ශ්‍රී ලංකාවේ සසප අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීම: කෝවිඩ්-19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), “කෝවිඩ් -19 වසංගතය හා ධනවාදී ම්ලේච්ඡත්වයයන තේමාව යටතේ අප්‍රේල් 5 ඉරිදා දේශීය වේලාවෙන් සවස 3ට අන්තර්ජාල ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වනු ඇත.එම රැස්වීම පක්ෂයේ නිල මුහුනුපොත්පිටුවේ සජීවී ලෙස  විකාශය කෙරේ.

කෝවිඩ් -19 වසංගතය භූගෝලය පුරා පැතිර යාම මානව වර්ගයාට මාරාන්තික තර්ජනයක් එල්ල කරන සන්දර්භය තුල, සසප මෙම රැස්වීම පවත්වයි. ලොව පුරා පාලක පන්තීහු මිනිස් ජීවිත කෙරෙහි නරුම නො තැකීමක් හා ජීවිත ආරක්ෂා කරගැනීම කෙරෙහි පවතින අත්‍යන්ත නො හැකියාවක් ප්‍රදර්ශනය කරමින් සිටිති. මහා පරිමාන පරීක්ෂන ඇතුලු‍ ප්‍රමානවත් සෞඛ්‍යාරක්ෂන පහසුකම් මහජනයා වෙත ලබාදීමට අපොහොසත් වීම මගින් ලෝකයේ අනෙක් ආන්ඩු මෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව ද මහජන ජීවිත අනතුරේ හෙලා ඇත. එහි ප්‍රතිචාරය, ප්‍රධාන වසයෙන් ම දින නියමයක් නොමැති වසා දැමීමකට සීමා කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව, කම්කරු පන්තියට එරෙහි ව ආඥාදායක පාලන රූප වර්ධනය කරගැනීමේ එහි සැලසුම් ඉදිරියට ගැනීමට, වසංගතය ගසාකමින් සිටී. කොරෝනා වෛරසය වැලැක්වීමේ සියලු‍ මෙහෙයුම් පාලනය කිරීම මිලිටරියට පවරා ඇති රාජපක්ෂ, ඡන්දයෙන් පත් නො වූ පුද්ගලයෙකු වන ඔහුගේ සහෝදර බැසිල් රාජපක්ෂ කෝවිඩ් -19 පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය භාර නිලධාරියා ලෙස පත් කර තිබේ.

වසංගතය පාලනය කිරීමට ධනේශ්වර පාලක පන්තීන්ට පවතින නො හැකියාව, වැඩකරන ජනයාගේ හා පීඩිත මහජනයාගේ මූලික සමාජ අවශ්‍යතා පවා ඉටුකිරීමට ධනවාදයට පවතින නො හැකියාව හෙලිදරවු  කරයි. කම්කරු පන්තියේ මෙම අත්දැකීමෙන් අත්‍යවශ්‍ය දේශපාලනික පාඩම් උකහා ගන්නා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) හා එහි ජාතික ශාඛාවන් වන සමාජවාදී සමානතා පක්ෂ, මෙම වසංගතයටත් ගෝලීය මහජනයා මුහුන දෙන සෑම ප්‍රශ්නයකට මත් එරෙහි ව සටන් කිරීමේ එකම මාවත වන්නේ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය බව කම්කරු පන්තියට පැහැදිලි කරති.

මෙම තීරනාත්මක රැස්වීමට සහභාගි වී, ඉහත ක්‍රියාමාර්ගය සාකච්ඡා කිරීමට එක්වන ලෙස කම්කරුවන්, තරුනයන්, බුද්ධිමතුන් හා ලෝසවෙඅ පාඨකයන්ගෙන් අපි ඉල්ලමු.

Loading