මිලිටරිය අත්තනෝමතික ලෙස බේරුවල පවුලක් නිරෝධායන කඳවුරකට පටවයි

අප්‍රේල් 05 වැනිදා, තමාට හෝ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට නොදන්වා, මිලිටරිය විසින් බේරුවල ප්‍රදේශයේ සිවුදෙනෙකුගෙන් යුත් පවුලක සාමාජිකයන් ප්‍රදේශයෙන් පිටතට ගෙනගොස් ඇති බව බේරුවල ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වරුන සෙනෙවිරත්න අනිද්දා පුවත් පතට පවසා තිබේ. 

කොරෝනා වෛරසය පැතිරී යාම හේතුකොට ගෙන අවදානම් කලාපයක් ලෙස නම්කර ඇති බේරුවල ප්‍රදේශය සෞඛ්‍ය නිලධාරීන්ගේ නිරීක්ෂනය යටතේ නිරෝධායනයට ලක්කර තිබූනි. එවැනි පසුබිමක මිලිටරිය විසින් සිදුකල මෙම මැදිහත්වීමෙන් වික්ෂිප්ත වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා තමන් දන්නා හමුදාවේ ඉහල නිලධාරින් ද ඇතුලු විවිධ සම්බන්ධතා අමතමින් එම පවුල පිලිබඳ තොරතුරු සොයාගැනීමට උත්සාහ කලත් ඉන් පලක් වී තිබුනේ නැත.

වෛද්‍යවරයා පුවත්පතට පවසා තිබුනේ ප්‍රදේශයේ සියලූ පවුල් පිලිබඳව තමන් හා මහජන සෞඛ්‍ය නිලධාරීන් වගකිව යුතු බැවින් තමන්ට නොදන්වා එම ප්‍රදේශයෙන් පවුලක් ඉවත් කරගැනීම බරපතල තත්වයක් බවත්, තමා ඒ ගැන නොසතුටට පත්වන බවත් ය. ඔහු පවසන අන්දමට ඒ පවුලේ කිසිවෙකුට රෝගය වැලඳී ඇතැයි වාර්තා වී නැති අතර, පවුලට සම්බන්ධ ඥාතියෙකු ආසාදිතයෙකු ලෙස වාර්තා වී ඇත. 

මේ පිලිබඳව පුවත්පත කල විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පවසා ඇත්තේ එම පවුලට සම්බන්ධ අයෙකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වූ නිසා පවුලේ සාමාජිකයන් දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය බවයි. කොරෝනා මර්දනය සඳහා පත්කර ඇති ප්‍රදේශයේ අනෙකුත් නිලධාරීන්ගෙන් කිසිදු විමසීමක් නොමැතිව සහ ඔවුන්ට කිසිදු තොරතුරක් දැනගැනීමේ ඉඩක් නොතබා මෙම පවුල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත පැටවීම මිලිටරි පන්නයේ පැහැරගැනීමකට සමාන ක්‍රියාවකි. 

සෞඛ්‍ය නිලධාරීන් හා මාධ්‍ය මෙවැනි සිදුවීම් පිලිබඳව වගකීම් සහගතව කටයුතු කල යුතු බව වැඩිදුරටත් පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකයා හමුදාව විශාල කැපවීමකින් කටයුතු කරමින් සිටින බවත්, මෙවැනි සිදුවීම් පිලිබඳව වැරදි දෘෂ්ටිකෝනයෙන් කරුනු සමාජගත කිරීම නුසුදුසු බවත් කියමින් සෞඛ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය වෙත සියුම් තර්ජනයක් කර ඇත. 

එමෙන්ම “හමුදාවට ලැබෙන සංවේදී කරුනු මත ඇතැම් තීරන ගන්නා” බව හමුදා මාධ්‍ය ප්‍රකාශක තම කරුනු දැක්වීමේදී සඳහන් කර තිබේ. මෙය වූ කලී, මිලිටරිය තමන්ට පිරිනමා ඇති අත්තනෝමතික බලතල විදහා දැක්වීමකි. එමෙන්ම එය, මිලිටරිය විසින් මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමෝපායන් ඉදිරියේදී ද යොදා ගනු ඇති බවටත්, ඒවාට අනෙකුත් ක්ෂේත්‍රවල නිලධාරීන්, මාධ්‍ය හෝ මහජනතාව විවේචන එල්ල නොකල යුතු බවටත් හැඟවෙන ප්‍රකාශයකි.

පසුගිය වසරේ නොවැම්බරයේදී බලයට පත්වීමෙන් පසු සමාජ-ආර්ථික ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකටම මිලිටරිය මැදිහත් කිරීමේ වැඩකටයුතු තීව්‍ර කල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ වෙනුවෙන් වසංගත ව්‍යසනය ද වහා ඩැහැගත්තේ ය. වසංගත මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කෙරුනු අතර, සෞඛ්‍ය සේවය ඇතුලු අදාල සේවාවන් ඔහුගේ අධීක්ෂනය යටතට පත් කෙරුනි. ඒ හරහා සමස්ත දිවයිනම මේ වනවිට මිලිටරිය මත පාදකවූ  පාලනයක් වෙතට වේගයෙන් ගමන් කරවමින් තිබේ. 

වසංගත මර්දන කටයුතු වල ප්‍රධානත්වයට පත්වීමෙන් පසු හමුදාපතිවරයා මෙන්ම ආරක්ෂක ලේකම්වරයාද වරින් වර සඳහන් කලේ, වසංගතය මර්දනය කිරීම තවත් “මානුෂීය මෙහෙයුමකට” සමාන බවයි. මානුෂීය මෙහෙයුම ලෙස ඔවුන් විසින් ඔජවඩවනු ලබන්නේ දෙමල මහජනතාවට විරුද්ධව දිවයිනේ උතුරු සහ නැගෙනහිර පලාත්වල දියත් කල ලේවැකි සිවිල් යුද්ධයේ අවසන් අදියරයන්ය. එම කාලය තුල දෙමල මහජනතාවන්ගේ කිසිදු ප්‍රජාතන්ත්‍රීය අයිතියකට ඉඩනොතබා ඔවුන් පැහැරගැනීම, සිරගත කිරීම,  වධබන්ධනයට ලක්කිරීම සහ ඝාතනය කිරීම ආදී බරපතල මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ලංකාවේ මිලිටරියට චෝදනා එල්ලවී තිබේ. 

මිලිටරියේ නායකයන් විසින්, වසංගතය මර්දනය කිරීම ඒ හා සමාන මිලිටරි මෙහෙයුමකට සමාන කරන්නේ එහිදී යොදාගත් රුදුරු විධික්‍රම මේ මොහොතේදී ද යොදාගැනීමේ සූදානම සහිතවයි. බේරුවල සිදුවීම එම සූදානම පිලබඳ ආරම්භක සංඥාවකි.     

ආන්ඩුව  මෙවැනි මර්දනකාරී පාලනයක් ගොඩනගමින් සිටින්නේ වසංගතයෙන් තම ජීවිත බේරා ගැනීම සඳහා අවශ්‍ය මූලික සෞඛ්‍යමය පහසුකම් නොලැබ, ආහාරපාන ඇතුලු අත්‍යවශ්‍ය දෑ සම්පාදනය කිරීම සඳහා ප්‍රමානවත් යාන්ත්‍රනයක උදව්වද නොමැතිව නිවෙස් වලට සිරවී සිටීම නිසා කම්කරුවන් හා දුගීන් අතර ඉමහත් වෛරයක් වැඩෙමින් පවතිද්දීය. තමන්ට රෝගය වැලදීමෙන් ආරක්ෂාවීමට ප්‍රමානවත් මෙවලම් නොමැතිව සේවයේ යෙදවීමට එරෙහිව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කම්කරුවන් අතරින් දැනටමත් අරගල මතුවෙමින් පවතී.

ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරක් ලෙස ආන්ඩුව මාධ්‍ය වාරනයකට අත තබා ඇත. “රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කරමින්, සුලු අඩුපාඩු මතුකර පෙන්වමින් අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ අන්තර් ජාලය තුල ප්‍රසිද්ධකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පසුගියදා පැවසීය. මේ යටතේ විශ්ව විද්‍යාල සිසුන් කීපදෙනෙකු සහ කාන්තාවක් ඇතුලු සත් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇත.

එම විශ්වවිද්‍යාල සිසුන් අතුරින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ තරිඳු අවිශ්ක නම් සිසුවා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය ක්‍රියාකල ආකාරය ද අවධානයට ලක්විය යුතු සිද්ධියකි.

ගාල්ල නෙලුව ප්‍රදේශයේ පවතින ඔහුගේ නිවසට 'සෞඛ්‍ය සේවා’ යනුවෙන් පුවරුවක් සහිත රථයකින් සෞඛ්‍ය නිලධාරීන්ද කැටුව පැමිනි පොලිස් නිලධාරියෙකු නිවැසියන්ට හා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුම් දී ඇත්තේ එම සිසුවා විශ්වවිද්‍යාලයේ සිට පැමින නිරෝධායනය නොවී සැඟව සිටින්නෙක් බවයි. පසුව නිවැසියන් මැදිහත්ව වැඩිදුර කරුනු විමසද්දී ඔහු ආන්ඩුව විවේචනය කරමින් ෆේස්බුක් මාධ්‍යයෙන් අදහසක් දක්වා ඇති බව පවසා අත්අඩංගුවට ගෙන මීගමුව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබන්නට කටයුතු කර තිබේ.

වසංගත තත්වය නිසා උද්ගතවී ඇති ධනපති ආර්ථිකයේ බරපතල කඩාවැටීම හේතුවෙන් පරිහානියට පත් වී ඇති ධනපතියන්ගේ ලාභ යලි උකහා ගැනීමේ ක්‍රියාවලියේදී වඩා රුදුරු සූරාකෑමක් සහ කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආන්ඩුවට නොඅනුමානවම සිදුවනු ඇත. 

එවන් තත්වයක් යටතේ වඩාත් තීව්‍ර වීමට නියමිත පන්ති අරගලය මර්දනය කිරීමේදී කම්කරු-පීඩිත මහජනතාවන්ගේ අවම ප්‍රජාතන්ත්‍ර අයිතියකට හෝ ඉඩතැබිය නොහැකි බව ආන්ඩුව ගනන් බලයි. වසංගත අර්බුදය මධ්‍යයේ මිලිටරිය සහ පොලිසිය මෙලෙස අත්තනෝමතික ලෙස මෙහෙයවමින් ආන්ඩුව මහජනතාවගේ සියලු ප්‍රජාතන්ත්‍ර අයිතින් තලා දමන්නට සැරසෙන්නේ එහෙයිනි.

Loading