාත ජනයාට ව්‍යසනයක් වනු ඇත.

මේ වන විට දකුනු ආසියාවේ ඉහල ම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කරන රට පාකිස්ථානයයි. අසල්වැසි රටවල දරුනු ලෙස වෛරසය පැතිර යාමක් පැවතියත්, පාකිස්ථානු වගකිව යුතු ආයතන නොවැලැක්විය හැකි වසංගතය රට තුල පැතිරීමට සූදානම් වීමට කිසිවක් සිදු කලේ නැත. පාකිස්ථානයට නැගෙනහිරින් වෛරසයේ ආරම්භක කේන්ද්‍රය වූ චීනයත්, බටහිරින් ඉරානයත් පිහිටා ඇත.

වෛරස ව්‍යාප්තිය පමා කිරීමට උත්සාහ දරමින් ආන්ඩුව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ තම පුරවැසියන් ඉවත් කර ගැනීමට ප්‍රතික්ෂේප කිරීමත් ගුවන් ගමන් ගමන් සීමා කිරීමත් සිදු කලත්, එයට මුහුන දීමට වෛද්‍ය ප්‍රතිචාරයක් සූදානම් කිරීමට සැලකිය යුතු දෙයක් සිදු කලේ නැත. වාර්තාවලට අනුව, පරීක්ෂන මුලින් ම සිදු කෙරුනේ ඉරානයේ සංචාරය කරද්දී වෛරසයට ගොදුරු වූ රෝගීන්ට ය.

රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහල ගියත්, ගෝලීය වසංගතයට මුහුන දීමට ආන්ඩුව වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 5.4ක (ඇමරිකන් ඩොලර් මිලියන 34) සොච්චමක් පමනි.

පරීක්ෂා කර බැලීමේ සීමා සහිතකම් සලකා බලන විට, සැබැවින් ම ආසාදිතයන් ගනන වාර්තා වෙන ගනනට වඩා නිසැකයෙන් ම ඉහල සංඛ්‍යාවක් බව පැවසිය හැකි ය. පාලනය කර ගත නොහැකි ලෙස වෛරසය ව්‍යාප්ත වන බවට දැක්වෙන වාර්තාවන් මධ්‍යයේ, මාර්තු 13 වැනි දා, අගමැති ඉම්රාන් ඛාන්ගේ ඉස්ලාමීය ජනතාවාදී තහ්රික්-ඉ-ඉන්සාෆ් (පීටීඅයි) ආන්ඩුව වහා ම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවීය. මිලිටරියත් ආන්ඩුවත් කල්ලි ගැසී ගුවන් ගමන්වලට සීමා පනවන අතරේ පාසල් සහ දේශ සීමා වසා දැමූ හ. කෙසේ වුවත්, එන්න එන්න ම බලගතු වන ඉස්ලාමීය දක්ෂිනාංශයෙන් එල්ල විය හැකි බලගතු විරෝධයකට බියෙන් ආන්ඩුව යාඥා මෙහෙයන් සහ විශාල ආගමික් රැස්වීම් තහනම් කිරීමට කටයුතු කලේ නැත.

රට පුරා නොසන්සුන්තාවක් වර්ධනය වෙද්දී, රොයිටර් පුවත් සේවය වාර්තා කලේ  “මධ්‍යම සහ පලාත් ආයතන අතර මතභේදයක් වර්ධනය වෙමින්” ඇති බවයි. වාර්තාවට අනුව, පලාත් ආයතන කොරෝනා වෛරස් පරීක්ෂන කට්ටල වෙන් කර ගැනීමට පොර කමින් සිටියහ. තව ද, විදේශගත ව සිට පැමිනි අය පරීක්ෂාවට ලක් කිරීමටත්, නිරෝධායනය කිරීමටත් කටයුතු නොකිරීම නිසා මධ්‍යම ආන්ඩුව දෝෂ දර්ශනයට ලක් ව ඇත. 

අඟහරුවාදා, ඛාන් ජාතිය අමතමින් කල කතාවක දී පාකිස්ථාන පාලක ප්‍රභූව මහජනතාවගේ සුභ සිද්ධිය කෙරෙහි දක්වන අපරාධකාරී නොතැකීම මොනවට පැහැදිලි විය. මහජන සෞඛ්‍ය සේවා සපයන ස්ථානවල පරීක්ෂන කට්ටලවල උග්‍ර හිඟය ගැන දිගින් දිගට ම ආන්ඩුව විවේචනයට ලක් වෙද්දී, ඛාන් “දරුනුවට රෝග ලක්ෂන” ඇති අය පමනක් රෝහල්වලට යන මෙන් තදින් ඉල්ලා සිටියේ ය. ඔහු “වද වෙන්න දෙයක් නෑ. අපි මේකට එරෙහි ව ජාතියක් විදියට සටන් කරමු. දේවාශිර්වාදයෙන් අපි මේ සටන ජය ගනු ඇත” යැයි ජනප්‍රියවාදී පාඨ කීපයක් ඇද බෑවේ ය.

පාකිස්ථානයේ මහජන සෞඛ්‍ය පහසුකම් දශක ගනනාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු නියමයන්ගෙන් දරුනු ලෙස විනාශ වී කඩාබාන්දුවට ගොස් ඇත. නව කොරෝනා වෛරසය වැනි සීඝ්‍රයෙන් බෝ වන, නව වෛරසයක් සමඟ සටන් කිරීමට ඒවා කොහෙත් ම ප්‍රමානවත් නැත. පාකිස්ථානයේ දූෂිත ධනේශ්වරය ජනගහනයෙන් බහුතරයක් මත පටවා ඇති දරිද්‍ර ජීවන සහ සනීපාරක්ෂක කොන්දේසි සෞඛ්‍ය අර්බුදය දැවැන්ත ලෙස තවත් නරක අතට හරවනු ඇත.

දැනට තිබෙන සමාජ සේවාවන් හෝ සංකේන්ද්‍රනය වී ඇති ප්‍රධාන නගරවල සෞඛ්‍ය පහසුකම් කොරෝනා වෛරසය පැමිනීමට පෙර සිට ම පැවතියේ පන අදිමිනි. වඩාත් ම ජනාධික ප්‍රාන්ත දෙක වන පන්ජාබය සහ සින්ද් ඇතුලු ව, ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් ඇත්තේ ම නැති තරම් ය. දැන් ඛයිබර් පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ කොටසක් වන පෙර දී ෆෙඩරල්  ක්‍රමයට පාලිත යුද්ධයෙන් විනාශ වී ඇති ගෝත්‍රික ප්‍රදේශවලත්, මිලිටරිය ජාතිකවාදී බෙදුම්වාදී කැරැල්ලක් දිගුකාලීන ව රුදුරු ලෙස මර්දනය කරමින් සිටින බලුකිස්ථානයේත් තත්ත්වය ඊටත් නරක ය.

පෞද්ගලික අංශයෙන් කොරෝනා වෛරස් පරීක්ෂනය කර ගැනීමට රුපියල් 7 900ක් නැති නම්, ඇමරිකන් ඩොලර් 49කටත් වඩා වැය වෙයි. මෙය බොහෝ පාකිස්ථානුවන්ගේ මාසික ආදායම පමන වන වියදමකි. ආන්තික දරිද්‍රතාව, ආහාර අනාරක්ෂිත බව සහ ලමුන් අතරේ පුලුල් ව පැතිරුනු ඌනපෝෂනය වැනි කොන්දේසි තුල පාකිස්ථානය තුල වෛරසය පුලුල් ව පැතිරීමේ ප්‍රතිපල ව්‍යසනකාරී සහ බරපතල වනු ඇත. 

2018-19 මූල්‍ය වර්ෂයේ දී, ඛාන් ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ පාකිස්ථානයේ වෙනත් නය හිමියන්ට තමන් ඔවුන්ගේ කොන්දේසි පිලිපදින බව පෙන්වීමට සෞඛ්‍ය වියදම්වලට සිදු කල සියයට 20.4ක කපා හැරීම වත්මන් සෞඛ්‍ය ආපදා තත්ත්වය තවත් නරක අතට හරවා ඇත.

ජූලියේ පටන් ඉලක්කම් දෙකක සංඛ්‍යාවක් ව ඇති උද්ධමනයේ ඉතාමත් සීඝ්‍ර ඉහල යාම සෞඛ්‍යාරක්ෂන වියදම් කපා හැරීමෙන් ඇති කර ඇති බලපෑම තවත් තීව්‍ර කරවයි. මහජන සෞඛ්‍ය සේවාවන් වෛද්‍ය සැපයුම්වලත් සෞඛ්‍ය සේවා කාර්ය මන්ඩලවලත් උග්‍ර හිඟය, සෞඛ්‍ය සේවා ස්ථානයන්ගේත් උපකරනවලත් අතහැර දමා ඇති නඩත්තුව, සීඝ්‍රයෙන් බෝ වන ගෝලීය වසංගතයක් කෙසේ වෙතත් ජනගහනයේ සාමාන්‍ය අවශ්‍යතාවන්වත් සපුරා ගත නොහැකි පරිදි හැකිලෙන ඉඩපහසුකම් ආදි ගැටලුවලට මුහුන දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පාකිස්ථානය සම්බන්ධයෙන් අවසන් වරට නිකුත් කර ඇති දත්තවලට අනුව, 2014 දී 1000 දෙනෙකුට රෝහල් ඇඳන් පැවතියේ 0.6ක් පමනි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පාකිස්ථාන නියෝජිතයන්ට අනුව, වත්මන් ගෝලීය වසංගතයට මුහුන දීමට මධ්‍යම ආන්ඩුවත් ප්‍රාන්ත ආන්ඩුත් සූදානම් කර ගෙන ඇත්තේ හුදකලාකිරීමේ ඇඳන් 2000ක් පමනි.

ඇඟ කිලපොලන සමාජ කොන්දේසිවලටත් අතිබහුතර ජනගහනයකට නැති තරම් වන සෞඛ්‍යාරක්ෂන සේවාවන් ගැනත් මුලුමනින් නොතකන අතරේ, පාකිස්ථාන පාලක ප්‍රභූව භීතියට පත් ව ඇත්තේ ගෝලීය වසංගතය තමන්ගේ ධනය අනතුරේ හෙලන, සමාජ පුපුරා යාමක් අවුලුවා ලීමේ හැකියාව ඇති ආර්ථික කඩා වැටීමක නිමිත්ත වනු ඇති ය කියා ය. 

ඇසෝසියේටඩ් ප්‍රෙස් වෙත අදහස් දක්වමින් ඛාන්  “ලෝක ප්‍රජාවෙන්” අයැද සිටියේ පාකිස්ථානය වැනි රටවල් කෙරෙහි “යම් ආකාරයක නය කපා හැරීමක්” ගැන සලකා බලන ලෙස ය. ඒ වෛරසය ව්‍යාප්තියේ ක්ෂනික පුපුරා යාමකුත් එය නවතා ගැනීමට යොදන පියවරත්  ආර්ථිකය “නතර කර ගත නොහැකි ආපස්සට තල්ලු වී යාමකට” හේතුකාරකය වනු ඇති බවට තම කනස්සල්ල පල කරන අතරේ ය.

අඟහරුවාදා කතාවේ දී, රටේ නගරවල දෛනික ජීවිතය නවතා දැමීමකට එරෙහි ව ඛාන් කරුනු දැක්වූයේ  “මිනිස්සු දැනටමත් දුක්විඳිමන් ඉන්නේ” යැයි පවසමිනි. ඒ ආකාරයකට ඔවුන්ව “කොරෝනා වෛරසයෙන් බේරා ගත්තත්”, අනතුරුව “ඔවුන් හාමතින් මැරී” යනු ඇතැයි ඔහු තර්ක කලේ ය.

ගෝලීය වසංගතයට පීටීඅයි ආන්ඩුවේ නොසැලකිලිමත් ප්‍රතිචාරයත්, අවුරුදු එක හමාරක පාලන කාලයත් තුල ඔවුන් අනුගමනය කල  ප්‍රතිපත්තිත් පෙන්වා දෙන්නේ ඔවුන් මූලික වශයෙන් වද වෙන්නේ සුපිරි ධනවතුන්ගේ ධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බවයි.

ඛාන් සහ ඔහුගේ පීටීඅයි පක්ෂය 2018 ජූලි මැතිවරනය ජයග්‍රහනය කලේ නරුම ලෙස “ඉස්ලාමීය සුභසාධන රාජ්‍යයක්” පොරොන්දු වෙමිනි. අනුමාන කල යුතු වූ පරිද්දෙන් ම, ආන්ඩුවේ වැඩ අරඹන්නටත් කලින් ම ඔවුන් තවත් කප්පාදු පියවර පැටවීමට හැරී ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නය ප්‍රතිව්‍යූහකරන වැඩසටහනකට පදනම දමා ගැනීමට බලමිනි. ඛාන් පෙර පැවති ජෙනරල් පර්වේස් මුෂාරෆ්ගේ ආඥාදායක පාලන තන්ත්‍රයේ ප්‍රධාන පෙලේ සාමාජිකයන්ගෙන් තම ආන්ඩුවේ තනතුරු වඩ වඩාත් පුරවා ගත්තේ ය. මුෂාරෆ් පාලන තන්ත්‍රය පාකිස්ථානය ඇමරිකාවේ ඇෆ්ඝනිස්ථාන් යුද්ධයේ සැපයුම් පහසුකම් සැපයීමේ කඩ ඇනය බවට පත් කිරීමට අමතර ව, පෞද්ගලීකරනයන් මාලාවක් සහ සෙසු “ආයෝජක ගැති” නව ලිබරල් ප්‍රතිසංස්කරනයන් ද ක්‍රියාවට දැම්මේ ය.

ඇමරිකන් ඩොලර් බිලියන 6ක නය ප්‍රතිව්‍යූහකරන වැඩපිලිවෙලේ ඇමරිකන් ඩොලර් මිලියන 450ක තවත් පංගුවක් සහතික කර ගැනීමට කප්පාදුවේ සහ ආර්ථික “ප්‍රතිසංස්කරනවල” තවත් වටයක් සඳහා ඛාන් ආන්ඩුව ජාමූඅ සමඟ ඇති කර ගත් ගිවිසුම් සමඟ කොරෝනා වෛරසයේ ව්‍යසනය අතිච්ඡාදනය වී ඇත. වාර්තාවන්ට අනුව, ජාමූඅ කොරෝනා වෛරසයට අදාල වියදම් අය වැය හිඟයට අඩංගු කර නොගැනීමට එකඟ වී ඇත. එහෙම නොවෙනවා නම්, ආන්ඩුව සමාජ වියදම් කැපීමෙන් සහ බදු, විදුලි ගාස්තු ඉහල දැමීමෙන් දුප්පතුන් මත ආර්ථික බර තවත් පැටවීමෙන් ජාමූඅට තමන්ගේ පොරොන්දු ඉටු කිරීමට බලාපොරොත්තු වෙයි.

2010 වසරේ මහ ගංවතුර උවදුරු මිලියන ගනන් ජනයා සාගින්නට, රෝගී බවට සහ ආර්ථික නට්ටම් වීමට හෙලූ විට, එවක ආන්ඩු කල පාකිස්ථානයේ මහජන පක්ෂය ජාමූ අරමුදලේ නියෝග කීකරු ව පිලිපදිමින් දුක්විඳින මහජනතාවට කිසිදු සැලකිය යුතු ආධාරයක් දීමෙන් වැලකී සිටියේ ය.

2018 දී ඛාන් බලයට පැමිනීම වොෂින්ටනයේ ආධාර ඇති ව දශක ගනනාවක් රට පාලනය කල න්‍යෂ්ටික-අවි ආයුධවලින් සන්නද්ධ එරට හමුදාවට විදේශ සහ මිලිටරි ප්‍රතිපත්ති සහ අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රබල පාලනයක් දරන්නට ඉඩ සලසා දුන්නේ ය.

සම්පත් නැති යැයි කියමින් ඛාන් කොරෝනා ගෝලීය වසංගතයට තම ආන්ඩුවේ නොසැලකිලිමත් ප්‍රතිචාරය යුක්ති යුක්ත කරන අතරේ ම, භයානක ලෙස ඉන්දියාවට එරෙහි ව තියුනු වන යුද ආතතීන් මැද  පාකිස්ථානු සන්නද්ධ බලකායන්ට දැවැන්ත ලෙස වියදම් කරයි. 2019 පෙබරවාරියේ දී, ඉන්දියාව සහ පාකිස්ථානය අතර ප්‍රතිගාමී මූලෝපායික ගැටුම, ඔවුන්ගේ ගුවන් හමුදා මතභේදාත්මක කාශ්මීර ගුවනේ සිදු කල සමීප සටනකින් අනතුරුව, මුලු වැර යොදා කරන යුද්ධයක අද්දරට පැමිනියේ ය.

පීටීඅයි ආන්ඩුව සමස්ත රාජ්‍ය වියදම්වලින් සියයට 16ක් ආරක්ෂාව සඳහා වෙන් කර ඇත. එහෙත් මෙම සංඛ්‍යාවට විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප්, කිසිදිනක ප්‍රසිද්ධ නොකල හමුදා උපකරන සහ සැපයුම් ලබා ගැනීමේ වියදම් සහ මූලෝපායික වැඩසටහන්වල වියදම් අන්තර්ගත කර නොගනී.

Loading