ගිරාඳුරුකෝට්ටේ වී ගොවියෙක් සමග සාකච්චාවක්: ගොවියා රජකරවීම ගැන කොපමන පොරොන්දු දුන්නත් අපිට ගොඩ ඒමක් නෑ

මහවැලි සීි කලාපයේ ගිරාඳුරුකෝට්ටේ ගොවි ජනපදයේ හෙබරකඩ හා ගින්නොරුව ගම් දෙකේ ගොවි පවුල් 800 ක් පමන සිටිති. සමස්තයක් ලෙස වී ගොවීන්  මුහුන දෙන, නිෂ්පාදන මිල වඩ වඩා ඉහලයාම, වී  අලවියේ දී සාධාරන මිලක් නොලැබීම, නය ගැතිකම, ඉඩම් හිඟකම, තරුන ජනයා අතර විරැකියාව ඇතුලු ගැටලු වලට මෙන් ම, ජීවන තත්වයන්  දිනෙන් දින  පිරිහීමට මෙම ගොවීහු ද මුහුන  දී සිටිති. 

කරුනාරත්න ගින්නොරුව ගමේ පදිංචි ගොවියෙකි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරු සමග සාකච්චාවට මුල පුරමින් මෙසේ සඳහන් කලේ ය: “කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ගිරාඳුරුකෝට්ටේ ගොවි ජනපදය ආරම්භ කලේ 1982. මෙම ගොවි ජනපදය අයිති මහවැලි සීි කලාපයට. මම පදිංචි ගින්නොරුව සහ හෙබරකඩ ගම් දෙකේ පමනක් ගොවි පවුල් 800 ක් විතර ඉන්නවා. බලයට පත්වෙන ආන්ඩු මොන තරම් පොරොන්දු දුන්නත් ගොවි ජනතාවගේ ජීවිත වඩා අගාධයට යාමක් මිස ගොඩ ඒමක් නැහැ”‍ ඔහු පැවසීය. 

නිෂ්පාදනය කරන වී ටික සාධාරන මිලකට විකුනා ගැනීම ගොවීන් මුහුන දෙන මුලික ගැටලු‍වකි. වී මිල දී ගැනීමේ ඒකාධිකාරය දරන්නේ විශාල මෝල් හිමි පුද්ගලික හාල් ව්‍යාපාරිකයන්ය. ආන්ඩුව සහතික මිලට වී මිලදී ගන්න බව මාධ්‍ය මගින් ප්‍රචාරය කලද එසේ මිල දී ගන්නේ නිෂ්පාදනයෙන් සියයට 10 ක පමන සුලු කොටසකි. ඇතැම්  ප්‍රදේශවල එය කිසිසේත් ක්‍රියාත්මක නොවේ. 

“කමතට ම ඇවිල්ල වී මිලට ගන්නවා කියල මේ වතාවෙත් ආන්ඩුව කිව්වා. මේ ගම්වල නම් එහෙම කෙරුනේ නැහැ. පුද්ගලික වෙ‍ෙලන්දන්ට විකුනුවේ. නාඩු කිලෝවක් රුපියල් 50 ට ගත්තේ. සම්බා කිලෝවක් 45 යි. සමහර පලාාත් වල මිලට අරගෙන තියෙන්නේ කිලෝවක් රුපියල් 40 ට 38 ට. වී කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 65 ක් පමන වැය වෙනවා  ඒ නිසා ලාබයක් නැහැ”‍ යැයි කරුනාරත්න සඳහන් කලේ ය.   

මහවැලි සී කලාපයේ කුඹුරක වපසරිය හෙක්ටයාර් එකකි. එම බිම් ප්‍රමානය වගා කිරීම සඳහා රුපියල් 70,000 ක් පමන වැය වන බව කරුනාරත්න පැවසීය:

“සී සෑමට රුපියල් 40,000 ක් ගන්නවා. පොහොර සහ කෘෂි රසායන සඳහා රුපියල් 10,000 ක් සහ අස්වනු නෙලීමට රුපියල් 20,000 ක් යනවා. හෙක්ටයාරයකින් ලබා ගන්න පුලුවන් උපරිම අස්වැන්න වී කිලෝ 5,000 යි. ආන්ඩුවේ සහතික මිල  කිලෝවකට  රුපියල් 50 යි කිලෝ 5,000 ම ඒ ගානට වික්කත් ලැබෙන්නේ  රුපියල් 250,000 ක්. වියදම  අඩුකලහම  ඉතිරිය රුපියල් 180,000 යි. ඒකෙනුත් නය ගෙව්වහම අතට එන්නේ පොඩි මුදලක්. ඊලඟ කන්නයේ අස්වැන්න නෙලන තුරු මාස හයක් ගොවියා ජීවිතය ගැටගහ ගන්නේ ඒ මුදලෙන්”‍ 

එහෙත් ගොවියාට සම්පූර්න අස්වැන්නම අලෙවි කිරීමට  පුලුවන් කමක් නැත. පවුලේ පරිභෝජනයට කොටසක් වෙන් කල යුතුය.  පස් දෙනෙකුගෙන් යුත් පවුලක කෑමට මාස හයකට අවම වශයෙන් වී කිලෝ 450 ක් පමන අවශ්‍ය වේ. ඊලඟ කන්නයේ වගාව  සඳහා වියදමට කොටසක් ද ඔහු ඉතිරිකර ගත යුතු ය. ආහාර පාන, බෙහෙත්, ඇඳුම් පැලඳුම් සහ ලමුන්ගේ අධ්‍යාපනය  ආදී සියලු‍  වියදම් දැරිය යුත්තේ ඉතිරි සොච්චම් මුදලෙනි. 

කෘමි උවදුරු, නියඟය, අධික වර්ෂාව හෝ වන අලින් ගෙන් සිදුවන හානි නිසා අස්වැන්න බෙහෙවින් අඩුවන හෝ මුලුමනින් විනාශ වන අවස්ථා ද තිබේ. ගොවි රක්ෂන ක්‍රමයක් ඇතත් එය හුදෙක් නාමිකව පමනි. අලාබයට ගැලපෙන වන්දියක් කිසි දිනක ලැබෙන්නේ නැත.   කන්නයේ වගාවට අවශ්‍ය තරම් බිත්තර වී (බීජ වී) ලබා ගැනීම ගොවීන්ට ගැටලු‍වක් වී ඇත. 

කරුනාරත්න ඒ ගැන මෙසේ පැවසීය: “කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපට බිත්තර වී දෙන්නේ නැහැ. මෙහෙ බිත්තර වී බෙදා හරින්නේ පුද්ගලික බීජ ගොවිපලෙන්. ඒක කලින් ආන්ඩුවේ ගොවිපලක්. දැන් පුද්ගලික සමාගමක් පාලනය කරන්නේ. මෙවර යල කන්නය සඳහා නිකුත් කරන්නේ .මාස තුනක දී අස්වැන්න නෙලිය හැකි 352 නමින් හැඳින් වෙන නාඩු සහ මාස තුන හමාරකින් අස්වනු නෙලන කීරි සම්බා. නමුත්  352 බිත්තර වී නිකුත් කරන්නේ කිලෝ  40 යි. මිල රුපියල් 3500 ක්. එම ප්‍රමානය හෙක්ටයාරයකට මදි. ඉතිරි ප්‍රමානෙට දෙන්නේ  කීරි සම්බ. නාඩු වල අස්වැන්න නෙලීමට ගත වන කාලය අඩුයි  මිලත් වැඩි නිසා  ගොවීන් වඩාත් කැමති 352 වගා කිරීමට.”‍

එහෙත් ගොවීන්ට වගා කිරීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ අභිමතයට අනුව නොව පුද්ගලික කෘෂි සමාගම් වල අභිමතයට අනුවය. බීජ  ලබා ගැනීමේ දී ගොවීන් මුහුන දෙන මේ ගැටලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝග වලට අනුව අනුප්‍රාප්තික ආන්ඩු විසින් බීජ ගොවිපලවල් ඇතුලු කෘෂි කර්මාන්තය පුද්ගලීකරනය කිරීමේ ප්‍රතිවිපාකයකි.  

ගොවීන්ට ආන්ඩුවෙන් පොහොර නිකුත් කරන්නේ අවශ්‍ය ප්‍රමානයට වඩා අඩුවෙනි. හෙක්ටයාරයක් සඳහා  කිලෝ පනහෙ පොහොර මිටි දහයක් අවශ්‍ය නමුත්  නමුත් රුපියල් 350 සහන මිලට ආන්ඩුවෙන් ලැබෙන්නේ මිටි හයක් පමනි. ඉතිරි ප්‍රමානය  වැඩි මිලට පුද්ගලික වෙලෙඳුන් ගෙන් මිල දී  ගත යුතුය. 

“ජනාධිපති චන්දෙදි පොදු පෙරමුනයි යුඇන්පී එකයි තරඟෙට පොරොන්දු දුන්න පොහොර නොමිලේ දෙනවා  කියල. නොමිලේ තියා සල්ලි වලට වත් ගන්න නැහැ. මේ කුඹුරු අවුරුදු 40 ක් පමන එක දිගට වගා කරන ඒවා. දැන් නිසරු වෙලා. පොහොර නැත්නම් අස්වැන්න අඩු වෙනවා. කෘමිනාශක මිලත් අවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙනවා. කොරෝනා වසංගතය පාවිච්චි කරලා කෘතීමව මිල වැඩි කරලා මේ දවස්වල වෙලෙන්දෝ අමතර ගසා කෑමකුත් කරනවා.  රටින් එන්නේ නැහැ කියල හංගල. රුපියල් 2000, 5000, 6000 ට තිබුන වල්නාශක හැම එකකටම  රුපියල් 500 ක් වැඩිපුර ගන්නවා.”‍ 

යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කෙරුනේ අප්‍රේල්  4 වෙනිදාය. එහෙත් හිඟය නිසා ජලය නිකුත් කරන්නේ මුර ක්‍රමයට දින දෙකකට හෝ  තුනකට  වරක්ය. එය ද ප්‍රමානවත්  ලෙස නොලැබෙයි. 

“මහවැලි ජල යෝජනා ක්‍රමය  යටතේ ගින්නොරුව වැවට ලැබෙන ජලය බෙදා හැරීමේ දී යායේ කෙලවර කුඹුරු වලට ප්‍රමානවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ.  යායේ කෙලවරට ගින්නොරුව වැවේ ඉඳලා කිලෝ මීටර් පහමාරක් විතර දුරයි. යායේ  අගට එනකොට  බෙදිලා ගිහිල්ල ඇලේ  වතුර හොඳටම අඩුයි.  ප්‍රශ්නයට මූලික හේතුව ඇලවේලි  හරියට ප්‍රතිසංස්කරනය නොකිරීම. ඒ වගේම ජනාධිපති රනසිංහ ප්‍රේමදාස සහ මෛත්‍රීපාල සිරිසේන ගේ පාලනයන්  යටතේ ඔවුන්ගේ දේශපාලන ප්‍රතිරූපය  පුම්බා ගන්න  මහවැලි ජල ව්‍යාපෘතිය සැලසුම් කල ඉංජිනේරුවන්ගේ සැලසුම් වලට පිටින් පසු කාලීනව කරන ලද අවිධිමත් වෙනස්කම් තව හේතුවක්”‍ යැයි කරුනාරත්න සඳහන් කලේ ය.

අලින් සහ වෙනත් වන සතුන් විසින්  වගාව විනාශ කිරීම නිසා ඉන් ගොවීන්ට සිදුවන පාඩුව අතිමහත් ය. අලින් කඩා වැදීම වැලැක්වීම පිනිස විදුලි වැටවල් යොදා ඇතත් මහවැලි ගඟේ වැලි ගොඩ දමන ජාවාරම්කරුවන් විසින් ඒවා විනාශ කර තිබෙන බව කරනාරත්න පැවසීය.

“මහියන්ගනයේ ඉඳලා හෙබරව  දක්වා වැලි තොටුපලවල් 200 කට වැඩිය තියෙනවා.  ඉවක් බවක් නැතිව කෙරෙන වැලි ගොඩ දැමීම නිසා බර පතල පරිසර විනාශයක් සිදුවෙනවා. වැලි ගොඩ දැමීම නිසා මහවැලි ගඟ අඩි 25 ක් පමන ගැඹුරට හෑරිලා. ඒක නිසා ජල මූලාශ්‍ර   හිඳිලා. භූගත ජලමට්ටම  පහල වැටිල. ජල මූලාශ්‍ර  සිඳීයාම නිසා ලිං වල ජල උල්පත් හිඳිලා. පසුගිය රාජපක්ෂ ආන්ඩුව කාලේ  ගැමිදිරිය ව්‍යාපෘතිය  යටතේ ලිං  කපල  ටැංකි බැඳල නිවාස වලට ජලය සැපයීම  ආරම්භ කෙරුව.  නිවසකින් රුපියල් 1000 ගනනේ අය කලා තැන්පත් මුදලක් විදිහට. නමුත් ලිං සිඳීයාම නිසා ඒකත්  මේ වන විට මුලුමනින් ම අසාර්ථක වෙලා”‍.

සෙසු ගොවි ජනපද වල මෙන් ම, ගිරාඳුරුකෝට්ටේ ගොවි  පවුල් ද ඉඩම් හිඟයෙන් පීඩා විඳිති. පවුල් ප්‍රසාරනයත් සමග වගාවට හෝ පදිංචියට අවශ්‍ය ඉඩම් නොමැතිකම තරුන පරම්පරාව  මුහුන  දෙන බරපතල ගැටලු‍වකි. වන  වගාවට වෙන් කර තිබුන ඉඩම් පර්චස් 20 බැගින් කැබලිවලට කඩා පදිංචිය සඳහා ලබා දුන්න ද ගල් ගොඩැලි සහිත එම ඉඩම් පදිංචියට  සුදුසු නැත. 

විරැකියාව තරුන ජනයා මුහුන දෙන අති මූලික ගැටලු‍වකි. විරැකියාව නිසා සෙසු පලාත්වල ගම්බද දුගී තරුනයන් මෙන් ම මෙම ගම්වල තරුනයන් සැලකිය යුතු පිරිසක්  ද  බෙදුම්වාදී දෙමල  සංවිධානයට එරෙහි යුද්ධය පැවති  කාලයේ හමුදාවට බැඳුනි.  

“ඔවුන්ගෙන් සමහරු යුද්ධෙදි මැරුන. තවත් අය සදාකාලික  ආබාධිතයෝ වෙලා. දැන් වැඩි දෙනෙක් රක්ෂා සොයාගෙන   නගරවලට හරි  නිදහස් වෙලඳ කලාපවලට හරි යනවා.”‍  

නිදහස් වෙලඳ කලාප වල මෙන් ම, කඩ සාප්පු, හෝටල් සහ ගොඩනැගිලි හා වෙනත් කර්මාන්ත වල රැකියාවන්හි  යෙදෙන ඔවුහු  අඩු වැටුපට සූරාකෑමට ගොදුරු වෙති.  කොරෝනා වසංගතය  නිසා මෙම රැකියා ආයතන වසා දැමීම  හේතු කොට ගෙන  නිවෙස් කරා පැමින  සිටින ඔවුන්ගේ ආදායම් මාර්ග මේ වන විට මුලුමනින් ම ඇනහිට තිබේ. වසංගත පාලනය කිරීමෙන් පසුව වුව ද ඔවුන්ට එම රැකියා යලි ලැබීම පිලිබඳ සහතිකයක් නැත.

සෞඛ්‍ය  සහ අධ්‍යාපන පහසුකම් විරලය. කිලෝ මීටර් 20 ක් දුරින් පිහිටි මහියංගනයේ මූලික රෝහල හැර ආසන්න වශයෙන් වෙනත් රෝහලක් නැත. “හෙබරව ඩිස්පෙන්සරියක් තියෙනවා. එක දොස්තර මහතයි ඉන්නේ. ලෙඩ්ඩු බලන්නේ, බෙහෙත් දෙන්නේ, තුවාලවලට බෙහෙත් දමන්නේ ඒ ඔක්කොම කරන්නේ දොස්තර මහත්තය. සායන තියෙන දවස් වලට ලෙඩ්ඩු පිරෙනවා. දොස්තර මහත්තයයි ලෙඩ්ඩුයි දෙගොල්ලම එදාට අපහසුවට පත් වෙන”‍බව කරුනාරත්න සඳහන් කලේ ය.

හෙබරව සහ ගින්නොරුවේ පාසල් දෙකක් ඇත. එහෙත් අවශ්‍ය තරම් ගුරුවරුන් සහ පහසුකම් නැත. සාමාන්‍ය පෙල සහ උසස් පෙල හදාරන සිසුන් උපකාරක පන්ති සඳහා මහියංගනයට යා යුතුය. ගාස්තු  අය කිරීම නාගරික උපකාරක පන්තිවලට වඩා  අඩු වුව ද දුප්පත් ගොවීන්ට එම වියදම් දරා ගැනීම අපහසු බව කරුනාරත්න පැවසීය.

ගිරාඳුරුකෝට්ටේ ගොවීන්ගේ සමාජ කොන්දේසි මෙරට සමස්ත ගම්බද දුගී ගොවි ජනාවගේ දුෂ්කර ජීවන තත්වයන් පිලිබඳ පැතිකඩකි. ඊනියා නිදහසින් දසක හතකට පසුවත් ශ්‍රී ලංකාවේ  ධනේශ්වර පාලක පන්තිය ගම්බද දුගී ගොවීන්ට අත් කර දී ඇති ඉරනම එබඳුය. 

Loading