ශ්‍රී ලංකා ගුවන් සේවයේ වැටුප් කප්පාදුවට එරෙහිවෙනු!

පානි විජේසිරිවර්ධන
4 අප්‍රේල් 2020

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මන්ඩලයට අයත් 7000 ක් පමන වන සේවක-සේවිකාවන්ගේ වැටුප් කප්පාදු කිරීමට තීන්දු කල බව එහි අධ්‍යක්ෂ මන්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සීටී. එම  ප්‍රකාශයට අනුව, මාස තුනක කාල සීමාවක් සඳහා සියයට 5 ත් 25 ත් අතර වැටුප් කප්පාදුවක් සිදු කෙරෙන අතර, 2020 ට හිමි වැටුප් වර්ධක කපා හැරෙයි.

කප්පාදුවට යටත් වන්නේ රුපියල් ලක්ෂයට වඩා වැඩි වැටුප් ලබන අය පමනක් බව සේවකයන්ට දන්වා ඇතත්, එම  ප්‍රවර්ගයට අයත්වන 1500 ක් පමන වන ගුවන් සේවකයන්ට ලැබෙන ඵලදායිතා දීමනා අහිමිව යෑමෙන් සියයකට 75 කට වැඩි මාසික ආදායමක් ඔවුනට අහිමි වෙයි.

ගුවන් සේවකයන්ට වාර්ෂිකව ලැබිය යුතු දීමනාවේ, 2019 වසරට අදාල මුදලේ දෙවන වාරිකය අප්‍රේල් මාසයේ වැටුපට එකතු කිරීමට නියමිතව තිබුනද, මේ අවස්ථාවේදී එය ද ලබාදිය නොහැකි බව පරිපාලනය විසින් දන්වා ඇත.

තම සේවක-සේවිකාවන්ගේ ජීවන කොන්දේසි සමතලා කෙරෙන රුදුරු කප්පාදුවක් ක්‍රියාත්මක කරමින් සමාගම් පරිපාලනය නරුම ලෙස කියා සිටින්නේ “ජාතික ගුවන් සේවය අඛන්ඩව පැවතීම සහතික කිරීම සඳහා එහි කාර්ය මන්ඩලය කරන බොහෝ කැපකිරීම් පිලිබඳව අවංක කෘතඥතාව පල කරන” බවයි. 

තම අනුදැනීමෙන් හෝ අනුමැතියෙන් තොරව, හුදෙක් ධනපති පාලකයන්ගේ ස්වාර්ථය සඳහා පමනක් ගැනුනු පියවරයන්හිප්‍රතිවිපාක වෙනුවෙන් සමාගමේ සේවයේ නියුතු දහස් සංඛ්‍යාත කම්කරුවන් කවර හෝ “කැපකිරීමක්” කලයුතු නොවේ.

වැටුප් කප්පාදුව සාධාරනීකරනය කරමින් අධ්‍යක්ෂ මන්ඩලය කියා සිටින්නේ වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල “මූල්‍යමය ශක්‍යතාව පෙරනොවූවිරූ ආතතියකට” ලක්ව ඇති බැවින් බොහෝ සමාගම් තම කාර්ය මන්ඩලය වැටුප් “රහිතව” නිවාඩු යවා ඇති බවයි.

දැවැන්ත ලාභයන් සමුච්චය කර ගන්නා සාමාන්‍ය කාලයන්හි එම ලාභය සාමූහිකව බෙදාහදා ගැනීමක් ගැන කිසිවිටෙකත් කතා නොකරන පාලකයන්, අර්බුද අවස්ථාවන්හි සමාගම් ලබන “පාඩුව” පමනක් බෙදාහදා ගැනීම සඳහා “කැපවන” ලෙස කම්කරුවන්ට කරන මෙවන් වංචනික යෝජනා ශ්‍රී ලංකන් සේවකයන් ඇතුලු ලොවපුරා කම්කරුවන් එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය.

රාජ්‍ය ව්‍යවසායක් වන ශ්‍රී ලන්කන් සමාගම ගෙන ඇති මෙම වැටුප් කප්පාදුව හුදෙක් එහි අධ්‍යක්ෂ මන්ඩලයේ තීන්දුවක් නොව, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ තීන්දුවකි. එම තීන්දුව, වසංගතය නිසා වසාදමා ඇති සමාගම්වල හාම්පුතුන්ට තමා යටතේ සේවය කරන කම්කරුවන්ගේ වැටුප් කපා හැරීමට දෙනලද පූර්වාදර්ශයකි.

වසා දමන ලද කම්හල් කීපයකම පාලකයන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ, නැවත විවෘත කරනතුරු සියලු වැටුප් නතර කරන බවයි. ඒ අනුව, දසදහස් සංඛ්‍යාත කම්කරුවන්ට තම ජීවනෝපායන් අහිමි වෙයි. සමස්ත කම්කරු පන්තියම මෙම වැටුප් කප්පාදුවේ අන්තරායකාරී ඇඟවුම් හඳුනාගෙන එයට එරෙහිව නැගී සිටිය යුතුය.

වසංගතයෙන් පැන නංවා ඇති අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාව විසින් දැරියයුතු බවට, ලොවපුරා ආන්ඩු, හාම්පුතුන් සහ ඔවුන්ගේ මාධ්‍යයන් විසින් ගෙනයන උද්ඝෝෂනයට කවර හෝ යුක්තියුක්තභාවයක් නොමැත.

අර්බුදයට පරිපූර්නව වගකිව යුත්තේ, ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන්, සෞඛ්‍ය සේවය අනවරත කප්පාදුවකට යටත් කරමින් එහි සමස්ත යටිතල ව්‍යූහයම විනාශ කල ලොවපුරා ධනපති පාලක පන්තීන් ය.

වසංගතයෙන් පැන නංවා ඇති අර්බුදයේ සමස්ත බර අර්බුදය නිර්මානය කල ධනපතියන් විසින් ම දැරිය යුතු ය.

වසා දැමෙන කිසිදු අංශයක කම්කරුවන්ට රැකියා අහිමි නො කරනු, සෞඛ්‍ය හා ආහාර සම්පාදනය වැනි අත්‍යවශ්‍ය සේවාවන් හැර අනෙක් සියලු කර්මාන්ත, වසංගතය වැලැක්වීම සඳහා වසා දමනු, වසා දැමීමට යටත් වන කම්කරුවන්ට පූර්න වැටුප් සහිත නිවාඩු ලබාදෙනු සහ කොරෝනා වසංගතයෙන් මිලියන සංඛ්‍යාත මිනිස් ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහා       ප්‍රමානවත් පහසුකම් ඇති කිරීමට දැවැන්ත අරමුදල් සම්පාදනය කරනු යන ඉල්ලීම් යටතේ කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය කර ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය වෙයි.

එවන් අරගලයකට ඇති බලවත්ම බාධකය වනුයේ ධනපති හාම්පුතුන්ගේ උපකරනයන් බවට පත්ව ඇති වෘත්තීය සමිති ජාලය යි. ගුවන් සේවකයන්ගේ වෘත්තීය සමිතිය (Flight Attendents' Union) සම්බන්ධයෙන්, ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පලකල අදහස් වලින් එය තහවුරු වෙයි.

එක් සේවිකාවක් මෙසේ කියා සිටියාය: “මෙච්චර බරපතල කප්පාදුවක් කරලත් වෘත්තීය සමිතිය අද වෙනතුරු කිසිම ක්‍රියා මාර්ගයක් අරන් නෑ. අවම වශයෙන් මේ කප්පාදුවේ භයානක  ප්‍රතිවිපාක ගැන සාමාජිකත්වය දැනුවත් කිරීමක්වත් කරල නෑ. ගුවන්ගත වීමේදී ලැබෙන දීමනා කිසිවක් ඉදිරි මාසවල නොලැබෙන බව දැනගත්තෙ අපිම මහන්සි වෙලා.”

මෙම කප්පාදුව තම පවුලේ ජීවන කොන්දේසි වලට වැදුනු මරුපහරක් බව සඳහන් කරමින් ඇය පැවසුවේ ගුවන්ගතවීමේදී ලැබෙන ඵලදායිතා දීමනාව නොලැබෙන බැවින් මාර්තු මාසයේ ඇයට ලැබුන වැටුපට සාපේක්ෂව අප්‍රේල් මාසයේ වැටුප රුපියල් 75,000 කින් පමන අඩුවන බවයි. ඒ අනුව ඇයට හිමි වන්නේ මූලික වැටුප වන රුපියල් 23,000 ක් පමනි. 

වෘත්තීය සමිතියේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය සම්බන්ධයෙන් කතා කරමින් තවත් සේවිකාවක් කීවේ සමිතිය සහ පාලකයන් අතර පසුගිය වසරේ ඇතිකරගත් සාමූහික ගිවිසුම තුල පාරිතෝෂික දීමනා මුලුමනින්ම ඉවත් කිරීමට සමිතිය එකඟවූයේ සාමාජිකත්වය තුල කවර හෝ සාකච්ඡාවකින් තොරව බව යි.

ඇය මෙසේද පැවසුවාය: “පසුගිය මාස තුනේ අපි ගුවන්ගත වුනේ කොරෝනා ආසාදනය වෙතැයි දැඩි බියකින්. ආසාදනයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ආම්පන්න කිසිවක් පරිපාලනය අපට සම්පාදනය කලේ නෑ. සමිතිය කටක් ඇරියෙ නෑ. අපේ සමහර සහෝදර සේවිකාවන් තමා මුහුන දී සිටින අවදානම පිලිබඳව සමාජ මාධ්‍යයන්හි අදහස් පලකලාම පරිපාලනය අපිට තර්ජනය කලා සමාගමේ කීර්තිනාමය නැති කරන්න එපා කියල. පරිපාලනයට යි සමිතියටයි අපේ ජීවිත වලට වඩා වටින්නෙ කීර්තිනාමය.”

එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවිකාවන් අත්‍යවශ්‍ය ආරක්ෂක ආම්පන්න ලබා නොදීමට එරෙහිව ගෙනයන විරෝධතා පිලිබඳව දැනසිටි ඇය කියා සිටියේ ලොවපුරා කම්කරුවන් එක හා සමාන තත්වයන්ට මුහුන දී සිටින බවයි. 

තවත් ගුවන් සේවිකාවක් ලෝසවෙඅ ට කීවේ පාලකයන් යටිමඩි ගැසීමෙන් සමාගම පාඩුලැබූ සෑමවිටෙකම එහි බර සේවකයන්ට දැරීමට සිදුවූ බවයි. “මහින්ද රාජපක්ෂගෙ ආන්ඩුව කාලෙත්, ජනාධිපති සිරිසේනගෙ සහ අගමැති වික්‍රමසිංහගෙ ආන්ඩුව කාලෙත් සමාගමට පාඩුයි කියල අපේ පාරිතෝෂික දීමනා පවා කපල දැම්ම.” 

වසංගත අර්බුදය මධ්‍යයේ ආන්ඩුව දෙන පොරොන්දු වල  ප්‍රෝඩාකාරී ස්වභාවය අනාවරනය කරමින් ඇය මෙසේ පැවසුවාය: “ගත්ත නිවාස නය වෙනුවෙන් මසකට රුපියල් 40,000 ක වාරිකයක් මම බැංකුවට ගෙවන්න ඕන. දැන් ඒක කොහොමවත් ගෙවන්න බෑ. වසංගතය නිසා මාස තුනක සහන කාලයක් ලබාදෙන බව ආන්ඩුව කීවත් බැංකුවට බැරවුනු මගේ මාර්තු වැටුපෙන් සම්පූර්න නය වාරිකය කපාගෙන තිබුනා. ආන්ඩුවේ සහනය දෙන්නෙ නැද්ද කියල ඇහුවම බැංකුවෙන් කිව්වෙ තාම එහෙම උපදේශයක් නිල වශයෙන් ලැබිල නෑ කියල. ආන්ඩුව, සමාගම් පරිපාලනය, බැංකු, වෘත්තීය සමිති මේ ඔක්කොම අපිට විරුද්ධව ඉන්නෙ.”

ශ්‍රී ලන්කන් සේවක-සේවිකාවන්ගේ පමනක් නොව, ලංකාවේ අනෙකුත් ක්ෂේත්‍රයන්හි කම්කරුවන්ගේ සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අත්දැකීම එයයි.

කොරෝනා වෛරස් වසංගතය මගින් ජනිත කෙරී ඇති සෞඛ්‍යමය හදිසි තත්වය, 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු විශාලතම ආර්ථික හා සමාජ අර්බුදය දක්වා වර්ධනය වෙමින් පවතී. දසදහස් සංඛ්‍යාත ජනයා ප්‍රතිකාර නොමැතිව මිය යන අතර මිලියන සංඛ්‍යාත ජනයාට රැකියා අහිමි වෙමින් පවතී.

මිලියන ගනන් ජීවිත රැකගැනීමට අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සඳහා මුදල් සම්පාදනය නොකරන ධනපති ආන්ඩු වසංගතය හමුවේ අර්බුදයට පත්වන මහා බැංකු සහ මුල්‍ය සංගත රැක ගැනීමට ට්‍රිලියන ගනනින් පොම්ප කරති.

ධනපති පන්තිය, පන්ති සබඳතා තවදුරටත් ප්‍රතිව්‍යුහගත කිරීම  සඳහා අවස්ථාවක් ලෙස මෙම ආර්ථික ව්‍යසනය යොදා ගැනීමට උත්සාහ කරනු ඇත. අහිමි වන බොහෝ රැකියා නැවත නොලැබෙනු ඇත. නැතහොත් කම්කරුවන්ට අඩු වැටුප් හා    ඉතා දුෂ්කර සේවා කොන්දේසි භාර ගැනීමට බල කෙරෙනු ඇත.

මෙය නොඉවසන කම්කරු පන්තිය දැනටමත් අරගලයට අවතීර්නව සිටී. එක්සත් ජනපදයේ ඇමසොන් කම්කරුවන්, හෝල් ෆුඩ් සේවකයින්, ඉන්ස්ටාකාර්ට් කම්කරුවන්, මෝටර් රථ සේවකයින්, ප්‍රවාහන සේවකයින් සහ කම්කරු පන්තියේ අනෙකුත් කොටස් වැඩ වර්ජන හා පාගමන් වලින් ආරම්භකත්වය ගෙන ඇත.

කෙසේ නමුත්, මෙම අරගල ඉතා පැහැදිලිව ධනවාද-විරෝධී හා ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මගින් මෙහෙයවිය යුතුය.

ශ්‍රී ලන්කන් කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු පන්තිය වෘත්තීය සමිති වලින් බිඳී, වැඩපල සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින්, අවශේෂ කම්කරුවන් සහ පීඩිතයන් ඒ වටා රැලිකරගෙන, ඉහත වැඩපිලිවෙල මත සටන් කිරීම අත්‍යවශ්‍ය වෙයි.