අම්බලන්ගොඩ කම්කරුවන් සහ පීඩිතයන් ලෝසවෙඅ ට කතා කරයි: “ආන්ඩුව හැම සතයක් ම වියදම් කරලා හරි මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න ඕනෙ”

කොරෝනා වසංගතය හමුවේ ආන්ඩුව විසින් පනවා ඇති ඇඳිරි නීතිය වරින්වර පැය කීපයකට ඉවත් කරනවාත් සමගම දස දහස් ගනන් ජනයා, තම මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නගරවලට රොක්වන සැටි විවිධ මාධ්‍ය තුල වාර්තා වෙයි.

ඇඳිරි නීතිය ඉවත් කල වහාම නගරය

 කෙසේ නමුත්, මෙසේ රැස් කකා රොක්වන ජනයා මුහුන දෙන සැබෑ ප්‍රශ්න සහ ඔවුනගේ සැබෑ මනෝගතීන් කවරේද යන්න එම මාධ්‍ය තුලින් ප්‍රකට නොවන තරම්ය. ආන්ඩුවේ පන්දම්කාර මාධ්‍යයෝ, ආන්ඩුව විසින් මහජනයාගේ සියලු අවශ්‍යතා සපුරමින් සිටින ආකාරයක් පෙන්නුම් කිරීමේ ව්‍යායාමයක නිරතව සිටිති.  

මෙම තතු තුල, වසංගත අර්බුදය හමුවේ කම්කරු-පීඩිත මහජනයා සැබැවින්ම අත්  විඳින්නේ කුමන තත්වයක්ද යන්න විභාග කරගනුවස්, ලෝක සමාජවාදී වෙබි අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවෝ ලැබෙන කෙටි ඇඳිරි නීති විරාමයන්හි දී දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි මහජනතාව මුනගැසී සාකච්ඡා කරති.

මෙහි පහත පලවන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ කරන ලද එවන් මැදිහත්වීමක් ඇසුරෙන් සැකසුනු වාර්තාවකි.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත්කොට තිබූ එම දිනයේ අම්බලන්ගොඩ නගරය තුල විවෘතව තිබූ බැංකු, සිල්ලර කඩ, සතොස සහ කාගිල්ස් ෆුඩ්සිටි වැනි ආයතනය පිරී ඉතිරී ගොස් තිබුනි. පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගතයුතුයැයි කියන මීටරයක අවම දුර කෙසේ වෙතත්,  කිසිවෙකුට එකිනෙකා නොගැටී ගමන් කිරීම පවා කල නොහැකි විය.

ඔසු සල ඉදිරිපිට

 බොහෝ දෙනා මුව ආවරනය කර ගෙන සිටියහ. ඔසුසැල්වල ප්‍රමිතිගත මුඛ ආවරන මිලදී ගැනීමට නොමැති බැවින් තමා විසින්ම නිපදවාගත් ආවරනයකින් හෝ ලේන්සුවකින් ඔවුහු මුව වසා සිටියහ. සාමාන්‍ය රෙදි භාවිතයෙන් නිෂ්පාදනය කරන මුඛ ආවරන මගින් වෛරසය වලකාලිය හැක්කේ සියයට විස්සකට අඩු ප්‍රමානයකින් වුවද ඔවුනට අන් විකල්පයක් නොමැත.

මෙම සෙනග අතරින් සමහරක්, සීනි ග්‍රෑම් 250ක්, අල ග්‍රෑම් 250ක් හෝ හාල් කිලෝවක් වැනි දෙයක් ගැනීමට පවා පැය ගනන් පෝලිමේ බලා සිටින බව “ගොඩහේවා ස්ටෝර්ස්” හි සේවකයෙක් සිය අත්දැකීම් විස්තර කරමින් පැවසීය.

වෛද්‍යවරුන්, සෞඛ්‍ය කාර්ය මන්ඩලයන් හා රාජ්‍ය සේවකයන්ගේ කැපවීම පිලිබඳ ඉමහත් ගරුත්වයක් මේ ජනයා තුල පවතී. ඇතැම් තැනක රෝගීන්ට නියමිත ඖෂධ නිවසටම ගෙනැවිත් දීමට එම කාර්ය මන්ඩල කැප වී ඇතත් අතිමහත් මහත් බහුතරය ගේ ගැටලු විසඳී නැත.

මහජන බැංකුවේ දිගු පෝලිමේ රැඳී සිටි විශ්‍රාමික ඉංජිනේරුවරයකු වන ජයතිලක උද්ගත වී ඇති තත්වය සම්බන්ධයෙන් තම අදහස මෙසේ ප්‍රකාශ කලේ ය: “රෝගය පැතිරීම වැලැක්වීම සඳහා ගෙන ඇති පියවර වල් වැදගත්. අපට අපහසුතාවන්ට මුහුන දෙන්න වුනත් අප ඊට සහයෝගය දිය යුතු යි. නමුත් ප්‍රශ්නය වෙන්නේ වසංගත මර්දනයේ අවශ්‍යතාවයන් සඳහා උවමනා තරම් මුදල් වෙන් කරනවාද යන්නයි. නය ගන්නවා. ආධාර හම්බ වෙනවා. අපට සැකයක් තියෙනවා මේවා ඇත්තටම මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිත වෙනවද කියලා. අපට ඒක දැන ගන්න විදියක් නැහැ.”

කරන්දෙනියේ එස්.එස්. සීලින් නෝනා නගරයට පැමින තිබුනේ  පලා මිටි පනහක් සහ බුලත් ටිකක් විකුනා ගැනීම සඳහාය. පලාමිටි පනහම විකුනාගතහොත් රුපියල් පන්සියයක් පමන ඉතුරු කර ගත හැකි වෙතැයි ඇය කීවාය.

සීලින් නෝනාගේ පුත්‍රයා ද ඇය සමඟ ජීවත් වෙයි. අතක් හෝ කකුලක් පන නැතිවීමේ රෝගී තත්ත්වය නිසා ඔහු මාසයක පමන කාලයක සිට රැකියාවක නිරත නොවේ. කුලී වැඩකින් ලැබෙන ආදායමෙන් ජීවත් වන ඇයට ඇඳිරි නීතිය හරස්ව ඇත. ඇයට සමෘද්ධි අරමුදලින් ලැබෙන්නේ ද රුපියල් එක්දහස් පන්සීයක් පමනි.

සමෘද්ධියෙන් පන්දහසක් දෙනවයි කිව්වට තාම ලැබුනේ නෑ. බඩු මල්ලක් ලැබුනා. ඒකෙ සල්ලි කපා ගන්නවා කිව්වා. මට කුලී වැඩ කරන්නත් බැහැ. ඇත්තටම නම් ආධාරයක් ලැබුනොත් විතරක් මැරෙනකං ජීවත් වෙන්න පුලුවන් වේවි.”

දෙල්දූව චතුරංගනී

සතොස‍ෙන් බඩු ගැනීම සඳහා ඒ අවට ප්‍රදේශ ගනනාවක ජනයා පෙල ගැසී සිටියහ. දෙල්දූව ප්‍රදේශයේ දෙදරු මවක් වන  චතුරංගනී සිය සැමියා අනෙකුත් බඩු ගැනීම සඳහා වෙනත් පෝලිමක රඳවා සතොස පෝලිමට එක්ව සිටියාය.

කිලෝ මීටරයක් විතර දිග පෝලිමක්, උදේ හතේ ඉඳන් ඉන්නවා.  ප්‍රායෝගිකව මීටරයක් දුරින් ඉන්න එක කොහොමටවත් කරන්න බැහැ. බබාල දෙන්න ගෙදර තියලා ආවෙ. හැමෝම වගේ මාස්ක් දාගෙන ඉන්න නිසා ටිකක් හරි සහනයක් තියෙනවා. වෙන කරන්න දෙයක් නැති නිසා ආවේ. එලියෙ ඉඳන්ම නාගෙන තමයි ගෙට යන්නෙ.”

සමාජ දුරස්ථකරන රීති කඩන, විනයක් නැති අමනයන් ලෙස මේ ජනයාට පරිභව කරමින් අතොරක් නැතිව ගෙනයන මාධ්‍ය ප්‍රචාරයට විපරීතව ඔවුන් තුලින් පෙන්නුම් කෙරුනේ, ප්‍රමිතිගත මුඛ ආවරනයක් මිලදී ගැනීමට පවා පහසුකම් සපයා නොමැති ආන්ඩුවේ සාපරාධී නොතැකීම හමුවේ රෝගයෙන් වැලකීමට දරන වෙහෙසකර ආයාසය යි.

සමාජ-ආර්ථික වශයෙන් වරප්‍රසාදිත මෙම පරිභව කරන්නෝ තම සුවිසල් නිවෙස්වල එකිනෙකාට කායිකව දුරස්ථව සිටිමින් අවශ්‍ය ආහාරපාන සහ අනෙකුත් දෑ, අන්තර්ජාල මිලදී ගැනීම් හරහා නිවසටම සම්පාදනය කර ගනිති. මේ අතර, වෙලඳසැල්වල සීමාකෙරී ඇති භාන්ඩ, දී ඇති කෙටිකාලය තුල මිලදී ගැනීම සඳහා එකිනෙකා සමග තරග කිරීමට බහුතර ජනයා තල්ලු කෙරී ඇත. මෙම තරගයේදී  මෙම දුරස්ථකරන රීති යතාර්ථයක් නොවන බව ඉතා පැහැදිලිය.

ආදාදොල,කුරුදුවත්ත ජයසීලි

 “මිනිස්සුන්ට එකතු නොවී ඉන්නයි කිව්වට වැඩක් නෑ ආන්ඩුව ඒකට පිලිවෙලක් යොදන්න ඕන” යැයි ආඳාදොල, කුරුඳුවත්තේ ජයසීලි පැවසුවාය.

අසනීපයි, හුස්ම  අල්ලන්න බෑ. හිතට බයයි. ඒත් ආවා කන්න බොන්න ඕන නිසා. අපිට සල්ලි නැහැ නේ.  සතොසට ම ආවෙ  අඩුවට ගන්න ඕනේ  නිසා. පරිප්පු 65ට සීනි සියයට වෙන කඩ වල නෑ. මෙහෙ දෙන්නෙත් එකයි” ඇය තවදුරටත් කීවාය.

හැම කෙනෙකුට ම කියන්නට කතාවක් තිබිනි. ඔවුහු තරඟයට මෙන් එකිනෙකා පරයමින් කතා කලහ.

තත්වෙ කොහොම වෙයිද කියලා දන්නේ නැති නිසයි පරිප්පු ටිකක් සැමන් ලූනු වගේ බඩු ටිකක් අරන් තියා ගන්න ආවෙ. මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙමෙයි. සල්ලි නැති නිසයි මෙච්චර සෙනග ගොඩේ ඉන්න වෙලා තියෙන්නේ. අපිටත් මාසෙකට දෙකකට ඇතිවෙන්න බඩු මිනුම් තියාගන්න පුලුවන් උනා නම් නිතරම එන්නේ නැහැ. පොහොසතුන්ට නම් බඩු එකතු කරගන්නත් පුලුවන් කාගිල්ස් වගේ තැන්වලින් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්. දුප්පත් මිනිස්සුන්ට පන්දාහක් දෙනවලු ඒකෙන් මොකද්ද කරන්න පුලුවන්” යැයි අම්පේගම තුෂාර එක දිගටම කියාගෙන ගියේය.

දුගීන්ගේ එදිනෙදා අවශ්‍යතා ගැන ධනපති පන්තිය දරන නරුම ආකල්පය පිලිබඳ කැපී පෙනෙන උදාහරනයක් පසුගිය පස් වෙනිදා ජාතික රූපවාහිනියේ වීක්එන්ඩ් සන්ෂයින් (weekend  sunshine) වැඩසටහනට සහභාගිවූ නේචර්ස් සීක්‍රට් සමාගමේ සභාපති සමන්ත කුමාරසිංහගෙන් ප්‍රකාශයට පත්විය. එක්තරා සතොස ශාඛාවක පෝලිමේ ගිය කෙනෙකු බොම්බයි ලූනු නෑ කියා රන්ඩු කල බව තමා රූපවාහිනී නාලිකාවක දුටුබව සඳහන් කල ඔහු මෙසේ පැවසීය:

හරිනම් ඒ මිනිහට පොල්ලක් අරන් ගහන්න ඕන”

ලෝසවෙඅ වාර්තාකරුවන් මේ පිලිබඳව සඳහන් කලවිට එයට බලගතු ලෙස විරෝධය පෑ අය අතරින් එක් අයෙක් මෙසේ පැවසීය: “ඕනෑම මොහොතක ඕනෑම දෙයක් අඩුවක් නැතිව සපයාගත හැකි මේ ධනපතියො අපි ගැන හිතන විදියට අපියි මුන්ට පොල්ලෙන් ගහන්න ඕන”

වතුගෙදර ජයසිරි

 නගරයේ ප්‍රධාන සිල්ලර වෙලඳ සැලක පෝලිමේ රැඳී සිටි වතුගෙදර ජයසිරි: “බයෙන් තමයි පෝලිමේ ඉන්නේ. පෝලිමේ හිර වෙලා ගිහිල්ලා බඩු ගත්තෙ නැත්තං නිකන් තමයි ගෙදර යන්න වෙන්නේ. ආන්ඩුව කියන දේ අහලා ගෙදර හිටියත් කන්න නැතිව මැරෙනවා. කොරෝනා හැදුනත් මැරෙනවා.”

රන්දොඹේ ප්‍රදේශයෙන් පැමිනි ආශා ද ලෝසවෙඅ වාර්තාකරුවන් සමග කතා කලාය. ඇගේ සැමියා යුද හමුදාවේ සේවය කරයි. ආන්ඩුවේ සහන යනු හුදු ඝෝෂාවක් බව පෙන්වමින් ඇය මෙසේ කීවාය: “ආන්ඩුව නය ගත්ත රජයේ සේවකයන්ට සහන කාලයක් දෙනවා කිව්වා. බැංකුවට ගියා ම කියනවා රුපියල් දහ දාහට අඩු අයට විතරයි ඒ සහන දෙන්නෙ කියලා.”

දුරස් වෙන්න දුරස් වෙන්න කියල කිව්වට කිසිම වැඩපිලිවෙලක් නැහැ .පොලිසිය කීප දෙනෙක් තැනින් තැන ඉන්නවා. එච්චරයි.”

ආන්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂයේ ඉල්ලීම්  පැහැදිලි කරමින් ලෝසවෙඅ වාර්තාකරුවෝ කම්කරු පන්තියේ පිලිවෙත ඉදිරිපත් කලහ.

සෞඛ්‍ය අංශය දියුනු කිරීමට දැවැන්ත අරමුදල් යොදනු, සියලු දෙනා සඳහා නොමිලේ පරීක්ෂන හා වෛද්‍ය සේවා සපයනු, කිසිදු අංශයක කම්කරුවන්ට රැකියා අහිමි නොකරනු, අවිධිමත් අංශයේ සියලු දෙනාට, ස්වයං-රැකියාවල නියුක්ත වන්නන්ට, දුගී ගොවීන්ට හා ධීවරයන්ට පූර්න හා කොන්දේසි විරහිත මූල්‍ය ආධාර සම්පාදනය කරනු, ඇතුලු එම ඉල්ලීම් මත සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ සහ ඒවටා අවශේෂ පීඩිතයන් බලමුලු ගන්වා ගැනීමේ අත්‍යවශ්‍යභාවය වාර්තාකරුවෝ පැහැදිලි කලහ.

එය අනුමත කරමින් බලපිටියේ සුමිත් සොයිසා මෙසේ පැවසීය: “දැන් මේගොල්ලෝ නිරෝධායනය කියල කරන්නෙ ලෙඩ තියෙන මිනිස්සු ද නැති මිනිස්සුද කියලා හොයා බලන් නැතුව එකගොඩේ දාන එක. අනිවාර්යයෙන් ම වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරන්න ඕන. ඔබ කියන දේ නිවැරදි මේ වෙලාවේ ආන්ඩුව හැම සතයක් ම වියදම් කරලා හරි මිනිස්සුන්හෙ ජීවිත බේරගන්න ඕනෙ. හැම කෙනාටම නොමිලේ රෝග පරීක්ෂාව කරන්න පුලුවන් විදියක් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න ඕන.”

අම්බලන්ගොඩ සුනිල් ආරියසිරි හතලිස් පස් වසරක රාජ්‍ය සේවයේ අත්දැකීම් ඇති විශ්‍රාමිකයෙකි. ඔහු මෙම අසීරු අවස්ථාවේ දී රජයේ සේවකයන් ගේ කැපවීම බෙහෙවින්ම අගය කලේ ඔහු වටා සිටි අන් අයගේද සහයෝගය ඇතිව ය. “ඔබ පැහැදිලි කල දේ ඉතා නිවැරදි යි. මේ දැනුවත් කිරීම ගැන ස්තුතියි. එය අගය කල යුතු ය. ජය වේවා!”. ඒ හඬට පිරිස අතර සිටි කිහිප දෙනෙක්ම එක් වූහ.

 

Loading