ආරක්ෂක උපකරන හිඟය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන් අතර විරෝධය වැඩෙයි

ලංකාව පුරා කොවිඩ්-19 වසංගතය පැතිර යද්දී ආරක්ෂක උපකරන වල හිඟය සහ දුර්වල ප්‍රවාහන පහසුකම් හේතුවෙන් හෙද සේවකයන් අතරේ බරපතල විරෝධයක් මතු කර ඇත.

මෙම උපකරන වල හිඟය හේතුකොටගෙන හෙද සේවකයින් ඇතුලු සමස්ත සෞඛ්‍ය සේවා කාර්ය මන්ඩලයම කොරෝනා වෛරසය වැලඳීමේ අවදානමකට මුහුන දෙමින් සිටී. මේ තත්වය නිරෝධායනයට ලක් කර ඇති හෙද සේවකයින් සංඛ්‍යාව හරහා වඩා පැහැදිලි වේ. හෙද-හෙදියන් සියයකට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කර ඇති අතර එය නිරෝධායනයට ලක් කල සමස්ත සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් බව වාර්තා වේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට අනුව මේ වන විටත් හෙද නිලධාරීන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

කොරෝනා වෛරස් වසංගතය සම්බන්ධයෙන් අනෙකුත් සාමාන්‍ය රෝග හා කටයුතු කරන ආකාරයෙන් කටයුතු කල නොහැක. දැනටමත් සොයාගෙන ඇති පරිදි එය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර ඇස්, මුඛය සහ නාසය හරහා ශරීරයට ආසාදනය වේ. මෙම නිසා කොරෝනා රෝගීන් සමග සෘජුවම ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට වෛරසය වැලඳීමෙන් ආරක්ෂා වීමට ආරක්ෂක උපකරන අත්‍යාවශ්‍ය ය.

නවතම විද්‍යාත්මක සමීක්ෂන වලට අනුව කොරෝනා රෝගීන්ගෙන් සැලකිය යුතු පිරිසක් යම් කාලයක් යන තෙක් රෝග ලක්ෂන නොපෙන්වයි. මහා පරිමානයෙන් කොවිඩ්-19 පරීක්ෂන නොකෙරෙන තත්වයක් තුල මෙවන් රෝගියෙක් බාහිර රෝගී අංශය වැනි වාට්ටුවකට ඇතුලු වුවහොත් එම පුද්ගලයා නොදැනුවත්වම එහි සේවකයින්ට වෛරසය වැලඳීමේ අවදානම පවතී. එම නිසා සමස්තයක් වශයෙන් මුලු සෞඛ්‍ය කාර්ය මන්ඩලයටම මුහුනු ආවරන, අත් ආවරන, විශබීජ නාශක දියර ආදී පහසුකම් තිබිය යුතුය.

මෙම තත්වය යටතේ සිය ජීවිතය පවා අවදානමක තබාගෙන කටයුතු කරන සෞඛ්‍ය සේවකයින්ට හිඟය හේතුවෙන් ඇතැම් සෞඛ්‍යාරකෂිත නොවන පියවරයන් පවා අනුගමනය කිරීමට බල කෙරී ඇත. අද පුවත්පත වාර්තා කලේ මුහුනු ආවරන හිඟය හේතු කොටගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වල සෞඛ්‍ය සේවකයින් එකම මුඛ ආවරනයේ දෙපසම භාවිතා කරන බවයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් සමග ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක රෝහල් වල හෙද-හෙදියන් කිහිපදෙනෙක් ඔවුන් මුහුන දෙන දුෂ්කර කොන්දේසි සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලහ.

කොලඹ ජාතික රෝහලේ හෙදියක් මෙසේ පැවසුවා: ”හරි ආරක්ෂාවක් නැති හින්දා ඕපීඩී එකට වගේ කොරෝනා ආසාදිතයෙක් බව හඳුනාගත්තෙ නැති රෝගියෙක් ආවොත් මුලු කාර්ය මන්ඩලයටම රෝගය වැලඳීමේ අවදානම තියෙනවා. සමහර ඉස්පිරිතාල වල පොලිතීන් වගෙ  දේවල් යොදාගෙන ඒවා මහගෙන වැඩ කරන්නෙ”

මේ වන විට රෝහලේ පවතින සේවා කොන්දේසි සම්බන්ධයෙන් ද ඇය විස්තර කලාය.  ”දැනට සතියක් වැඩ සතියක් නිවාඩු විදිහට සේවා මුර සකසලා තියෙන්නෙ. මේ නිවාඩු පොත් වල සටහන් කරගන්නවා. අපිට පාලකයො කියන්නෙ ඒක විශේෂ නිවාඩුවක් හැටියට සලකන බව. නමුත් මේවා විවේක හරි අනියම් නිවාඩු වලින් කැපෙනවද කියන එක හරියට දැනුම් දීලා නැහැ” යැයි පැවසුවාය.

මෙම නිවාඩු දිනයන් රාජකාරි දිනයන් ලෙස සලකනු යන්න  හෙද සේවකයන්ගේ එක් ඉල්ලීමකි.

ඇය තව දුරටත් කියා සිටියේ දිගු කාලයක් තිස්සේ සෞඛ්‍ය පද්ධතිය තුල තිබුනු හෙද සේවක හිඟය මේ අවස්ථාවේදී වැඩි වශයෙන් දැනෙන බව යි. මේ වනවිටත් ජාතික රෝහලෙන් අයිඩීඑච් රෝහලට, දෛනිකව 30කට ආසන්න පිරිසක් සේවා සඳහා සපයන බව ඇය සඳහන් කලාය. පවතින අනාරක්ෂිත කොන්දේසි හේතුකොටගෙන ”සෞඛ්‍ය සේවකයින්ට නිරෝධායනය වෙන්න සිදු වුනොත් ඒ හිඟය තදින්ම දැනේවි” යැයි ඇය පැවසුවාය.

සෞඛ්‍ය සේවකයින් අත්විඳින තවත් ගැටලුවක් වන ප්‍රවාහන පහසුකම් පිලිබඳව ඇය මෙසේ විස්තර කලාය: ”මුල් කාලෙ    ප්‍රවාහනය දුර්වල තත්වෙක තිබුනෙ. ඇතැම් වෙලාවට හිටගෙන යන්නත් උනා. හැම ක්ෂේත්‍රයකම වැඩ කරන අය එකම වාහනේ පවා ගියපු අවස්ථා පවා තිබුනා. දැන් නම් ඒ තත්වය අඩුයි. නමුත් දුර සේවා බස් වල තාමත් ඒ තත්වය එහෙමයි කියලා ආරංචි වෙන්නෙ”. මෙම ප්‍රවාහනය සේවාවන්හි ඇතැම් විට පුද්ගලයින් දෙදෙනෙකු අතර තිබිය යුතු මීටරයේ පරතරය පවා පවත්වාගත නොහැකි තත්වයේ කොන්දේසි තිබී ඇත.

ඇය සඳහන් කලේ ජනාධිපතිවරයා විසින් මාර්තු මාසයේ වැටුප් වලින් නය මුදල් කපා නොගන්නා බව පැවසුවද සිය වැටුප් වලින් නය මුදල් කපා ඇති බවයි. ”ලෝකෙ පුරාම සෞඛ්‍ය සේවකයො වැඩ කරන්නේ මේ වගේ අවම පහසුකම් වත් නැතුව” යැයි පැවසූ ඇය මෙම වසංගතයට මුහුන දීමට අඩුම තරමින් අවම පහසුකම් හෝ ලබාදිය යුතු බව කීවාය.

මහනුවර ප්‍රදේශයේ රජයේ රෝහලක සේවය කරන සේවිකාවක් සඳහන් කලේ මෙම හිඟය සෞඛ්‍ය පද්ධතිය පුරා පැතිරුනු තත්වයක් බවයි. තමා සේවය කරන රෝහලෙහි මුහුනු ආවරන, ඇතුලු පුද්ගලික ආරක්ෂක උපකරන හිඟ බව පැවසූ ඇය දවසකට එම ආරක්ෂක ආවරන සහිත එක පැකට් එකක් පමනක් ලැබෙන බව කීවාය.

මෙම ආරක්ෂක ආවරන නිර්දේශ කර ඇත්තේ එක් වරක් භාවිතා කර ඉවත දමන ආකාරයටය. ඒවා නැවත නැවත භාවිතා කිරීම කිසිසේත්ම සෞඛ්‍යාරක්ෂිත නොවේ. එක් මුඛ ආවරනයක් පැලදීමට යෝග්‍ය වන්නේ පැය හයකට ආසන්න කාලයකි. ඉන් පසු ඒවා බැහැර කල යුතුය. මෙසේ ලබාදෙන ඇතැම් මුහුනු ආවරන පවා ප්‍රමිතියට අනුකූල නැත. මෙම තතු මත දිනයකට එක පැකට්ටුවක් කොහෙත්ම සෑහෙන්නේ නැත.

දුර්වල ප්‍රවාහන පහසුකම් පිලිබඳව ද ඇය සඳහන් කලාය: ”තියෙන වාහන ගමන් කරන්නෙ යම් කාලරාමුවක් ඇතුලත. ඒ වගේම වාහන ගානත් අඩුයි. ඒක හින්දා එක වාහනයකට 50-60 පටවාගෙන යනවා. එතකොට හිටගෙන තමා යන්න වෙන්නෙ.” ඇය තවදුරටත් සඳහන් කලේ මේ හේතුවෙන් ඇතැම් සේවක සේවිකාවන් ඒවායේ යෑමට අකමැත්ත පල කරන බවයි.

උතුරු පලාතේ යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වී ඇති අතර ඇය සේවය කරන රෝහලේ තවමත් ආසාදිතයින් වාර්තා වී නැත. පැවති සීමිත පහසුකම් පවා තිස් අවුරුදු යුද්ධයෙන් විනාශ වී ඇති තතු තුල රෝගය ව්‍යාප්ත වුවහොත් ඇතිවිය හැකි තත්වය ව්‍යසනකාරීය.

එහි මූලික රෝහලක සේවය කරන සේවිකාවක් සඳහන් කලේ ඔවුන්ට දිනපතා සේවය සඳහා වාර්තා කිරීමට සිදුව ඇති බවයි. මීට පටහැනිව වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය වී ඇත්තේ සමස්ත කාර්ය මන්ඩලයම කොරෝනා ආසාදනයට නිරාවරනය වීම වලක්වනුවස් දෛනික රාජකාරී කටයුතු සීමා කොට අවම සේවක සංඛ්‍යාවක් සේවයෙහි යෙදවීමයි. එමෙන්ම ඇතැම් සේවකයින් විශාල දුරක් ගෙවාගෙන රැකියාවට පැමිනියද ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සපයා නොමැති බවද ඇය කීවාය.

අපේ රෝහල මූලික රෝහලක්. නමුත් අපේ පෞද්ගලික ආරක්ෂාවට ඕන කරන දේවල් කිසිවක් අපිට ලැබෙන්නෙ නැහැ. අඩුම තරමින් ආරක්ෂක ආවරන පවා අපේ රෝහලේ නැහැ. ඒක හින්දා අපිටම මාස්ක්, ග්ලවුස් සපයාගන්න වෙලා තියෙනවා” යනුවෙන් ඇය සඳහන් කලාය.

අපගේ සෞඛ්‍ය සේවකයින් ආරක්ෂිතද?” යන හිසින් ඩේලි මිරර් පුවත්පත පල කල ලිපියක, කොරෝනා වෛරස් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන ප්‍රධානතම රෝහල වන අයිඩීඑච් රෝහලෙහි පවතින කොන්දේසි අනාවරනය කොට තිබුනේ එහි සේවයේ නියුතු හෙදියකගෙන් උපුටා දක්වමිනි.

රෝහලේ ප්‍රමානවත් තරම් පුද්ගලික ආරක්ෂක මෙවලම්  නොමැති බව සඳහන් කරන ඇය, සෞඛ්‍ය සේවකයින් සඳහා නිර්දේශිත N 95 ආවරන හිඟය හේතුවෙන් එතරම් ආරක්ෂාවක් ලබානොදෙන සර්ජිකල් මාස්ක් භාවිතා කිරීමට සිදුව ඇති බව පවසයි. මේ තත්වය හේතුවෙන් ”සෞඛ්‍ය සේවකයින් අතරේ විශාල බියක්” ඇතිවී ඇති බව ද එම හෙදිය කියයි.

එම ලිපියේම තවදුරටත් සඳහන් කර තිබුනේ ”මූලික ආරක්ෂක උපකරන වල හිඟය, වෛරසයට නිරාවරනය වීමේ හා පැතිරීමේ අවදානම වැඩිවීමට හා වැඩ කරන පැය ගනන වැඩි වීමට” තුඩුදෙන බවයි. එමෙන්ම කොරෝනා ආසාදිත රෝගීන් සමග කටයුතු කරන ඇතැම් සෞඛ්‍ය සේවකයෝ තමා හරහා වෛරසය පැතිරේය යන භීතිය හේතු කොටගෙන සිය පවුල් වලින් පවා දුරස්ථ වී වාසය කරති.

එම ලිපියේම මනෝවෛද්‍ය විශේෂඥ උපුල් දිසානායක සඳහන් කර තිබුනේ පමන ඉක්මවූ වැඩ කොන්දේසි හේතු කොටගෙන සෞඛ්‍ය සේවකයින් මානසික පීඩනයට සහ විවිධ මානසික ගැටලු වලට මුහුන දීමේ අන්තරායක් මතුව ඇති බවයි.

මේ සියලු කරුනු පෙන්වන්නේ වසංගතයට මුහුන දීමට ඇති   “සූදානම” පිලිබඳ ආන්ඩුවේ පුරාඡේරුවේ ව්‍යාජභාවයයි. අනෙක් අතට සෞඛ්‍ය සේවකයින් මුහුන දෙන අනතුරු දායක කොන්දේසි මගින් පෙන්වන්නේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් අනවරතව කරන ලද කප්පාදු හේතුවෙන් සෞඛ්‍ය සේවයේ ඇතිවී තිබෙන ඉමහත් පරිහානියයි.

මේ අනාරක්ෂිත තත්වය යටතේදී පවා වෘත්තීය සමිති ඔවුන්ගේ ධනපති ගැති ස්වභාවය පෙන්වමින් ඊට විරුද්ධව අරගලයක් කිරීම මගහරිමින් සිටිති.

සේවකයින් අතර විරෝධය වැඩෙන තතු තුල රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය මාර්තු 3 වනදා සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් යවමින් සඳහන් කලේ ඉදිරි දින කිහිපයේදී ගැටලු විසඳා නොදෙන්නේ නම් සේවාවෙන් ඉවත් වෙන බවය.

නමුත් ඔවුන් අමාත්‍යංශය සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසු වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වන බව දැනුම් දී තිබුනි. ඒ මෙම ගැටලුව විසඳන බවට නිලධාරීන් දුන් ව්‍යාජ පොරොන්දු උඩය. පසුගිය දශක කිහිපය පුරාම සෞඛ්‍ය සේවයේ මෙම ගැටලු පිලිබඳව අරගල පැන නැගුනු අතර වෘත්තීය සමිති මෙවන් බොරු පොරොන්දු වලට මුවාවී ඒවා පාවාදී පුද්ගලීකරනයට සහ කප්පාදුවට ඉඩ සැලසීය. මෙම අනාරක්ෂිත කොන්දේසි සම්බන්ධයෙන් එම සමිති ද වගකිව යුතුය.

මෙම තත්වය ලංකාවට පමනක් සීමා වූවක් නොවේ. ලෝකය පුරාම සෞඛ්‍ය සේවකයින් මුහුන දෙන්නේ මෙම දුෂ්කර කොන්දේසි වලටය. ඇමරිකාවේ වෛද්‍යවරයෙක් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට පවසා සිටියේ ඔවුන් “ආයුධ නොමැතිව යුද්ධයක” නියැලෙන බවයි.

මෙම තත්වය තුල සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව වැදගත් බව පෙන්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය “සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා නොකොට” කොවිඩ්-19 “නවතාලිය නොහැකි බව” සඳහන් කලේය.

පසුගිය දින කිහිපය පුරා ලෝකය පුරා සෞඛ්‍ය සේවකයින් තම ආරක්ෂාව සම්බන්ධයෙන් ධනපති පාලකයන්ගේ නොතැකීමට එරෙහිව විරෝධතාවන්හි නිරත වූහ. ඇමරිකාවේ නිව්යෝක් නගරයේ මෙසේ විරෝධතා පැවැත්වුනු අතර, අසල්වැසි ඉන්දියාවේ ගිලන් රථ සේවකයින් 19,000 ක් ආරක්ෂක උපකරන ඉල්ලා පසුගිය සතියේ වැඩ වර්ජනයක නිරත වූහ.

ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරවද මෙම ඉල්ලීම් ජයග්‍රහනය කල හැක්කේ, වසංගත අර්බුදය මෙන්ම, කම්කරු-පීඩිත මහජනතාවන් මුහුනදෙන අනෙකුත් අර්බුදයන් නිර්මානය කරන ලද ගෝලීය ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වැදීමෙන් පමනි.

සෞඛ්‍ය කම්කරුවන් මෙන්ම අනෙකුත් කම්කරුවන්, රෝහල්,  කම්හල් සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සහ අවශේෂ පීඩිතයන් ඒ වටා බලමුලු ගන්වා ගනිමින් එම වැඩපිලිවෙලට සටන් වැදිය යුතුය.

Loading