එජාප හා සජබ ආන්ඩුවට සහය පල කිරීමේ තරගයක නිරත වෙයි

සමන් ගුනදාස
9 අප්‍රේල් 2020

කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් ගැඹුරු කෙරුනු සමාජ සහ ආර්ථික අර්බුදය හමුවේ ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුවට උපදෙස් දීමට හා සහය පල කිරීමට එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ඉන් භේදවී සිටින සමගි ජන බලවේගය (සජබ) එකිනෙකා පරයමින් ඉදිරිපත් වී සිටියි. 

මාර්තු 24 හා අප්‍රේල් 2 දින වලදී ආන්ඩුව කැඳවූ සර්ව පාක්ෂික හමුවීම් දෙකකට සහභාගී වීමෙන් පසුව එජාප නායක රනිල් වික්‍රමසිංහ අප්‍රේල් 5 දා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ආන්ඩුවට උපදෙස් මාලාවක් සැපයූවේය. මේ අතර සජබ නායක සජිත් ප්‍රේමදාස  සිය කන්ඩායම සමග අප්‍රේල් 6 දා ජනාධිපති හා අගමැති හමුවී ආන්ඩුවේ වැඩ පිලිවෙලට සහය පල කලේය. 

එක් පසෙකින් කොවිඩ් 19 වසංගතයට දහස් ගනනක් වැඩ කරන ජනයා ගොදුරු වීමේ අන්තරාය තියුනු වෙමින් පවතී. වසංගතය දුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පරීක්ෂන, රෝගීන් සඳහා අවශ්‍ය ශ්වසන යන්ත්‍ර, සෞඛ්‍ය කාර්ය මන්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරන ආදී දේ සඳහා මුදල් වෙන් නොකරන ආන්ඩුව මහා ව්‍යාපාර හා බැංකු කඩා වැටීම වැලැක්වීම සඳහා නොමසුරුව ආධාර සපයයි.

අනෙක් පසින්, ලොව බොහෝ රටවල් මෙන්ම කොරෝනා වසංගතයට කල් පසුවී ප්‍රතිචාර දක්වා ජනතාව ඊට ගොදුරු කල ආන්ඩුව දැන් ලෝක ආර්ථික කඩා වැටීමේ ව්‍යසනය කම්කරු දුගී ජනයා මත පැටවීමට ක්‍රියා කරමින් සිටියි.

මෙම සැබෑ තත්වයට විපරීතව ජනාධිපති රාජපක්ෂ සජබ රැස්වීමේදී කියා සිටියේ කොරෝනා වසංගතය පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවවාද පිලිපදිමින් ආන්ඩුව වග කිව යුතු අයුරින් ක්‍රියාත්මක වෙමින් රටේ ජනයා ආරක්ෂා කර ගැනීම සඳහා සමහර රට වලට වඩා වේගයෙන් ක්‍රියා කල බවයි.

ලොව ධනපති ආන්ඩු වල මුල් පුටු වල සිටින ධනපති නායකයන් ගේ සාපරාධීභාවය සම්බන්ධයෙන් ගත් විට රාජපක්ෂ කරට කර සිටින බව පැහැදිලිය. එසේ වුවද ප්‍රේමදාස ඇතුලු සජබ කන්ඩායම මෙම ව්‍යාජ  ප්‍රකාශයන් අනුමත කරමින් ඊට ප්‍රශංසා කර මේ අයුරින්ම ඉදිරියට යා යුතු බව ප්‍රකාශ කර ඇත. 

දශක ගනනක් පුරා අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනයන ලද කප්පාදු හේතුවෙන් සීමිතව හෝ පැවති මහජන සෞඛ්‍ය සේවාවන් විනාශයට පත්ව තිබීම හේතුවෙන් වසංගතයේ බලපෑම බොහෝ රටවල මෙන්ම ලංකාවේද උග්‍ර විය. වරින්වර එම ආන්ඩුවල මුදුනත සිටි එජාප සහ ඉන් බෙදීගිය සජබ නායකයන් ඒ සඳහා පූර්න වශයෙන් වග කිව යුතු පාර්ශවයන් ය.

ලංකාවේ මහ ධනපති පක්ෂය වන එජාපය සහ ඉන් බෙදුනු කන්ඩායම් ආන්ඩුව සමග ඇති සිය උපායික ගැටුම් පසෙක තබා මෙසේ සූදානම් වන්නේ කම්කරු පන්තියට එරෙහිව ආන්ඩුව විසින් සූදානම් කෙරෙන දැවැන්ත ප්‍රහාරයට උර දීමටය.

අද අප මෙය දකින්නේ සෞඛ්‍ය ගැටලුවක් ලෙස වුවත් නොබෝ දිනකින්ම ලෝකයටම ආර්ථික අර්බුදයකට මුහුන දෙන්න සිදු වනවා යැයි වික්‍රමසිංහ නිවැරදිව පවසයි. සමාජ දුරස්ථකරනය නිසා ආර්ථිකය දුවන්නේ අසීරුවෙන් බව පවසන ඔහු සංචාරක හා අපනයන ක්ෂේත්‍ර වැටීමෙන් විදේශ විනිමය සියයට පනහකින් පහල වැටෙන බවත් ආර්ථික කඩා වැටීම නිසා රජයේ බදු ආදායමද සියයට පනහකින් පහත වැටීමට ඉඩ ඇති බවත් පවසයි.

විදේශ නය වලින් බොහොමයක් පුද්ගලික බැඳුම්කර මගින් ලබා ගත් ඒවා නිසා ඒවා පිලිබඳ සහනයක් ලබා ගැනීමට ඇති නොහැකියාව ගැන අඟවන ඔහු කෙසේ හෝ විදේශ නය වාරික හා පොලී ගෙවීමට සිදුවන බවට අනතුරු අඟවයි. මෙම නය වාරික ගෙවීම කල් දමා දෙන ලෙස අප්‍රේල් 1දා ගෝඨාභය රාජපක්ෂ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් දෙවන වරටත් ඉල්ලා සිටියේය. 

දැනටම ආන්ඩුව අත්‍යවශ්‍ය නොවන ආනයනයන් නවත්වා විදේශයන්ට මුදල් ප්‍රේෂනය කිරීම අතිශයින්ම සීමා කර තිබේ.

වික්‍රමසිංහ සිය ලිපියෙන් අවධාරනය කර ඇති කරුනක් නම් බැංකු  ක්‍රමය කඩා නොවැටී පවත්වා ගෙන යා යුතුය යන්නයි. දැනටමත් මහ බැංකුව මහා ව්‍යාපාර වලට සහනදායී නය ලබා දීම සඳහා රුපියල් බිලියන 50ක් බැංකු වලට වෙන් කර බිලියන 400 ක් වන තෙක් මුදල් ලබා දීමට කොන්දේසි සහතික කර ඇත. නමුත් මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති එම පියවර ප්‍රමානවත් නොවන බව වික්‍රමසිංහ අවධාරනය කරයි. මහා ව්‍යාපාර වලට තව තවත් මුදල් පොම්ප කිරීමට මහ බැංකුව මුදල්  අච්චු ගැසිය යුතු බව ඔහු මින් අදහස් කරන බව පැහැදිලිය.

එසේ වුවද එදිනෙදා වේල පිරිමසා ගන්නා අය, ස්වයං රැකියා කරන අය සඳහා මසකට ගෙවීමට ආන්ඩුව තීරනය කර ඇති රුපියල් 5,000ක සොච්චම නම් ප්‍රමානවත් නොවන බව නොකියන ඔහු සුදුස්සන්ට ගෙවීම් කරන ලෙසට ආන්ඩුවට උපදෙස් දී තිබේ. සුදුස්සන්ට ගෙවීම යන්නෙන් අදහස් වනු ඇත්තේ එම දීමනාව ලබන සංඛ්‍යාව සීමා කිරීම පිලිබඳව ආන්ඩුව සැලකිලිමත් විය යුතු බවයි. 

පුද්ගලික අංශයේ කම්කරු වැටුප් ගෙවීම ලබන මස වන විට කල නොහැකි වෙතැයි වික්‍රමසිංහ පවසයි. මේ පිලිබඳව සජබ රැස්වීමේදී රාජපක්ෂ හා ප්‍රේමදාස ඒකාබද්ධව හාම්පුතුන්ගෙන් ඉල්ලා ඇත්තේ ගොඩනැගිලි කර්මාන්තයේ නියුතු හා දෛනික වැටුප් ලබන කම්කරුවන්ගේ ද අවශ්‍යතාවයන් සොයා බලන ලෙසයි. සංයුක්ත වැඩපිලිවෙලකින් තොරව කරන මෙම ප්‍රකාශයන් හිස් ප්‍රලාපයන් පමනි.

කෙසේ වෙතත් දැනටම ඇගලුම් හා සංචාරක ක්ෂේත්‍රවල තාවකාලික කම්කරුවන්ගේ රැකියා අහිමිකොට ඇත. රැකියා පැවතියද සිදු කෙරෙමින් පවතින වැටුප් කප්පාදු ගැන සජබයේ නියෝජිතයන් කිසිවක් සඳහන් කර නැත. තියුනු වන ආර්ථික කඩා වැටීමේ බර කම්කරු පන්තිය මත පැටවීම පිලිබඳව ඔවුන් අතර පවතින එකඟතාව එමගින් පැහැදිලිව ප්‍රදර්ශනයවේ.

දේශීය ආහාර නිෂ්පාදනය, ධීවර හා සත්ව නිෂ්පාදනයන් හා තේ කර්මාන්තය ඇතුලු කර්මාන්ත පවත්වා ගෙන යෑම අනිවාර්ය කරුනක් බව වික්‍රමසිංහ කියා සිටියි. ඒ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ සියලු දෙනා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මූලිකත්වය දියයුතු බව ඔහු ව්‍යාජ ලෙස පැවසීය. එසේ මූලිකත්වය ලබා දීමට නම්, රෝග පරික්ෂාවන් ඇතුලු මූලික අවශ්‍යතා සඳහා දැවැන්ත පරිමානව මුදල් සම්පාදනය කල යුතුවෙයි. වික්‍රමසිංහ ඒ ගැන මුනිවත රකින්නේ, ඔහු ඇතුලු ධනපති නියෝජිතයන්ගේ සැබෑ මූලිකත්වය මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ කෙසේ හෝ රැකදීම බැවිනි. 

වික්‍රමසිංහ ප්‍රතිරාවය කරන්නේ, කම්කරුවන් තම ජීවිත පරදුවට තබා මහා ව්‍යාපාරික ලාභ වෙනුවෙන් වැඩපලට පෙරලා එනු යනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත නැවතත් කරන කැඳවීමයි. 

හිටපු අගමැතිගේ ප්‍රකාශයේ මූලික අවධානය යොමු කෙරී ඇත්තේ අප්‍රේල් මස මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) සැලසුම් කෙරේය. මෙහිදී උපරිම සහයෝගයක් ලබා ගත හැකි පසුබිමක් අප සකස් කර ගත යුතු යැයි ඔහු පවසන්නේ එම අර්ථයෙනි.

මෙම පසුබිම සකස් කල හැක්කේ, 2016දී වික්‍රමසිංහගේ හා මෛත්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව පැවති සමයේ ජාමූඅ අනුමත කල හා තවමත් අවසන් වාරිකය ලැබී නැති ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක නය මුදල සඳහා පනවා ඇති කප්පාදු කොන්දේසි ඉටු කිරීමෙනි. 

රාජ්‍ය ආයතනයන් පුද්ගලීකරනයට හා වානිජකරනයට ලක්කිරීම හරහා ඒවාට රාජ්‍ය භාන්ඩාගාරයෙන් සපයන මුදල් කපා හැරීම, සියලු සහනාධාර කපා අතිශයින්ම දුප්පතුන්ට පමනක් යම් සොච්චමක් ලබා දීම, අත්‍යවශ්‍ය ආනයනික භාන්ඩ මිල කෙතෙක් ඉහල ගියද රුපියල වෙලඳපල බලවේගයන්ට අනුව අවප්‍රමානය වීමට ඉඩ හැරීම, සියලු වැඩ කරන ජනයා බදු දැලට හසු කර ගැනීම ආදිය එම කප්පාදු වලට අයත් වෙයි. 

2019 නොවැම්බරයේදී වික්‍රමසිංහ - සිරිසේන ආන්ඩුවට එරෙහිව මහජන ඡන්දය ප්‍රකාශ වීමට මූලික හේතුවක් වූයේ මෙම රුදුරු කොන්දේසි වැඩකරන ජනයා මත පැටවීමට ඔවුන් දැරූ උත්සාහයයි.

බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල විදේශ විනිමය හිඟය සමනය කිරීම සඳහා සම්ප්‍රදායික නය පහසුකම්වලින් ඔබ්බට ගිය අතිරේක විකල්ප පිලිබඳව ජාමූඅ ගවේෂනය කරමින් සිටින බව එහි කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මෑතදී කියා සිටියාය.

ජාමූඅ වෙතින් ලැබෙන ඕනෑම නව නයක් සමග කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ ජීවන කොන්දේසි මත දැවැන්ත ප්‍රහාර මාලාවක් ද පැමිනෙනු ඇත. කොවිඩ් 19 වසංගතයෙන් දැනටමත් බැට කන වැඩ කරන ජනයා මතට ලෝක ආර්ථික කඩා වැටීමේ බර පටවා ඔවුන්ගේ ජීවන කොන්දේසි තලා දැමියයුතු බව වික්‍රමසිංහගේ යෝජනාවේ අන්තර්ගතයයි.   

සජබ සමග පැවැති රැස්වීමේදී ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත්තේ පවතින ගෝලීය ආර්ථික හා සමාජ අර්බුදය සැලකිල්ලට ගනිමින් තමන් ලංකාවට සුදුසු වන ආර්ථික මොඩලයක් ක්‍රියාවට දැමීමට දැනටම කටයුතු යොදා ඇති බවයි. කොවිඩ් 19 අර්බුදය පැන නැගීමට පෙරාතුව ජාමූඅ සමග සාකච්ඡා කරමින් එහි කොන්දේසි අනුව අයවැය පරතරය සියයට 4 දක්වා පහත දැමීමට සහතික වී සිටින රාජපක්ෂගේ මොඩලය වනු ඇත්තේ එම රුදුරු කප්පාදු වැඩ සටහන වඩාත් ගැඹුරු කෙරුනු මොඩලයකි. 

ඒ මොඩලයේ අන්තර්ගතය පිලිබඳව වාර්තා නොවුනත් ආන්ඩුව හා සමගි ජන බලවේගයේ කන්ඩායම සෞඛ්‍ය ඇතුලු ක්ෂේත්‍ර ගනනාවක සැලසුම් පිලිබඳව මෙම හමුවේදී කල සාකච්ඡාවල ඇඟවීම වන්නේ කම්කරු ගොවි ජනයා මෙම උග්‍ර අර්බුදයෙන් තලා දැමීමට උපායික භේද නොතකා පාලක ප්‍රභූව ලෙස ඔවුන්ගේ ඒකාබද්ධ වීමයි.