කොරෝනා වෛරස් රෝගීන් වැඩිවීමත් සමඟ ඉන්දියාවේ දින 21 ව්‍යසනකාරී අගුලු දැමීම දීර්ඝ කරන බව මෝදි ඇඟවුම් කරයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 9 දින ඉංග්‍රීසියෙන් පලවින.

මාධ්‍ය වාර්තා වලට අනුව, කොරෝනා වෛරස් ආසාදන “දාමය බිඳ දැමීම“ සඳහා  ඔහුගේ භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී.) ආන්ඩුව මුලින් සැලසුම් කල  දින 21 ක අගුලු දැමීම, අප්‍රේල් 14 න් ඔබ්බට දීර්ඝ කල යුතු බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇඟවුම් කර තිබේ.

වසංගතය සාර්ථකව පාලනය කිරීම මඟින් ඉන්දියාව, දකුනු ආසියානු  කලාපයට සහ ලෝකයට ආදර්ශයක් වී යයි සති කිහිපයකට පෙර කයිවාරු ගැසූ මෝඩි, ඊයේ කැඳවන ලද සර්ව පාක්ෂික නායක රැස්වීමකදී කියා සිටියේ, ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට “ජාතික හදිසි අවස්ථාවකට” සමාන තත්වයකට මුහුන දී ඇති බවයි. 

 රැස්වීම “වැසූ දොරවල්” පිටුපස පැවැත්වින. කෙසේ වෙතත්,  මාධ්‍යයට කාන්දු වී ඇති හඬ පටයක මෝදි කථාකරනු ඇසෙන අතර, “මම මහ ඇමතිවරුන්  දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරුන් සමඟ කථා කලා, අගුලු දැමීම එකවරම ඉවත් කිරීම  සුදුසු නොවන බව ඔවුන් සියල්ලෝම ඒකමතිකව පැවසුවා. මම නැවතත් මහ ඇමතිවරුන්ට කතා කරන්නෙමි. නමුත් මේ වන විට පවතින හැඟීම පැහැදිලිය, අගුලු දැමීම ඉවත් කල නොහැකි බවට. සමාජ දුරස්ථභාවය බලාත්මක කිරීම සඳහා අප දැඩි පියවර ගත යුතුයි. ”

ඉන්දියාවේ අන්ත දක්ෂිනාංශික භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ඊයේට කලින් ඇඟවුම් කර තිබුනේ, රටේ බොහෝ ප්‍රදේශවල ලබන සතියේ සිට, අඩු ගනනේ පාර්ශවීයවත්,  අගුලු දැමීම ඉවත් කරන බවයි.

කෙසේ වෙතත්, තහවුරු කරන ලද කොවිඩ්-19 රෝගීන් සහ මරන මෑත දිනවල ඉහල ගොස් තිබේ. මේ වන විට රෝගීන් 5,700 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එය අප්‍රේල් 1 වනදා වාර්තා වූ 1,637 ට වඩා තුන් ගුනයකටත් වඩා වැඩිය. එම සතිය තුල කොවිඩ්-19 මරන සංඛ්‍යාව 38 සිට 198 දක්වා ඉහල ගොස් ඇති අතර බදාදා පමනක් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. කොරෝනා  වසංගතය ආරම්භ වීමෙන් පසු එහි ආසාදිතයන් වැඩිම සංඛ්‍යාව දැන් වාර්තා වන අතර එය පැය 24ක් තුල 1000ක් වූ බව සෞඛ්‍ය හා පුවුල් ශුභසාධක අමාත්‍යාංශය කියයි.

එපමනක් නොව නවදිල්ලිය, “ප්‍රජාව අතර ආසාදනයක් ” පිලිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බව ප්‍රසිද්ධියේ අවධාරනය කල ද, ඉන්දියාවේ සහ ජාත්‍යන්තරව බොහෝ සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන්නේ, පුලුල් පරීක්ෂාවක් දියත් කිරීමට අපොහොසත් වීම නිසා සාපේක්ෂව තහවුරු කල රෝගීන් සංඛ්‍යාව අඩුවෙන් සටහන් වන බැවින්, සැබෑ ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊට වඩා වැඩි බවය. පලමු ඉන්දියානු කොරෝනා වෛරස් රෝගියා හඳුනාගත් ජනවාරි අග සිට බලධාරීන් විසින්, බිලියන 1.37 ක ජනතාවක් සිටින රටක  පරීක්ෂන 100,000 කට වඩා පවත්වා නැත.

ආවේනික මහජන දරිද්‍රතාවය, නොපවතින සනීපාරක්ෂාව, ජනගහනයේ ඉහල ඝනත්වය සහ මහජන සෞඛ්‍ය පහසුකම් හා කාර්ය මන්ඬල හිඟය  හේතුවෙන් ඉන්දියාව කොරෝනා වසංගතයට ගොදුරුවීමේ විභවය විශේෂයෙන්ම වැඩිය. එහෙත් වෛරසයටආන්ඩුව දක්වන ප්‍රතිචාරය සංලක්ෂිතව ඇත්තේ, හදිසි, වැරදියට සකස් කල ප්‍රතිපත්ති අකුලා ගැනීමෙන් ප්‍රකාශයට පත්වන, නොසැලකිලිමත්කම ලෙසය.

 පෙර නොවූ විරූ ලෙස මෝදි, ක්‍රියාත්මක වීමට පැය හතරකටත් අඩු කාලයකට පෙර මාර්තු 24 වන දින, රටපුරා අගුලු දමා ඇති බව ජාතියට නිවේදනය කලේය. ඊට පෙර ප්‍රාන්ත හෝ විරුද්ධ පක්ෂ සමඟ සාකච්ඡා කලේ ද නැත.

ආන්ඩුවේ නොසැලකිලිමත් පියවරයන්ගේ ප්‍රතිවිපාක ව්‍යසනකාරී ය. අගුලු දැමීමේ ප්‍රතිපලයක් ලෙස, මිලියන ගනනක් වූ කම්කරු සහ ග්‍රාමීය පීඩිත දුගී ජනතාවගේ රැකියා සහ සියලු ආදායම් එක රැයකින් අහිමි විය. ඔවුන් සතුව කිසිදු ඉතිරියක් ද නැත. ආන්ඩුව ඔවුන්ට සහන මල්ලක් දෙන බවට පොරොන්දුවක් පමනක් දී ඇත. 

දින දෙකකට පසුව නිවේදනය කරන ලද ආන්ඩුවේ සහන පැකේජය තුනී කුරිරු බොරුවක් බව ඔප්පු විය . ඒක පුද්ගල අගයකින් එහි වටිනාකම රුපියල් 1,200 ක් හෙවත් ඇමරිකානු ඩොලර් 16 ක් විය. එයින් වැඩි ප්‍රමානයක් කලින් ද පොරොන්දුවී ඇති මුදල් වලින් හෝ මූලික ආහාර වලින් සමන්විත වන අතර ඒවා වලංඟු වන්නේ සති හෝ මාස කීපයකට පමනි.

මේ අතර යැපීමේ මාර්ග, නවාතැන් සහ රැකියා අහිමිවූ, මිලියන සංඛ්‍යාත සංක්‍රමනික ශ්‍රමිකයන් දිල්ලියෙන් සහ වෙනත් නාගරික මධ්‍යස්ථානවලින් පලා ගොස්, තම ගම්වලට පයින් ගමන් ගනිති.  එකම වගකිව යුත්තා ආන්ඩුව වන මේ ඛේදජනක තත්වය, කොරෝනා වෛරසය, සෞඛ්‍ය පහසුකම් සැබවින්ම නොපවතින ඉන්දියාවේ ගම්බද ප්‍රදේශ අභ්‍යන්තරයටම පැතිරයාමේ අනතුර මතු කරයි.

අවසානයේදී, භාරතීය ජනතා පක්ෂ මධ්‍යම ආන්ඩුව මැදිහත් වී සංක්‍රමනික කම්කරුවන් නැවත සිය ගම්මානවලට යාම අවහිර කරන ලදී.   ඔවුන් ප්‍රාන්ත සීමා ඉක්මවා යාම වැලැක්වීමට ආන්ඩුව, ප්‍රාන්තවලට සහ ආරක්ෂක හමුදාවන්ට උපදෙස් දුන්නේය. මිලියන ගනනක් සංක්‍රමනික කම්කරුවන් දැන් තාවකාලික අභ්‍යන්තර සරනාගත කඳවුරුවල රඳවා සිටින අතර ඒවා රෝග බෝකරන මධ්‍යස්ථාන ලෙස ද දායක වනු ඇත.

තවත් මිලියන ගනනක් කම්කරුවන් ද පෙර නොවූ විරූ දුෂ්කරතාවන්ට මුහුන දී සිටිති. ඉන්දියානු ආර්ථික අධීක්ෂන මධ්‍යස්ථානයට (CMIE) අනුව, නාගරික විරැකියා අනුපාතය සියයට 30 කට වඩා වැඩි වී ඇති අතර ග්‍රාමීය විරැකියාව දැන් සියයට 20 ඉක්මවා ඇත.

වසංගතයේ සමාජීය වශයෙන් පුපුරන සුලු ප්‍රතිවිපාක සහ දැනටමත් මන්දගාමීව පවතින ආර්ථිකයකට එහි බලපෑම පිලිබඳව බිය වන ඉන්දියාවේ විරුද්ධ පක්ෂ භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව වටා පෙල ගැසී සිටින අතර, මෑතක් වන තුරුම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආන්ඩුව “ෆැසිස්ට්වාදීන්” ලෙස හෙලා දුටුවේය. ජනමාධ්‍ය වසංගතය ආවරනය කිරීම පිලිබඳ වාරනයක් පැනවීමට පසුගිය සතියේ දැරූ උත්සාහයේ දී මෙන් ආන්ඩුව මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට දිගින් දිගටම පහර දෙයි. (බලන්න: ඉන්දියාවේ ව්‍යසනකාරී අගුලු දැමීම මධ්‍යයේ මෝදි කොරෝනා වෛරසය පිලිබඳ වාර්තා කිරීම වාරනය කිරීමට උත්සාහ කරයි) 

ඉන්දියානු ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) ද ඇතුලු සියලුම ප්‍රධාන විරුද්ධ පක්ෂ ඊයේ පැවති සර්ව පාක්ෂික රැස්වීමට, හිස නමාගෙන  සහභාගී වූහ. වෛද්‍ය සේවකයින්ට පුද්ගලික ආරක්ෂන උපකරන (පීපීඊ) ලබා දීම සහ දුප්පතුන්ට සහන සැලසීම ඇතුලු ඇතැම් විවේචන ඔවුන් ඉදිරිපත් කල බව වාර්තා වූ අතර, සියල්ලෝම ආන්ඩුවට ඔවුන්ගේ සහයෝගය ලබා දුන්හ. අගුලු දැමීම ලිහිල් කිරීම සහ අවසාන වශයෙන් එය ඉවත් කරන වේලාව තීරනය කිරීම මෝදිට භාර දීමට ඔවුහු එකඟ වූහ. 

සාමාන්‍යයෙන් අගමැති, මුස්ලිම්වරුන් “සතුටු කිරීම” පිනිස කටයුතු කරන රාජද්‍රෝහී නොවන්නේ නම් “ජාති ද්‍රෝහීන්” ලෙස නිරූපනය කර ඉතා දරුනු ජාතිවාදී වචනවලින් තම නිල විරුද්ධවාදීන්ට පහර දෙයි.  මේ වන විට ඔහුගේ ආන්ඩුව අර්බුදයේ ගිලී යමින් තිබීම පිලිබඳ තවත් සලකුනක් දක්වමින් ඊයේ ඔහු ඔවුන්ට ප්‍රශංසා කලේය. “මෙම සටනේදී එක්සත් පෙරමුනක් ලෙස ඉදිරිපත් වෙමින් දේශපාලනයේ සියලු කොටස් එකට එක්වීම තුලින් රට, පලදායී හා ධනාත්මක දේශපාලනයක් අත්දුටුවේ” යයි මෝදි පැවසීය.

ආන්ඩුව “ජාතික සමගිය” පිලිබඳ වාචාලකම් දොඩවන අතර, පීපීඊ ලබා දීමට බලධාරීන් අපොහොසත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයින්ගේ විරෝධතා මැඩපැවැත්වීමට ආන්ඩුව මැදිහත්විය. එම මෙවලම් හිඟය නිසා ඔවුන්ගේ ජීවිත, පවුල් මෙන්ම ජනතාව ද බරපතල අවදානමට ලක්ව ඇත.

සමාජ මාධ්‍ය හරහා, තමන් මුහනපාන දුක්ඛිත තත්වය කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කරන සෞඛ්‍ය සේවකයෝ, පලිගැනීම් වලට, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ තර්ජනයන්ට මුහුනපාති. “සෞඛ්‍ය සේවකයින්ගේ ඉලක්කය වී ඇත්තේ පීපීඊ නොලැබීමට හෝ ප්‍රමිතියෙන් තොර පීපීඊ ලබාදීමට එරෙහිව හඬ නැගීම” යයි සමස්ත ලංකා වෛද්‍ය විද්‍යා ආයතනයේ (ඒඅයිඑම්සී) නේවාසික වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ශ්‍රීනිවාස් රාජ්කුමාර් නිව්ස්ලික් වෙත පැවසීය. එවැනි සිදුවීම් කිහිපයක් ගැන සඳහන් කරමින් ඔහු මෙසේ වාර්තා කලේය. “එක් වෛද්‍යවරයෙකුට ස්ථාන මාරුවීමක් දී ඇත. හර්යානා හි වෛද්‍යවරුන් ගෙන් ද ප්‍රශ්න කර තිබේ.

 

Loading