සම්බාධක ඉවත්කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කෙරුනු යෝජනාව යුද තර්ජන මධ්‍යයේ වොෂින්ටනය අවහිර කරයි

මෙම ලිපිය අප්‍රේල් 4 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

ගෝලීය කොවිඩ්-19 වසංගතය පැතිරීම වැලැක්වීමට දරන උත්සාහයට දැඩි ලෙස බාධා පමුනුවන, ඒකපාර්ශ්වික සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන් හමුවට ගෙන ආ යෝජනාවක් වොෂිංටනය සහ එහි සහචරයින් විසින් 2දා  ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම යෝජනාව රුසියාව විසින් කෙටුම්පත් කරන ලද අතර තවත් සාමාජික රටවල් 28 ක් සම අනුග්‍රහය දක්වන ලදී. මාරාන්තික වෛරසයට එරෙහිව ජාත්‍යන්තරව සම්බන්ධීකරන ව්‍යාපාරයක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද ඉල්ලීමට සහාය දීමට අමතරව, “ වෙලඳ බාධක දැඩි කිරීම, නව අපනයන සීමාවන් පැනවීම හෝ ලෝක වෙලඳ සංවිධානයට පටහැනි ආරක්ෂනවාදී සහ වෙනස් කොට සැලකීමේ ක්‍රියාමාර්ග ගැනීමෙන් වලකින ලෙස මෙන්ම, ලෝක වෙලඳ සංවිධානයේ නීති රීති හා ආරක්ෂක මන්ඩලයේ අනුමැතියකින් තොරව සිදුකරන ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ග නොගත යුතු බව එය සියලු රටවලින් ඉල්ලා සිටියේය. 

මහා මන්ඩලය රැස්ව නැති තත්වයක එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද නීතිරීති යටතේ, යෝජනා අනුමත කිරීම සඳහා මහ මන්ඩලයේ ඒකමතික කැමැත්ත අවශ්‍ය වේ. යෝජනාව අවහිර කිරීම සඳහා එක්සත් ජනපදයට එක්වුනේ, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, යුක්රේනයේ සහ ජෝර්ජියාවේ දක්ෂිනාංශික රුසියානු විරෝධී ආන්ඩු ය.

 එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිතයින් 2දා සවස පැවති ඡන්ද විමසීමෙන් පසුව නිවේදනයක් නිකුත් කරමින්, “ සම්බාධක පදනම් කරගත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන රාජ්‍යයන් කුඩා කන්ඩායමක්, එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ කැඳවීමට ප්‍රතිචාර දැක්වීමට සූදානම් නැති බව පෙනී යාම සහ දේශපාලන ප්‍රවිෂ්ටය හා සිය අභිලාෂයන් ඉවත දැමීම ප්‍රතික්ෂේප කිරීම ගැන අපි කනගාටු වෙමු. ”

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් 1දා, වසංගතය පිලිබඳ වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියේ, “ ආහාර, අත්‍යවශ්‍ය සැපයුම් සහ කොවිඩ්-19 පරීක්ෂන සඳහා ප්‍රවේශය සහ වෛද්‍ය ආධාර ලබා ගැනීම සඳහා රටවල්වලට පනවා ඇති සම්බාධක ඉවත් කල යුතු බවයි. සහයෝගීතාවය බැහැර නොකල යුතු කාලය මෙයයි. ”

රුසියානු කෙටුම්පත් යෝජනාව වෙනුවට, “සහයෝගිතාව“ යන වොෂින්ටනය විසින් නිකුත් කල දත් නැති ලොඹු ඇමතුම, එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය අනුමත කලේය. වසංගතයට අව්‍යාජ හා පලදායී ජාත්‍යන්තර ප්‍රවිෂ්ටයක් වැලැක්වූ එම යෝජනාවෙන්, ආරක්ෂනවාදී පියවර ද වෙලඳ යුද්ධය ද පීඩිත රටවලට එරෙහි සම්බාධක පිලිබඳ ප්‍රශ්න ද නොතකා හැරියේය.

කෙසේ වෙතත් වසංගතය  " චීන " හෝ " වුහාන් " වෛරසය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා හංවඩු ගස්සවා ගැනීමට දරන ලද එක්සත් ජනපද නියෝජිතයන්ගේ ප්‍රයත්නය අසාර්ථක විය. ට්‍රම්ප් ආන්ඩුව විසින් එම තේමාව පෙරට ගනු ලැබුවේ, බීජිනය සමඟ ඇමරිකානු අධිරාජ්‍යවාදයට ඇති භූ-මූලෝපායික ගැටුම පුලුල් කිරීමේ අරමුනෙන් ගසාකෑම සඳහා ය . එසේම ඇමරිකානු ජනගහනය වෙලාගෙන පැතිරෙන කොරෝනා වෛරසය මට්ටු කර ගැනීමට පැවති නොහැකියාව හෝ සැලකිය යුතු ප්‍රතිචාරයක් දැක්වීමට ආන්ඩුව දැක්වූ අසමත්කම පිලිබඳ අවධානය වෙනත් පැත්තකට හැරවීමේ අරමුනෙන්ය.

සම්බාධක වලින් සහන සලසන ලෙසට ලොව පුරා ඉල්ලීම් තිබියදීත් වොෂින්ටනය, යුද්ධ තත්වයකට සමාන ඊනියා “ උපරිම පීඩනය ” යෙදීමේ වැඩපිලිවෙලට සම්බන්ධ කරගෙන, ඉරානය සහ වෙනිසියුලාව මත පනවා ඇති ඒකපාර්ශ්වික හා නීති විරෝධී සම්බාධක, තීව්‍ර කර තිබේ. එක්සත් ජනපදය පසුගිය මාසයේ දෙරටට එරෙහිව නව සම්බාධක පැනවීය.

ඉරානය කොවිඩ්-19 රෝගීන් 53,183 ක් සහ මරන 3,294 ක් නිල වශයෙන් වාර්තා කල ද එය, රෝගයේ සැබෑ විනාශය පිලිබඳ බරපතල අවතක්සේරුවක් ලෙස විශ්වාස කෙරේ. එම නිල වාර්තා පවා ලෝකයේ ඉහලම මාරාන්තික අනුපාතයන්ගෙන් එකකි. “අපගේ තොරතුරු අනුව,  සෑම මිනිත්තු 10 කට වරක් කොරෝනා වෛරසයෙන් ඉරානයේ එක් අයෙකු මිය යන අතර  සෑම පැයකටම පුද්ගලයින් 50 කට පමන වෛරසය ආසාදනය වේ” යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කියුනුෂ් ජහාන්පූර් 2දා පැවසීය.

වසංගතයට පෙර පවා, ඉරානයට සම්බාධක පැනවීම නිසා අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ලෝක වෙලඳපොලෙන් මිලදී ගැනීම වලක්වා තිබුන අතර රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය අඩපනවී තිබුනි. පිලිකා සහ වෙනත් රෝගවලින් පීඩා විඳින බොහෝ දෙනෙකු මිය යාමට එය හේතු විය.  සිය “උපරිම පීඩනය” යටතේ මානුෂීය සැපයුම් නිදහස් කර ඇති බවට ට්‍රම්ප් පරිපාලනය නරුම ප්‍රකාශ කර ඇති නමුත් යථාර්ථය වන්නේ, ඉරානයේ මහ බැංකුව අසාදු ලේඛනයට ඇතුලත් කිරීම සහ රට සමඟ මූල්‍ය ගනුදෙනුවල යෙදෙන ඕනෑම කෙනෙකුට එරෙහිව, තෙවන පාර්ශවීය සම්බාධක පැනවීමේ තර්ජනය හමුවේ ඉරානයට ඇති ඉඩ ප්‍රස්ථා  පලදායී ලෙස අවහිර කර ඇති බවයි.

ඉරානයේ වෛද්‍ය විද්‍යා ඇකඩමිය 2දා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත යොමු කල ප්‍රකාශයකින් කියා සිටියේ, “මානව වර්ගයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව කියා සිටින එක්සත් ජාතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය, අපගේ ආදරනීය දරුවන්ට, කාන්තාවන්ට, පිරිමින්ට සහ රෝගීන්ට එරෙහි කුරිරු සම්බාධක ඉවත් කිරීමට පලදායී පියවර නොගත් බව ය. ”

තීව්‍ර කරන සම්බාධක පිලිබඳව එක්සත් ජනපදය හෙලා දකිමින් එම ප්‍රකාශය තවදුරටත් මෙසේ පැවසීය: “එවැනි අපරාධවලට එරෙහිව ජාත්‍යන්තර නීතිය සහ මානව හිමිකම් ආරක්ෂා කරන බව කියා සිටින ජාත්‍යන්තර සංවිධානවල අකාර්යක්ෂමතාව සහ නිශ්ශබ්දතාව ඉතිහාසය විසින් විනිශ්චය කරනු ඇත. එක්සත් ජනපද තන්ත්‍රය විසින් ජාත්‍යන්තර හා මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමට එරෙහිව පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ආයතන, දත් ​​රහිත වී ඇති අතර, යමෙක් එයින් තෘප්තිමත් නොවන්නේ නම් ඔහුට, අපගේ ලෝක පර්යාය හොඳින්ම හෙලිදරව් වී ඇති බව නිසැකය. ”

ඉරානය “හෝ එහි හිතවතුන්,” ඉරාකයේ “එක්සත් ජනපද හමුදා සහ හෝ ඉරාකයේ ඇති ඇමරිකානු සම්පත් වලට හොර රහසේම ප්‍රහාරයක්” සැලසුම් කරමින් සිටින බව පවසමින් ට්‍රම්ප්, ඉරානයට එරෙහි මිලිටරි ආක්‍රමනයේ පැහැදිලි තර්ජනයක් 1දා නිකුත් කලේය. මේ සඳහා ඉරානය “ඉතා විශාල මිලක් ගෙවනු” ඇති බවට තර්ජනය කර ඇත.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ජෙනරාල් කසෙම් සුලෙයිමානි බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමත් සමඟ, ඉරාක ආන්ඩුවේ විරෝධතා හමුවේ පෙන්ටගනය, පේට්‍රියට් මිසයිල බැටරි ඉරාකයට යොදවා තිබේ. රට අත්පත් කරගෙන සිටින එක්සත් ජනපද හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුව ජනවාරියේදී ඡන්දයෙන් සම්මත කලේය. බැග්ඩෑඩ් පාලනය මිසයිල යෙදවීමට විරුද්ධ වී ඇති අතර, ඔවුන් එය සලකන්නේ, යුද්ධයෙන් විනාශ වූ ඉරාකය යලිත් යුද පිටියක් බවට පත් කල හැකි සමස්ත යුද්ධයක් සඳහා විභව සූදානමක් ලෙස යි.

 ඒ හා සමානවම වෙනිසියුලාවට එරෙහිව  දඬුවම් සම්බාධක පැනවීමේ ඉලක්කය ඊටත් වඩා පැහැදිලිය. ට්‍රම්ප් 1දා නිවේදනය කලේ, එක්සත් ජනපද නාවික හමුදාවේ යුද නැව් සහ වෙනත් ප්‍රහාරක අවි වෙනිසියුලානු වෙරල තීරයට, මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන්, යොදවා ඇති බව යි.  වෙනිසියුලානු ජනාධිපති සහ අනෙකුත් ඉහල නිලධාරීන්ට විරුද්ධව මත්ද්‍රව්‍ය සම්බන්ධ ගොතන ලද චෝදනා මත, එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව අධිචෝදනා ගොනු කිරීමෙන් අනතුරුව එය නිකුත් විය. මෙම නිවේදනය නිකුත් වීමත් සමඟ මදුරෝ අල්ලා දෙන අයෙකුට ඩොලර් මිලියන 15 ක තෑග්ගක් ගෙවන බවට පෝස්ටර් නිකුත් විය.

වෙනිසියුලාවට එරෙහිව පසුගිය මාසයේ තවත් වටයක සම්බාධක පැනවීමෙන් පසුව මිලිටරි ප්‍රචන්ඩත්වයේ තර්ජනය එල්ල කෙරේ.

මේ දක්වා වෙනිසියුලාවෙන් වාර්තා වී ඇත්තේ රෝගීන් 146 ක් සහ මරන 5 ක් පමනක් වන නමුත්, එක්සත් ජනපද සම්බාධකවල බලපෑම යටතේ රටේ සෞඛ්‍ය සේවා පද්ධතියේ ඇතිව තිබෙන අර්බුදය, නිමක් නැති කම්කරුවන්ට සහ දුප්පතුන්ට එරෙහිව එල්ල වන වසංගත මරන දඬුවමක තර්ජනය මතු කරයි.

කොරෝනා වෛරසයේ බලපෑම් අවම කිරීමට  එක්සත් ජනපද ආන්ඩුව ව්‍යසනකාරී ලෙස අසාර්ථථක වීම පිලිබඳ වැඩෙන කෝපය වෙනතකට හැරවීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස, ධවල මන්දිරයේ ගිනි ඇවිලෙන සුලු මිලිටරි තර්ජන,  පෙන්ටගනය තුල අසන්තෝෂයක් දල්වා ඇති බවට සලකුනු මතුවේ. ඒ, යුද නැව් සහ විදේශීය යුද මධ්‍යස්ථාන ඇතුලුව සමීපයෙන් ක්‍රියාත්මක වන හමුදා ඒකක හරහා වසංගතය පැතිර යාමේ තර්ජනයට මිලිටරියේ ඉහල නිලිධාරීන් මුහුනදී සිටියදී ය.

“කැරිබියානු මුහුදේ මත්ද්‍රව්‍ය නැව්ගත කිරීම තහනම් කිරීම සඳහා නාවික යාත්‍රා රාශියක් යැවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරනයට එරෙහිව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව තියුනු ලෙස ක්‍රියාකරනු ඇතැයි“ සිකුරාදා  විදේශ ප්‍රතිපත්ති සඟරාව සිය වෙබ් අඩවියේ  පල කලේය.යෙදවීම “මුලුමනින්ම දේශපාලනය” බව නිලධාරීන් උපුටා දක්වමින්, පෙන්ටගනය “කොවිඩ්-19  හි බලපෑම හේතුවෙන් සමහර යෙදවීම් නවතා දමන” අවස්ථාවකට පැමින ඇතැයි“ පැවසීය.

නාවික හමුදාව, මාරාන්තික වෛරසයට නිරාවරනය වූ නැවේ නාවිකයින් 4,000 කට වැඩි පිරිසකට නිරෝධායන පහසුකම් ලබා දිය යුතු යයි, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා ප්‍රවාහනය කරන යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට්හි අනදෙන නිලධාරි කපිතාන් බ්‍රෙට් ක්‍රොසියර් කල ඉල්ලීමෙන් පසුව ඔහු සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලෙන් පසුව මේ තත්වය උදාවී ඇත.

නාවික හමුදාවෙන් කල ඉල්ලීමෙන් පසුව ක්‍රොසියර් නෙරපා හරින ලදී. “නැවියන් මිය යාම අවශ්‍ය නැත. අප දැන් ක්‍රියා නොකරන්නේ නම්, අපගේ වඩාත්ම විශ්වාසදායක සම්පත වන අපගේ නැවියන් නිසි ලෙස රැකබලා ගැනීමට අප අසමත් වුනා වේ” යනුවෙන් ඔහු පැවසූ බව සැන් ෆ්‍රැන්සිස්කෝ ක්‍රොනිකල් වාර්තා කලේය.

 නාවික හමුදා සීල් බලකායේ, වරදකරු වූ යුද අපරාධකාර  එඩී ගැලගර්ට ට්‍රම්ප් සමාව දීමේ කටයුත්තට සම්බන්ධවූ, හිටපු ලේකම් රිචඩ් ස්පෙන්සර් සේවයෙන් පහ කිරීමෙන් පසු එක්සත් ජනපද නාවික හමුදාවේ වැඩබලන ලේකම් වශයෙන් පත්වූ තෝමස් මොඩ්ලි, ක්‍රොසියර් ඉවත් කිරීමට ගත් සිය තීරනය සාධාරනීකරනය කරමින් කියා සිටියේ, ඔහුගේ ප්‍රකාශයෙන් “නාවික හමුදාව හරි හැටි ක්‍රියා නොකරන බවත්, ආන්ඩුව හරිහැටි කටයුතු නොකරන බවත් ඇඟවුම් කරයි. එය සත්‍යයක් නොවේ ” යනුවෙනි.

නාවික හමුදාව හෝ ට්‍රම්ප් පරිපාලනය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ නිකුත් කරන ලද කපිතාන්වරයාගේ ඉල්ලීම, ඇත්ත වශයෙන්ම යූඑස්එස් තියඩෝර් රූස්වෙල්ට් සම්බන්ධයෙන් පමනක් නොව, සමස්තයක් ලෙස  වෛරස් වසංගතයට ආන්ඩුව දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් ද සත්‍යයකි.

3දා අලුයම ෆේස්බුක් හි පල කරන ලද වීඩියෝ පට මගින්, ඔහුගේ කාර්ය මන්ඩලය දැක්වූ ප්‍රතිචාරය පැහැදිලි විය. නැවියන් සිය ගනනක් ගුවන් යානා රැඳවුම් ස්ථානයක සමූහ වශයෙන් එක්රැස් ව කපිතාන් එය පසුකර යන විට ඔහුගේ නම ගායනා කලේය.

ක්‍රොසියර් නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා චේන්ජ්.ඕර්ග් වෙබ් අඩවියේ පල කර ඇති ඔන්ලයින් පෙත්සමට පැය 24 ක් තුල අත්සන් 150,000 ක් එකතු විය. අත්සන් කල අය අතර ඔහුගේ කාර්ය මන්ඩලයේ සාමාජිකයන්, නාවික හමුදා ප්‍රවීනයන් සහ ක්‍රියාකාරී රාජකාරියේ යෙදී සිටින නැවියන්ගේ ඥාතීන් ද විය.

එක් නැවියෙක් මෙසේ ලිවීය, “ඔහු මගේ ප්‍රධාන අනදෙන නිලධාරියා වන අතර, ඔහු යලි සේවයේ පිහිටවුවත් නැතත්, අප විසින් නිවැරදි දේ කල බව ඔහු දැනගන්නවාට මම කැමතියි.

තවත් අත්සන්කරුවෙකු ප්‍රකාශ කලේ, “කැප්ටන්ගේ මූලික කාර්යය වන්නේ ඔහුගේ කාර්ය මන්ඩලයේ සෞඛ්‍යය හා යහපැවැත්ම ආරක්ෂා කිරීමයි. කැප්ටන් ක්‍රොසියර් මෙය කලා. ඔහුට දඬුවම් කර ඇත. ඊට වෙනස්ව, යුද අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ සෙබලුන්ට ට්‍රම්ප් විසින් සමාව දෙනු ලැබේ. එය බියජනක හා වැරදි ය. ලෝකය උඩු යටිකුරු වී ඇත. ”

තුන්වැන්නා මෙසේ ලිවීය: “එසේ නොවුනා නම්, ඔහු මෙහෙයවන ලද නැව, පාවෙන මිනී කාමරයක් විය හැකිව තිබුන නිසා.“ 

 

කතුවරයා පහත ලිපි ද අනුමත කරයි

කොවිඩ්-19 අර්බුදයට සාපරාධී ප්‍රතිචාර දැක්වීම කෙරෙහි වැඩෙන කෝපය මධ්‍යයේවොෂින්ටනයයුද තර්ජන එල්ල කරයි

ධනවාදී විදේශික සඳහා භීතිකාව ප්‍රතික්ෂේප කරනු! කොරෝනා වෛරස් වසංගතයට එරෙහි සටනේදී ජාත්‍යන්තර සමාජවාදී සහයෝගීතාව!

කම්කරු පන්තිය, සමාජවාදය සහ වසංගතයට එරෙහි සටන

 

 

Loading