ආන්ඩුව මහා පරිමාන රෝග පරීක්ෂාව මගහැරීම හේතුවෙන් වසංගත පාලනය දුෂ්කර අඩියකට වැටේ

ලංකාව තුල නොකඩවා කොවිඩ්-19 අසාදිතයන් සොයාගැනෙමින් පවතින අතර අද දිනය වන විට වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගනන 192 කි. ආසාදිතයැයි සැකකෙරෙන තවත් 250 කට අධික සංඛ්‍යාවක් නිරීක්ෂනය කෙරෙමින් පවතිද්දී මියගිය ගනන හයකි. රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂනවල අප්‍රමානවත් භාවය හේතුවෙන් වාර්තාවන රෝගීන් ප්‍රමානයට වඩා සැබෑ ආසාදිතයන් ගනනට වැඩිවීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත.

සෞඛ්‍ය අංශ විසින් වාර්තා කරන අන්දමට දැනට වෛරසය ස්පර්ශ වී ඇති පුද්ගලයින් 42,000ක් පමන රට පුරා විසිරී සිටියි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමානිකයන් සහ සෞඛ්‍ය ඇමතිවරිය අතර ඊයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය ඉන්දික කරුනාතිලක පවසා තිබුනේ අප්‍රේල් 20 දක්වා දෙසතියක කාලය තුල වසංගතය පැතිරයාමේ නව නැග්මක් ඇතිවිය හැකි බැවින් හැකිතාක් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කලයුතු බවයි.

මේ මොහොත වන විටත් වෛරසය ස්පර්ශවූවන් 50,000 කට ආසන්න වෙමින් තිබෙන නමුත් පරීක්ෂන සිදුකර ඇත්තේ යන්තම් 3,000කට ආසන්න ප්‍රමානයකි. ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂන ආයතනයේ තක්සේරුවට අනුව, දැනට ක්‍රියාත්මක මධ්‍යස්ථාන හයෙන් දිනකට සම්පූර්න කරන පරීක්ෂන ප්‍රමානය 250ත් 300ත් අතර පවතියි. එවැනි පසුබිමක සෞඛ්‍ය අංශ අනතුරු අඟවන පරිදි වසංගතය සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි ඉදිරි කාලපරිච්ඡේදය තුල එය පාලනය කිරීම දුෂ්කර අඩියකට වැටෙනු ඇත.

රෝගය පාලනය කිරීමේ ප්‍රධානතම පියවර හැටියට ආන්ඩුව පුන පුනා ඉදිරිපත් කරන්නේ හැකිතාක් සමාජ දුරස්ථකරනය පවත්වාගැනීමයි. ඒ සඳහා පොලිසිය සහ මිලිටරිය යොදාගෙන ආඥාදායක ආකාරයකට කම්කරු-පීඩිත මහජනතාව නිවෙස් තුල කොටුකරනු ලැබ ඇත. සමාජ දුරස්ථකරනයේ අවශ්‍යතාවද සඳහන් කරන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දේශීය සහ විදේශීය විෂය ප්‍රාමානිකයන් අතිමූලික ආරක්ෂක පියවර ලෙස පෙන්වාදෙන්නේ හැකිතාක් පරීක්ෂන පවත්වමින් රෝගීන් හඳුනා ගැනීමයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ලංකා වෛද්‍ය විද්‍යායතනය සහ ලංකා අනුකජීවවේද විද්‍යායතනය යන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිපෙල සංවිධාන කිහිපයක් සිය නිවේදනයන් හි සඳහන් කරන්නේ වසංගතය පාලනය කිරීමට නම් වඩා නිවැරදිව ආසාදිතයන් හඳුනාගත හැකි “පීසීආර් පරීක්ෂන දිනකට 1,500ක් වත් සිදුකල යුතු” බවයි. “වෛරසයේ තව තවත් පුද්ගලයින්ගේ ශරීර තුලට ඇතුලුවීම වලක්වාගැනීමට නම් දැනට සිටින ආසාදිතයන්ම සෘජුව සම්බන්ධවූ පලමු ආශ්‍රීතයන් වෙන් කරගැනීම තීරනාත්මක බව” එම ආයතන වැඩිදුරටත් පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය පෙන්වාදෙන්නේ එම පලමු ආශ්‍රිතයන් 2,000ක් ලංකාව තුල සිටින බවයි.

මෙම බරපතල තත්වය විසින් යලි යලිත් ඉස්මතු කෙරෙන්නේ පරීක්ෂන කටයුතු පුලුල් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් උද්ගතව පවතින බවයි. දැනට ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂන තුලින් පෙන්වාදී ඇත්තේ ඇතැම් රෝගීන් රෝග ලක්ෂන නොපෙන්වන නමුත් ඔවුන් වාහකයන් ලෙස ක්‍රියා කරන බවයි. තත්වය එසේ නම් ආන්ඩුව දැනට සිදුකරන පරිදි වෛරසය ස්පර්ශ වී ඇතැයි සැක කරන්නන් රෝග ලක්ෂන පහල වූ පසුව පමනක් පරීක්ෂන සඳහා යොමු කිරීම හරහා රෝගය වඩ වඩාත් සමාජගත වීමට ඉඩසැලසෙනු ඇත.

රෝග ලක්ෂන පහල නොවන, එහෙත් වෛරසය ඇතුලුවී ඇතැයි සැක කරන්නන් පරීක්ෂා කිරීමේ තීරනාත්මකභාවය පැහැදිලි කරමින්, වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මාධ්‍යයට මෙසේ පැවසීය: “මාර්තු 31 වැනිදා අපි කාලයක් තිස්සේ කියපු දෙයක් ඔප්පු වුනා. එක දවසක් ඇතුලත කොවිඩ්-19 රෝගීන් 20 ක් හඳුනාගත්තා. ඒකට හේතුව තමයි රෝග ලක්ෂන නැති අයවත් පරීක්ෂාවට ලක්කිරීම. රෝග ලක්ෂන නැති අය පරීක්ෂාවට ලක් කල මුල්ම අවස්ථාව ඒක”. එම පුවත්පත් සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ එවැනි පුද්ගලයන් පරීක්ෂා කිරීම දිගින් දිගට නොකලහොත් ආසාදිතයන් සියයට 80ක් පමන මගහැරීමේ අවදානමක් ඇති බවයි.

පරීක්ෂන කටයුතු අප්‍රමානවත් වීමේ විපාකයන් පිලිබඳ අනතුරු ඇඟවීම් මේ සා පරිමාන වුවත් ආන්ඩුව ඊට නෑසු කන්ව සිටින්නේ ප්‍රමානවත් සෞඛ්‍ය පහසුකම් සැලසීම සඳහා ලොව පුරා පාලක පන්තීන් විසින් පෙන්නුම් කර ඇති සාපරාධී අසමර්ථභාවයේ හවුල්කරුවන් වෙමිනි. පරීක්ෂනවල අවශ්‍යතාවය පිලිබඳ මහජනතාව අතර අවබෝධය වර්ධනය වීම ආන්ඩුව විසින් දැක ගනු ලබන්නේ තමන්ට එල්ල වන අභියෝගයක් ලෙසයි. ප්‍රමානවත් ආරක්ෂක උපාංග නැති කමින් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් අතර වඩෙන අතෘප්තිය සහ වැඩවර්ජන කරා එලඹීමට ඔවුන්ගේ සූදානම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති කමින් ගම්බද සහ නාගරික දුගීන් අතුලු පීඩිත කන්ඩායම් අතරින් මතුවන විරෝධතා හේතුවෙන් දැනටමත් බරපතල සමාජ පිපිරීමක් දෙසට රට ගමන් කරමින් තිබේ.

පරීක්ෂන පුලුල් කිරීමේ තීරනාත්මකභාවය වටහාගන්නා මහජනතාවන් අතරින් ඒ සඳහා ඉල්ලිම් ඉදිරිපත් වන්නට පටන්ගත හොත් තමන් මුහුනපා ඇති අභියෝගය කිහිප ගුනයකින් වැඩිවනු ඇතැයි ආන්ඩුව භීතියට පත්ව සිටියි. එහෙයින් ආන්ඩුව තමන්ගේ මාධ්‍ය හොරනෑ සහ රාජ්‍ය යාන්ත්‍රනය යොදාගනිමින්  “වසංගතය පාලනය කිරීමේ මූලිකම වගකීම පොදු මහජනතාවන්ට පැවරෙන බවත් ඒ සඳහා හැකිතාක් සමාජ දුරස්ථකරනය පවත්වාගැනීම අංක එක” බවත් මන්ත්‍රයක් ලෙස ජප කරමින් සිටියි.

ඊයේ අගමැති මහින්ද රාජපක්ෂ පැවැත්වූ කතාව තුල තමන්වම පුම්බාගැනීමේ පුරසාරම් පිරීගොස් තිබුනු නමුත් පරීක්ෂන ඉහල නැංවීම ගැන එකදු වචනයක් අඩංගු වූයේ නැත. එහෙත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේ “කොවිඩ්-19 මර්දනය කිරීම රටේ ජනතාව සඳහා නිවෙස් තුලට වී කැපකිරීමක්” කල යුතු බවයි. රාජපක්ෂ නරුම ලෙස පවසන්නේ ධනපති පාලක පන්තියේ නොහැකියාව වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා කම්කරු පන්තිය ඇතුලු පීඩිතයන් ඕනෑම දුෂ්කරතාවක් දරාගැනීමට සූදානම් විය යුතු බවයි.

ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ අප්‍රමානවත්භාවය පිලිබඳ දැනුවත්, එහෙත් එම පහසුකම් වර්ධනය කිරීමේ සූදානමක් නැති රාජපක්ෂ ආන්ඩුව රෝගීන් හමුවීමට පටන්ගත් මුල් අවධියේදීම වසංගතය මැඩීමේ නාමයෙන් පිහිටවු කාර්ය සාධක බලකායන් කිසිවක් සෞඛ්‍ය පහසුකම් කඩිනමින් වර්ධනය කිරීම ඉලක්ක කරගත් ඒවා නොවුනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමානිකයින්ගෙන් සමන්විත විය යුතු එම ආයතන වල මුල් පුටු වැඩිවශයෙන්ම පුරවනු ලැබුවේ හමුදාපති ඇතුලු මිලිටරියේ සහ පොලිසියේ ප්‍රධානීන්ගෙනි. එහි අරමුන වූයේ කොරෝනා වසංගත මර්දනය පුලුල් සෞඛ්‍ය මෙහෙයුමකට වඩා ආඥාදායක පොලිස්-මිලිටරි මෙහෙයුමකට පෙරලාගැනීමයි.

මෙවැනි වසංගතයක් පාලනය කිරීමේදී අතිශය තීරනාත්මක වන රසායනාගාර සේවය පිලබඳ විශේෂඥයන්ගෙන් සමන්විත වෛද්‍ය රසායනාගාර විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමය පවසන්නේ ආන්ඩුව තවදුරටත් ඒ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා නොගන්නා බවයි. එම සංගමය පවසන පරිදි ලංකාවේ පීසීආර් පරීක්ෂනය සඳහා පහසුකම් අඩු නිසා “රැපිඩ් ටෙස්ට්” ලෙස හඳුන්වන රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් විනාඩි 15ක් වැනි කෙටි කලකින් ප්‍රතිඵල ලබාගත හැකි අඩු වියදම් පරීක්ෂනය මගින් කොවිඩ්-19 වැලදී තිබීමේ සම්භාවිතාවක් ඇති පුද්ගලයින් හඳුනාගත හැකි බවයි.

එම පරීක්ෂනය හරහා කොවිඩ්-19 හා ඊට සමාන වෛරස කිහිපක ආසාදිතයන් පොදුවේ සොයාගත හැකි නමුත් කොවිඩ්-19 රෝගීන් වෙන්කර ගැනීම කල නොහැකි බව පවසන එම සංගමය, හැකිතාක් රැපිඩ් ටෙස්ට් සිදුකරමින් ඉන් හඳුනාගැනෙන රෝගීන් පීසීආර් පරීක්ෂන සඳහා යොමු කිරීමෙන් ආසාදිතයන් නිවැරදිව හඳුනාගැනීම කඩිනම් වනු ඇති බව යෝජනා කරයි.

ආන්ඩුවේ පන්දම්කාර වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, මාර්තු 31වනදා විශාල වශයෙන් රෝගීන් හඳුනාගැනුනු පසු මේ ක්‍රමවේදයම යෝජනා කර ඇත. එහෙත් රසායනාගාර වෘත්තීය වේදීන් පවසන්නේ පෙබරවාරි මාසයේ මුල සිටම තම සංගමය ආන්ඩුවට ලිපි යොමුකරමින් මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කල නමුත් ඉන් පලක් නොවුනු බවයි.

ආන්ඩුව මෙම විද්‍යාත්මක ක්‍රමවේදයන් මගහරිමින් සිටින්නේ පුලුල් පරීක්ෂන සඳහා වියදම් කපාහරිමිනි. වසංගත තත්වය මැද රටේ ආර්ථිකය ඇනහිටීමෙන් තියුනුම අර්බුදයක් වෙත කිඳාබසින ආන්ඩුවට ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා සුරක්ෂිත කරදීම තරම් කම්කරු-පීඩිත මහජනතාවන්ගේ ජීවිත නොවටී. 

ආන්ඩුව මිලිටරියේ පාලනය යටතේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන පිලිබඳ ව්‍යාජව පුම්බන ලද මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගියත් ඒවා තුල මෙම විද්‍යාත්මක පරීක්ෂන ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බව හෙලිදරව් වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කර මාර්තු 24 වැනිදා පිටවූ අකුරැස්ස ප්‍රදේශයේ පුද්ගලයෙකුට රෝගය ආසාදනය වී ඇතැයි අප්‍රේල් 05 වැනිදා අනාවරනය වීමත් සමඟය.

මෙම සිදුවීමෙන් පසුව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා උත්ප්‍රාසාත්මක ලෙස කියා සිටියේ නිරෝධායන මධ්‍යස්ථානවල සිට පැමිනි අයට නිවෙස් තුලට වී තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක් වන ලෙසයි. තවදුරටත් ආන්ඩුවේ වැඩපිලිවෙලෙහි පල්ල අරිමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ නිරෝධායන කඳවුරුවල සිටි පුද්ගලයන් නිවෙස්වලට යැවීමේදී රසායනාගාර මට්ටමේ වෛද්‍ය පරීක්ෂනයකට ලක් නොකරන බවයි.

වසංගතය මර්දනය කිරීම සඳහා තිරනාත්මකම පියවරය වන්නේ පරීක්ෂන පුලුල් කිරීම බව අවිවාදිතය. ඒ සඳහා දැවන්ත මුදල් සම්භාරයක් වෙන් කල යුතුය. එහෙත් එවැන්නක් ක්‍රියාවට දැමීම සඳහා සැබෑ සමාජ අවශ්‍යතාවයන් සපුරාලන පරිදි සමස්ත ආර්ථිකය ප්‍රතිසංවිධානය කලයුතු වෙයි. එය කම්කරු පන්තිය අතට දේශපාලන බලය අත්පත්කර ගැනීම සමඟ මුලුමුනින් බැඳී පවතියි.   

  

Loading