ඉදිරිදර්ශන

අසාන්ජ් මිය යාම බ්‍රිතාන්‍ය ආන්ඩුවේ අවශ්‍යතාව බව දන්ඬනකාරී අධිකරන තීන්දුවෙන් සනාථ කෙරෙයි

මෙම ලිපිය අප්‍රේල් 8වනදා ඉංග්‍රීසි බසින් පලවිය

ඊයේ පැවති ලන්ඩන් අධිකරන නඩු විභාගයක දී දිසා විනිසුරු වැනේසා බරේස්ට්සර් ප්‍රකාශ කලේ, බ්‍රිතාන්‍යය ජාතික අගුලු දැමීමක් යටතේ  මෙන් ම කොරෝනා වෛරස් වසංගතය රටේ බන්ධනාගාර පද්ධතිය හරහා වේගයෙන් පැතිරෙමින් තිබීමේ කාරනය නො සලකා, ජූලියන් අසාන්ජ් පිටුවහල් කිරීමේ බොරු නඩු විභාගය මැයි මාසයේ දී පැවැත්වෙන බව යි. 

දෙසතියක් තුල දෙවැනි වරටත් දුන් බරේස්ට්සර්ගේ තීන්දුව, අසාන්ජ්ගේ ජීවිතය හා ආරක්ෂාව අනතුරේ හෙලන අතර, ඔහුට එරෙහි සාපරාධී ලෙස ගෙන යන අධිකරන විකාරය කෙරෙහි උත්සුකය දනවයි.

කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍යයට එල්ල වී ඇති “සැබෑ” සහ “මාරාන්තික” තර්ජනය විස්තර කරමින් අසාන්ජ්ගේ නීතිඥ කන්ඩායම විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීමක් මාර්තු 25 වන දින ඇය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අසාන්ජ් දැනට ලන්ඩනයේ උපරිම ආරක්ෂාව සහිත බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ රඳවා සිටී. ඔහු එක්සත් ජනපදයට උදර්පනය කිරීමකට මුහුන දී සිටින අතර, එහි දී ඔහු අනුප්‍රාප්තික එක්සත් ජනපද ආන්ඩු විසින් සිදු කරන ලද යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙලිදරව් කිරීම සම්බන්ධයෙන්, ව්‍යාජ ඔත්තු බැලීමේ චෝදනාවලට වරදකරු කර, ජීවිතාන්තය දක්වා සිරගත කරනු ඇත.

විරෝධතාකරුවෝ 2020 ජනවාරි 13 වන සඳුදා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරනයෙන් පිටත බැනර් ඔසවාගෙන සිටිති (AP ඡායාරූපය / කර්ස්ටි විග්ගල්ස්වර්ත්)

හරියටම දශකයකට පෙර විකිලීක්ස් විසින් සමූහ ඝාතන වීඩියෝව ප්‍රකාශයට පත් කරන ලදී. නිරායුධ ඉරාක සිවිල් වැසියන් හා මාධ්‍යවේදීන් දෙදෙනෙකු එක්සත් ජනපද වාඩිලා ගැනීමේ හමුදා විසින් අවිචාරවත් ලෙස ඝාතනය කිරීම පිලිබඳ පින්තූර ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ  භීතියට තුඩුදුන්නේ ය.

එතැන් පටන් එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව ඇතුලු එහි සහචරයින් අසාන්ජ් ලුහුබැඳ ගියේ ය. ඔවුහු, ඒකාධිපති පාලනයට හැරීම, සාපරාධී මූල්‍ය කතිපයාධිකාරයක් විසින් ඉල්ලා සිටින නව මිලිටරි ප්‍රකෝප කිරීම් හා විශාල කප්පාදු පැනවීමේ කොටසක් ලෙස ඔහු සදහටම නිහඬ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිති.

අත්තනෝමතික ලෙස දශකයක් තිස්සේ රඳවා තබා ගැනීමෙන් අසාන්ජ්ගේ සෞඛ්‍යය ක්‍රමානුකූලව පිරිහී ඇත. දශකයක් තිස්සේ පීඩා විඳීමේ ප්‍රතිඵලයක් ලෙස අසාන්ජ්, මානසික වධහිංසා පිලිබඳ වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කල හැකි රෝග ලක්ෂන පෙන්නුම් කරන බව, පසුගිය මැයි මාසයේ දී එක්සත් ජාතීන්ගේ වධබන්ධන පිලිබඳ විශේෂ වාර්තාකරු නීල්ස් මෙල්සර් නිගමනය කලේ ය. 

විකිලීක්ස් නිර්මාතෘවරයාට, වෙනත් වෛද්‍යමය ගැටලු රාශියක් සමග නිදන්ගත පෙනහලු රෝගයක් ඇති අතර, එමඟින් ඔහු විශේෂයෙන් ශ්වසන රෝගවලට ගොදුරු විය හැකි ය. 

පසුගිය නොවැම්බරයේ සිට, අසාන්ජ්ට සහාය දක්වන ලොව පුරා 200 කට වැඩි වෛද්‍ය වෘත්තිකයන්  අනතුරු අඟවා ඇත්තේ, ප්‍රමානවත් වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා අසාන්ජ් සිරගෙහි දී මිය යා හැකි බව යි. ඔහු විශ්ව විද්‍යාල ශික්ෂන රෝහලකට මාරු කරන ලෙස ඔවුන් කල ඉල්ලීම බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් නිෂ්ප්‍රභ කර ඇත.

පසුගිය මාසයේ විවෘත ලිපියක් මගින් වෛද්‍යවරු මෙසේ සඳහන් කලහ: “මෙම ගෝලීය වසංගතය අතරතුර ඔහු අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම හේතුවෙන් ජූලියන් අසාන්ජ්ගේ ජීවිතය හා සෞඛ්‍යය අවදානමට ලක්ව ඇත. එම තර්ජනය කොරෝනා වෛරසය පැතිරීමත් සමග වර්ධනය වනු ඇත.”

කන්ඩායම වෙනුවෙන් අදහස් දක්වමින්, ආචාර්ය ස්ටීවන් ෆ්‍රොස්ට් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ට මෙසේ පැවසී ය. “අසාන්ජ් මහතා ප්‍රතිශක්තිය දුර්වල වීම නිසා ඕනෑම බන්ධනාගාරයක දී, නමුත් විශේෂයෙන් බෙල්මාර්ෂ් වැනි බන්ධනාගාරයක දී, කොරෝනා වෛරසය ආසාදනය වී මිය යාමේ අවදානම බෙහෙවින් වැඩි බව වෛද්‍යවරු  උපකල්පනය කරති. අසාන්ජ් මහතා බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිරගත කර සිටන සෑම අමතර දිනයක් ම ඔහුගේ ජීවිතයට තර්ජනයක් වේ. ”

එක්සත් රාජධානියේ බන්ධනාගාර කොරෝනා වෛරසය “බෝවන ස්ථාන” බවට  අප්‍රමාන මානව හිමිකම් සංවිධාන අනතුරු අඟවා තිබේ. සති දෙකකට පෙර විත්තියේ නීතිඥ එඩ්වඩ් ෆිට්ස්ජෙරල්ඩ් (රාජ්‍ය නීතිඥ) තර්ක කලේ, “අසාන්ජ් සිරගෙදර රඳවා ගන්නේ නම් ඔහු මුහුන දෙන බරපතල තර්ජනයෙන්  බේරීමක් නැති“ බව යි.

කෙසේ වෙතත්, විනිසුරු බරේට්සර් තීන්දු කලේ, “ගෝලීය වසංගතය… අසාන්ජ් මහතා නිදහස් කිරීමට හේතුවක් නොවන” බවට යි. සිරකරුවන් වෛරසයෙන් ආරක්ෂා කිරීම පිලිබඳ “විශ්වාසදායක මෙන් ම  යෝග්‍ය සාක්ෂි පදනම් කරගත් ” ආන්ඩුවේ උපදෙස් “විශ්වාස නො කිරීමට ඇයට හේතුවක් නොතිබුනි”.

තීන්දුව ලබා දෙන විට, විවිධ බන්ධනාගාර 12 ක සිරකරුවන් 19 දෙනෙකු මේ වන විටත් වෛරසයට ගොදුරුවී ඇති බව තහවුරු වී තිබෙන අතර, බෙල්මාර්ෂ් හි සියයක් ද ඇතුලුව බන්ධනාගාර කාර්ය මන්ඩලයේ 4,300ක් ස්වයං නිරෝධායනයේ යෙදී සිටියහ.

ඊයේ අසාන්ජ්ගේ නඩු විභාගයේ මුලසුන හොබවන විට ඇය, විවිධ බන්ධනාගාර 38 ක් තුල සිරකරුවන් 107 දෙනෙකු ආසාදනය වී ඇති බව දැන සිටියා ය. එයින් අදහස් වන්නේ අවම වශයෙන් එංගලන්තයේ හා වේල්සයේ බන්ධනාගාරවලින් තුනෙන් එකකවත් වෛරසය පවතින බව යි. තවත් සිරකරුවෝ 1,300ක් ස්වයං නිරෝධායනයේ යෙදී සිටියහ. මිගිය රෝගීන් වාර්තා වූ  ඉහත බන්ධනාගාර තුනෙන් දෙකක්, 11දෙනෙකු වාර්තා වන වෑන්ඩ්ස්වර්ත්   හා  7දෙනෙකු වාර්තා වී ඇති තේම්සයිඩ්, ලන්ඩනයේ බෙල්මාර්ෂ් බන්ධනාගාරය අසලම පිහිටා ඇත.

පසුගිය සතියේ අගභාගයේ දී අඩු අවදානම් සහිත සිරකරුවන් දහස් ගනනක් නිදහස් කිරීමේ සැලසුම් හෙලි කරමින් එක්සත් රාජධානියේ ආන්ඩුව පුදුම සහගත නිවේදනයක් නිකුත් කලේ, අසාන්ජ් “භාරකාර දඬුවමක් ගත කරමින් නො සිටින” නිසා ඔහු සුදුසුකම් නො ලබන බව පවසමිනි. එලඹිය හැක්කේ එක් නිගමනයකට පමනී: විකිලීක්ස් නිර්මාතෘවරයා සිරගත කර ඇත්තේ, හිතාමතාම මාරාන්තික රෝගයකට ගොදුරු කිරීමට ය.

ඊයේ පැවති නඩු විභාගයේ දී අසාන්ජ්ගේ නීතිඥයෝ, මැයි 18 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ උදර්පන උසාවි කටයුතු කල් දමන ලෙස ඉල්ලා සිටියහ. ජාතික අගුලු දැමීමේ කොන්දේසි යටතේ තම සේවාදායකයා මුහුන දෙන ඕවේලියානු තත්වය (නිදහස් හා විවෘත සමාජයක ශුභසාදනයට අහිතකර වූ ) ඔවුහු විස්තර කලහ.

අසාන්ජ්ට  ඔහුගේ නීතිඥයින් සමඟ ඇති අවම සම්බන්ධතාවය තව දුරටත් සීමා කර ඇති බව ෆිට්ස්ජෙරල්ඩ් පැහැදිලි කලේ ය. ඔහුගේ නීතිඥයින්ට “දැනට ඔහු සමඟ සාධාරන සන්නිවේදනයක් පැවැත්විය නො හැක.” සිරගෙදර දී ඔහු බැලීමට හෝ වීඩියෝ මඟින් ඔහු හමුවීමට ඔවුන්ට කොහොමටවත් නො හැකි අතර ඔවුන්ගේ සේවාදායකයාට දුරකථන ඇමතුම් කිහිපයක් පමනක් ගැනීමට ඔවුන්ට හැකි වී තිබේ. එබැවින් අසාන්ජ්ගේ නිදහස පිලිබඳ කටයුතු දැන් බොහෝ දුරට තැපැල් මගින් සිදු කරනු ලබන අතර, එය අනාරක්ෂිත මෙන් ම ඒ සඳහා සති ගනනාවක් ද ගත වේ.

වසංගතය හා අගුලු දැමීමේ සීමාවන් අඛන්ඩව පවතින අතර, අසාන්ජ්ගේ සාක්ෂිකරුවන්ට, නීතිඥයින්ට , මාධ්‍ය වලට හා ජනතාවට පෞද්ගලිකව සහභාගී වීමට නො හැකි වීම නිසා පිටුවහල් කිරීමේ නඩු විභාගය සාධාරන ලෙස පැවැත්වීමට අවස්ථාවක් නොමැත.

කෙසේ වෙතත්, ෆිට්ස්ජෙරල්ඩ් තවදුරටත් කියා සිටියේ, අසාන්ජ්ට ආරක්ෂිතව නඩුවට   සහභාගී වීම පවා දුෂ්කරය. බෙල්මාර්ෂ් හි වීඩියෝ සබැඳියට ප්‍රවේශ වීම සඳහා පහසුකම් භාවිතා කල යුත්තේ,  බන්ධනාගාරය හරහා ගමන් කර, පෝලිමේ සිට අන් අය සමඟ හවුලේ ය. එය තුල කොරෝනා වෛරසය අසාදනය වීමේ සියලු අවස්ථාවන් ඇත. අසාන්ජ්ගේ සෞඛ්‍ය තත්වය සලකා බලන විට, ඔහු මේ ආකාරයෙන් උසාවියේ පෙනී සිටීම අසාධාරන යයි ෆිට්ස්ජෙරල්ඩ් පැවසී ය.

මැයි 18 ට හැකි තරම් සාක්ෂි ඇසීමට අදහස් කරන බවත්,  අවශ්‍ය නම් සාක්ෂිකරුවන්ට වීඩියෝ සබැඳියක් හරහා  සහභාගී වීමට හැකි බවත්  පවසමින් බරේස්ටර් දැඩි ආස්ථානයක සිටියේය.

බ්‍රිතාන්‍ය ආන්ඩුව,   කොරෝනා වෛරස් වසංගතය ඇප දීම සඳහා හේතුවක් ලෙස පිලිගැනීම ප්‍රතික්ෂේප කරනවා පමනක් නො ව, බොරු නඩු විභාගයේ කාලසටහන කඩාකප්පල් කිරීමට ද ඔවුන් ඉඩ නො දෙනු ඇත. අසාන්ජ් සිරගෙදර දී මිය යන බව සහතික කර ගැනීමට ඔවුන් සමත් නො වන්නේ නම්,  අසාන්ජ් එක්සත් ජනපද හිරේට තල්ලු කිරීම පිනිස අත්‍යාසමාන උදර්පනයක් සඳහා කටයුතු කිරීමෙන් ඔවුන් නො වලක් වනු ඇත. ෆ්‍රාන්ස් කෆ්කාගේ නඩු විභාගයේ දී මෙන් චූදිතයා පමනක් නොව, ඔහුගේ නීතිඥයින් හා සාක්ෂිකරුවන් ද නොමැතිව සම්පූර්න උදර්පන නඩු විභාගය පැවැත්වෙනු ඇත!

අසාන්ජ්ට එරෙහි උද්ඝෝෂනයේ සම්පූර්න පලිගැනීමේ ස්වභාවය අවධාරනය කරමින් විනිසුරු බරේට්සර් ඔහුගේ සහකාරිය හා දරුවන් ප්‍රසිද්ධියේ නම් කිරීම තහනම් කරන වාර්තා කිරීමේ සීමාවන් ඉවත් කරන ලෙස අවධාරනය කලා ය. විකිලීක්ස් නිර්මාතෘවරයා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන්ගේ නිර්නාමිකභාවය පවත්වා ගැනීමට උත්සාහ කර ඇත. නම හෙලි වුවහොත් අසාන්ජ්ගේ බිරිඳට හා දරුවන්ට හිරිහැර කෙරෙනු ඇති බවට හෝ එක්සත් ජනපද ඒජන්සි ඇයට හෝ ඇගේ දරුවන්ට හානියක් කිරීමට අපේක්ෂා කරන  බවට කිසිදු සාක්ෂියක් නොමැති බව බරේට්සර් කුරිරු ලෙස කියා සිටියා ය.

“නිවැරදි වාර්තාකරනය” පිලිබඳ “දැඩි මහජන උනන්දුව” පිලිබඳ අවධානයෙන් ඇය තම තීරනය ගන්නා බව ප්‍රකාශ කිරීමේ අවනීතිය ඇයට තිබුනි. ඇය හොඳින් දන්නා පරිදි, සංගත මාධ්‍ය විසින් දශකයක් තිස්සේ අසාන්ජ්ට අපහාස කර ඇති අතර ඔහුගේ නඩුව හිතාමතාම විකෘති කර ඇත. ඔහුගේ සහකාරියගේ නම හෙලි කිරීම ගින්නට පිදුරු දැමීමක් යැයි අදහස් කෙරේ.

මෙම කුපාඩි හා සාපරාධී ක්‍රියා සිදු වන්නේ කොරෝනා වෛරස් වසංගතය හා ලෝක ආන්ඩුවල සාපරාධී ප්‍රතිචාර කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී ඇති කොන්දේසි යටතේ ය. නමුත් 21 වන සියවසේ වැදගත්ම මාධ්‍යවේදියාට එල්ල කෙරෙන  දරුනු ප්‍රහාරය වසන් කිරීමට වෛරසයේ බලපෑමට ඉඩ දිය නො හැක.

කොරෝනා වෛරස් වසංගතය අවධාරනය කර ඇත්තේ, සත්‍ය හා නිවැරදි තොරතුරු කරා ජනතාවගේ ප්‍රවේශය, ජීවිතය හා මරනය පිලිබඳ ප්‍රශ්නයක් බව යි. සෑම රටකම වැඩකරන ජනතාවට මුහුන දීමට සිදුවී ඇත්තේ, දූෂිත හා කීකරු මාධ්‍යවල සහාය ඇති ව, පසුගිය දෙසැම්බරයේ ආරම්භ වූ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක ඇඟවුම් ගැන,   ක්‍රමානුකූ ලෙස බොරු දෙසන ආන්ඩු හා සංගතවලට යි. 

මහජනතාවට තොරතුරු දැන ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට, අසාන්ජ් විකිලීක්ස් ආරම්භ කලේ ය. ඔහු මෙම කැපවීම ධෛර්ය සම්පන්නව අනුගමනය කිරීම නිසා, අධිරාජ්‍යවාදී ආන්ඩු හා ලොව පුරා ඔවුන්ගේ දේශපාලන හා මාධ්‍ය කොල්ලකරුවන්ගේ වෛරයට ගොදුරු විය. මේ නය ආපසු ගෙවීමේ කාලය යි.

දේශපාලන රැකවරන පතා   ඉක්වදෝරයේ ලන්ඩන් තානාපති කාර්යාලයේ රැඳී සිටි  අසාන්ජ් නීතිවිරෝධී ලෙස ඉන් නෙරපා දමා, බ්‍රිතාන්‍ය පොලිසිය විසින් අමානුෂික ලෙස අත්අඩංගුවට ගෙන සෙනසුරාදා වන විට මාස 12 ක් ගතවේ. විකිලීක්ස් නිර්මාතෘවරයාට එරෙහි සමස්ත මෙහෙයුමේ අරමුන ඔහුගේ ශාරීරික හා මානසික විනාශයට වඩා අඩු දෙයක් නො වන බව පසුගිය වසරේ සිදුවීම් නිසැකව ම ඔප්පු කර තිබේ.

අසාන්ජ්ගේ ජීවිතය ආසන්න අවදානමක පවතී. ඔහුගේ ඉරනම රඳා පවතින්නේ ඔහු වහාම හා කොන්දේසි විරහිතව නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවන්ත ව්‍යාපාරයක් ගොඩනැගීම මත ය. අද ම මෙම සටනට එක්වන්න!

Loading