ආන්ඩුවේ “සහන පැකෙජයේ” ප්‍රෝඩාකාරී බව හෙලිදරව් වෙයි

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින මහජනතාවට සහන සැලසීමේ පැකේජයක් අත්‍යවශ්‍ය  සේවා පිලිබඳ  ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මාර්තු 3 නිවේදනය කෙරුනි. ඒ අනුව සමෘද්ධිලාභීන් ලක්ෂ 18 කට ආසන්න සංඛ්‍යාවකට වාරික දෙකකින් ගෙවන රුපියල් 10,000 ක මුදලක් ද, රුපියල් 1500ක වියලි ආහාර මල්ලක් ද නයක් ලෙස දෙනු  ලැබේ.

වැඩිහිටි සහනාධාර ලබන්නන් , වකුගඩු රෝගී සහනාධාර හිමි අය, ගොවි විශ්‍රාම වැටුප් ලබන්නන්, ආන්ඩුවේ සහනාධාර සඳහා  සුදුසු කම් ලැබූ ආබාධිතයන් සහ වසංගතය නිසා අසරන තත්වයට පත් වී සිටින සෙසු පවුල් වලට රුපියල් පන්දහසක මුදලක් ලබා දෙන බව ද ආන්ඩුව  ප්‍රකාශ  කර ඇත.

කොරෝනා වසංගතය නිසා පීඩාවට පත්ව සිටින දුගී ජනයා අතරින් මතු විය හැකි බරපතල සමාජ පිපිරීමක් කෙරෙහි භීතියට පත්ව සිටින රාජපක්ෂ ආන්ඩුව එය වලකා ගැනීමේ අරමුනෙන් මෙම ඇස්බැන්දුම්  සහන පැකේජය ප්‍රකාශයට  පත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ප්‍රාදේශීය නායකයන්ගේ අධීක්ෂනය යටතේ මෙම සහනාධාර බෙදීම තුලින් එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී ආන්ඩු පක්ෂයට දේශපාලන වාසියක් ලබා ගැනීමේ යටි අරමුනක් ඇති බව ද පෙනෙන්නට ඇත.

සමෘද්ධිලාභීන් සඳහා මුල් අදියරේ රුපියල් පන්දහස සමග වියලි ආහාර මල්ල බෙදා හැරීමේ  දී  2019 වසරේ අලුතින්  සමෘද්ධිලාභීන් ලෙස සුදුසුකම් ලැබ  පොරොත්තු ලේඛනයේ සිටින  ලක්ෂ ගනනකට එම දීමනාව නොදී සිටීමට ආන්ඩුව උත්සාහ කලේ ය. එහෙත් එම ජනකන්ඩායම් තුලින් මතු වූ බරපතල විරෝධය නිසා ඔවුන් ට ද එම සහනාධාරය දීමට ආන්ඩුවට බල කෙරුනි. 

එහෙත්  වයස අවුරුදු 70 ඉක්මවූ සමෘද්ධිලාභීන්ට මෙම නය  මුදල ලැබෙන්නේ ඔවුන්ගේ සමෘද්ධි ඉතුරු කිරීමේ ගිනුමේ නය මුදල පියවීමට සෑහෙන  ඉතිරියක් ඇත්නම් පමනි. එසේ නොමැතිනම් ඔවුන්ට නය මුදල නොලැබේ. නිදසුනක් ලෙස හික්කඩුව කලුපේ පදිංචි අමරතුංග රුපියල් 5,000 නය මුදල ඉල්ලා සිටි විට සමෘද්ධි බැංකුව පවසා ඇත්තේ  ඔහුගේ ගිනුමේ රුපියල් 3440 ක ශේෂය අදාල  නය මුදල ලබා ගැනීමට ප්‍රමානවත් නො වන බව යි.

දෛනික රැකියාවල නිරත දැන් ආදායමක් නැතිව අන්ත අසරනව සිටින පිරිස් වලට රුපියල් පන්දාහක් ලබාදීම සඳහා  ලැයිස්තු සකස් කිරීම මේ වන විට  ග්‍රාම සේවක නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පරීක්ෂක නිලධාරීන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් ගේ  කමිටුවක් මගින් සිදු කරමින් සිටී. බලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එම කටයුතුවල නිරත ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ එම මුදල ලබා දීමට සුදුසුකම් ලැබිය යුත්තේ  විකුනාගෙන කන්නවත් කිසිවක් නැති පුද්ගලයන්ට පමනක් බවටය. එයද එක මාසයකට පමනකි. 

වැඩිහිටි සහ සෙසු සහන ලාභීන්ට ද රුපියල් පන්දහස ලබා දෙන බව සඳහන් කලත් ඇත්තට ම එවැනි මුදලක් ඔවුන් අතට පත් නො වේ. නිදසුනක් ලෙස රුපියල් 2,000 ක මාසික වැඩිහිටි දීමනාවක් හිමි  පුද්ගලයකු සඳහා ආන්ඩුවෙන් ගෙවනු ලබන්නේ  රුපියල් තුන්දහසක් පමනි.

නමුත් ආන්ඩුව සහ ආන්ඩුවට කහින ධනපති මාධ්‍ය ගෙන යන  පම්පෝරියේ  අඩුවක් නැත. මේ ගැන සඳහන් කරමින් ග්‍රාම සේවා නිලධාරිනියක් කියා සිටියේ තමන් ට එක දිගටම සහන ඉල්ලා දුගී මහජනතාවගෙන් පීඩනය එල්ල වන අතර ආන්ඩුවේ මෙම ප්‍රචාරය  නිසා එය කිහිප ගුනයකින්  වැඩිවී ඇති  බවයි. ආන්ඩුව  සහන පැකේජය ගැන  මහ ඉහලින් සහ  අතිශයෝක්තියෙන් ප්‍රචාරය කරන්නේ ඒ සම්බන්ධව සැලසුමක් සකස් කිරීමටත් පෙර බව ඇය පැවසුවාය.

සමෘද්ධිලාභී පවුලකට උපරිම වශයෙන් මසකට දෙන දීමනාව රුපියල් 3500 කි.එයින් පන්සියයක් අනිවාර්ය ඉතිරි කිරීම් ආදියට කපා ගැනීමෙන් පසු අතට ලැබෙන්නේ රුපියල් 3000කි. බහුතරයකට ලැබෙන්නේ රුපියල් 2500, 1500 සහ රුපියල් 420 වැනි දීමනාවකි..

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තයන්ට අනුව 2020 ජනවාරි මාසයේ දී එක් පුද්ගලයෙකුට යැපීම සඳහා අවශ්‍ය අවම මාසික මුදල රුපියල් 5021කි. ජනගහනයෙන් සියයට 4.1 ක් දරිද්‍රතා රේඛාවෙන් පහල  ජීවත් වෙති. සියයට 1.8 ක් අන්ත දුගීහු වෙති. මෙම දත්ත නිවැරදි නොවන බව සමෘද්ධිලාභී සුදුසුකම් ලබා ඇති  සංඛ්‍යාවෙන් ම පැහැදිලි වෙයි. ජනගහනයෙන් සියයට 45 ක් දිනකට ඩොලර් පහට අඩු ආදායම්ලාභීහු ය.

අප්‍රේල් වියලි සහන මල්ල ලැබෙනතෙක් බලාසිටින ගොඩනැගිලි කම්කරුවෙක්

 

ආන්ඩුව අඬ බෙර ගසා  ලොවට පෙන්නුම් කරන ව්‍යාජ චිත්‍රයට යටින් පවතින්නේ මෙම පීඩිත මහජනයාගේ ජීවිතය හා මරනය අතර ප්‍රශ්න  කෙරෙහි එහි තුච්ච  නොතැකීමයි. කොවිඞ් 19 වසංගත අර්බුදය බලපවත්නා කාලය අවිනිශ්චිත වන තතු යටතේ  ආන්ඩුවට කම්කරු පීඩිත මහජනතාවගේ පැවැත්ම සම්බන්ධයෙන් කිසිදු ශක්‍ය සැලැස්මක්  නැති බව මෙම ඊනියා සහන පැකේජය තුලින් හෙලිදරව් වී ඇත.

ජී. ඒ. සරත් සිය බිරිඳ සමග

 

දුගී ජනයා සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුවේ කිඹුල් කඳුලු ගැන අදහස් ප්‍රකාශ කල වතු ගෙදර පදිංචි 74  හැවිරිදි ජී. ඒ. සරත් කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් නමුත් ‘ආයෙත් නම් එයාට එන්න හම්බ වෙන්නේ නෑ’ යනුවෙනි. සරත් වසර හතක් තිස්සේ පෙනහලු ආබාධයකින් පෙලෙන්නෙකි. ඔහුගේ බිරිඳට ද රැකියාවක් කල  නොහැකි ය. ඔවුන්ට විවාහ වූ දරුවන් සිවු දෙනකු සිටින නිසා සමෘද්ධි සහනාධාර ද ලැබෙන්නේ නැත. සරත් ට වැඩිහිටි දීමනාව ලෙස දනට ලැබෙන්නේ ද රුපියල් තුන්සීයකි. රුපියල් 2,000 වැඩිහිටි දීමනා ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ  සිටින ඔහුට එය  ලබා ගැනීමට එම දීමනාව ලබන වැඩිහිටියෙකු මිය යනතෙක් බලා සිටිය යුතු ය.

ආබාධිත පුද්ගලයන් ද ඔහුට පෙර ලියා පදිංචි වී මහජන ආධාර ලබන ආබාධිතයන් අතරින් කෙනෙක් මිය යන තුරු පොරොත්තු ලේඛනයේ සිටිය යුතු ය. එකෙකුගේ බඩ වියත රැක ගැනීම සඳහා තවකෙකුගේ මරනය ප්‍රාර්ථනා කල යුතුය! ධනවාදයේ සදාචාරය එබඳු ය!.

 

වියලි ආහාර මල්ල ලබා ගැනීම සඳහා පෝලිමක රැඳී සිටි සීනි ගොඩ ගුනවතී මෙසේ කියා සිටියාය: “ලෝකෙ හුඟක් ආන්ඩු කොරෝනා වසංගතයෙන්  මිනිස්සු මැරෙන්න අත ඇරලා තියෙනවා. එහෙම වෙනවාට ආන්ඩු  කැමති යි. එතකොට ඒ ගොල්ලන්ට වැඩ කරගෙන යන්න පහසුයි.”

කේ. බී. එම්. සීලවතී මව සමග

කේ. බී. එම්. සීලවතී වයස හැට හතරක කාන්තාවකි. ජීවත් වීම සඳහා කුලී වැඩ කරන ඇයට මේ වන විට ජීවත් වීමට කිසිදු මාර්ගයක් නැත. “අම්මට වයස අවුරුදු අසූ හතක්. එයාව රැක බලා ගන්නෙත් මම. අපි දෙන්නටම  රුධිර පීඩනයයි දිය වැඩියාවයි තියෙනවා.   සමෘද්ධි දීමනාව මට ලැබෙන්නේ  රුපියල් 1,500 යි. අම්මට  රුපියල් 2,000 වැඩිහිටි දීමනාව ලැබෙනවා. ජීවත් වෙන්න ඒ මුදල් ප්‍රමානවත් නැහැ. හුස්ම  ගැනීම විතරයි නිදහසේ කරන්න පුලුවන්කම තිබුනෙ. දැන් එ්කටත් ඉඩක් නැහැ. මිනිස්සු කට වහගෙන ආන්ඩුව කරන හැමදෙයක් ම ඉවසගෙන හිටියොත් කුස ගින්නේ මැරෙන්නයි වෙන්නෙ” ඇය සඳහන් කලා ය.

 

Loading