බංගලාදේශය: කොරෝනා වසංගතය මධ්‍යයේ දස දහස් ගනනක් ඇඟලුම් කම්කරුවන් සේවයට වාර්තා කල යුතු යයි ආන්ඩුව කියා සිටී

ලෝකයේ අනෙකුත් රටවල පාලක පන්තීන් වැඩ කරන ආකාරයට සමගාමී ව, බංගලාදේශයේ පාලක අවාමි ලීග ආන්ඩුව ද කොරෝනා වසංගතය තුල දී ක්‍රියා කරන්නේ නිශ්චිත පන්ති එල්ලයක් සහිතව ය. එනම්, කම්කරු පන්තිය සූරා කා ලාභ පොදි මඩි ගැහීමේ ධනපති පන්තියේ මජර වැඩ පිලිවෙලට මාරාන්තික කොරෝනා වසංගතය මැඩලීමේ සැලසුම් කිසිසේත් ම හරස් විය නො යුතු ය යන්න මතයි. 

ලෝක පරිමානයෙන් ජීවිත 78,269ක් බිලිගෙන ඇති කොරෝනා වසංගතය, මේ වන විට බංගලාදේශය තුල ජීවිත 17ක් ගොදුරු කර ගෙන ඇත. ලෝක පරිමානව මිලියන 1.3 කට වැඩියෙන් මෙම වෛරසය වැලඳී ඇතත්, බංගලාදේශය තුල වාර්තා වී ඇති කොරෝනා වෛරසටය ගොදුරු වූ ප්‍රමානය 164 දෙනෙකි. පරීක්ෂනය නොකිරීම හේතුවෙන් බොහෝ රෝගීන් තවමත් හඳුනාගෙන නොමැති තත්වය තුල ඇත්ත රෝගීන්ගේ සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි විය යුතු ය.

එම තත්වය මධ්‍යයේ ම, ඇඟලුම් කම්හල් අයිතිකරුවෝ ඩකා ආන්ඩුව සමඟ එක් ව තමන් යටතේ වැඩ කරන සේවකයන්ට නිවාඩු අවසන් කර අප්‍රේල් 5 දා සේවයට වාර්තා කල යුතු යයි කියා සිටියහ. 

පොදු ප්‍රවාහන පහසුකම් නොමැති තත්වය තුල, ඇඟලුම් කම්කරුවන්ට තමන් සේවය කරන ස්ථානයට පැමිනීමට සිදුවූයේ විවිධ දුෂ්කරතා ජය ගනිමින්, බොහෝ විට සැතපුම් ගනන් පයින් ගමන් කරමිනි. සමහර කම්කරුවන් තම උරහිස් මත කුඩා දූ දැරියන් තබාගෙන පයින් ගමන් කරන ආකාරය ඡායාරූපයට හසුව තිබුනි. 

දස දහස් ගනනක් කම්කරුවන් තම රැකියා අහිමි වෙතැයි බියෙන් මෙ ලෙස සේවයට වාර්තා කිරීම මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුනි. එය තුඩු දුන්නේ රට තුල විශාල විරෝධතාවයක් මතු වීමට ය. එම තත්වය තුල දී, ඇඟලුම් කම්හල් තව දුරටත් වසා තැබීම හැර අන් කිසිවකට පාලකයනට ඉඩක් තිබුනේ නැත. 

නමුත් ඒ වන විට විනාශය වී අවසන් ය. එම කම්කරුවන් තම ගම්මාන වල සිට අතිශය දුෂ්කර ගමන් ගෙවා ගෙන ඇඟලුම් කම්හල් මූලික ව පවතින බංගලාදේශ් අගනුවර වන ඩකා හා ඒ අවට පවතින අනෙකුත් නගර වෙත පැමිනීමේ දී පලල් ලෙස වෛරසයට ගොදුරු වූ යේ නැතයි යන්නට කිසිදු සහතිකයක් නැත. 

දස දහස් ගනනක් බංගලාදේශ ඇඟලුම් කම්කරුවෝ සේවයට වාර්තා කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රවාහන පහසුකම්, ගංගා යාත්‍රා (ferries) හා පා ගමනින් ඩකා, ගාසිපූර්, නරයංගනී හා අනෙකුත් නගර වල පිහිටි තම සේවා ස්ථාන වෙත පැමිනියහ. කොරෝනා වෛරස් වසංගතය බංගලාදේශය තුල පැතිර යන තත්වයේ දී, මෙසේ කම්කරුවන්ට සේවයට වාර්තා කිරීමට නියම කිරීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ වැඩ කරන ජනතාවගේ ජීවිතය පිලිබඳ පාලක අවාමි ලීග ආන්ඩුවේ හා මහා ධනපතියන්ගේ සාපරාධී නොතකා හැරීමයි. 

කොරෝනා රෝගයට බෙහෙතක් තවමත් සොයාගෙන නොමැති තත්වය තුල, කල යුතුව ඇත්තේ රෝගය වැලඳීම වලක්වා ගැනීම ය. මූලික පූර්වාරක්ෂක පියවරයන් නම්, සමාජ දුරස්තභාවය පවත්වා ගැනීම හා දෑත් ඇතුලුව මුහුන නිතර සබන් වලින් සෝදා පවිත්‍ර කර ගැනීමයි. නමුත්, ගමනේ යෙදුන ඇඟලුම් කම්කරුවන්ට ඒ දෙක ම කල හැක්කක් නොවේ.

ස්වාධීනතා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය ඉක්බාල් අර්සලාන් “කර්මාන්තශාලා තුල දී කායික දුර පවත්වා ගත නොහැකි බැවින් ඩකා වෙත පැමින රැකියාවට සම්බන්ධ වීමට ඉඩ දීමෙන් අපි අවදානම් බව වැඩි කරන්නෙමු. මෙය අවම වශයෙන් සතියකට පසුවවත් කල යුතුව තිබුනි” යයි ප්‍රකාශ කල බව නිව් ඒ්ජ් බංගලාදේශ පුවත් පත පසුගිය සෙනසුරාදා වාර්තා කලේ ය. 

ඇඟලුම් කම්කරුවන් සේවයට වාර්තා කිරීමට පැමිනියේ අතිශය දුශ්කර කොන්දේසි මධ්‍යයේ ය. තමන් වැඩ කරන ෆැක්ටරිය පිහිටි බැරිෂල් කරා ගමන් කරමින් සිටි රහීමා බෙගම් නම් ඇඟලුම් සේවිකාවක් නිව් ඒජ් පුවත්පතට ප්‍රකාශ කලේ තමන් ගමන් ගත් ප්‍රවාහන ක්‍රම අතර වෑන් රියක්, බෝට්ටුවක්, රික්ෂෝවක් ද තිබුනු බවයි. 

“අපි එන්නේ කුමිලා වල ඉඳල. අපි ඩකා නුවරට එන අතර ම තුන් වතාවක් ට්‍රක් රථවල ගමන් කලා. අවසානයේදී අපි ඇවිදින්න පටන් ගත්තා. අපේ කර්මාන්ත ශාලාව හෙට (අප්‍රේල් 5) විවෘත වෙනව. ප්‍රමාදයකින් තොරව වැඩට යනව හැරෙන්න අපට වෙනත් විකල්පයක් නැහැ” යයි සදර්න් ගාමන්ට් හි සේවය කරන කොකොන් මසුඩ් පැවසූ බව නිව් එජ් පුවත් පත වාර්තා කලේ ය. වාර්තාකරුවන් ඔහුට කතා කරන ලද්දේ ඩකා නගරයට පිටතින් පිහිටි අෂූලියා නඟරයට යන අතර මඟ දී ය. 

මෙම තත්වය හුදෙක් ඇඟලුම් කම්කරුවන් පමනක් නොව ඔවුන්ගේ පවුල් වල අයට ද බලපෑවේ ය. තමන් සේවය කරන කම්හලට යාමට සූදානමෙන් එක් තරුනියක් මැන්ක්ගන්ජ් බස් නැවතුමේ රැඳී සිටියේ සිය සිව් හැවිරිදි දියනිය ද වඩා ගෙන ය. දුප්පත් පවුල් වලින් පැවතෙන මෙම කම්කරු තරුනියන්ට බොහෝ විට රැකවරනයට තම කුඩා දරුවන් නවතා තබා යා හැකි තැනක් නොමැත. 

කොරෝනා රෝගයේ භයානකකම කම්කරුවන් නොදන්නවා නොවේ. නමුත් ඇඟලුම් කම්කරුවන් ඉදිරියේ පැවතියේ විකල්පයන් දෙකකි. රැකියාව අහිමි කර ගැනීම හෝ කොරෝනා වෛරසයට විවෘත වීම යන දෙක ය. දැනටමත් තමන් මුහුන දී සිටින දරිද්‍ර කොන්දේසි යටතේ දී, රැකියාව අහිමි කර ගැනීමට ඔවුන් සූදානම් නැත. ඔවුන්ගේ උත්සුකය වූයේ කෙසේ හෝ තම රැකියාව ආරක්ෂා කර ගැනීමය. 

ගාසිපූර්හි මූචක්හි ටීටීඑස්-ෆැෂන්හි සේවය කරන තවත් කම්කරුවෙකු “මම හෙට මගේ කර්මාන්ත ශාලාවේ වැඩට ගාසිපූර් වලට යන්නෙ මගේ ජීවිතය පරදුවට තියල.  මේක තමයි මගේ ජීවනෝපාය. ඇඟලුම් කම්හල් හැර සියල්ල වහන්න කියන ආන්ඩුවෙ ප්‍රතිපත්තිය නම් මට තේරෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කල බව එම වාර්තාව සඳහන් කලේ ය. 

බංගලාදේශය පිහිටුවා වසර 50ට ආසන්න කාලයක් තුල, එරට පාලක පන්තිය මහජනතාව පත්කර ඇති තත්වය මෙයයි. පාලක අවාමි ලීගය පමනක් නොව, ප්‍රධාන විරුද්ධ පක්ෂය වන බංගලාදේශ ජාතික පක්ෂය ද ඇතුලත් පාලක ප්‍රභූවේ සියලු කන්ඩායම් මීට වගකිය යුතු ය. 

කම්කරුවන් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මීමින්සිංහි දී,  අර්තාපල් ගෙන යන ලොරියක ගැටීම නිසා ඇඟලුම් කම්කරුවන් දෙදෙනෙකු මිය ගිය අතර තවත් දෙදෙනකු තුවාල ලැබූ සිද්ධියක් පසුගිය සෙනසුරාදා වාර්තා විය. 

වසංගතය පැතිරෙන තත්වයේ දී, නොකල යුතු ම දෙයක් වන්නේ මහා පරිමාන මහජන ඒකරාශී වීමයි. නමුත් පුවත්පත් වර්තාවලට අනුව, සෙනසුරාදා උදෑසන වන විට දහස් ගනනක් ඇඟලුම් කම්කරුවන් පැටූරියා තොටුපල පර්යන්තයට, ඩකා-අරිචා අධිවේගී මාර්ගයට හා නබිනගර්-චන්ද්‍ර මහාමාර්ගයට එක්රොක් වී සිටියහ. 

මෙම තත්වයේ දී, සමාජ දුරස්තභාවය පවත්වා ගැනීමට කිසිදු ඉඩක් තිබුනේ නැත. බැරිෂල් දිස්ත්‍රික් පරිපාලනයේ මහේස්ත්‍රාත්වරයා වන නස්මුල් හුඩා නිව් එජ් පුවත් පතට ප්‍රකාශ කර සිටියේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක් ව, සමාජ දුරස්තභාවය පවත්වාගෙන යාමට තමන් උත්සාහ දැරූ බවයි. 

මෙවැනි වසංගතයක් ඉදිරියේදි පැමිනීමට නියමිත යයි විද්‍යාඥයන් පසුගිය කාලයේ කල අනතුරු ඇඟවීම් යට ගසා සෞඛ්‍ය සේවයේ කප්පාදු දිගට ම ක්‍රියාත්මක කිරීම මගින් නිර්මානය කෙරුනු වත්මන් කොරෝනා වසංගතය මෙන් ම, මෙම අර්බුදය ද ධනපති පාලක පන්තිය දැනුවත් ව නිර්මානය කල එකකි. 

කම්කරුවන්ට මෙසේ සේවයට වාර්තා කිරීමට සිදු වූයේ, වසංගතය පැතිරී යාම වැලැක්වීමේ පියවරක් ලෙස මහජන ප්‍රවාහන සේවය අප්‍රේල් 11 වැනි දා දක්වා නවතා දැමීමට නියෝග කර ඇති තත්වයේ දී ය. සියලුම භාන්ඩ ප්‍රවාහනය කරන, ඉන්ධන, බෙහෙත් හා සහන ද්‍රව්‍ය ගෙන යන, හදිසි සේවා යටතේ ධාවනය වන හා විනාශ වන නිෂ්පාදන ගෙන යන වාහන හැර අනෙකුත් සියලුම වාහන ගමන් මේ වන විට තහනම් ය. 

ෆැක්ටරි 4,000කින් සමන්විත ඇඟලුම් ක්ෂේත්‍රයේ මේ වන විට මිලියන පහකට ආසන්න සේවක සංඛ්‍යාවක් (මූලික ව ම කාන්තාවන් වන) සේවයේ නියැලෙති. එරට මූලික විදේශීය විනිමය උපයන්නා වන ඇඟලුම් කර්මාන්තය ගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් අතර කාලය තුල ඇමරිකානු ඩොලර් බිලියන 30.1 උපයාලී ය. 

ලොව මූලික ඇඟලුම් නිෂ්පාදකයා වන චීනය හා ඇමරිකාව අතර පැන නැඟී ඇති වෙලඳ යුද්ධයෙන් තමනට වාසියක් අත් වේ යයි බංගලාදේශ ඇඟලුම් කම්හල් හිමිකරුවන්ගේ ගනන් බැලීම් වැරදී ගියේ ය. ඊට මූලික හේතුව වන්නේ ලෝක ආර්ථික අර්බුදයේ කොටසක් ලෙස, බංගලාදේශයේ ඇඟලුම්වල මූලික වෙලඳ පොල වන ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපියානු සංගමය ගිලී ඇති අර්බුදයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, බිලියනයකට වඩා ඇඟලුම් ඇනවුම් අහිමි වීමේ තර්ජනයට බංගලාදේශය මුහුන දී සිටී. 

ඇඟලුම් කම්කරුවන් අතිශය අනතුරුදායක තත්වයන් යටතට පත් කර හෝ තම ලාභ පොදි රැක ගැනීමට බංගලාදේශ පාලක ප්‍රභූව පෙලඹී ඇත්තේ මේ නිසා ය. ඒ සඳහා, කම්කරු ජීවිත මහා පරිමානයෙන් නැති වී යාමට ඉඩ දීමට හෝ ඔවුහු සූදානම් ය. කම්කරු පන්තිය ඇතුලු වැඩ කරන මහජනතාවට, ජීවත්වීමට තිබෙන අයිතිය පවා ආරක්ෂා කර ගත හැක්කේ ධනපති ක්‍රමයට එරෙහි අරගලයකින් බව මෙය මනාව පැහැදිලි කරයි.

Loading