වසංගතය මධ්‍යයේ මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යලි ඉස්මත්තට ගැනේ

කොරෝනා වසංගතයෙන් සහ ඉන් පැන නංවා ඇති සමාජ-ආර්ථික අර්බුදයෙන් මහජනතාව මුදාගැනීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීම ට එරෙහිව වැඩෙන මහජන විරෝධය මධ්‍යයේ ධනපති පාලක පන්තිය තම ජනමාධ්‍යයද මෙහෙයවා ගනිමින් නව වටයක මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනයක් අවුලුවා ඇත. 

2019 පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් කන්ඩායමක් විසින්  ක්‍රිස්තියානි දේවස්ථාන ඇතුලු ස්ථාන කීපයකට එල්ල කල ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනවර්ගයම ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් නින්දිත මුස්ලිම්-විරොධී උද්ඝෝෂනයක් මුදා හැරුනි. 

මුස්ලිම් වාර්ගිකයන්ගේ දේපොල විනාශ කරමින් සහ ඔවුන්ට අඩන්තේටිටම් කරමින් ගෙනගිය එම උද්ඝෝෂනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) මූලික භූමිකාවක් ඉටුකල අතර, එවකට පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එයට පූර්න පිටුබලය ලබාදුනි. 

මෙවර එම උද්ඝෝෂනය දියත් කෙරී ඇත්තේ වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව වගකිව යුතුය යන චෝදනාව මතයි. එම ව්‍යාජ චෝදනාව අන්තර්ගත විවිධ ප්‍රකාශයන් සහ වාර්තාවන් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල නිරන්තරව පල කෙරෙමින් පවතී. 

උද්ඝෝෂනය මුදාහැරීමට අවශ්‍ය අඩුමකුඩුම ලබාදුන්නේ වසංගතය මැඩීමේ ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන හමුදාපති ශවේන්ද්‍ර සිල්වා විසිනි.  

මාර්තු 29 වනදා අද දෙරන දහවල් පුවත් විකාශයට, හඳුනාගත් නව කොරෝනා රෝගීන් පිලිබඳ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින්,  හමුදාපති සිල්වා මෙසේ පැවසීය: “ඊයේ අකුරනෙන් රෝගියෙකු සොයා ගත්තා. පසුව අපි පුත්තලමේදී තවත් රෝගියෙක් සොයා ගත්තා. ඔහු ද බොහෝ පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වා තිබුනා. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. ස්ථාන දෙකෙහිම ඔවුන් මුස්ලිම් ජාතිකයන්”

රෝගීන් දෙදෙනාගේ ජනවර්ගය පිලිබඳව කෙරෙන මෙම විශේෂ අවධාරනය තුල මුස්ලිම් ජනයාට එරෙහි වාර්ගික අවමානයේ සියලු ඇඟවීම් පවතී. 

දෙරන නාලිකාවේ “වාදපිටිය” වඩසටහනක් අතරමැද විරාමයකදී කෙරුනු සාකච්ඡාවක වීඩියෝ පටයක් මෙි දිනවල සමාජ මාධ්‍යන්හි සංසරනය වෙයි. එහි පෙනී සිටින ශ්‍රීලපොපෙ හි හිටපු ඇමතිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ “අද රෝගීන් 20 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 19 දෙනෙක් මුස්ලිම් බැතිමතුන්. 19 ක් ?”

එපමනින් නොනවතින අලුත්ගමගේ, නාවලපිටිය ප්‍රදේශයේ මුස්ලිම් ජනයා වසංගතය මැඩීම සඳහා පනවා ඇති නීතිරීති අනුගමනය නොකරමින් වසංගත වාහකයන් ලෙස ක්‍රියාත්මකවන බව පෙන්වීමට උත්සාහ කලේය. 

අප්‍රේල් 3 වනදා, ලංකා සී නිව්ස් වෙබ් අඩවිය ඇතුලු විද්‍යුත් මාධ්‍ය ගනනාවක්, ඇඳිරි නීතිය කඩකරමින් බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක රැස්වීමක් පැවති බව සහ එය විසුරුවා හැරීමට පැමිනි  සෞඛ්‍ය නිලධාරීන්ට එහි සිටි මුස්ලිම් තරුනයන් පිරිසක් බැන වැදීමක් පිලිබඳව පුවතක් වාර්තා කලේය. ලංකා සී නිව්ස්  යනු, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙකු වන විමල් වීරවංශගේ සිංහල ස්වෝත්තමවාදී ජාතික සමගි පෙරමුනේ දේශපාලන කටහඬ යි. 

කෙසේනමුත්, පසුව හෙලිවූයේ මෙය ප්‍රබන්ධයක් බවයි. එම රැස්වීම සෞඛ්‍ය නිලධාරීන් විසින් කොරෝනා රෝගය වැලඳී ඇති බවට සැක සහිත රෝගීන් හඳුනාගැනීමට කැඳවූ එකක් බවත් එවන් බැනවැදීමක් සිදු නොවූ බවත් එම නිලධාරීහු මාධ්‍යයට පැවසූහ. රැස්වීමට ප්‍රදේශයේ ජනයාගෙන් පූර්න සහයෝගය ලැබුනු බවද ඔවුහු සඳහන් කලහ. 

මේ අතර, මුස්ලිම් වාර්ගිකයන් සිතාමතාම කොරෝනා වෛරසය ව්‍යාප්ත කරන බව පැවසෙන ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුල බහුලව සංසරන වීමට පටන්ගෙන ඇත. රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් මුස්ලිම් වාර්ගිකයන් “මරාගෙන මැරෙන බෝම්බකරුවන්” ලෙස   ක්‍රියාත්මක වන බව ඒවායෙන් සම්ප්‍රේෂනය වන පොදු අදහසයි. 

බුද්ධි අංශ නිලධාරියෙකු සතුබව ඇඟවෙන ෆේස්බුක් පිටුවක සඳහන් කොට තිබුනේ කොරෝනා ආසාදිත මුස්ලිම් වාර්ගිකයන්, අන් අය ආසාදනය කිරීමේ අරමුනෙන් සිතාමතාම තමාගේ කෙල ප්‍රසිද්ධ ස්ථානවල බිත්ති සහ තාප්පවල අතුල්ලා දමන බවයි. 

මෙම මුස්ලිම්-විරෝධී ප්‍රලාපයන් සම්බන්ධයෙන් උත්සුක වූ ශ්‍රී ලංකාවේ මාධ්‍ය විශ්ලේෂකයෙකු වන නාලක ගුනවර්ධන අල්ජසීරා පුවත් සේවයට පවසා තිබුනේ කොවිඩ්-19 වසංගතය මධ්‍යයේ ඉස්ලාම් විරෝධී හැඟීම් සහ වෛරී කථාවන් “ශ්‍රී ලංකාව තුල යලිත් හිස ඔසවන” බව දැකීම “අතිශයින් කනස්සල්ලට හා කනගාටුවට” කරුනක් බවයි.

ලංකාවේ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරුන් හය දෙනෙක් අප්‍රේල් 5 වනදා කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගතයුතු පියවර පිලිබඳව හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා ට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ ට යැවූ ලිපියක ද මෙම උත්සුකය ප්‍රකාශයට පත්විය.

“සමාජ මාධ්‍ය හරහා ජනවාර්ගික අසමගිය වැපිරීම වැඩි වෙමින් පවතී. රූපවාහිනී නාලිකා ද මෙම අවමන්කිරීම් ප්‍රවර්ධනය වන අයුරින් සිද්ධීන්  ඉස්මතු කරන බවක් පෙනේ. ඔවුන් යම් තත්වයන් වගකීමකින් වාර්තා කල යුතුය. අවමන්කිරීමේ සහ ඇතැම් කන්ඩායම්වලට දොස් පැවරීමේ ප්‍රවනතාව සියලු දෙනාට විනාශකාරි ප්‍රතිඵල අත්කර දෙමින් වසංගතය පිලිබඳ අවධානය යටපත්කල හැකිය.” 

මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය මෙලෙස නව වටයකින් ඉස්මත්තට ගැනීමේ පූර්න වාසිය අත්පත්කර ගන්නේ ධනපති පාලක පන්තිය යි. ඉතිහාසය පුරා තම පාලනයට එරෙහිව මහජන විරෝධය උත්සන්න වන සෑම අවස්ථාවකම දෙමල-විරෝධී හෝ මුස්ලිම්-විරෝධී වර්ගභේදයන් අවුලුවාලීමට ඔවුහු දැනුවත්ව ක්‍රියාත්මක වී ඇත. 

වසංගත අර්බුදය පැමිනියේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අඛන්ඩව වැඩෙමින් පැවති පෙන්ති අරගල, රාජපක්ෂ ආන්ඩුව යටතේ වඩාත් උත්සන්න වෙමින් පැවතියදීය. වසංගතය වේගයෙන් පැතිරෙද්දී රාජපක්ෂ ආන්ඩුව අතිමහත් කාලයක් කා දැමීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතය මැඩීමේ ප්‍රධානතම පියවර ලෙස නොකඩවා අවධාරනය කරන මහා පරිමාන පරීක්ෂනයන්, රෝහල් ධාරිතාවන්ගේ ක්ෂනික ප්‍රසාරනයන් සහ අත්‍යවශ්‍ය ආරක්ෂක උපකරන සඳහා සහ මුදල් වෙන් කිරීම ආන්ඩුව ආරම්භයේ සිටම ප්‍රතික්ෂේප කරමින් සිටී. 

අනෙක් අතට, කම්කරු-පීඩිත මහජනතාවට අත්‍යවශ්‍ය ආහාරපාන සහ අනෙකුත් දෑ සම්පාදනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රනයක් ක්‍රියාත්මක නොකරම, ආන්ඩුව ඔවුන් තම නිවෙස් වලට කොටුකොට තබා ඇත. 

කැපී පෙනෙන කරුනක් වන්නේ, මහජනතාවගේ ජීවිත රැකගැනීමට මුදල් වෙන් නොකරන ආන්ඩුව, වසංගතය හේතුවෙන් අර්බුදයට පත්ව ඇති  සමාගම් වලට බිලියන සංඛ්‍යාත සහක පැකේජයන් ප්‍රදානය කරමින් සිටීමයි. 

වසංගතය හමුවේ පරදුවට තැබී ඇති තම ජීවිත පිලිබඳව ආන්ඩුවේ සාපරාධී නොතැකීම හේතුවෙන් කම්කරුවන් සහ පීඩිතයන් අතර පැනනැගී ඇති විරෝධය සමාජ පිපිරීමක් දෙසට වේගයෙන් වර්ධනය වෙමින් පවතී. මුස්ලිම්-විරෝධය යලි අවුලුවා ඇත්තේ මෙම මහජන විරෝධය වාර්ගික රේඛා ඔස්සේ අපසරනය කිරීමේ අරමුනෙනි.

අනෙක් අතට, මුස්ලිම් දේශපාලන පක්ෂ තම වාර්ගික දේශපාලනය ඉස්මත්තට ගැනීම සඳහා මෙම මුස්ලිම්-විරෝධී උද්ඝෝෂනය යහමින් යොදා ගනිමින් පවතී.

වැඩෙන මහජන විරෝධයට කල්තියාම සූදානම් වූ ජනාධිපති රාජපක්ෂ, තමා බලයට පැමිනි දා සිට වේගවත් කල මිලිටරීකරනය නව ඉහලකට නංවා ගැනීම සඳහා වසංගතය වහා ඩැහැ ගත්තේය. වසංගත මර්දනයේ ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස හමුදාපති පත්කර ගනිමින් සමස්ත දිවයිනම අප්‍රකාශිත මිලිටරීකරනයකට ලක් කෙරී පවතී.

මිලිටරීකරනයේම කොටසක් ලෙස, අසත්‍ය ප්‍රචාර නැවැත්වීමේ කඩතුරාව යටතේ සමාජ මාධ්‍ය තුල ආන්ඩුවට විරුද්ධව අදහස් දක්වන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමට ආන්ඩුව නියෝග කලේය. ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම යටතේ විසිදහසකට අධික ප්‍රමානයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එසේ අත්අඩංගුවට ගත් අය නිරෝධායන මධ්‍යස්ථාන වලට යවන බවට  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන ප්‍රසිද්ධියේ තර්ජනය කරයි. ඇඳිරි නීතිය පැනවීමද ඇතුලුව මෙම සියලුම පියවර නීති-විරෝධී ය.  

එක්සත් ජනපදයේ සිට ඉන්දියාව දක්වා ලොවපුරා පාලක පන්තීන් වසංගතය ඩැහැගනිමින් මිලිටරිවාදය සහ වර්ගවාදය වඩාත් ඉස්මත්තට ගනිමින් ආඥාදායකත්වයන් දෙසට යන ගමන වේගවත්කොට ඇත. ලංකාව තුලද ප්‍රකාශයට පත්වන්නේ එම ජාත්‍යන්තර ප්‍රපංචය යි.

Loading