ඉදිරිදර්ශන

කොවිඩ්-19 අර්බුදයට සාපරාධී ප්‍රතිචාර දැක්වීම කෙරෙහි වැඩෙන කෝපය මධ්‍යයේ වොෂින්ටනය යුද තර්ජන එල්ල කරයි.

මෙම ලිපිය අප්‍රේල් 2 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

තමන්ගේ ජීවිත ගැන අමුතුවෙන් නොකිව්වත්, තම රෝගීන් බේරා ගැනීම සඳහා කෝවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කරන වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරන ලබා දීමට ට්‍රම්ප් පාලනාධිකාරයේ තුච්ඡ අසාර්ථකත්වය හේතුවෙන් රට පුරා වර්ධනය වන කෝපය මධ්‍යයේ එජ යේ මරන සංඛ්‍යාව අද 5,000 දක්වා ඉහල යාමට නියමිතය.

සෑම පුරුෂයෙකුටම හා ස්ත්‍රියකටම තමන්ගේ පැවැත්ම කෙටි කරන මුලුමනින්ම අරාජික පෞද්ගලිකව ක්‍රියාත්මක වන ක්‍රමයක් යටතේ ඇමරිකානු මහජනතාවට අත්‍යවශ්‍ය සැපයුම් ලබා දීම සඳහා අනාරක්ෂිත කොන්දේසි යටතේ වෙහෙස මහන්සි වී වැඩ කරන ඇමසෝන්, හෝල් ෆුඩ්ස් සහ ඉන්ස්ටාකාර්ට් කම්කරුවන් අතර හදිසි වැඩ වර්ජන පැතිරී ගියේය. මිලියන ගනනකගේ ජීවිතවලට තර්ජනයක් වන අර්බුදයකට එජ ආන්ඩුව දක්වන නොහැකියාව සහ නොතැකීම පිලිබඳව මහජන කෝපය ක්‍රමයෙන් උත්සන්න වීමත් සමඟ රටේ විවිධ ප්‍රදේශවල කාර්මික හා වෛද්‍ය සේවකයින් විසින් වෙනත් විරෝධතා සිදු කරනු ලැබ තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මාර්තු 13 වන දින වොෂිංටන්හි ධවල මන්දිරයේ රෝස උද්‍යානයේ කොරෝනා වෛරසය පිලිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කථා කරයි [ඒපී ඡායාරූප/ඒවන් වූසි]

 

“මාරාන්තික මත්ද්‍රව්‍යවල වසංගතයට” එරෙහි සටන තීව්‍ර කිරීමක් යැයි කියමින් එජ නාවික හමුදා යුද නැව් දකුනු ඇමරිකානු මුහුදට යවන බවට කෙරුනු නිවේදනයත් සමග එජ ජනාධිපතිවරයා බදාදා කොරෝනා වෛරස අර්බුදය පිලිබඳ සිය දිනපතා මාධ්‍ය හමුව ආරම්භ කලේ මෙම කොන්දේසි යටතේය. කිසිදු සාක්ෂියක් නොමැතිව ඔහු කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් තමන්ගේ වැඩවලදී මාරාන්තික වසංගතය තත්වය අවභාවිතා කිරීමට උත්සාහ කරන බවයි.

අපි අතිරේක නාවික ප්‍රහාරක නෞකාව, සටන් නැව්, ගුවන් යානා සහ හෙලිකොප්ටර්, වෙරලාරක්ෂක බෝට්ටු සහ ගුවන් හමුදා නිරීක්ෂන ගුවන් යානා යොදා කලාපයේ අපගේ හැකියාවන් දෙගුන කරමින් සිටිමු” ට්‍රම්ප් ප්‍රකාශ කලේය.

එජ ආරක්ෂක ලේකම් මාක් එස්පර් සහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානී ජෙනරාල් මාක් මිලී ධවල මන්දිර කථන වේදිකාවට ගෙන්වා ගනු ලැබුවේ ප්‍රථමයෙන් හා ප්‍රධාන වශයෙන් වෙනිසියුලාවට එරෙහිව මිලිටරිය උත්සන්න කිරීම අරමුනු කර ඇති බවත් විශේෂ බලකා ඒකක කලාපයට පිටත් කර යැවීම ඊට ඇතුලත් බවත් පැහැදිලි කරවා ගැනීමටය.

 වෙනිසියුලාවේ නීතිවිරෝධී මදුරෝ තන්ත්‍රය වැනි දූෂිතයින් රාජ්‍ය බලය මත තම පීඩාකාරී බලය පවත්වා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය විකිනීමෙන් ලැබෙන ලාභය මත රඳා සිටිතියැයි එස්පර් පැවසීය.

මෙය මුලුමනින්ම උමතුවකි. කොලොම්බියාව සහ හොන්ඩුරාස් වැනි එජ සගයන් වෙතින් ලෝකයේ විශාලතම කොකේන් වෙලඳපොල වන එජ ට ලඟා වන ප්‍රමානය හා සසඳන විට වෙනිසියුලාව හරහා ගමන් කරන මත්ද්‍රව්‍ය ප්‍රමානය ඉතා අල්පය.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ මුදල් විශුද්ධිකරනය පිලිබඳ චෝදනා සම්බන්ධයෙන් නිකොලස් මදුරෝ සහ වෙනිසියුලානු ඉහල නිලධාරීන්ට එරෙහිව කිසිදු සාක්ෂියක් පදනම් කර නොගෙන පසුගිය සතියේ එජ අධිකරන දෙපාර්තමේන්තුවේ අධිචෝදනා පත්‍රයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි නාවික හමුදාව බලය වැඩි කර ඇත්තේ. මෙය වෙනිසියුලානු ජනාධිපතිවරයාගේ හිසට ඩොලර් මිලියන 15 ක ත්‍යාගයක් ලංසුතබා ඇති, අතීත ඇමරිකාවේ කැලෑ නීතිය රජකල යුගයේදී අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා භාවිතා කෙරුනු “ඕනෑකර තිබේ යන පෝස්ටරයක ස්වභාවය ගනියි.

තෙල් අපනයනය අවහිර කිරීමෙන් රටේ ආර්ථිකයේ හුස්ම හිර කරමින් ද අත්‍යවශ්‍ය ‌ඖෂධ සහ ආහාර ආනයනය කිරීම වලක්වාලමින් ද යුද තත්වයකට සමානව වෙනිසියුලාවට එරෙහි උපරිම පීඩනයසහිත ආර්ථික සම්බාධක ජාලයක් එජ අධිරාජ්‍යවාදය පවත්වා ගෙන යයි. මෙම වැඩකටයුතු කෝවිඩ්-19 වසංගතය ව්‍යප්ත වීම පටන්ගත් පසු වහාම උග්‍ර කෙරී තිබේ. වෙනිසියුලානු ජනතාව දන ගැස්සීම සහ පෘථිවියේ වඩාත්ම තෙල්වලින් පොහොසත් රටක එජ රූකඩ පාලන තන්ත්‍රයක් ස්ථාපනය කිරීම සඳහා වන උද්ඝෝෂනයට පහලවූ වාසනාවක් ලෙස වොෂිංටනය විසින් වෛරසය සාදරයෙන් පිලිගනු ලබයි.

ට්‍රම්ප් බදාදා පුවත්පත් සාකච්ඡාව ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර සිය ට්විටර් ගිනුම භාවිතා කරමින් තවත් යුද තර්ජනයක් එල්ල කරමින් කියා සිටියේ, “තොරතුරු සහ විශ්වාසයන් මත ඉරානය හෝ එහි හිතවතුන් එජ හමුදා සහ / හෝ ඉරාකයේ මධ්‍යස්ථානවලට රහසිගත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටී. මෙය සිදුවුවහොත්, ඇත්තෙන්ම, ඉරානයට ඉතා විශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇත.” යනුවෙනි.

වෙනිසියුලාවේ මෙන්ම, ඉරානයේ ආර්ථිකය අඩපන කරන සම්බාධක වොෂින්ටනය විසින් අඛන්ඩව ක්‍රියාත්මක කර ඇත්තේ ඉරානය ලෝකයේ කෝවිඩ්-19 මගින් ඉහලම මරන අනුපාතයකට මුහුන දී සිටින විටදීය. මහ බැංකුව අසාදු ලේඛනගත කිරීමෙන් ටෙහෙරානය ලෝක වෙලඳපොලේ කිසිවක් මිලට ගැනීම වලක්වන ලද විටදී පවා, ‌ඖෂධ සහ වෛද්‍ය සැපයුම්වලට එරෙහිව සම්බාධක පනවා නොමැති බව ට්‍රම්ප් පාලනාධිකාරය නරුම ලෙස කියා සිටියේය.

ඉරාකය තුල වාඩිලා ගැනීමේ බලකායක් පිහිටුවන එජ හමුදා දහස් ගනනක් වහාම හා සම්පූර්නයෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා ඇති එරට පාර්ලිමේන්තුවේ විරෝධය නොතකා පෙන්ටගනය, ඉරාක පේට්‍රියට් මිසයිල කාලතුවක්කු සේනාංක ඉරාකයට යොදවනු ලැබ ඇත. ඉරානයට එරෙහිව එජ යුද්ධයක් සූදානම් කිරීම සඳහා මිසයිල යොදා ගනු ඇතැයි බැග්ඩෑඩය බිය පල කරන්නේ වැඩෙන කොරෝනා  වෛරස් ආසාදිතයින්ගෙන් පීඩාවිඳින සහ යුද්ධයෙන් විනාශ වූ ඉරාකය ද යුද පිටියක් බවට පත්වනු ඇතැයි කියාය.

කොරෝනා වෛරසයට එරෙහි තමන් යුද්ධ කරන්නේ යැයි අඟවන ට්‍රම්ප් මෑත සතිවල දී තමන් යුද කාලයේ ජනාධිපතිවරයකුලෙස පුන පුනා විස්තර කර ඇත. එය යුද්ධයක් නම් සහ ට්‍රම්ප් ජෙනරාල්වරයකු නම් ඔහුට මේ වන විට යුද අධිකරනයේදී නඩු පවරන ලදුව ද්‍රෝහියෙකු ලෙස ද දඬුවම් ලැබෙනු ඇත. වෙනිසියුලාවට එරෙහිව යුද නැව් සහ ඉරානයට එරෙහිව මිසයිල යැවීමට ඔහුට හැකියාව තිබුනද, කෝවිඩ්-19 ආසාදිතයින්ගේ මරන නැවැත්වීමට ස්වසනාධාර තබා ඉදිරිපෙල සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා මුහුනු ආවරන, ආරක්ෂක කබා සහ අත්වැසුම් හෝ යැවිය නොහැකිය.

වෙනිසියුලාවට හා ඉරානයට එරෙහි මිලිටරි තර්ජන උත්සන්න වීමත් සමඟ මාතෘකාව වෙනස් කිරීමට එජ පාලනාධිකාරය ගත් ලජ්ජා විරහිත වෑයම වටා අපේක්ෂා භංගත්වයේ හා උමතුවෙන් පිරි පැහැදිලි වාතාවරනයක් පවතී. දේශප්‍රේමී යුද උත්සන්නිය පිටුපස එජ ජනතාව පෙලගැස්වීමේ කිසියම් මහා සැලැස්මකට වඩා, මෙම නොසැලකිලිමත් ක්‍රියා අතිශයින්ම අර්බුදයෙන් හා අස්ථාවරත්වයෙන් පෙලෙන පාලක තන්ත්‍රයක ලක්ෂනයකි.

වර්තමාන කොන්දේසි යටතේ ඉරානයට හෝ වෙනිසියුලාවට එරෙහි එජ යුද්ධයක් ඉටු කරන්නේ කුමක් ද? මෙමගින් විය හැක්කේ කෝවිඩ්-19 රෝගයට ගොදුරු වූවන් රෝහල්වලින් පිටත සිටගෙන සිටින අතර මල සිරුරු ට්‍රක් රථවල ඇති ශීතකරන තුලට පටවාගෙන යන අයුරු දකින ලෝක ජනගහනය ඉදිරියේ සිය තුච්ච අසාර්ථකත්වය ප්‍රදර්ශනය කරමින් සිටින ඇමරිකාව තවත් අපකීර්තියට පත්වීමයි. මේ දෙරටින් ඕනෑම එකකට එරෙහිව මිලිටරි ප්‍රචන්ඩත්වය මුදා හැරීම මගින් දැවැන්ත මිනිස් දුක් වේදනා, යුද සරනාගතයින්ගේ නව ප්‍රවාහයන් සහ වසංගතය තවදුරටත් ව්‍යාප්ත වනු ඇත.

එජ හමුදාව තුල පවා, යුද තර්ජන සම්බන්ධයෙන් සැලකිය යුතු මතභේදයක් ඇති බවට සැකයක් නැත. යුද නැව් දකුනු ඇමරිකාවට යවන අතරදී, ඇමරිකානු මිලිටරි ශක්තියේ අවසාන සංකේතය යැයි කියනු ලබන න්‍යෂ්ටික බලය සහිත ගුවන් යානා ප්‍රවාහනය කරන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් යාත්‍රාව කොරෝනා වෛරසය විසින් අඩපන කෙරී ඇත. නැවියන් 100 ක් ආසාදනය වෙමින් එහි කාර්ය මන්ඩලය 4,000 කට අධික සංඛ්‍යාවක් රෝග තර්ජනයට ලක්වී ඇති අතර, එහි කපිතාන්වරයා ඔවුන් බැහැර කරන ලෙස ඉල්ලා සිටිමින්, “අපි යුද්ධ කරන්නේ නැහැ. නැවියන්ට මැරෙන්න අවශ්‍ය නැහැ.යනුවෙන් පැවසීය. මොවුන්ගේ ජීවිත ගැන ට්‍රම්ප් පාලනාධිකාරය විසින් නොතකා හරිනවා සේම ආක්‍රමනයකට ඉලක්ක කෙරුනු වෙනිසියුලානු හා ඉරාන වැසියන්ගේ ජීවිත ගැනද ඔවුන්ට සැලකිල්ලක් නැත.

ධවල මන්දිරය විසින් ඉවක් බවක් නැති ප්‍රකාශ සිදු කෙරුනේ, මිලියන 70 කට අධික ජීවිත බිලිගත් දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු මානව වර්ගයාගේ විශාලතම අභියෝගය බවට කෝවිඩ්-19 අර්බුදය පත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි. මෙම වාර්තාව, “මිලියන ගනනක් මරුමුවට පත් වූ ගෝලීය දකුනේ ලැව් ගින්නක් මෙන් පැතිරෙන රෝගයේ බියකරු සිහිනය හා එය කලින් මර්දනය කරන ලද ස්ථානවල නැවත ඇතිවීමේ හැකියාව පිලිබඳව අනතුරු ඇඟවීය.

ලොව පුරා ධනේශ්වර ආන්ඩු විසින් ආරක්ෂනවාදය, වෙලඳ යුද්ධය සහ පර භීතිකාව තීව්‍ර කිරීම මධ්‍යයේ ගෝලීය එක්සත්කමසහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා අලුත් නොකරන ලද එකම ඉල්ලීම් අතර වාර්තාව කැඳවුම් කරන්නේ සම්බාධක අවසන් කිරීම සඳහා ද ගෝලීය සටන් විරාමයක්සඳහා ද සියලු මනුෂ්‍ය වර්ගයාට දැන් තර්ජනය කරන පොදු සතුරා වන කෝවිඩ්-19 ට එරෙහි දැවැන්ත සටනට සහය දැක්වීම සඳහා සියලු රටවල් ආයුධ බිම තැබීම ද සඳහා ය.

බදාදා ධවල මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් ඇතිතරම් පැහැදිලි වන්නේ මෙය පවත්නා ධනේශ්වර පර්යාය යටතේ මායා සිහිනයක් බවයි. මෙම [වෛරසය නමැති] පොදු සතුරාදකිනු ලබන්නේ භූ-මූලෝපායික අවශ්‍යතා සහ වෙලඳපල සහ සම්පත් පාලනය කිරීම සඳහා යුද්ධ කරගෙන යාමේ තවත් අවියක් ලෙස පමනි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වේ, “කෝවිඩ්-19 වසංගතය නූතන සමාජය පිලිබඳව හරය තීන්දු කරන අවස්ථාවක් වන අතර, ඉතිහාසය අපගේ ප්‍රතිචාරයේ සඵලත්වය විනිශ්චය කරනු ඇත්තේ හුදකලා ලෙස ගත් ඕනෑම ආන්ඩුවක නලුවන් පිරිසකගේ ක්‍රියාවන්ගේ මට්ටමෙන් නොව, අපගේ මානව පවුලේ යහපත සඳහා ගෝලීය වශයෙන් සෑම අංශයකින්ම ප්‍රතිචාරය සම්බන්ධීකරනය කරනු ලැබන මට්ටමෙන්ය.

ඇත්ත වශයෙන්ම, එය හරය තීන්දු කරන අවස්ථාවක් වන නමුත් විනිශ්චය ඉතිහාසයට ඉතිරි නොවනු ඇත. ගෝලීය වසංගතය හමුවේ ධනවාදී ලෝක පර්යායේ සාපරාධීත්වය සහ එහි ප්‍රතිපලයක් ලෙස මිනිස් ජීවිත පරිත්‍යාග කිරීම පිලිබඳව පෘථිවිය පුරා වැඩ කරන හා පීඩිත ජනතාව සාක්ෂි දරති. මිලියන සිය ගනනකගේ විඤ්ඤානය ගැඹුරු පරිවර්තනයකට භාජනය වෙමින් පවතී. ධනවාදය ආර්ථික, සමාජීය හා සදාචාරාත්මක බංකොලොත් ක්‍රමයක් ලෙස නිරාවරනය වී තිබේ. බ්‍රසීලයේ ඇමතුම් මධ්‍යස්ථාන කම්කරුවන්ගේ සිට ඉන්දියාවේ ගිලන් රථ රියදුරන් දක්වා විශාල ප්‍රතිරෝධයක් ඇතිවීමේ ක්‍රියාවන් පෘථිවිය පුරා පැතිර පවතී.

මානව සමාජයේ තර්ජනාත්මක විනාශයට විකල්පයක් සැපයිය හැක්කේ ලෝක සමාජවාදය සඳහා ජාත්‍යන්තරව එක්සත් වූ අරගලයක් හරහා කම්කරු පන්තියට පමනි.

කතුවරයා පහත ලිපි ද අනුමත කරයි

ධනවාදී විදේශික භීතිකාව ප්‍රතික්ෂේප කරනු! කොරෝනා වෛරස් වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර සමාජවාදී සහයෝගීතාව සඳහා!එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරෝනා වෛරසය යුද අවියක් ලෙස ගසා කයි

Loading