ඉදිරිදර්ශන

කම්කරු පන්තිය, සමාජවාදය සහ වසංගතයට එරෙහි සටන

මෙම ලිපිය අප්‍රේල් පලවනදා ඉංග්‍රීසි බසින් පලවිය

මහා අවපාතය මධ්‍යයේ, හතරවන ජාත්‍යන්තරයේ පදනම් ලේඛනය වන සංක්‍රමන ක්‍රියාමාර්ගය තුල ලියොන් ට්‍රොට්ස්කි, 1936-37 දී එක්සත් ජනපදයේ පුපුරා ගිය වාඩි ලා ගැනීමේ වැඩ වර්ජන විස්තර කලේ, “ඉතිහාසය විසින් මුනගස්වා ඇති කර්තව්‍යයන්ගේ මට්ටමට නැඟගැනීමට ඇමරිකානු කම්කරුවන් සහජයෙන්ම ගන්නා උත්සාහය” පිලිබඳ ප්‍රකාශනයක් ලෙස යි.

අන්තර්ජාතික සමාජවාදය පිලිබඳ විසිවන සියවසේ ශ්‍රේෂ්ඨ මූලෝපායඥයාගේ මෙම තීක්ෂ්න බුද්ධිය, ඉන්ස්ටකාර්ට්, ඇමසොන්,හා හෝල් ෆුඩ්ස් කම්කරුවන්ගේ හදිසි වැඩවර්ජන හා විරෝධතා පැනනැඟීම පිලිබඳ වැදගත්කම වටහා ගැනීම සඳහා, ඓතිහාසිකව මුල්බැසගත් මූලාකෘතියක් සපයයි. මැසචුසෙට්ස් ප්‍රාන්තයේ ජෙනරල් ඉලෙක්ට්‍රිකල්, කෙන්ටකි ප්‍රාන්තයේ පර්ඩියු කම්කරුවන් ද සැන් ෆ්‍රැන්සිස්කෝ හි හෙදියන්ගේ  විරෝධතා ද පිලිබඳ වාර්තා තිබේ. මෙම සියලු ක්‍රියා සිදුවී ඇත්තේ, සංගත ලාභ වෙනුවෙන් කම්කරුවන්ගේ ආරක්ෂාව සාපරාධී ලෙස යටත් කිරීමට ප්‍රතිචාර වශයෙනි.

සෑම මහා අර්බුදයකම ලක්ෂනය වන්නේ, දශක ගනනාවක් තිස්සේ රාශිභූත වී ඇති හා යටපත් කෙරී ඇති ප්‍රතිවිරෝධතා හෙලිදරව් කිරීම යි. ආර්ථික සංවිධානය, සමාජ ව්‍යූහය, දේශපාලන නායකත්වය සහ පවත්නා සමාජයේ අධිපති දෘෂ්ටිවාදය තුල පවතින පසුගාමී, කාලවිරෝධී, දූෂිත හා වඩාත් ගැඹුරු වෛෂයික අර්ථයෙන් විකාර සහ අතාර්කික පවා වන සියල්ල නිර්දය හා පුලුල් ලෙස හෙලිදරව් කෙරී ඇත.

උත්කර්ෂයට නැංවූ  දේ හදිසියේ ම නීච කොට සැලකේ. ඔවුන්ගේ ජය්‍ර_හන පැසසුමට ලක් කෙරුනු වීරයෝ විශ්වීය අවමානයේ ප්‍රස්තූතයෝ බවට පත් වෙති. පාලක සංස්ථාපිතය වෙනුවෙන් හෝ එහි ක්ෂමාලාපකයින් ලෙස පෙනී සිටින අය දැකීම, ජනතාව අතර වෛරයේ, කෝපයේ හා පිලිකුලේ හැඟීමක් ඇති කරයි.

වසංගතය එවැනි අර්බුදයකි. එවිසින් යන්තම් සති කිහිපයක දී, පවත්නා සමාජ, දේශපාලන හා ආර්ථික පර්යාය මිලියන ගනනකගේ දෑස් හමුවේ අපකීර්තියට පත්කරනු ලැබ ඇත. විශාල ම බැංකු හා සංගත ද,  වැඩිම සංඛ්‍යාවක් බිලියනපතියන්ගේ නිවහන මෙන්ම මේ තාක් දුරට ලොව පොහොසත් ම රටවන එක්සත් ජනපදය ඔප්පු කර ඇත්තේ, වසංගතයට ඵලදායී ප්‍රතිචාරයකට සමාන වන කිසිවක් සංවිධානය කිරීමට එය අපොහොසත් බව යි.

කොවිඩ් - 19 වෛරසය පැතිරීම අඩපන කිරීමට හා නැවැත්වීමට කිසිදු සැලසුමක් නො තිබුනි. මාරාන්තික වසංගතයක අන්තරාය පසුගිය දශක දෙකක කාලය තුල  වෛද්‍ය අධ්‍යයන සහ ආන්ඩුවේ වාර්තා රාශියක විෂය  වී තිබුනි. මෙම අනතුරු ඇඟවීම් අවතක්සේරු කර නො සලකා හරින ලදි. පරපෝෂිත කතිපයාධිකාරයක් පොහොසත් කිරීම මූලික අරමුන කරගත්  ආර්ථික හා දේශපාලන පද්ධතියක් තුල, වැඩි ලාභයක් නොලබන පර්යේෂන හා නිෂ්පාදන ක්ෂේත්‍රයන් වෙත මූල්‍ය සම්පත් හරවා යැවීම කාලය හා මුදල් නාස්තියක් ලෙස දක්නා ලදී.

නිව් යෝක්, බොස්ටන්, ඩෙට්රොයිට්, චිකාගෝ, නිව් ඕර්ලියන්ස් සහ ලොස් ඇන්ජලීස් හරහා වසංගතය පැතිර යද්දී, ප්‍රතිගාමී සමාජ ප්‍රතිපත්තිවල ප්‍රතිඵලය, පුලුල් වන මරනයේ වාතාවරනය තුල දැන් දැකගත හැකිය. කිසිදු ප්‍රාන්තයකට හෝ ප්‍රධාන නගරයකට බේරෙනු හැකි යයි අපේක්ෂා කල  නො හැකි ය. වසංගතයෙන් ගැල වී යා නො හැකි වනු ඇති ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ අවස්ථාවන් හි දී, මහා ආසාදනවලට මුහුන දීම සඳහා අවශ්‍ය අති මූලික පහසුකම් පවා නොමැත.

ලෝකයේ එක් හෝ තවත් ප්‍රදේශයක නිමක් නැති යුද්ධ වෙනුවෙන් අති නවීන ආයුධ පද්ධති සඳහා බිලියන සිය ගනනක් වැය කරන එක්සත් ජනපදයට, රටේ රෝහල්වලට ශ්වසනාධාර හෝ සෞඛ්‍ය සේවකයින්ට මුහුනු ආවරන සහ වෙනත් ආරක්ෂක ආම්පන්න ලබා දිය නො හැකිවී ඇත. වෛරසය හඳුනාගැනීමට හා ඊට විරුද්ධව ක්‍රියාකිරීමට අවශ්‍ය පරීක්ෂන සිදු නොවේ. කොරෝනා වෛරසයට සම්බන්ධ රෝග ලක්ෂන ගැන පැමිනිලි කරන දහස් ගනනකට තමන් ආසාදනයට ලක් වී ඇත් දැ යි නිශ්චිතව ම දැනගත නො හැක.

වෛද්‍යවරුන්, හෙදියන් සහ රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන සියලු දෙනා, දිනකට පැය 15 සිට 18 දක්වා වෙහෙස මහන්සි වී වැඩ කරන අතර රෝගය වැලඳීමේ නිරන්තර අවදානමට ලක්ව සිටිති. දැඩි ලෙස ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සඳහා අවශ්‍ය රෝහල් ඇඳන් නො පවතී. මිනී කාමර පිරී ඇත. මියගිය අයට පවා ඔවුන්ට හිමි ගෞරවය ලැබෙන්නේ නැත.

මෙම අර්බුදය ඇමරිකානු සමාජය තුලට  කා වැදුනු, නො විසඳිය හැකි, පරස්පර විරෝධී, උත්සුකයන් හෙලිදරව් කර තිබේ. “අපි (එනම් ධනපතියන් සහ කම්කරුවන්) සියල්ල මෙහි දී එකට සිටිමු” යන්නට වඩා විශාල බොරුවක් තවත් නැත. නැත, “අපි” නිසැකවම ඔබත් සමඟ නැත! පාලක සංගත-මූල්‍ය ප්‍රභූව හා කම්කරු පන්තිය මෙම ගැඹුරු අර්බුදය වෙනස් ආකාරවලින් අත්විඳින අතර, ඔවුන්ගේ උත්සුක හා ප්‍රමුඛතා අහසට පොලව මෙන් එකිනෙකින් වෙනස් ය.

ආරම්භයේ සිටම, සංගත-මූල්‍ය ප්‍රභූව හා ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් පක්ෂවල එහි දේශපාලන ආවතේවකරුවන්ගේ ප්‍රධාන උත්සුකය වී ඇත්තේ, වසංගතයේ ආර්ථික ප්‍රහාරයෙන්, තම ධනය හා එය මුල්බැසගත්තා වූ ධනවාදී ලාභ පද්ධතිය රැක ගැනීම යි. ට්‍රම්ප් පරිපාලනයේ හා කොන්ග්‍රසයේ ක්‍රියාකාරිත්වය දැල්වූයේ, ආසාදන අනුපාතය හා ඉහල  යන මරන සංඛ්‍යාව නො ව, වෝල් වීදියේ කොටස් වටිනාකම් හදිසියේ හා දැවැන්ත ලෙස පහත වැටීම යි.

2008 දී මෙන්, නමුත් දැන් ඊටත් වඩා විශාල පරිමානයකින්, පාලක පන්තිය ඉල්ලා සිටියේ ඩොලර් ට්‍රිලියන ගනනක් මූල්‍ය වෙලඳපොලට හා සංගත පෙට්ටගම්වලට වහා ම පොම්ප කරන ලෙස යි.

කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ප්‍රතික්ෂේප කිරීමට සහ අත්‍යවශ්‍ය සමාජ සේවා සඳහා දැවැන්ත වියදම් කප්පාදුවක් යුක්තිසහගත කිරීමට සැමවිටම භාවිතා වන “මුදල් නැත” යන වචන කොන්ග්‍රස් ශාලාවල දී ඇසෙන්නේ නැත. අරමුදල් පරිහරනය සම්බන්ධයෙන් සැලකිය යුතු සීමාවන් හෝ අධීක්ෂනයක් නො මැතිව බැංකු හා සංස්ථා සේප්පුවලට අසීමිත මුදල් ප්‍රමානයක් පොම්ප කිරීම පිනිස ඔවුහු ඡන්දය ප්‍රකාශ කලහ. සියල්ලටත් වඩා වැදගත් දෙය නම්, ඩොලර් ට්‍රිලියන හයක ඇපදීම - දශකයක් පමන කාලයක් තුල  එවැනි දෙවන ගලවා ගැනීමේ මෙහෙයුම - ක්‍රියාත්මක කෙරුනේ, ධනේශ්වර දේපල  හා ධනය සොච්චමක් හෝ අත්පත් කර නොගෙනය. ජනගහනයෙන් අතිමහත් බහුතරය සම්බන්ධයෙන් ගත් කල, එහි අවශ්‍යතා සඳහා කැප කල  මුදල් ප්‍රමානය, කොංග්‍රස් මන්ඩල ගලවා ගැනීමේ පැකේජයේ සලු කොටසක් විය.

පාලක පන්තිය සැනසුම් සුසුමක් හෙලී ය. ඇපදීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු වෝල් වීදියේ සූදුව  නැවත ක්‍රියාත්මක වූ අතර, කොටස් වටිනාකම් දින කිහිපයක් ඇතුලත, සියයට 20 කින් ඉහල  ගියේය. එහෙත් මූල්‍යකරනය හා සම්බන්ධවූ දශක ගනනාවක් තිස්සේ ඇදී ගිය ධනපති පරපුටුකම, එනම් සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියෙන් නිර්මිත මුදල් උදුරා ගැනීමේ ක්‍රියාවලිය, පෙර නො වූ පරිදි යටින් පවතින ආර්ථික අර්බුදය, විය යුතු පරිදිම, සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් ද සහභාගී වූ එක්සත්කම පිලිබඳ සංදර්ශනයක් වූ, ද්වීපාක්ෂික කොන්ග්‍රසය විසින් මුදාහරින ලද ඩොලර් ට්‍රිලියන ගනන මඟින් තීව්ර කරනු ලැබින. කෙසේ වෙතත් ධනේශ්වර ආර්ථික විද්‍යාඥයන් මාක්ස්වාදී ශ්‍රම වටිනාකම පිලිබඳ න්‍යාය තරයේ ප්‍රතික්ෂේප කල ද, කම්කරු පන්තියේ ශ්‍රම ශක්තියේ වියදමින් හැර කිසිදු ධනවාදී ආර්ථිකයකට නො නැසී පැවතිය නො හැකිය. මාක්ස් සංක්ෂිප්තව සඳහන් කල  පරිදි, “වැඩ නතර කල ජාතියක්,වසරකදී කෙසේ වෙතත්, සති කිහිපයකින් වුවද විනාශ වනු ඇති බව ඕනෑම ලදරුවෙක් පවා දනී.”

ඒ නිසා, වැඩි කල් යන්නට මත්තෙන්ම, ඉක්මනින් රැකියාවට නැවත පැමිනිය යුතුය යන  ඉල්ලීම ඉදිරියට ගෙන තිබේ. දැන් පවතින නව වාක්‍ය ඛන්ඩය වූයේ: “වසංගතයට කරන ප්‍රතිකාරය රෝගයට වඩා දරුනු විය නො හැක” යන්න යි. වසංගතය පිලිබඳ විශේෂඥයින්ගේ පැහැදිලි අනතුරු ඇඟවීම් නො සලකා හරිමින් ට්‍රම්ප් ප්‍රකාශ කලේ, සති දෙකක් ඇතුලත කම්කරුවන් නැවත සේවයට පැමිනිය යුතු බව යි. මෙම නොසැලකිලිමත් තීරනය ක්‍රියාත්මක වුවහොත්, ලක්ෂ ගනනකගේ ජීවිත අහිමි වනු ඇත යන්න, ට්‍රම්ප්ට නම් වැදගත් කාරනයක් නොවේ.

එහෙත් ධනේශ්වර පන්තියේ සහ කම්කරු පන්තියේ අභිලාෂයන් සහ අරමුනු අතර ගැඹුරු හා සමහන් කල නොහැකි ගැටුම විවෘත ව පුපුරා ගොස් ඇත්තේ හරියටම මෙම ප්‍රශ්නය මත ය.

මාධ්‍යයේ සැලකිය යුතු කොටස් විසින් අනුමත කර ඇති, නැවත වැඩ ආරම්භ කිරීමක් සඳහා වන ධනපතීන්ගේ තදියම් හා භයානක ඉල්ලීම, අනවශ්‍ය නිෂ්පාදනය නැවැත්වීමෙන් හා තමන්ගේ හා තමන් පෙනී සිටින මහජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට අත්‍යාවශ්‍ය ශ්‍රමය  සපයන කම්කරුවන්ගේ  ආරක්ෂක කටයුතු දැඩි ලෙස නිරීක්ෂනය කිරීමෙන් වසංගතය මැඩපවත්වන ලෙස කම්කරු පන්තිය විසින් කරනු ලබන අවධාරනයට මුලුමනින්ම විරුද්ධ ය. ආසාදන අනුපාතය ඝාතීය ලෙසත්, මරන සංඛ්‍යාව වේගයෙන් ඉහල යාමත් හමුවේ, ට්‍රම්ප් පරිපාලනය දැන් ඉක්මනින් රැකියාවට නැවත පැමිනීම සඳහා වූ ඉල්ලීමෙන් පසුබැස ඇතත්, සංගත අවශ්‍යතාවන් තවමත්, අත්‍යාවශ්‍ය සේවා සපයන කම්කරුවන්ගේ ජීවිත රඳා පවතින ආරක්ෂිත තත්වයන් ඔවුන්ට අහිමිකරමින් සිටියි.

ඉන්ස්ටාකාර්ට්, ඇමසොන් හා හෝල් ෆුඩ්ස් කම්කරුවන් හා කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වැඩ වර්ජනයේ යෙදීම හා විරෝධතාවල නිරතවීම මගින් හෙලි වන්නේ, සමාජයේ පන්තිමය ධ්‍රැවීකරනය පමනක් නො වේ. ඒවා මෙම අර්බුදයට ප්‍රගතිශීලී විසඳුමක් ලබා දීම සඳහා කම්කරු පන්තියේ වැඩෙන ප්‍රයත්නයන්හි ආරම්භක ප්‍රකාශනයකි. එය සමස්ත මානව වර්ගයාගේ වෛෂයික අවශ්‍යතාවයන්ගෙන් පටන්ගෙන ඉදිරියට යන විසඳුමකි.

ඉන්ස්ටාකාර්ට්, ඇ‍මසොන් සහ හෝල් ෆුඩ්ස් කම්කරු ක්‍රියාවන්ට කම්කරු පන්තියේ විශාල පිරිසකගේ සහාය ලැබෙන බවට කිසිදු සැකයක් නැත. මෙම සහයෝගය බලමුලු ගැන්වීම හා සංවිධානය කිරීම සඳහා අප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ, තම අරගල සම්බන්ධීකරනය කිරීමට හා කම්කරු පන්තියේ සියලු කොටස් අතර හැකි උපරිම එකමුතුව ගොඩනැගීම සඳහා සාමාජිකයින්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගන  ලෙස යි.

කාර්මික ක්‍රියාමාර්ගයට නව දේශපාලන දිශානතියක් අවශ්‍ය වේ. ධනේශ්වර පන්තියට මුලුමනින්ම නය ගැති, ධනේශ්වර රිපබ්ලිකානු-ඩිමොක්‍රටික ද්වි-පක්ෂ ක්‍රමයෙන් බිඳී වෙන්වීම අත්‍යාවශ්‍ය ය. ලාභයට වඩා ජීවිතයේ පරම ප්‍රමුඛතාවය අවධාරනය කරන මෙම ව්‍යාපාරය, දේශපාලනික වශයෙන් සවිඥානික, සමාජවාදී මඟ පෙන්වීමක් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. වසංගතයට එරෙහි අරගලය ධනවාදයට එරෙහි කම්කරු පන්තියේ අරගලය සමඟ වෙන් කල  නො හැකි ලෙස බැඳී ඇත.

මේ සඳහා සමාජවාදී සමානතා පක්ෂය පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කරයි:

·         සංගත-වෝල් වීදියේ ඇපදීම අවලංගු කර, වෛරසයෙන් පහර වැදුනු අයට හා සමස්ත සමාජයටම සුරක්ෂිත පරිසරයක වසංගතයට එරෙහිව සටන් කිරීමට හා  සේවය කිරීමට සියලු සෞඛ්‍ය රැකවරන, සේවා හා කාර්මික කම්කරුවන්ට අත්‍යාවශ්‍ය උපකරන ලබා දීමට මූල්‍ය හා කාර්මික සම්පත් වහාම වෙන් කරනු.

·         වෛද්‍ය සේවාවන්ගෙන්  ලාභ ඉපැයීම වහාම නතර කරනු. විශාල කොටස් හිමියන්ට හා විධායකයින්ට වන්දි ගෙවීමකින් තොරව සමස්ත සෞඛ්‍ය සේවා හා ඖෂධ කර්මාන්තය ජනසතු කර, ඒවා කම්කරුවන්, විද්‍යාඥයින් හා පර්යේෂකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු.

·         ඇමසොන් හා අනෙකුත් වැදගත් සේවා කර්මාන්ත ජනසතු කරනු

·         වසංගත කාලසීමාවේ සේවයෙන් ඉවත් කරන ලද හෝ  වැඩ පැය ගනන අඩු කෙරුනු කම්කරුවන්ට වැටුප් අඩු කිරීමක් හෝ වැටුප් කපාහැරීමක් සිදු නො කරනු.

·         වසංගතයට එරෙහි ලෝක ව්‍යාප්ත සටනක් තුල විද්‍යාඥයින් හා පර්යේෂකයන්ගේ ගෝලීය සහයෝගීතාව ගොඩනඟනු. යුද වියදම් අහෝසි  කර රෝග වසංගත, ගෝලීය උෂ්නත්වය ඉහල  යාම හා මෙම පෘථිවියේ ජීවයට ඇති වෙනත් තර්ජනවලට එරෙහිව ට්‍රිලියන ගනන් ආයෝජනය කරනු.

සමාජයේ සියලු ප්‍රගතිශීලී බලවේගයන්ගේ සහාය ඇතිව මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාමේ දී, එය සාක්ෂාත් කර ගැනීම , දේශපාලන බලය කම්කරු පන්තියට මාරු කිරීම හා බැඳී ඇති බව අපි විවෘතව ප්‍රකාශ කරමු.

මෙම ප්‍රකාශය එක්සත් ජනපදයේ වර්ධනයන් කෙරෙහි අවධානය යොමු කර ඇත. නමුත් වසංගතය ගෝලීය අර්බුදයක් වන අතර සෑම රටකම එකම සමාජ හා දේශපාලන ප්‍රශ්න මතු වේ. එක්සත් ජනපදයේ තිබෙන බොහොමයක් සම්පත්වලින් සොච්චමක් සහිත රටවල් හා සියලු රටවල්,  මෙම වසංගතයේ ඛේදවාචකය අත්විඳිමින් සිටිති. වසංගතයට එරෙහි සටනට ලෝක පරිමානයෙන් කම්කරු පන්තියේ එක්සත්කම අවශ්‍ය වන්නේ එබැවිනි. මෙම අරගලය තුල  ජාතික ස්වෝත්තමවාදයට හා මහා බලවතුන්ගේ දේශපාලනයට තැනක් නොමැත.

ශතවර්ෂයකට පෙර, පලමුවන ලෝක සංග්‍රාමය ආසන්නයේ දී විප්ලවවාදී සමාජවාදිනියක වූ රෝසා ලක්සම්බර්ග් කියා සිටියේ, සමාජවාදයද? නැතිනම් ම්ලේච්ඡත්වයද? යන විකල්ප දෙකින් එකකට මානව වර්ගයා මුහුන දී සිටින බව යි.

අද වන විට  ධනේශ්වර ලාභ පද්ධතිය හා මරනයද? නැතිනම් සමාජවාදය හා ජීවිතයද? යන දෙකින් එකක් විකල්පය ලෙස පවතියි.

කම්කරු බලය හා සමාජවාදය සඳහා වන අරගලයේ අවශ්‍යතාවය හඳුනා ගන්නා සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ, සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙස යි.

Loading