රැකියාවට යාගත නොහැකිව අසරනව සිටින හලාවත ධීවරයෝ ලෝසවෙඅ සමග කතා කරති

කොරෝනා වසංගතය හේතුවෙන් රටපුරා ක්‍රියාත්මකවන ඇඳිරි නීති රෙගුලාසි යටතේ ධීවර කටයුතුවල නිරතවීමට නොහැකිව සිටින හලාවත, ඉරනවිල, තොඩුවාව සහ මාරවිල ප්‍රදේශයන්හි ධීවරයෝ තම දරු පවුල් පෝෂනය කල නොහැකි තත්වයකට පත්ව සිටිති. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) අදහස් දැක්වූ ධීවරයෝ, දිලිඳු ජනයාට ලබා දෙන සොච්චම් සහනයක් පවා ධීවර ජනයාට හිමි නොවන බව පවසමින් ආන්ඩුවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කලහ. නොදියුනු තාක්ෂනික මෙවලම් වලින් මහමුහුද සමග පොරබදමින් තම දිවිපෙවෙත රැකගැනීමට දරන වෑයම පිලිබඳව විස්තර කල ඔවුහු කොරෝනා ව්‍යසනයෙන් තමන් ඇද වැටී ඇති ආර්ථික තත්වය පිලිබඳව වත්මන් ආන්ඩුව ඇතුලු බලයටපත් සියලු ආන්ඩු වගකිවයුතුබව පැවසූහ.  

මාර්තු 03 දා ආන්ඩුව නිවේදනය කලේ, අත්‍යවශ්‍ය සේවා පිලිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සමෘද්ධිලාභී ලක්ෂ 18 ක ජනයාට වාරික දෙකකින් ගෙවන රුපියල් 10,000 ක නය මුදලක් ද, රුපියල් 1,500 ක වියලි ආහාර මල්ලක් ද ලබා දෙන බව යි. රටපුරා අතිශය බහුතරයක් ධීවර පවුල් සමෘද්ධිලාභීන්ට අයත් නොවේ. ඒ අනුව, රටපුරා දහස් සංඛ්‍යාත දිලිඳු ධීවර ජනයා මුහුන දෙන තත්වය මගින් ආන්ඩුවේ සහන වැඩපිලිවෙලේ ප්‍රෝඩාකාරී ස්වභාවය ඉස්මතු වෙයි.

තෙල් මිල වැඩිවීමට, මාලු මිල පහත වැටීමට, විදේශ ධීවර සමාගම්වල ආක්‍රමනයට, ධීවර ආම්පන්නවල මිල පහල නොදැමීමට හා වරාය පහසුකම් වර්ධනය නොකිරීමට එරෙහිව ධීවර වෘත්තියේ යෙදෙන්නන් පසුගිය කාල පරිච්ඡේදය පුරා විරෝධතා දැක්වූහ. පසුගිය මාර්තු 03 දා කොලඹ දික්ඕවිට වරාය ඉදිරිපිට, විදේශ නැව් ලංකාවේ මුහුදු සීමාවේ කරන මසුන් මැරීම නතර කරන්නැයි ද රජය මැදිහත් වී මාලු සඳහා ස්ථාවර මිලක් නියම කරන්නැයි ද ඉල්ලා 800 ක් පමන බහු දින යාත්‍රා ධීවරයෝ විරෝධතාවක නිරත වූහ. 

කොරෝනා වෛරස ව්‍යාප්තියේ බලපෑමට පෙර පසුගිය මාසවල මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රා කීපයක්  අල්ලා ගත් මත්ස්‍ය අස්වැන්නත් සමග ඔවුන්ට ආසන්යේ පවතින දික්ඕවිට, මීගමුව වැනි ප්‍රධාන ධීවර වරායන් වෙත පැමිනෙමින් තිබේ. එම යාත්‍රා මගින් අල්ලා ගනු ලබන ටූනා (කෙන්දා) මත්ස්‍යයන් යුරෝපය, ඇමරිකාවට හා ලෝකයේ වෙනත් රටවලට අපනයනය කරන අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මාලු අපනයනය මේ වන විට මුලුමනින්ම පාහේ නතර වී තිබේ.  

දේශීය වෙලඳපලට අලෙවි කිරීමට ධීවර සංස්ථාව මගින් එම මාලු මිල දී ගන්නා බව ආන්ඩුව ප්‍රකාශ කලත් මේ වන විට මෙම වරායන්වලින් පෞද්ගලික සමාගම් හා වෙලඳුන් මාලු කිලෝවක් මිල දී ගන්නේ රුපියල් 250 කටත් අඩු මුදලකටයි.  

බහුදින ධීවර යාත්‍රාවක ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු (ස්කීපර්) වන ඉරනවිල පදිංචි ප්‍රියන්ත ප්‍රකාශ කලේ පසුගිය මාර්තු මස 03 දා වත්තල දික්ඕවිට වරායේ දී මාලු මිල පහත වැටීමට එරෙහිව ධීවරයන් විරෝධය පල කිරීමෙන් පසු එකම වතාවක් තම යාත්‍රාව රැකියාවට ගිය බවයි. “මේ වතාවේ අපි රැගෙන ආ මාලු අස්වැන්න සාමාන්‍ය තත්වයක් යටතේ අලෙවි වූවානම් මටත් අනෙක් ධීවර කම්කරුවන්ටත් ලැබෙන පංගුව රුපියල් 70,000 ට වැඩියි. නමුත් දැන් කෙන්දා මාලු මිල පහල බැසීම නිසා මම රුපියල් 5,000 ක් බෝට්ටු මුදලාලිට නය වුනා. හිස් අතින් ගෙදර ආ දිනයේ සිට ඇඳිරි නීතිය දාලා. කඩෙන් නයට අරගෙන එදා වේල පිරිමසා ගත්තත් කී දවසක් මේ විදිහට යන්න දැ” යි ඔහු ප්‍රශ්න කලේය. 

ධීවර ජනතාවට කිසිදු සහනාධාරයක් නැති බවත් කොරෝනා වසංගතය නිමාවෙන දිනයක් නිශ්චිත නැති තත්වයේ දී ඉදිරි දිනවල දී ධීවර ජනතාව තුලින් විරෝධතා මතුවිය හැකි යයි ඔහු වැඩි දුරටත් පැවසීය. 

තරංග යනු තවත් බහුදින ධීවර යාත්‍රාවක රැකියාවේ නියුතු ධීවරයෙකි. ඔහුටත් තම මහන්සිය වෙනුවෙන් පංගුවක් (වේතනය) ලැබෙනවා වෙනුවට බෝට්ටු හිමිකරුගෙන් මුදල් නයට ගැනීමට සිදු වී තිබේ. “දින 45-50 විතර මුහුදේ රැකියාව කරලා ගොඩට ආවට පස්සේ අපි බෝටිටු අයිතිකරයගෙ නය කාරයෝ. ඉතින් අපි ජීවත් වෙන්නේ කොහොමද. දැන් ලමයි පාසල් යන්නේ නැති නිසා නිතරම කන්න බොන්න මොනා හරි ඉල්ලනවා. මම ඉන්නේ ගොඩක් හිතේ අමාරුවෙන්. තියෙන දේ ප්‍රවේසම් කර ගන්න ඕනා. මේ කොරෝනා වෛරසය කවදා ඉවර වෙයි ද? මෙතෙක් බලයට පත්වෙච්ච ආන්ඩු හැම එකක්ම අපිව අතඇරලා දාලා තියෙන්නේ. කොරෝනා වෛරසයට වඩා භයානකයි බඩගින්න“ යයි ඔහු කීවේය.  

ධීවර අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ලංකාවේ බහුදින ධීවර බෝට්ටු 4,000 කට වැඩි සංඛ්‍යාවක් තිබේ. සාමාන්‍ය බහුදින යාත්‍රාවක ධීවර කම්කරුවෝ හය හත් දෙනෙක් රැකියාවේ නිරතව සිටිති. මෙම බෝට්ටු හිමි ධීවරයන් හට තෙල්, අයිස්, ඇමට යොදන දැල්ලෝ, ආහාර ජලය සඳහා එක් සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ 20-25 ත් අතර මුදලක් සාමාන්‍යයෙන් වැය වේ. මාලු අස්වැන්නෙන් ලැබෙන ලාභයෙන් වියදම් වූ මුදල හැර ඉතිරි වන මුදලක් වෙතොත් ඉන් සියයට 50 ක් බෝට්ටු හිමිකරු සතුවන අතර ඉතිරි සියයට 50 කම්කරුවන් අතර බෙදා ගැනීම සාමාන්‍ය පටිපාටියයි. 

ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය අපනයන සමාගම් වන ග්ලෝබල් සී ෆුඩ්ස්, ට්‍රොපික් ෆෝසන් ෆුඩ්ස් වැනි සමාගම් සතුව ඍන අංශක 60 උශ්නත්වයක් යටතේ මාලු ටොන් ලක්ෂ ගනනින් ගබඩා කල හැකි දැවැන්ත ශීතාගාර පවතී. කොරෝනා වෛරසය අවස්ථාවේ පමනක් නොව විවිධ ස්වභාවික ආපදා හුවා දක්වා මාලුවල ගැනුම් මිල පහල හෙලන්නේ මේ සමාගම් බව ධීවරයෝ චෝදනා කරති. එමෙන්ම විදේශ ධීවර නැව්වලට වරාය පහසුකම් ලබා දී විශාල ලෙස මසුන් මැරීමට අවසර දීම සම්බන්ධයෙන් බලයට පත්      ප්‍රධාන ධනපති පක්ෂ දෙකටම ඔවුහු චෝදනා නගති. 

මේ හේතු නිසා මාසයකටත් වැඩි කාලයක් මූදේ ගත කරන සාමාන්‍ය කම්කරුවන් කිසිදු මුදලක් නොමැතිව හිස් අතින් ගෙදර එන අවස්ථා බහුල වන අතර ලැබෙන අවස්ථාවලදී ද එම මුදල සොච්චමකි.  

දැන් කොරෝනා වෛරසය හේතුවෙන් රටපුරා මේ වනවිට පහර වැදී සිටින ධීවර පවුල් ගනන ලක්ෂකට අධිකය. එමෙන්ම අයිස් කර්මාන්ත ශාලා, ධීවර වරායවල පහසුකම් සැලසූ, මාලු අලෙවි මධ්‍යස්ථාන හා අපනයන මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා ආදි වශයෙන් ධීවර කර්මාන්තය ආශ්‍රිත තවත් සිය ගනනක් වූ රැකියාවල නිරත කම්කරුවෝ ප්‍රහාරයට ලක්ව සිටිති. 

දික්ඕවිට වරායේ මාලු බෑමේ යෙදී සිටින කම්කරුවෙක්: “ආන්ඩුවෙන් දේශීය වෙලඳපල සඳහා මාලු මිලදී ගැනීමට කිසිම වැඩපිලිවෙලක් දියත් කරලා නෑ. මාලු වෙලඳුන් දේශීය වෙලඳපලට මාලු ගන්නත් මාලුන්ගේ ගුනාත්මකභාවය බල බල කේවල් කරනවා. ඒ විතරක් නෙමේ සමහර අතරමැදියෝ මාලු කිලෝවකට රුපියල් 20 ක විතර කොමිස් ගන්නවා. මේ හේතුවෙන් බෝට්ටු අයිතිකාරයටත් වඩා පීඩාවට පත් වී සිටින්නේ ධීවර කම්කරුවෝ”. 

තරංගගේ නිවසට සමීපයේ සිටන තවත් බහුදින යාත්‍රා ධීවරයෙකි නුවන්. ඔහුගේ බිරිඳ මෙසේ අදහස් දැක්වී ය: “ධීවරයන්ට කිසිම සහනයක් නෑ. අත්‍යවශ්‍ය භාන්ඩ වර්ග ලැයිස්තුව දුන්විට බඩු ඔබේ ගෙදරටම ගෙනත් දෙනවා කියලා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් රටපුරා ප්‍රචාරය කරනවා. නමුත් රාජ්‍ය අංශයේ වගකිව යුතු අය නෑ. පෞද්ගලික අංශයේ වෙලෙන්දො බාල බඩු විකුනනවා ගිනි ගානට. ඒ වෙලෙන්දො අපිව ගසා ගෙන කනවා. ගෙදර මිනිහට රස්සාවක් නැතිව මේ වැඩේ දිගටම කරගෙන යන්නේ කොහොමද? කොරෝනාව ඉවර වෙන දවසක් අපි දන්නේ නෑ. අගමැති මේ සතියේ ජාතිය ඇමතුවා ධීවරයෝ ගැන වචනයක්වත් කිව්වේ නෑ. තව ටික දවසකින් වෛරසයෙන් නෙමේ මැරෙන්නේ හාමතේ“ යයි ඇය තම දුෂ්කරතා විස්තර කලා ය. 

පසුගිය මාර්තු මාසයේ අග දික්ඕවිට වරායේ සහ හලාවත කලපුවේ ධීවරයන් නෙලූ මත්ස්‍ය අස්වනු නිකරුනේ මුහුදට විසි කිරීමට සිදුවන බවට ධීවරයන් ප්‍රකාශ කරන වීඩියෝ පට අල්ජසීරා වෙබ් අඩවියේ පල කර තිබුනි. 

ඇඳිරි නීති රෙගුලාසි පැන වූ මුල් දවස්වල තෙප්පන් සහ කුඩා බෝට්ටු ධීවරයන්ට මුහුදු යාමට අවසර දී තිබුනි. වෛරසය බෝ වීමේ අවදානම සලකා පුත්තලම කරුකුපනේ සිට හලාවත දක්වා ධීවරයන් 10,000 ක් පමන ධීවර කටයුතුවලින් බැහැර වීමට තීරනය කර බව, පුත්තලම් දිස්ත්‍රික් ධීවර සංවිධානයේ සභාපති රොහාන් තුෂාර ප්‍රනාන්දු මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. බොහෝමයක් ධීවර සමිති නායකයෝ ධීවරයන්ට මුහුදු යෑම වලක්වා ඊලඟට සිදුකර ඇත්තේ ධීවරයන් සඳහා සහනාධාරයක් සපයන්නැයි ආන්ඩුවෙන් අයැද සිටීම පමනි.  

තොඩුවාවේ කුඩා බෝට්ටු ධීවරයෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “ලබන මාසේ ඉඳලා මාස පහක් විතර මූද සැර වෙනවා (වාරකන්), වරාය පහසුකම් නැති නිසා අපිට කොහොමටවත් මූදට යන්න බැරි වෙනවා. හැම අවුරුද්දකම අපි වාරකනේට පුදුම දුකක් විඳින්නේ”. 

මාරවිල කුඩා බෝට්ටු ධීවර කම්කරුවෙක්: “අම්මගේ රත්තරන් බඩු උකස් කරලා මේ දවස් ටික ගතකලා. තව රුපියල් දාහයි ගෙදරටම තියෙන්නේ. තාත්තා මාලු වෙලඳම් කලේ එයාටත් රස්සාව නෑ. නංගියි මල්ලියි තවම රස්සා කරන්නේ නෑ. මට දැන් මාස 03 ක දුවක් ඉන්නවා. බිරිඳට හොඳට කන්න දෙන්න ඕනා. නමුත් දැන් කරකියා ගන්න දෙයක් නැතිව ඉන්නේ”. 

Loading