2008 සිට “කොටස් වෙලඳපොලට මුදල් ගලා යන ප්‍රධාන මූලාශ්‍රය” වුනේ කොටස් යලි මිල දී ගැනීම්ය

මෙම ලිපිය 2020 අප්‍රේල් 7 දින ඉංග්‍රීසියෙන් පලකෙරුනි.

සෑම විශාල අර්බුදයකදී මෙන්ම කොරෝනා වෛරස් වසංගතයේදී ද, ධනවාදී සමාජයේ සමස්තයම කුනුවෙමින් ද  දිරාපත්වෙමින් ද තිබෙන බව සක්සුදක් සේ පෙන්නුම් කර තිබේ. 

කොටස් වෙලඳපොලට වඩා එය නිරාවරනය වී තිබෙන අන් තැනක් නැත. කම්කරු පන්තියේ ශ්‍රමය මඟින් නිෂ්පාදනය කරනු ලබන සමාජ ධනය, ජන සමූහයේ වියදමින් එහි ඉහ ඉහලම පුද්ගලයින් අතට පත්කරන අතිවිශාල ආයතනික යාන්ත්‍රනය එයයි. 

ට්‍රම්ප් පරිපාලනයේ  ඩොලර් ට්‍රිලියන 2.2 ක දැවැන්ත ඇපදීමෙන් කොටසක් ලබාගැනීමට සමාගම් දැන් පෙල ගැසී සිටිති. සිය වාසි උපරිම කර ගැනීම සඳහා ඔවුන් බලපෑම් කරන්නන්, නීතිඥයින් සහ මූල්‍ය උපදේශකයින්ගෙන් යුත් හමුදාවක් සේවයේ යොදවා ඇත. ඔවුන් ලොකු මුදල් කුට්ටි සිය සේවය වෙනුවෙන් ලබා ගනියි. සමාගම් කියන්නේ තමන් මුදල් අතින් හිරවී සිටින බවත් “ආර්ථිකය බේරාගැනීම” සඳහා තමන්ට මුදල් දිය යුතු බවත් ය.

නමුත් සති අන්තයේ වෝල් ස්ට්‍රීට් ජර්නලයේ පල වූ වාර්තාවකින් හෙලි වන්නේ, මුදල් හිඟයට එක් ප්‍රධාන හේතුවක් නම්, විශේෂයෙන් ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු දශකය තුල, ප්‍රධාන සමාගම් විසින් කොටස් යලි මිලට ගැනීම සඳහා වැය කල ට්‍රිලියන ගනනක් වූ ඩොලර් කන්දරාව බවයි.

රෙනෝල්ඩ්ස් මූලෝපායික පර්යේෂන ආයතනයේ ප්‍රධාන වෙලඳපල විශ්ලේෂක බ්‍රයන් රෙනෝල්ඩ්ස් පවසන පරිදි,  2008 සිට “කොටස් වෙලඳපොලට මුදල් ගලා ආ ප්‍රධාන ප්‍රභවය” සමාගම් තමන්ගේ කොටස් යලි මිලට ගැනීම ය. 

යලි මිලට ගැනීමේ වැඩසටහන් වල එකම පරමාර්ථය,  ප්‍රධාන සමාගම් අරක්ගෙන සිටින විධායකයින්ගේ මඬි තරකිරීම මෙන්ම හෙජ් අරමුදල් සහ කොටස් වෙලෙන්ඳන් පෙහොසත් කිරීමය. නිකුත් කිරීමට තිබෙන කොටස් සංඛ්‍යාව අඩු කිරීමෙන් සංස්ථාවේ කොටස් මිල ඉහල යයි. ඉන් පසුව විධායකයින් සහ වෙනත් ජාවාරම් කරුවන් තම පංඟුව වෙනුවෙන් මැදිහත්වේ. වේලාව බලා කරන  මැදිහත්වීම් වලින් ඔවුන් බිලියන ගනන් උපයා ගනියි.

යලි මිලට ගැනීම් සඳහා මුදල් සොයාගන්නේ, සමාගමේ සමුච්චිත ලාභ වලින් හෝ සමහර අවස්ථාවලදී, එක්සත් ජනපද මහ බැංකුවේ අතිශය අඩු පොලී අනුපාත ප්‍රතිපත්ති වල වාසිය ලබා ගනිමින් රැස්කරගන්නා නය වලිනි.

ආර්ථික විද්‍යාඥ විලියම් ඕ. ලාසොනික් පවසන පරිදි, බැඳුම්කර නිකුත් කිරීම තුලින් ලබාගත් මුදලින් මිලට ගත් කොටස් අනුපාතය 2016 - 2017  කාලයේ සියයට 30 ක් තරම් ඉහල ගොස් තිබේ.

රෙනෝල්ඩ්ස් ගනන් බැලීම් වලට අනුව, 2009 ආරම්භයේ සිට, යලි මිලට ගැනීම් තුලින් කොටස් වෙලඳපොලට ඩොලර් ට්‍රිලියන 4 ක ශුද්ධ එකතු කිරීමක් කර ඇති අතර එය එස් ඇන්ඩ් පී 500 දර්ශකයේ සමාගම්වල මුළු වෙලඳපල වටිනාකමෙන් පහෙන් එකකට සමාන ඩොලර් ට්‍රිලියන 20.9 ක් විය.

ලාසොනික් ගේ ගනන් බැලීම් වලට අනුව, කොටස් මිල දී ගැනීම් සමස්ත ව්‍යාපාරික ලාභ වලින් සියයට 52 කට සමාන වන අතර තවත් ඩොලර් ට්‍රිලියන 3.3ක් කොටස් ලාභාංශ වලට ගෙවූ මිලයි..

ජර්නල් ලිපියට අනුව: “විනිමය වෙලඳාමේ අරමුදල්, විදේශීය ගැනුම්කරුවන්, රක්ෂන අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල්, තැරැව්කරුවන්, හෙජ් අරමුදල් සහ කුටුම්භ ඇතුළු අනෙකුත් සියලුම ප්‍රභවයන්ගෙන් ලැබෙන දායකත්වය දල වශයෙන් බිංදුවට වැටී ඇත.”

පසුගිය වසරේදී එස් ඇන්ඩ් පී 500 හි සමාගම් ඩොලර් බිලියන 729 ක් වටිනා තමන්ගේම කොටස් මිල දී ගත් අතර එය 2018 අවසානයේ දී ඩොලර් බිලියන 806 ක් ලෙස වාර්තා විය. එයට තුඩු දුන්නේ,  2017 අවසානයේ දී ට්‍රම්ප් පරිපාලනයේ ව්‍යාපාරික බදු කප්පාදුවය.

බදු කප්පාදුව මඟින් පලදායී ආයෝජන සහ හොඳ වැටුප් සහිත රැකියා විශාල වශයෙන් ව්‍යාප්ත වනු ඇතැයි ට්‍රම්ප් ප්‍රකාශ කලේය. ඇත්ත වශයෙන්ම, නිව්යෝර්ක් නගරයේ  දූෂිත මූල්‍ය ලෝකයේ වැලි අතරින් මතු වූ ඔහු, එවැනි කිසිවක් සිදු නොවන බව දැන සිටියේය.

කොටස් යලි මිලට ගැනීමේ ආරම්භය 1982 දී මූල්‍යකරනය ලෙස හැඳින්වෙන සංසිද්ධිය තුල සිදු කරන ලද නීතිමය වෙනස්කම් ය. ලාභ සමුච්චය කිරීම සැබෑ ආර්ථිකයේ පලදායී කටයුතු වලින් වැඩි වැඩියෙන් වෙන්වී ගොස් ඇති අතර, කොටස් වෙලඳපොල සමපේක්ෂනය සහ වෙනත් මූල්‍ය පරපුටුකම් මත වඩ වඩාත් රඳා පැවතුනි.

කොටස් යලි මිලට ගැනීම, කොටස් වෙලඳපොලේ වංචාවක් සහ අභ්‍යන්තර වෙලඳ උපක්‍රමයක් ලෙස ඒ දක්වා සලකනු ලැබීය. කෙසේ වෙතත්, සිදුවෙමින් පැවති මූල්‍යකරන ක්‍රියාවලියට අනුකූලව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් නව රීතියක් අනුගමනය කරනු ලැබීය. ඒ අනුව කලින් ක්‍රියාත්මක කල කොටස් මිල විකෘති කිරීමේ චෝදනාවෙන් ව්‍යාපාර විධායකයින්ට මුක්තිය ලබා දුනි.

ඇමරිකානු ධනවාදයේ හදවතේම ඇති කොටස් වෙලඳපොල තරම් බොරුවෙන් පිරී ගිය වෙනත් කිසිදු ආයතනයක් නොමැත.

විශාලතම මුසාකරනයන්ගෙන් එකක් නම්, ඉහල යන කොටස් වටිනාකම් අවශ්‍ය වන්නේ, ඒවා සමාගම් ශක්තිමත් කරන අතර පර්යේෂන හා සංවර්ධනය තුලින් පලදායී කටයුතුවල යෙදීමට සමාගම් වලට ඉඩ සලසන බැවිනි. ඇත්ත වශයෙන්ම, එවැනි අරමුනු සඳහා ලබා ගත හැකි සම්පත් සමාගමේ ඉහල විධායකයින්ට සහ කොටස් වෙලඳුන්ට පමනක් ප්‍රයෝජනවත් වන කොටස් යලි මිලට ගැනීම කරා හරවා යවනු ලැබේ.

ඔහු මෙසේ ලිවීය. “කොටස් යලි මිලට ගන්නා වේලාවට ව්‍යාපාර කටයුතුවල යෙදී සිටි ධනවතුන්ගෙනුත් ධනවත් පුද්ගලයින් කුඩා පිරිසක් පොහොසත් කරයි. ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විධායකයින් සහ ව්‍යාපාර වෙත කඩාපනින්නන් (හෙජ් අරමුදල් ක්‍රියාකාරීන්) ඇතුලු කොටස් වෙලඳපොල වෙලඳුන් සුලු පිරිසකට යලි මිලට ගැනීම් වලින් විශාල  ප්‍රතිලාභ හිමිකර දී ඇති අතර බොහෝ ඇමරිකානුවන් හිටියාටත් වඩා පහතට ඇද වැටී තිබේ.”

ලාසොනික් ලේඛනගත කර ඇති පරිදි, 2018 දී එස් ඇන්ඩ් පී 500 හි සමාගම් වලින් සියයට 43 ක් පමනක් පර්යේෂන හා සංවර්ධන කටයුතු සඳහා වියදම් කර තිබේ. මෙයින් බොහොමයක් ඉතා කුඩා පරිමානයකින් සිදුවී ඇත්තේ, දර්ශකයෙන් ආවරනය වන සමාගම් 500 වියදම් වලින්  සියයට 75 ක් සමාගම් 38 ක් අතේ ගොනුවී තිබුන බැවිනි.

තවත් මිථ්‍යාවක් නම්, ඉහල යන කොටස් වටිනාකම් කුඩා ගෘහ ආයෝජකයින්ට ප්‍රයෝජනවත් වන්නේය යන්නයි. ලාසොනික්, පසුගිය මාසයේ නිව් ඉකොනොමික් තින්කිං වෙබ් අඩවියේ පල කල ලිපියක වාර්තා කල පරිදි, 2016 දී එක්සත් ජනපද ගෘහයන්හි ධනවත්ම සියයට 10 ක් එරට සුවිශේෂ වෙලඳපොලට (එස්ඇන්ඩ් පි 500) අයත් සමාගම්වල වටිනාකමෙන් සියයට 84 ක් හිමිකර ගත්තේය.

ආර්ථික අගුලු දැමීමේ ප්‍රතිපලයක් ලෙස, ආන්ඩුවෙන් මුදල් ඉල්ලා සිටින සමාගම් අතරින්, දෑතම විදහාගත් ගුවන් සමාගම් ඉදිරියෙන්ම සිටී. කොටස් යලි මිලට ගැනීමට වැඩි වශයෙන් සම්බන්ධ වූ අය අතර ඔවුන් ද සිටී. ඒවායේ මුදල් සංචිත අඩුවීමට එය තීරනාත්මක ලෙස බලපා ඇත.

2010-2019 දශකය තුල එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් සමාගම් හතර (ඇමරිකන්, ඩෙල්ටා, යුනයිටඩ් සහ සවුත්වෙස්ට්) සහ විශාලතම භාන්ඬ ප්‍රවාහන ගුවන් සමාගම් දෙක (ෆෙඩෙක්ස් සහ යූපීඑස්) ඒකාබද්ධව, “ඔවුන්ගේ ලාභයෙන් සියයට 80 කට වැඩි ප්‍රමානයක්, සියයට 56 ක් ඒවායේම කොටස් යලි මිලට ගැනීමේ ස්වරූපයෙන් ද  ලාභාංශ වශයෙන් සියයට 25 ද යොදවනු ලැබීය. මෙම ගුවන් සමාගම් හය පමනක්, පසුගිය දශකය තුල කොටස් යලි මිලට ගැනීම් සඳහා යොදවා ඇති මුදල ඩොලර් බිලියන 77 ක් වූ අතර, ඉන් සියයට 71 ක් 2015-2019 දී යොදවා ඇත. ”

ප්‍රධාන විධායක නිලධාරීන් හය දෙනාට සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 19.6 ක් ලැබී ඇත. ඔවුන්ගේ මුදල්වලින් සියයට 81 ක් පමන ලැබෙන්නේ කොටස් විකල්පයන් සහ “කොටස් සම්මාන ප්‍රදානය කිරීම” තුලින් ගලා එන ප්‍රතිලාභ වලින් ය. මෙය ලබන්නට යම් කාලයක් බලා සිටීමට සිදු වේ. 

බෝයිං සමාගමේ ප්‍රශ්නය ද මේ අතරට ගැනේ. දැන් තහවුරු කර තිබෙන පරිදි, බෝයිං සිය  මැක්ස් 737සමඟ කටයුතු කිරීමෙන් පැරනි ගුවන් යානා ව්‍යුහයකට නව එන්ජිමක් සවිකල අතර එය අනතුරකට මුහුනපා පුද්ගලයින් 346 දෙනෙකු මිය ගියේය.

නව ගුවන් යානයක් නිර්මානය කිරීමේ ශිල්ප ක්‍රමයකට වැය වෙන්නේ ඩොලර් බිලියන 7 ක් ලෙසට ඇස්තමේන්තු කර ඇත. 2004 සහ 2008 අතර  කොටස් යලි මිලට ගැනීම සඳහා වැය කල ඩොලර් බිලියන 11 ට වඩා එය සැලකිය යුතු ලෙස අඩු මුදලකි.

2013 ආරම්භය වන විට මැක්ස් සඳහා ඇනවුම් 2500 ක් ලැබීමෙන් පසුව, “බෝයිං සමාගම යලි මිලට ගැනීමේ උත්සන්නියකට මුහුන දුන් අතර එහි වියදම 2019 මාර්තු පලමු සතිය වන විට ඩොලර් බිලියන 43 ක් විය.”

කෙසේවෙතත්, මිනිස් ජීවිතයේ පිරිවැය බෝයිං සමාගමට වඩා බොහෝ දුර ගමන් කරයි. එය සමස්ත ඇමරිකානු ආර්ථිකය පුරා විහිදේ.

කොටස් යලි මිලට ගැනීම හා සමාජයේ ධනය කොල්ලකෑම සඳහා ඒ මත යැපීම පෙන්වන්නේ, වෛද්‍ය සේවකයින් කොපමන අනතරයායන්ට මුහුන පෑව ද, කම්කරුවන් යලි වැඩට යැවීම සඳහා තල්ලු කිරීම මඟින් අතිරික්ත වටිනාකම් සූරාකෑමේ ක්‍රියාවලිය යලි පටන්ගැනීම හා සුපිරි ධනපතියන් වෙත ධනය ගලායාමට  සැලැස්වීම සඳහා ඇති හදිසියයි.  

සමස්ත මූල්‍ය පද්ධතියේ සහ ප්‍රධාන සමාගම්වල පොදු අයිතිය පිහිටුවමින් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ සංවිධානය කිරීම පිලිබඳ කාරනය මීටත් වඩා පැහැදිලි විය නොහැක.

Loading