වසංගතයේ කේන්ද්‍රය වූ වුහාන් හි චීන වෛද්යවරුන් සිව් දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක්

මෙම ලිපිය 2020 අප්‍රේල් 3 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

හොංකොංහි සවුත් චයිනා මෝනිං පෝස්ට් පසුගිය මාසයේදී වාර්තා කලේ, 55 හැවිරිදි පුද්ගලයෙකුට 2019 නොවැම්බර් 17 දා නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවයි. කොවිඩ්-19 ආසාදනය වූ පලමු පුද්ගලයා පිලිබඳව  තහවුරු කල මුල්ම අවස්ථාව මෙය වන නමුත් බලධාරීන් විශ්වාස කරන්නේ ඔහු පලමුවැන්නා නොවන බවයි. මීලඟට තහවුරු කල සිද්ධිය 2019 දෙසැම්බර් 1  දින වාර්තා වූ නමුත්  ඔහු, වුහාන් හි පිහිටි හුවානාන් මුහුදු ආහාර තොග වෙලඳපොලට කිසිදු සම්බන්ධයක් නොතිබුනි. 2020 ජනවාරි 9 වන දින චීන රාජ්‍ය විකාශනය වන සීසීටීවී වාර්තා කලේ, වසංගතය ප්‍රථම වරට වුහාන්හිදී දෙසැම්බර් 12 දා හඳුනාගත් බවයි. නිව්මෝනියාවට සමාන රෝග ලක්ෂන ඇති අය ප්‍රාදේශීය රොහල් වලින් සොයාගෙන තිබුනි.

සාමාන්‍ය නොවන නිව්මෝනියා රරා්ග ලක්ෂන සහිත වෛරස් ආසාදිත රොගීන් ඇතුලත් කල පලමු රොහල වන ජින්යින්ටෑන් ආරෝග්‍ය ශාලාව

 

දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර ගනු ලැබූ මෙම රෝගීන්ගේ පෙනහළු වලින් ගත් තරල, වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ දී පරීක්ෂා කරන ලදී. දැඩි සත්කාර ඒකකයේ රෝගීන් හත්දෙනෙකුගෙන් හයදෙනෙකුම වෙලඳපොලේ සේවය කරන විකුනුම්කරුවන් හෝ බෙදාහරින්නන් විය. රෝග පාලනය හා වැලැක්වීමේ චීන මධ්‍යස්ථානය දෙසැම්බර් 21 වන දින, “හේතුව නොදන්නා නියුමෝනියා”  රෝගීන් සමූහයක් පිලිබඳව ඔවුන්ගේ වාර්තාව ප්‍රකාශයට පත් කලේය. ”

දරුනු නියුමෝනියා රෝගී තත්ත්වයන් සහිතව රොහල්ගත කල  බොහෝ රෝගීන් වෙලඳපොලට සම්බන්ධ කිරීම හේතුවෙන් වුහාන් නාගරික සෞඛ්‍ය කමිටුව, දෙසැම්බර් 30 වන දින සිය වයිබෝ සමාජ මාධ්‍ය ප්‍රකාශනය හරහා හදිසි දැන්වීමක් නිකුත් කලේය. සැක සහිත රෝගීන් 27 දෙනෙකු සිටින බවත් ඔවුන්ගෙන් 7ගේ තත්වය බරපතල බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයට (ඩබ්ලිව්එච්ඕ) දැනුම් දෙන ලදී. මේ අවස්ථාවේදී, රෝග කාරකයේ ජානමය අනුක්‍රමය  ලෙස වැරදියට විශ්වාස කරන ලද්දේ, එය  උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝමය (සාස්) (Severe Acute Respiratory Syndrome (SARS) සහිත කොරෝනා වෛරසයක් බවයි.

බොහෝ වෛද්‍යවරු මෙම තොරතුරු අන්තර්ජාලයට නිකුත් කල අතර, වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය ලී වෙන්ලියන්ග් ද විචැට් කන්ඬායමක් හරහා තම වෛද්‍ය පාසල් සගයන්ට අනතුරු ඇඟවීය. ඔහුගේ සටහන පැතිර යාමත් සමඟ, "බොරු ප්‍රකාශ" හා "සමාජ සාමයට බරපතල ලෙස බාධා" කල බවට පාපොච්චාරනයක් අත්සන් කිරීමට බලධාරීන් ඔහුට බල කල අතර දැඩි ලෙස අවවාද කරන ලදී.  ජනවාරි 12 වන දින ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව සොයාගත් අතර පෙබරවාරි 7 දා ඔහු මිය ගියේය.

ජනවාරි 1 වන දින චීන බලධාරීන් හුවානාන් මුහුදු ආහාර වෙලඳපොල වසා දැමීය. ජනවාරි 2 වන දින රසායනාගාරයෙන් තහවුරු කරන ලද ආසාදන සහිත රෝගීන් 41 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඔවුන් වුහාන්හි ජිනින්ටන් රෝහල වෙත ගෙන යන ලදී.

ජාතික වෛරස් රෝග හා නිවාරන ආයතනයේ චීන විද්‍යාඥයින් ජනවාරි 3 වන දින, නව වෛරසයේ ජානමය අනුක්‍රමය තීරනය කල අතර එය 2019-එන්කොව් ලෙස නම් කරන ලදී.  බොහෝ දෙනෙක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බවට වාර්තා වූ සිද්ධීන් හදිසියේ ඉහල යාම නිසා සෞඛ්‍ය බලධාරීන් තැතිගත්තේය. කිසිදු මරනයක් වාර්තා වී නොමැති නමුත් සමීප සම්බන්ධතා නිරීක්ෂනය කෙරුනි. සීඩීසී අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් එදිනම, එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා ලේකම් ඇලෙක්ස් අසාර්ටට, චීන වෛද්‍යවරුන් සමඟ වෛරසය පිලිබඳව කල සාකච්ඡාව පිලිබඳව අනතුරු ඇඟවීය.

හොංකොංහි ආසාදන සඳහා වන මධ්‍යස්ථානය අනතුරු ඇඟවූයේ, මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට ආසාදනය වන නව වෛරස් නිව්මෝනියාව පැතිරීම වැලැක්වීමට හොංකොං බලධාරීන් දැඩි නිරීක්ෂන ක්‍රියාත්මක කල යුතු බවයි. වුහාන්හි සංචාරය කර තිබුනු, නියුමෝනියාව වැලඳුනු තුන් හැවිරිදි චීන දැරියක ගැන සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේය. කුඩා දරුවා සාස් සහ මර්ස්_කොවි වෛරස් පරීක්ෂන වලට සෘන ප්‍රතිචාර දක්වා තිබුනි.

වෛද්‍ය සේවකයින් රෝගියෙකු පරීක්ෂා කරයි

 

ජනවාරි 7 වන විට චීන බලධාරීන්, වෛරසය පිලිබඳ තොරතුරු පල කරන සියලුම සමාජ මාධ්‍යවලට බාධා කරමින් සිටියේය. එක්සත් ජනපද සීඩීසී විසින් වුහාන් වෙත සංචාරක දැන්වීම් උපදේශනයක් නිකුත් කරන ලදී. දකුනු කොරියා සෞඛ්‍ය බලධාරීන්, වුහාන් සිට ආපසු පැමිනි, කැස්ස සහ උනෙන් පෙලුන, 36 හැවිරිදි චීන කාන්තාවක් හුදෙකලා කර තැබීය. නව කොරොනා වයිරසයක් පැතිරෙමින් තිබෙන බව ජනවාරි 9 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කලේය. පලමු මරනය ද වාර්තා විය ඔහු මුහුදු ආහාර වෙලඳපොලේ නිත්‍ය ගනුදෙනුකරුවෙකු වූ 61 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට නිදන්ගත අක්මා රෝගය ද ඇතුළු රෝග ගනනාවක් තිබුනි.

චීන වෛරස් විද්‍යාඥයින් විසින් ජෙන්බෑන්ක් හි එන්අයිඑච් ජාන අනුක්‍රමික දත්ත ගබඩාවට ජනවාරි 13 වන දින වෛරසය සඳහා ජානමය අනුක්‍රමය එක් කර තිබුනි. බැංකොක් නුවරට ජනවාරි 8 වන දින පැමිනි චීන ජාතික කාන්තාවකට 2019-එන්කොව් වෛරසය ආසාදනය වී තිබීම පිලිබඳව තායිලන්තය වාර්තා කලේය. චීනයේ 69 හැවිරිදි පුද්ගලයෙකුගේ දෙවන මරනය ජනවාරි 15 ​​වන දින වාර්තා විය. ඔහු දෙසැම්බර් 31දා සිට රොගාතුරව සිටියේය.

ජර්මනියේ බර්ලින්හි  චරිටා රෝහලේ ආසාදන පර්යේෂන හා වෛරස් විද්‍යාඥයින් කන්ඬායමක්, 2019-එන්කොවි හඳුනාගත හැකි නව විද්‍යාගාර පරීක්ෂනයක් සිදු කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇති බව ඇසේ ප්‍රොටෝකෝලය ප්‍රකාශයට පත් කරන ලදි. එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිස්ටියන් ඩ්‍රොස්ටේන්ට අනුව, "දැන් මේ රෝග විනිශ්චය පරීක්ෂන පුළුල් ලෙස ලබා ගත හැකිය. සැකකරන අවස්ථා විශ්වාසයෙන් යුතුව විනිශ්චය කිරීමට වැඩි කලක් ගත නොවනු ඇති බව මගේ විශ්වාසයයි.  වෛරසය මිනිසෙකුගෙන් මිනිසෙකුට බෝවිය  හැකිද යන්න විද්‍යාඥයින්ට තේරුම් ගැනීමට මෙය උපකාරී වේ. මෙය, නව වෛරසයට එරෙහි අපගේ සටනේ වැදගත් පියවරකි. ”

චීනයේ ප්‍රධාන නගර පුරා රෝගීන් 291 ක් ජනවාරි 21 වන විට වාර්තා වී තිබුනි. ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් හි ගෝලීය බෝවෙන රෝග විශ්ලේෂනය සඳහා වූ එම්ආර්සී මධ්‍යස්ථානය ප්‍රකාශ කලේ, ඔවුන්ගේ ආකෘති මගින් ආසාදන රෝගීන් 1,700 කට වැඩි ගනනක් පිලිබඳව අනාවැකි පල කර ඇති බවයි. නව වෛරසය පැතිරීම තවදුරටත් වසන් නොකරන ලෙස චීන ආන්ඩුව පහල මට්ටමේ නිලධාරීන්ට අනතුරු ඇඟවීමට පටන් ගත්තේය. වෛරසයේ පැතිරීම පිලිබඳව ජනාධිපති ෂී ජින් පිං, කලින් දැනුම්දී තිබුනාට වඩා දැන සිටි බව පසුව නිවේදනය කලේය. එදිනම එක්සත් ජනපදය සිය පලමු සිද්ධිය වොෂිංටන් ප්‍රාන්තයෙන් වාර්තා කලේය.

ජනවාරි 24 වන දින වනවිට චීනයෙන් පිටත තවත් රටවල්, වෛරස් ආසාදන  වාර්තා කරමින් සිටියහ. චීනයෙන් පිටත මිනිසාට සම්ප්‍රේෂනය වූ පලමු සිද්ධිය වියට්නාමයේදී සිදුවිය. චීන දේශපාලන මන්ඬලය මුළු හුබෙයි පලාතම, නගරයෙන් නඟරය ඇතුලත් වන ලෙස නිරෝධායනයකට යටත් කල අතර  එය මිලියන 60 කට ආසන්න ජනතාවකට බලපෑවේය.

 

ලොසවෙඅ හි බෙන්ජමින් මැටියස්ට මාර්තු මැද භාගයේදී, අතරමැදියෙකු හරහා, වුහාන් හි කොවිඩ්-19 වසංගතය පිලිබඳව මුල සිටම ඉතා සමීපව කටයුතු කල චීන වෛද්‍යවරුන් සිව් දෙනෙකු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුනි. මෙම පුද්ගලයින්ගේ නිර්නාමිකභාවය සහතික කිරීම සඳහා නම් සහ ස්ථාන වෙනස් කර ඇත. ලිපි හුවමාරුව පැහැදිලි කම සඳහා නැවත සංක්ෂිප්ත කර ඇත.

බෙන්ජමින් මැටියස් (බීඑම්): සුබ උදෑසනක්. ඔබේ අත්දැකීම් හුවමාරු කර ගැනීම පිලිබඳව සියලූ දෙනාට ස්තුති. වුහාන් හි සිදු වූ දේ පාඨකයන්ට අවබෝධ කර ගැනීමට ඉඩ සැලසීම සහ වේදනාකාරී කාල පරිච්ඡේදය තුල  වැඩ කල ආකාරය පිලිබඳව  කෙලින්ම ඔබෙන් විමසන්නට ලැබීම වැදගත්ය. නමුත් ආරම්භ කිරීමට පෙර, ඔබ ගැන කෙටියෙන් අපට පැවසිය හැකිද?

වෛද්‍ය එක්ස්: මම හුබෙයි පලාතේ පලාත් තෘතීයික මධ්‍යස්ථානයක නිර්වින්දන වෛද්‍යවරයෙක්.

වෛද්‍ය ඩී: මම වැඩ කරන්නේ හදිසි ප්‍රතිකාර අංශයේ. මම වෙනත් පලාතක පලාත් තෘතීයික මධ්‍යස්ථානයක සේවය කරමි.

වෛද්‍ය ඉසෙඩ්: ස්තූතියි. ඔව්, මම ශ්වසන වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ දැනුම ලබාගත් වෛද්‍යවරයෙකි. වුහාන් වෛරස් අර්බුදයේදී මගේ අවධානය යොමු වුනේ,  උගුරේ තුවාල ඇති බවට සැක කෙරෙන වෛරස් රෝගීන් ඇගයීම සඳහා ය. අපි ඔවුන්ගේ සීටී ස්කෑන් ද සකස් කළා. ඔවුන් ධනාත්මක බව පරීක්‍ෂා වේදී සනාථ වුවහොත් හෝ නියුමෝනියාව පිලබඳ සොයාගෙන ඇත් නම්, අපි ඔවුන් රෝහලට ඇතුලත් කලෙමු. අපි මෙම ප්රදේශය " නිරීක්ෂන " කාමරයක් ලෙස හැඳින්වූවා.

වෛද්‍ය ඩබ්ලිව්: මම ප්‍රසව හා නාරිවේදය පිලිබඳව- දරුවන් ලැබීම සහ කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු ගැන- සැලකිලිමත් වෙමි. වෛද්‍ය ඉසෙඩ් සහ මම  වුහාන්හි අයයි.

බී.එම්: වෛද්‍ය ඩී, ඔබ වුහාන් වෙත කැඳවූයේ කවදාද?

වෛද්‍ය ඩී: ජනවාරි 24 වන දින හුබෙයි පලාත අගුලු දමා තිබියදී මගේ කන්ඩායම සහ මා වුහාන් වෙත පිටත් කර හරින ලදී. ඒ චීන අලුත් අවුරුදු දිනයයි.  ආන්ඩුවෙන් නියෝග ලැබුනු වහාම අපි  අපගේ කන්ඩායම් සහ වෛද්‍ය සැපයුම් සංවිධානය කලෙමු. මම කම්කරුවන් 138 දෙනෙකු සමඟ කන්ඩායමක් ලෙස වැඩ කලෙමි.

බී.එම්: ඔබ එහි ගියේ කෙසේද?

වෛද්‍ය ඩී: අපි ආන්ඩුව ලබාදුන්  ගුවන් යානයකින් ගමන් කලා. අපි ආ ගමන්ම  ලඟම පිහිටි හෝටලයකට පිටත් කලා. සියලුම වෛද්‍ය සේවකයින්ට, වුහාන්හි අයට පවා, ඔවුන්ගේ නිවෙස් රෝහලට කොතෙක් ආසන්න වුවත්, නියම කරන ලද හෝටල්වල නැවතී සිටීමට සිදුවිය. පෝෂ්‍යදායී ආහාර ඕනෑ තරම් තිබුනි. එ්වා පරිත්‍යාග කරනු ලැබුවේ පුරවැසියන් විසිනි.

වෛද්‍යවරු රොගියෙකුට නලයක් ඇතුල් කරයි

 

බී.එම්: ඇයි ඔබ මේ විදියට වෙන් වුනේ?

වෛද්‍ය ඉසෙඩ්: ප්‍රධානකොටම අපේ පවුල්වල ආරක්ෂාව සඳහා. ඔවුන් සමඟ සිටිමින් ඔවුන් ආරක්ෂාකාරීව තබා ගැනීම කල නොහැකි බව අපි තේරුම් ගත්තා.

බී.එම්: රෝහල්වල සැපයුම් සිදුවූ ආකාරය  ගැන කතා කල හැකිද?

වෛද්‍ය ඩී: අවශ්‍ය සියලු සැපයුම් සම්බන්ධීකරනයේ වගකීම ආන්ඩුව විසින් දරනු ලැබේ. එක් රජයේ ශාඛාවක් කලාපයේ ශාඛාව හරහා සම්බන්ධීකරනය කරනු ලබන අතර පසුව  රෝහල් දක්වා පුලුල් කරනු ලැබේ. මේ සඳහා අප විසින් පිහිටුවාගත් ජාලයක් තිබුනි.

බී.එම්: දොස්තර ඩී, ඔබ වැඩ කලේ කොහේද?

වෛද්‍ය ඩී: මගේ කන්ඩායම හැන්කූහි සාම්ප්‍රදායික පුලුල් රෝහලකට අනුයුක්ත කරන ලද අතර එය කොවිඩ්-19 වසංගත රෝගීන් ඇතුලත් කිරීමේ රෝහලක් බවට පරිවර්තනය කරන ලදී.

[වුහාන් නගරය යනු තවත්  නගර තුනක එකතුවකි - හන්කූ, වුචැං සහ හන්යාන්ග්. එය හැන් සහ යැංසි ගංගා එක්වන ස්ථානයට උතුරින් පිහිටා ඇත.]

බී.එම්: වෛද්‍ය එක්ස්, වුහාන් ප්‍රශ්නයේදී සහාය දුන් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව ගැන ඔබට කතා කල හැකිද?

වෛද්‍ය එක්ස්: අගුලු දැමීම බලාත්මක වූ විට සහ අපගේ සම්පත් බලමුලු ගැන්වූ විට, මම හිතන්නේ සෞඛ්‍ය සේවකයින් 40,000 ක් පමන හූබෙයි පලාතේ අපගේ වැඩවලට සහාය දැක්වූවා. මුලදී එය දුෂ්කර විය. රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය අතර අපට ඒ තත්වය සමඟ පොරබැදීමට නොහැකි විය. අපට සැපයුම් හිඟ වූ නමුත් දැන් අපි රෝහල්වලට අවශ්‍ය කාර්ය මන්ඩලය හා  උපකරන ලබා ගැනීමට සමත් වී සිටිමු.

බී.එම්: වාට්ටුවල වැඩ  කරගෙන ගියේ කෙසේද? පූර්න පුද්ගලික ආරක්ෂක මෙවලම් සහිතව සිටින චීන වෛද්‍යවරුන්ගේ පින්තූර අපි දැක ඇත්තෙමු.

වෛද්‍ය එක්ස්: අපගේ ආරක්‍ෂිත ආම්පන්න ගලවා ඉවත් කිරීම හා නැවත පැලඳීමේ ක්‍රියාවලිය අපි ඉක්මනින් ඉගෙන ගත්තෙමු. ඔවුන් පැහැදිලි කලේ, කබාය සහ කොන්ඩා දැල් වෙනුවට සම්පූර්න ආරක්ෂිත ආම්පන්න පැලඳ සිටි බවයි. මුහුනු ආවරන, සහ පලිහක් වැනි ආවරන සහ අත්වැසුම් යුගල හතරක් ඊට ඇතුලත්වූ බවයි. ඒවා සමඟ වැඩ කිරීම ඉතා අපහසු විය. අපි වැඩ මුරයේ හිටියා. වෛද්‍යවරු පැය හයක වැඩ මුරයක ද හෙදියන් පැය හතරක වැඩ මුරයක ද යෙදී සිටියා. අපගේ මුරය පටන් ගැනීමට පැයකට කලිනුත්, මුරය අවසන්වීමෙන් පසුව පැයකුත් ආරක්ෂක මෙවලම් දමා ගැනීමටත් ඉවත් කිරීමටත් ගත කලෙමු. අපි රෝගීන් ඇතුලත් කර ගැනීමෙන් පසුව ඔවුන්ට ශ්වසන යන්ත්‍ර සවිකලා.

වෛද්‍ය ඩී: සමහර විට ගොග්ල්ස් කන්නාඩි සහ පිටත ආරක්ෂිත ආම්පන්න භාවිතා නොකල අවස්ථා වලදී ඒ ගැන ලොකු චකිතයකින් සිටින්නට ඇත. අපි අත්වැසුම් ස්ථර තුනක් හෝ හතරක් පැලඳ සිටියෙමු. නමුත් එය අවශ්‍ය වුනා ද නැද්ද යන්න කීමට අපහසු විය. නමුත් අපි ඒවා පාවිච්චි කලේ ඉතා පරිස්සමින්.

බී.එම්: වෛද්‍ය ඉසෙඩ්, කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා චීන වෛද්‍යවරු සීටී ස්කෑන් භාවිතා කරන බව කිව්වා. ඒ ඇයි?

වෛද්‍ය ඉසෙඩ්: මෘදු රෝග ලක්ෂන තිබුන රෝගීන් සමහර විට ගෙදර යැව්වත් ඔවුන් එහිදී ඇද වැටෙන බව අපි හඳුනා ගත්තා. සීටී ස්කෑන් පරීක්ෂනයට පුරෝකථන අගයක් ඇති බව අපි දැන ගතිමු. එබැවින්, පරීක්‍ෂා කර ඇති රෝගියා ධනාත්මක ලක්ෂන මෘදු ලෙස පෙන්වුවත්, ඔවුන්ගේ සීටී ස්කෑන් පරීක්ෂනයෙන් නියුමෝනියා ලක්ෂන ඇති බව පෙන්වුවොත් ඔවුන් ගෙදර යවන්නේ නැත. මෙම රෝගීන් පසුව අසරන විය හැකි බව  පෙනී ගිය හෙයින් අපි ඔවුන් තබා ගත්තෙමු.

වෛද්‍ය ඩී: දැන් වසංගතය පහව ගොස් තිබුනත් අපි ආරක්ෂාකාරීව සිටිමු. සමහර විට සති දෙකකට හෝ තුනකට පෙර  72 හැවිරිදි වියේ පසුවන්නෙකු හුස්ම ගැනීමේ අපහසුතාවයකින් හෝ උනකින් තොරව එහෙත් කරකැවිල්ල හා තෙහෙට්ටුව සමඟ පැමිනියා නම්, රෝගියා ස්නායු රෝග අංශයට ඇතුලත් කලා. ඔවුන් සීටී ස්කෑන් පරීක්ෂනයක් සිදු කරන විට, රෝගියාගේ පෙනහළු වල සියලුම කොවිඩ්-19 සලකුනු තිබුනා. වෛද්‍යවරුන් සහ හෙදියන් 17 දෙනෙකු ආසාදනය වූ අතර දෙපාර්තමේන්තුව වසා දමන ලදී. එබැවින්, රෝගීන් පොදු සලකුනු සහ රෝග ලක්ෂන නොපෙන්වන විට සීටී ස්කෑන් පරීක්ෂනය ඉතා වටිනා බව ඔප්පු වී ඇත.

සියලු ආරක්ෂක මෙවලම් පැලඳ සිටින වෛද්‍ය සේවකයෝ

 

බී.එම්: වසංගතය අවධියේ ඔබ නොමැතිව ඔබේ පවුලේ කටයුතු සිදුවුනේ කොහොම ද?

වෛද්‍ය ඩබ්ලිව්: මගේ ස්වාමිපුරුෂයා නැව් අංගනයක කලමනාකරුවෙකු ලෙස සේවය කරන අතර ඔහු ආසාදනය වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අප වෙන්ව සිටියා. නමුත් ඔහු කොවිඩ්-19 සටනට ද සම්බන්ධයි. එයට සම්බන්ධ වෛද්‍ය සේවකයින් පමනක් නොවේ. මුලු රටම සටනට සම්බන්ධයි. අප එකිනෙකාට සම්බන්ධවී නැති නමුත් සෑම කෙනෙකුම එයට සම්බන්ධ බව  තේරුම් ගැනීමට අපට එය උපකාරී වුනා.

වෛද්‍ය එක්ස්: මගේ පුතා ඉන්නෙ විශ්ව විද්‍යාලයේ, ඒ නිසා අපි දන්නවා ඔහු ආරක්ෂිතයි කියලා. මගේ බිරිඳත් වෛද්‍යවරියක් වන අතර අපි එකම රෝහලක සේවය කරන්නෙමු. අපි හෝටලයේ නැවතී සිටියත් වෙනම කාමර තිබේ. තත්වය දුෂ්කර නමුත් අපි කැපවීමෙන් හා සුපරීක්ෂාකාරීව සිටියහොත්, රෝගය වලක්වා ගත හැකි, පාලනය කල හැකි සහ ප්‍රතිකාර කල හැකි දෙයක් බව අපි දනිමු.

වෛද්‍ය ඉසෙඩ්: මගේ සැමියා වෛද්‍යවරයෙක්, ඔහු අපේ රෝහලේද සේවය කරයි. අපි පුතාව යැව්වේ වුහාන් වහන්න කලින්, ආච්චිලා සීයලා එක්ක ඉන්න කියලා. තත්වය ඉතා බරපතල බවත් අපිට ඔහු රැකබලා ගැනීමට නොහැකි බවත් අපි දැන සිටියෙමු.

බී.එම්: වසංගතයට එරෙහි සටනේදී වුහාන් මුහුන දුන් දුෂ්කරතා මොනවාද?

වෛද්‍ය එක්ස්: ආරම්භයේ දී වුහාන් පලාත් පාලන ආයතන විසින් ගැටලුව වසන් කරන ලදී. ඔවුන් එය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හෝ ආන්ඩුවට වාර්තා කලේ නැහැ. පසුව, එය වසන් කිරීමට නොහැකි වූ නමුත් ආසාදනය ඉක්මනින් පැතිර ගියා. කාර්ය මන්ඩල සහ සෞඛ්‍ය සේවා සැපයුම්  හිඟය බරපතල ප්‍රශ්න විය.

බී.එම්: වෙනත් පලාත්වලට වඩා වුහාන්හි මරන අනුපාතය මෙතරම් ඉහල ගියේ ඒ නිසාද?

වෛද්‍ය එක්ස්: අපි හිටියේ දුෂ්කර තත්වයක. අපට වෛද්‍ය සැපයුම් හිඟය තදින් බලපෑවා. කෙසේ වෙතත්, සෑම රෝහලකටම වෛද්‍ය උපකරන, ආරක්ෂක ඇඳුම්, අත්වැසුම්,  මුහුනු ආවරන මෙන්ම, ආහාර පවා ලබා දීමට ආන්ඩුවට හැකි විය. සති දෙකකින් අපි රෝහල් දෙකක් පවා ඉදි කලා.

බී.එම්: ඔබගෙන් කිසිවෙකු එහි වැඩ කලාද? එය විශිෂ්ට ජයග්‍රහනයකි.

වෛද්‍ය ඩබ්ලිව්: නෑ, අපි වැඩ කලේ නැහැ.

බී.එම්: යුරෝපයේ සහ එක්සත් ජනපදයේ රෝහල්  වෛරසයට යටවී තිබේ. ආසාදිත රෝගීන් ගලා එන අවස්ථාවකට ඔබ මුහුන දුන්නේ කෙසේද?

වෛද්‍ය එක්ස්: මා සේවය කරමින් සිටි රෝහලේ නේවාසික රෝගීන්ට කාමර 3,000 ක් තිබුනා. කොවිඩ්-19 ආසාදිතයින්ට කාමරයක් හවුලේ පාවිච්චි කල හැකි වුනත්, සැක සහිත රෝගීන් තනි කාමරයක හුදකලා කර තබන්න අපි තීරනය කලා. මේ ආකාරයෙන් අපි  ධාරිතාව පුලුල් කලා. නමුත් අවශ්‍ය දේ කල යුතුයි. කොවිඩ්-19 රෝගීන් එකට සිටීමද ඔවුන් එකිනෙකා සමඟ සමාගම් පැවැත්වීම ද නිසා  තත්වයට වඩාත් හොඳින් මුහුන දීමට ඔවුන්ට උපකාර විය. පවුල්වලට ඔවුන් බැලීමට අවසර නොලැබුනි.

බී.එම්: වෛද්‍ය ඩබ්ලිව්, කොවිඩ්-19 ආසාදිත ගර්භනී රෝගීන් දුර්වල වුනා ද නැතිනම්  වැඩි සංකූලතා ඔවුන්ට ඇති බව ඔබ දුටුවාද?

වෛද්‍ය ඩබ්ලිව්: ගර්භනී නොවන කාන්තාවන් හා සසඳන විට ගර්භනී වීම නිසා ඔවුන්ට අමතර විශේෂ අවදානම් ඇතිව තිබෙනවා අප දුටුවේ නැත. අපි ඔවුන්ගේ ගර්භනීභාවයට වෙනදාට වඩා වෙනස් ආකාරයකින් නොසැලකුවෙමු, නමුත් ඔවුන්ගේ පවුල්වලට ඔවුන් සමඟ ගැවසීමට ඉඩ නොදුනි.

බී.එම්: ඉතින්, ගර්භනී කාන්තාව හොඳට මුහුන දුන්නා ද?

ආචාර්ය ඩබ්ලිව්: ඔව්, බොහෝ දුරට. දරු ප්‍රසූතියේදී හුස්ම ගැනීමේ අපහසුතාව නිසා සිසේරියන් සැත්කමක් සඳහා රෝගියා  ගෙනයාමට අපට  සීමාවක් පැනවී තිබුනා.

බී.එම්: අලුත උපන් දරුවා ගැන කුමක් කිව හැකිද?

වෛද්‍ය ඩබ්ලිව්: අලුත උපන් බිලිඳුන් සෘන පීඩනයක් සහිත  කාමරයකට යවා හුදෙකලාව නිරෝධායනයේ සති දෙකක් රඳවා සිටියේය. මව්වරුන්  සති දෙකක් නිරෝධායනයෙහි රඳවා තැබූ අතර ආසාදනයට සෘන ප්‍රතිචාර දක්වන තත්වයට පැමිනි පසුව න්‍යෂ්ටික අම්ල පරීක්ෂනයකට බඳුන් කරන ලදී. මව සහ දරුවා යන දෙදෙනාම පරීක්‍ෂාවේදී සෘන ප්‍රතිචාර දැක්වූ අවස්ථාවක,  මවට දරුවා සමඟ රැඳී සිටිමින් මව්කිරි දීමට ඉඩ ලැබුනි.

බී.එම්: ඔබ සැමට වඩාත්ම අභියෝගාත්මක  වූනේ කුමන කාර්යයේදි ද?

වෛද්‍ය එක්ස්: මම කලාපීය ප්‍රවේශ මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ සේවය කලා. ඉතින්, සියලු දරුනු රෝගීන් අප වෙත පැමිනියා. මම දන්නවා රෝගීන් නිතරම අපේ උත්සාහය අගය කල අතර ඔවුන් දැනගෙන හිටියා අපි අපේ උපරිමයෙන් උත්සාහ කරන බව. ඔවුන් බය වී සිටි බව පෙනෙන්නට තිබුනා. සමහර විට ඔබට දරුනු අසරන බවක් දැනෙන අතර එය වේදනාකාරී අත්දැකීමක් වුනා.

මට එක රෝගියෙක් හිටියා. ඔහු පනස් ගනන්වල පසුවිය. ඔහුට කොවිඩ්-19 නිසා දෙමාපියන් අහිමි විය. ඔහුගේ ඇඟ තුලට පරීක්ෂන නලයක් දමනු  ලැබුව ද, ඔහු නිතරම මාපටැඟිල්ල ඔසවා පෙන්වීය. ඔහු සෑම විටම ධනාත්මකව සිටීමට උත්සාහ කලේය. නමුත් ඔහු සුව අතට හැරුනේ නැහැ, ඒ නිසා මම දැනගෙන හිටියා ඔහු සුවය නොලබන බව. සති තුනකට පසු ඔහු ශ්වසන ආබාධයකින් මිය ගියා. ඔහුගේ මරනය මට මෙතරම් බලපෑවේ මන්දැයි මම නොදනිමි. මට පොඩිවී ගිය බවක් දැනුනා. මම  ආපහු මගේ හෝටල් කාමරයට ගියා. මම තනිවුනා. මගේ බිරිඳ හිටියේ අල්ලපු කාමරයේ. අපි බිත්තිය පැත්තට හැරී එකිනෙකා සමඟ කතා කලා. මට ඒ රාත්‍රිය කවදාවත් අමතක වෙන්නේ නැහැ.

වෛද්‍ය ඩී: අපි විවේක ගත් විට අපට කිසි විටෙක විවේකයක් දැනුනේ නැහැ. එය පැහැදිලි කිරීම අපහසුය. එය හිරිවැටීමක් හෝ ව්‍යාකූලත්වයක් නොවේ. සමහර විට වේදනාව හෝ බිය පිලිබඳ හැඟීමක්. මගේ හිස තුල මට සිතිය හැකි වූයේ, මෙම රෝගීන් බේරා ගන්නේ කෙසේද යන්නයි.  නිරන්තරයෙන් මම යොමු විමසීම්, මාර්ගෝපදේශ දෙස බැලීම, ලිපි කියවීම, සාකච්ඡා සහ රැස්වීම් පැවැත්වීමට සම්බන්ධ වුනා.

වාතාශ්‍ර යන්ත්‍රයක් මත සිටින රෝගියෙකුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම සෙමෙන් අඩු වන්නේ නම් කල හැකි කිසිවක් නැත. ඔවුන් සෙමෙන් මිය යන බව දැකීම ඉතා වේදනාකාරී ය. ඔබට දැඩි අසරන බවක් දැනෙනු ඇත.

මම හිතන්නේ  පෙබරවාරි මාසයේ මා වැඩ කරමින් සිටි රෝහලේ රෝගීන් 129 ක් මිය ගියා. ඉන් 38 ක් මගේ වාට්ටුවේ. වසංගතයේ උච්චම අවස්ථාවේ දී, මල සිරුරු හතරක් පැය 24 කට වැඩි කාලයක් වාට්ටුවේ තබා ඇති බව මම දුටුවෙමි. එය කෙතරම් අධික කාලයක් වී ද යත්, මගේ කොන්ඩයේ කෙලවරක සිට දෙපතුල දක්වා භීතියක් ඇති විය. මුලු ලෝකයම අසනීපයෙන් සිටින බව මට දැනුනි.

මගේ සගයන් බොහෝ දෙනෙක් මට කිව්වා ඔවුන්ට නිදාගන්න බැහැ කියලා. බොහෝ දෙනෙක් වාට්ටුවට පැමිනෙන විට දැඩි කනස්සල්ලට පත්ව සිටියා. වෛද්‍ය අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට සිදු වූ විට ඔවුන් කම්පා විය. මම ඔවුන්ව සනසන්ට, ඔවුන් සමඟ වැඩ කිරීමට, සන්සුන් කිරීමට උත්සාහ කලෙමි.

වෛද්‍ය ඉසෙඩ්: මට මතකයි රෝගියෙකු නැති වූ බව පවුලේ අයට දැනුම් දීමට මම ධෛර්යය උපදවා ගත්තා. මම කතා කල විට ඔහු දුරකථනයට පිලිතුරු දුන් නා. “මේ මගේ තාත්තා ද?” මම ඔව් කිව්වා." එවිට ඔහු, “ස්තූතියි. මම පැයකින් පමන එහි එන්නෙමි. මම රෝගියෙකුට ප්‍රතිකාර කර අවසන් කල යුතුයි. ” ඔහු මගේ සගයා. ඔහු මට කිව්වා ඔහුගේ මව පෙර දිනත් ඔහුගේ සහෝදරයන් දෙදෙනා සතියකට පෙරත් මිය ගිය බව. ඔහු ඇවිත් කඩදාසි වලට අත්සන් කරලා ගියා. මම ඔහුට කතා කරද්දී ඔහු හැරී, “ස්තූතියි. බායි, ” යනුවෙන් පැවසීය.

බී.එම්: ඔබට දොස්තර ලී වෙන්ලියන්ග් ගැන කතා කල හැකි ද? ඔහු කොවිඩ්-19 නිසා 2020 පෙබරවාරි 7 වන දින මිය ගිය නමුත්, දෙසැම්බර් මාසයේදී වසංගතය පැතිරෙන්නට පටන් ගැනීම  පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ තම සගයන්ට අනතුරු ඇඟවීම නිසා ඔහුට තරවටු කරන ලදී. ඔබ සිතන්නේ මොකක් ද?

වෛද්‍ය ඩබ්ලිව්: මම ඔහුව දැන සිටියෙමි. මම ඔහු සමඟ කතා කලා. ඔහු මිය යාම ගැන මම කම්පාවට පත් වෙමි. ඔහු හරිම තරුනයි. ඔහු මිය යන විට ඔහුගේ බිරිඳ පිලිසිඳගෙන සිටියාය. මේ ගැන කතා කිරීම අපහසුය. එය ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. නමුත් මේවා දේශපාලන කාරනා… ඔහුගේ පවුලේ අයට ඔහු සමඟ සිටිය නොහැකි විය. ඔවුන් ඔහුගේ දේහය මල්ලක දමා අවමංගල්‍ය ශාලාවට භාර දුන්නා.

බී.එම්: චීන කොමියුනිස්ට් පක්ෂය (සීපීසී) ඔහු නිදොස් කොට ඔහුගේ පවුලෙන් “සමාව ඉල්ලූ”  බව මම කියවා තිබෙනවා.

වෛද්‍ය ඩබ්ලිව්: එය ඔහු නිදොස් කිරීම ගැන නොවේ. සීපීසී ගැන කතා කිරීම,  විශේෂයෙන් ඒ ගැන කතා කිරීමට අකමැතියි. අර්ථ විරහිත, අනවශ්‍ය පරිත්‍යාගයක්. ජීවිතය පිලිබඳ අර්ථ විරහිත හානියක්. වෛද්‍යවරුන් සිව්දෙනෙකු කොවිඩ් රෝගයෙන් තම රෝහලේදීම මිය ගියා. දෙදෙනෙක් එකම දෙපාර්තමේන්තුවේ (අක්ෂි වෛද්‍ය). වෛද්‍යවරු හතර දෙනෙක් තවමත් මාස දෙකකට ආසන්න කාලයක් වාතාශ්‍ර යන්ත්‍ර මත  සිටිති. මහජනයා ඔවුන්ට (සීපීසී) සමාව නොදෙන නිසා කිසිවෙකු ඔවුන්ට මැරෙන්නට ඉඩ නොදෙයි.

බී.එම්: වෛද්‍ය ඩී, සෞඛ්‍ය සේවකයින් කොපමන සංඛ්‍යාවක් වුහාන් වෙත පැමිනියා ද  කීදෙනෙක් ආසාදනය වී සිටියා ද?

වෛද්‍ය ඩී: මගේ කන්ඩායම පැමිනෙන විට, හුබෙයි පලාතේ සෞඛ්‍ය සේවකයින් 40,000 ක් පමන සිටියා. මම හිතන්නේ 3,000 ට පමන ආසාදනය වී තිබුන නමුත් බොහෝ විට ඔවුන් සිටියේ ආරම්භක අවධියේ. අප තවමත් දැඩි ආසාදන පාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර නොතිබූ අතර වෛද්‍ය සැපයුම් ද  හිඟ විය.

බී.එම්: ඔබේ කන්ඩායමේ සාමාජිකයන්ගෙන් කිසිවෙකුට ආසාදනය වී තිබේද?

ආචාර්ය එක්ස්: අපි ජනවාරි මුලදී වහාම සම්බන්ධ වුනා. මගේ කන්ඩායමේ, හතර දෙනෙකුට ආසාදනය වූ නමුත්, එක් අයෙකුට පමනක් නලයක් ඇතුලු කිරීමට සිදු වූ අතර ඔවුන් සුවය ලැබීය.

වෛද්‍ය ඩී: මගේ කන්ඩායමේ වෛද්‍ය සේවකයින් 138 දෙනාගෙන් කිසිවෙකුටත් ආසාදනය වී නැහැ.

බී.එම්: මෙම අර්බුදයෙන් ඔබ ඉගෙනගත් පාඩම් මොනවාද? හොඳින් වැඩ කලේ කුමක් ද වැඩ නොකලේ කුමක්ද?

වෛද්‍ය එක්ස්: රෝග විනිශ්චය කල්තියාම කිරීම වැදගත් විය. අපි රෝගීන් ඉක්මනින් හුදකලා කොට වහාම ප්‍රතිකාර ක්‍රියාත්මක කලෙමු. එහෙත්, වඩාත්ම වැදගත් වූයේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීමය. අපගේ වෛරස් ආයතනයේ කාර්ය මන්ඩලය 200 ක් පමන සිටියා. එහෙත් කිසිවෙකුටත්  ආසාදනය වුනේ නෑ.

සාමාන්‍ය ජනතාව, ආසාදන අවම කිරීම සඳහා මුහුනු ආවරන පැලඳීම සහ අත් සේදීම ප්‍රධාන වේ. මෙය වෛද්‍ය සේවකයන්ට ද අදාල වේ. ආරක්ෂිත ආම්පන්න නිසි ලෙස පරිහරනය කිරීම අප ඉක්මනින් ඉගෙන ගත් දෙයකි. රෝගීන්ගේ කාමර වලට වාතාශ්‍ර යන්ත්‍ර ලබා දීම ආසාදන පාලනය කිරීමට උපකාරී වූ බව අපට පෙනී ගියේය.

වෛද්‍ය ඉසෙඩ්: වෛද්‍ය සිසුන් සඳහා වන සියලුම සායනික වට මැරු ක්‍රම අපි වහාම නතර කලා. පුද්ගලික ආරක්ෂන ක්‍රියා පටිපාටි කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙස අපි නිවැසියන්ට නැවත නැවතත් උපදෙස් දුන්නෙමු. අපි සෝපානය වෙනුවට පඩි පෙලට නැඟ ගියා. සංවෘත අවකාශයන්හි ගතකරන අපගේ කාලය සීමා කලෙමු. පිටත ඇඳීමට අපට ඇඳුම්, සපත්තු සහ තොප්පි තිබුනා. අපේ කාමරයට යාමට පෙර අපි අපගේ මුලු සිරුරම වෛද්‍ය ඇල්කොහොල් වලින් තෙමාගත් අතර වහාම ස්නානය කලෙමු. අපි අපේ කොන්ඩය ඉතා කෙටි කර කපා ගත්තා.

බී.එම්: ඔබට අකාර්යක්ෂම යැයි සැලකූ ප්‍රතිකාර ක්‍රම තිබුනා ද? එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මිනිසුන් ක්ලෝරෝක්වීන් භාවිතා කරන්නේ, එය ආසාදනයට එරෙහිව සටන් කිරීමට උපකාරී වන බව අසා ඇති බැවිනි.

වෛද්‍ය එක්ස්: අපි ආර්බිඩෝල් (umifenovir - රුසියාවේ සහ චීනයේ භාවිතා කරන ඉන්ෆ්ලුවෙන්සා සඳහා ප්‍රති වෛරස් ප්‍රතිකාරයක්) භාවිතා කලා. එය කිසිසේත් උදව් නොවූ අතර අක්මාවට යම් හානියක් සිදු විය. අපි ලෝපිනාවිර් (එච්.අයි.වී වලට එරෙහිව භාවිතා කරන ප්‍රෝටියේස් නිෂේධන පංතියේ ප්‍රති-වයිරස) ලබා දුන්නත්, එමඟින් අක්මාවට යම් හානියක් සිදු වූ අතර රෝගීන්ට ඔක්කාරය හෝ වමනය ඇති කලා. එය ද කිසිදු ප්‍රයෝජනයක් නොවීය. විරාසෝල් (රිබාවිරින් ලෙසද හැඳින්වේ, ශ්වසන සමමුහුර්ත වෛරස් ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරයි) පැහැදිලි අතුරු ආබාධ ඇති නොකල  නමුත් එයින් කිසිදු ප්‍රතිලාභයක් නොලැබුනි. ස්ටෙරොයිඩ් වලින් කිසිදු ප්‍රතිලාභයක් ගෙනදුන් බවක් පෙනෙන්නට නොතිබුනද එය රෝගියාගේ ප්‍රතිශක්තිය අඩු කලා විය හැක.

බී.එම්: මෙම ආසාදනය පිලිබඳ ඔබේ සායනික අත්දැකීම් මොනවාද? රෝගීන්ගේ වයස, ඔවුන් රෝගාතුර වීමට කොපමන කාලයක් ගතවුනා ද, ඔවුන්ගේ ආසාදනය කෙතරම් මාරාන්තිකද?

වෛද්‍ය එක්ස්: වැඩිහිටියන්ට එය බෙහෙවින් විනාශකාරී විය. ඔවුන් එයට ඔරොත්තු දුන්නේ නැහැ, නමුත් අපිට හැම වයස් කාන්ඩයකම අය හමුවුනා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු නිරාවරනය වූ පසු,  රෝග ලක්ෂන වර්ධනය වීමට දින කිහිපයක් හෝ සතියක් ගත වේ. අවම රෝග ලක්ෂන ඇති රෝගීන් නිවසේ හුදෙකලා කල අතර, සෞඛ්‍ය සේවකයින් නිරන්තරයෙන් ඔවුන් පරීක්ෂා කලා. සතියකට හෝ දෙකකට පසු ඔවුන් සුවය ලබා නැත්නම් රෝහලට ඇතුලු කරනු ලැබීය. සාමාන්‍යයෙන් රෝහල් ගත වූ පස්වන දිනය වන විට, නලයක් අතුලු කර පරීක්ෂා කිරීමට අවශ්‍ය වූ රෝගීන්ගෙන් සියයට 80 ක් පමන මිය ගියා. සමහර විට ඔවුන් වැඩි කාලයක් අල්ලාගෙන සිටියත් සුවය ලැබීමේ අවස්ථාව එන්ට එන්ටම අඩු විය.

බී.එම්: මෙම වසංගතය කෙරෙහි පලවිය යුතු ගෝලීය ප්‍රතිචාරය පිලිබඳව ඔබේ අදහස් විමසීමෙන් සාකච්ඡාව අවසන් කිරීමට මට අවශ්‍යය. යුරෝපයේ, එක්සත් ජනපදයේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සෙසු ලෝකයට ඔබ දෙන පනිවිඩය කුමක් ද?

වෛද්‍ය ඩී: සෑම ආන්ඩුවක්ම මෙම වසංගතය පිලිබඳව හැකිතාක් අවධානය යොමු කල යුතුය. සම්පත්, සෞඛ්‍ය සේවකයින් වඩාත් අවශ්‍ය ප්‍රදේශවලට වෙන් කිරීම, නගර වසා දැමීම, වේලාසනින් රටම පවා අගුල් දැමීම ආදී වශයෙන්. අවදානම් සහගත පුද්ගලයින් කල්තියාම හුදෙකලා කල යුතුය.

වෛද්‍ය ඉසෙඩ්: මම හිතන්නේ අපි එකට වැඩ කිරීම වැදගත්. මෙම දැවැන්ත ව්‍යසනය හා ද්‍රව්‍යමය හිඟයෙන් පසුව චීනය, වෛද්‍ය සැපයුම් ඇතුලත්ව සෞඛ්‍ය සේවකයින් 300 ක් ඉතාලියට යවා ඇත.

වෛද්‍ය එක්ස්: සංවර්ධනය වෙමින් පවතින රටවල ආන්ඩු, ඔවුන්ගේ සම්පත් හැකි තරම් කාර්යක්ෂමව භාවිතා කල යුතුය. ඔවුන් සාමාන්‍ය ජනතාව ආරක්ෂා කල යුතු අතර, එයින් අදහස් කරන්නේ නගර හෝ රටවල් දොරගුලු ලා වසා දැමීම නම් ඔවුන් කල්තියාම එසේ  කල යුතුය. අත් සේදීම සහ නිවාස වාතාශ්‍රය ඇතිව තබා ගැනීම පිලිබඳව ඔවුන් ජනතාව දැනුවත් කල යුතුය. වෛද්‍ය සේවකයින් ආරක්ෂා කිරීමට පියවර ගත යුතුය.

මුල් අවධියේදී අපි ප්‍රමානවත් අවධානයක් ඊට යොමු කලේ නැහැ.

බී.එම්: සහභාගී වූ ඔබ සැමට ස්තූති කිරීමට මට අවශ්‍යයි. ඔබගේ සහභාගිත්වය පිලිබඳව මම ඔබට ස්තූතිවන්ත වෙමි. කරුනාකර, සෑම විටම, ආරක්ෂිතව සිටින්න.

2020 මාර්තු 18 වන දින වනවිට චීන බලධාරීන් නව ආසාදන කිසිවක් වාර්තා නොකල අතර වසංගතය සන්ධිස්ථානයකට ගෙනැවිත්  ඇත.  එය මේ වන විට රටවල් 200 කට අධික හා මිලියනයකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් සහ 53,000 කට අධික මරන සංඛ්‍යාවක් වාර්තා කර තිබේ. වසංගතයට එරෙහි අරගලය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ නව කේන්ද්‍රස්ථානයන්හි දී සිදු කෙරෙමින් පවතී. චීනයේ සංඛ්‍යාව 82,000 ක් වන අතර 76,000 කට අධික පිරිසක් සුවය ලබා ඇති අතර මරන 3,318 ක් වාර්තා වී තිබේ. දැනට සක්‍රීය රෝගීන් 1,863 ක් ඇත.

මාර්තු 25 වන දින, හුබෙයි සෞඛ්‍ය කොමිෂන් සභාව  සංචාරක සීමාවන් ලිහිල් කරන බව නිවේදනය කිරීමත් සමඟ හුබෙයි පලාතේ දැඩි අගුලු දැමීම අවසන් විය. කෙසේ වෙතත් පලාත් පාලන ආයතන සංචාරක තහනම ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරයි. මිනිසුන් නැවත සේවයට ගෙන්වා ගැනීමට බීජිනය ගන්නා උත්සාහය නොතකා, වසංගතය පාලනය කර ඇති බවට ආන්ඩුව දෙන සහතිකය පිලිබඳව පුලුල් කනස්සල්ලක් හා සැකයක් පවතී. මාර්තු 28 වන දින ජුජියැන්ග් නගරයේ පොලිසිය හුබෙයි සිට කම්කරුවන් පැමිනීම අවහිර  කලේය. ජියූජියැන්ග් සහ හුවාංමේ පොලිසිය එකිනෙකා සමඟ ගැටෙන  ආකාරය මෙන්ම සිය ගනන් ජනයා පොලීසියට පහර දෙන අයුරු දැක්වෙන දර්ශන පලවීමත් සමඟ තත්වය ප්‍රචන්ඩකාරී විය.

හුබෙයිට උතුරින් පිහිටි මධ්‍යම චීනයේ හෙනන් පලතේ ජියා ප්‍රදේශය අඟහරුවාදා අගුලු දැමූ අතර එය 600,000 ක ජනතාවකට බලපායි. උපයෝගිතා, වෛද්‍ය සැපයුම්කරුවන් සහ අත්‍යාවශ්‍ය වෙනත් සැපයුම් වැනි සේවාවන් හැරුනු විට සියලුම ව්‍යාපාර වසා දමන ලදී. මෙම පියවර ගනු ලැබුවේඉරිදා නව ආසාදන තුනක් වාර්තා වූ ප්‍රවෘත්තියක් සමගින් ය. ලියු නම් වෛද්‍යවරයෙකුට සෙනසුරාදා කල පරීක්ෂනයේදී  ඔහු ආසාදිත තත්වයේ පසුවන බව සොයාගත් අතර ඔහුගේ සගයන් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරින.

 

Loading