ඉදිරිදර්ශන

ප්‍රබන්ධය, යතාර්ථය හා ධනවාදයේ ගෝලීය අර්බුදය

මෙම ලිපිය අප්‍රේල් 7වනදා ඉංග්‍රීසි බසින් පලවිය

අප්‍රේ්ල් 6දා එකිනෙකට වෙනස් ලෝක දෙකක් පෙනෙන්නට තිබුනි: එකක් යථාර්ථය මත පදනම් වූ අතර අනෙක ප්‍රබන්ධය මත පදනම් විය.

යථා ලෝකය තුල කොවිඩ්-19 වසංගතයේ මාරාන්තික ප්‍රචන්ඩත්වය එක්සත් ජනපදය ඇතුලත හා භූගෝලය පුරා දිගට ම පැවතුනි. ප්‍රවෘත්ති මත ආධිපත්‍යය දරන ලද්දේ පිරී ඉතිරී ගිය රෝහල්, හෙම්බත් වුනු වෛද්‍යවරු, හෙද හෙදියන් හා උපකාරක කාර්ය මන්ඩල සහ ආතුර හා මිය යමින් සිටි රෝගීන් පිලිබඳ වාර්තාවන් ය.

එහෙත්, ගෝලීය කොටස් හුවමාරු හා මූල්‍ය වෙලඳපොලවල ප්‍රබන්ධ ලෝකය තුල, අවමගුලක දී මධුපානෝත්සවයක් පවත්වන්නන් මෙන් සුරැකුම්පත්වලට බිලියන ගනන් වස්සවා ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය සියයට 7.5කට ආසන්න ව ඉහල යැවූ ආයෝජකයන් අතර පාලනය කල නො හැකි ප්‍රමෝදයක මානසිකත්වයක් රජකලේ ය. ජර්මානු ඩැක්ස් (සියයට 6ක ඉහල යාමක්) හා බ්‍රිතාන්‍ය එෆ්ටීඑස්ඊ (සියයට 3ට වඩා) යන දර්ශකයන් විසින් ද සැලකිය යුතු ඉහල යාම් වාර්තා කරන ලදී.

මෙම ලජ්ජා සහගත. හා නිර්ලජ්ජිත සැමරුම දිරිගන්වන්නේ කුමක් විසින් ද?

අප්‍රේ්ල් 6දා එක්සත් ජනපදයේ මරන ගනන 10,000 පසුකලේ ය. ඉරිදා නිව් යෝක් නගරයේ නව මරන ගනනේ දෛනික එකතුව තරමක් පහල ගිය ද මෙම වැදගත් නාගරික මධ්‍යස්ථානය තුල වසංගතයේ ප්‍රචන්ඩත්වය එහි ඉහල ම අගය පසුකර ඇති බවට පැහැදිලි සාක්ෂි නැත.

තව ද අනෙකුත් ප්‍රධාන නාගරික මධ්‍යස්ථාන හා වඩා පොදුවේ ගත් කල එක්සත් ජනපදයේ විශාල පදාසයක් වසංගතයේ සම්පූර්න බලය තවමත් අත්දැකීමට නියමිත ය යන්න නිරපේක්ෂ වසයෙන් නිශ්චිත ය. රෝගය පරීක්ෂා කිරීම කොතරම් අසංවිධිත හා ප්‍රාථමික ද යත්, කම්කරුවන්ට පෙරලා තම රැකියාවන්ට යා හැකි වන්නේ කවදාදැයි යන්න ගැන විශ්වාසවන්ත පුරෝකථයන් කල හැකි වෛෂයික දත්ත නො පවතී.

ආර්ථික තත්ත්වය ඛේදජනක වන අතර පිරිහෙමින් පවතී. මාර්තු 6දා සීඑන්බීසී සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ෆෙඩරල් රිසර්ව් බැංකුවේ හිටපු සභාපතිනි ජැනට් යෙලන් එක්සත් ජනපදය “නිරපේක්ෂ ව ම තිගැස්සෙනසුලු” ඇදවැටීමක් මධ්‍යයේ පවතින බව කීවා ය. විරැකියාව සියයට 13ක් තරම් ඉහල බව යෙලන් තක්සේරු කල අතර, එක්සත් ජනපද ආර්ථිකයේ සමස්ත හැකිලීම දැනට මත් සියයට 30කි.

අප්‍රේ්ල් 6දා තම වාර්ෂික කොටස් කොටස්හිමි ලිපිය තුල “ගැඹුරු අවපාතයක්’ අපේක්ෂා කරන බව ලියූ ජේපීමෝගන් චේස් ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් යෙලන්ගේ අදහස් තහවුරු කලේ ය. ඩිමොන්ට අනුව දල දේශීය නිෂ්පාදනය දෙවන කාර්තුවේ දී සියයට 35කින් තරම් ඇදවැටිය හැකි අතර, වසරේ ඉතිරි කාල පරිච්ඡේදය පුරා ඇදවැටීම පැවතීමේ හැකියාව ඇත.

එක්සත් ජනපදයෙන් හා බටහිර යුරෝපයෙන් ඔබ්බේ ගෝලීය ආර්ථිකයෙහි බොහෝ කොටස් නිදහසේ කඩා වැටෙමින් තිබේ. ගෝලීය සැපයුම් දාමයන්ට හා ආහාර නිෂ්පාදනයට තර්ජනය කරමින්, ලෝකයේ ජනගහනයෙන් සියයට 17ක වාසස්ථානය වන ඉන්දියාවට අගුලුදමා තිබේ. රට “සමහර විට නිදහසෙන් පසු එහි විශාලතම හදිසි අවස්ථාවට” මුහුන දෙන බව ඉන්දියානු රිසර්ව් බැංකුවේ හිටපු සභාපති රගුරාම් රාජන් මාර්තු 6දා කීවේ ය.

ජපානය තුල කොරෝනා වෛරස් ආසාදිත වීම් සංඛ්‍යාව නාටකාකාර ව ඉහල යාම, අවසානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට අගමැති ෂින්සෝ අබේට බලකර ඇති අතර, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ රටෙහි ආර්ථික ක්‍රියාකාරීත්වයෙන් විශාල කොටසක් වසාදැමීම ය.

ආර්ථික හා සෞඛ්‍යාරක්ෂන අර්බුදයට ගැඹුරු වන දේශපාලන අර්බුදය එක් වේ. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති එක්සත් රාජධානියේ අගමැති බෝරිස් ජොන්සන්, රෝහල්ගත කරන ලදුව මාර්තු 5දා සවස දැඩි සත්කාරක ඒකකයට යොමු කරනු ලැබී ය. ඒ හා සමග ම, 93 හැවිරිදි එලිසබෙත් රැජින, ඇයගේ 68 වසරක පාලන කාලය තුල හතරවන වතාවට (වාර්ෂික නත්තලට අමතර ව) රූපවාහිනී කතාවක් හරහා ප්‍රචන්ඩ ලෙස සමස්ත රට ඇමතුවා ය.

අප්‍රේ්ල් 6දා උදේ කොටස් හුවමාරුව ව්‍යාපාර සඳහා විවෘත වන විට, යුරෝපයේ මූල්‍ය මධ්‍යස්ථානය වන ලන්ඩනය තුල දැඩිව රෝගීව සිටින අගමැතිවරයා රෝහල්ගත කර තිබීම, කොටස් හුවමාරුව අපාලිත තත්ත්වයකට පත්කර තිබෙනු ඇතැයි යමෙක් අපේක්ෂා කලා වන්නට පුලුවන.

එහෙත් එවැනි කිසිවක් සිදු නො වී ය. උද්‍යෝගයෙන් යුතුව වෙලඳපොලට රොක්වුනු ආයෝජකයෝ, ඔවුන්ගේ රෝගී අගමැතිවරයා වෙනුවෙන් කඳුලක් හෙලීමට මිනිත්තුවක් වත් නැවතුනේ නැත.

එවන් ඛේදනීය හා තර්ජනීය කොන්දේසි මධ්‍යයේ ගෝලීය වෙලඳපොලවල් ප්‍රීතියෙන් පිනා යාම යමෙක්ට විස්තර කල හැක්කේ කෙසේ ද?

පලමුව, වසංගතයේ පැතිර යාම පිලිබඳ ව වෝල් වීදියට කවර නුරුස්නාවක් තිබිය හැකි වුවත්, ගිනිය නො හැකි ට්‍රිලියන ගනන් පොම්ප කරමින් එක්සත් ජනපද ආන්ඩුව එහි සමපේක්ෂන ක්‍රියාකාරීත්වයන්ට දිගට ම සහයෝගය දෙනු ඇතැයි යන බලාපොරොත්තුව විසින් එම කාංසාව මගහරවනු ලබයි. විශේෂයෙන් ම එක්සත් ජනපදයේ ෆෙඩරල් රිසර්ව් මහ බැංකුව විසින් වෙලඳපොලවල් වෙත සම්පත් ඍජු ව මාරු කිරීම ඉතා හොඳින් සිදු වේ. පසුගිය මාසයේ ෆෙඩරල් රිසර්ව් ශේෂ පත්‍රය ඩොලර් ට්‍රිලියන 1.6කින් ඉහල ගිය අතර එය එක්සත් ජනපදයේ සමස්ත මාසික දල දේශීය නිෂ්පාදනයට සමාන ය. බැංකු හා සංගතවලින් වත්කම් හා නය මිල දී ගැනීම සඳහා සෑම දිනක ම දස බිලියන ගනනක් සංඛ්‍යාංකමය ලෙස නිෂ්පාදනය කරනු ලැබේ.

වෙනත් වචනවලින් කියතොත්, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව ක්‍රියාවට දැමුනු පිලිවෙත් නව මට්ටමකට ගනු ලබයි. දශකයකට වැඩි කාලයක් තිස්සේ වෝල් වීදියේ සමපේක්ෂන උමතුවට මුදල් සම්පාදනය කරනු ලැබ තිබෙන්නේ, එක්සත් ජනපද ෆෙඩරල් රිසර්ව් බැංකුවේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” (මුදල් අච්චු ගැසීමේ) මෙහෙයුම් හරහා මුදල් එන්නත් කිරීම හා අඩු පොලී අනුපාත යටතේ ය. 2008 අර්බුදයෙන් ඉක්බිති ව, ෆෙඩ් බැංකුව අනෙක් බැංකුවලින් උකස් සුරැකුම්පත් හා වෙනත් වත්කම් මිල දී ගැනීම මගින් එහි ශේෂ පත්‍රයට ඩොලර් ට්‍රිලියන 4ක් එක් කලේ ය.

සංගත කොටස් ආපසු මිලට ගැනීමේ ස්වරූපයෙන් වෙලඳපොලවලට යලි ආයෝජනය කරන ලද අවසන් නො වන මූල්‍ය ධාරා මෙයට එකතු කරනු ලැබී ය. සති අන්තයේ පලකල ලිපියක වෝල් ස්ට්‍රීට් ජර්නලය  මෙසේ ලියයි:

රෙනෝල්ඩ්ස් ස්ට්‍රැටජි නමැති පර්යේෂන සමාගමේ ප්‍රධාන වෙලඳපාල මූලෝපායඥ බ්‍රයන් රෙනෝල්ඩ්ස් පවසන පරිදි, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව කොටස් වෙලඳපොලට මුදල් ඇතුලත් වූ ශුද්ධ මූලාශ්‍රය වී ඇත්තේ සංගත කොටස් ආපසු මිලට ගැනීම යි. හිඟ කොටස් ප්‍රමානය අඩුකිරීම සහ සමාගමක සමස්ත ලාබය නො වුනත් එහි කොටස්මය ඉපැයීම් ඉහල දැමීම මගින්, විවෘත වෙලඳපොලේ දී සමාගම් ඒවායේ ම කොටස් යලි මිලට ගැනීම වන ආපසු මිල දී ගැනීමේ වැඩපිලිවෙලවල් හරහා කොටස් මිල ඉහල දැමීමට උදවු විය හැකි ය. 

2009 ආරම්භයේ පටන් ආපසු මිල දී ගැනීම් කොටස් වෙලඳපොලට ශුද්ධ වසයෙන් ඩොලර් ට්‍රිලියන 4ක් එක්කර ඇති බවට රෙනෝල්ඩ්ස් මහතා තක්සේරු කරයි. හුවමාරු වෙලඳ අරමුදල්, විදෙස් මිල දී ගන්නන්, විශ්‍රාම වැටුප්, ආවරන අරමුදල් හා නිවහන් ඇතුලු අනෙක් සියලු මූලාශ්‍රවල ප්‍රතිපදානයන්, ආසනන් වසයෙන් ශූන්‍ය වී යයි ඔහු නිගමනය කලේ, ෆෙඩරල් රිසර්ව් බැංකුවේ කාර්තුමය අරමුදල් ගලා ඒමේ වාර්තා මත පදනම් වෙමිනි. එස්ඇන්ඩ්පී 500හි වෙලඳපොල අගය ඩොලර් ට්‍රිලියන 20.9කි.

සම්පින්ඩනය කොට දක්වතොත්, ආපසු මිල දී ගැනීමේ යාන්ත්‍රනය හරහා ලාබ මට්ටම්වල වැඩිවීමකින් තොර ව පවා කොටස් මිල නිමක් නැතිව ඉහල දමනු ලැබිය හැක. කොංග්‍රසයෙන් සම්මත කල පනතෙන් ඉක්බිති ව, ෆෙඩරල් රිසර්ව් බැංකුවේ නව මැදිහත් වීම වෝල් වීදියට යලි සහතික කර ඇත්තේ, දරුනු ආර්ථික හැකිලීමක කොන්දේසි යටතේ කොටස් වටිනාකම් ඉහල දැමීමට සහයෝගය දීමට අනවරත ද්‍රවශීලතාව තිබෙනු ඇති බව යි.

ෆෙඩ් බැංකුව දැනට මත් සංගත නය මිලට ගනිමින් සිටින අතර, ඉතිහාසයේ පලමු වතාවට කොටස් ඍජු ව මිලට ගැනීම ආරම්භ කිරීමේ හැකියාව යෙලන් මාර්තු 6දා ඉස්මතු කලා ය. ඇය සමග දිගට ම සන්නිවේදනයේ යෙදෙන ෆෙඩරල් රිසර්ව් නිලධාරීන්, ඉතා අන්තරායකාරී “පරන සංගත බැඳුම්කර” මිලට ගැනීම ගැන සිතමින් සිටින බව ද යෙලන් ඉඟිකලා ය.

වෝල් වීදියේ නැගීම පිටුපස තිබෙන දෙවන සාධකය වන්නේ, දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය විසින් හැකි ඉක්මනින් ආපසු වැඩට යාමක් සඳහා ජාත්‍යන්තර ව ගෙන යන උද්ඝෝෂනයට එය දක්වන උද්‍යෝගිමත් ප්‍රතිචාරය යි.

අවසාන විග්‍රහයේ දී, නයකර හා නය යෝධ ලෙස හා උද්ධමනීය ලෙස ප්‍රසාරනය වීම හරහා නිර්මානය කරනු ලබන ධනය වන ව්‍යාජ ප්‍රාග්ධනයේ මන්දිරයට, කම්කරු පන්තියේ ශ්‍රම ශක්තිය සූරාකෑම යොදාගන්නා හා අවශ්‍ය කරන්නා වූ සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියෙන් මුලුමනින් ම විමුක්ත විය නො හැක. එම සැබෑ ක්‍රියාවලිය නවතින්නේ නම්, කවර හෝ හේතුවක් නිසා ව්‍යාජ ප්‍රාග්ධනයේ ව්‍යුහය බිඳවැටේ.

වසංගතයේ තත්ත්වය නො තකා ආපසු වැඩට යාමක් සඳහා වන කැඳවීම් ධනපති මාධ්‍ය විසින් ජාත්‍යන්තර ව ඉස්මත්තට ගෙන ඇත්තේ මේ නිසා ය. තීව්‍ර වුනු සූරාකෑමේ කොන්දේසි යටතේ නියමිත කලට කලින් වැඩට යාමක හැකියාව මාර්තු 6දා වූ ප්‍රමෝදය ජනනය කලේ ය. 

ඇත්ත වසයෙන් ම මෙම ප්‍රමෝදය කල් නො පවතිනු ඇත. ප්‍රබන්ධය වෙනුවට යථාර්ථය සිද්ධීන්ගේ ගමන් මාවත නීර්නය කරයි.

ප්‍රතිවිරුද්ධ පන්තීන්ගේ පන්ති ගැටුම හා තර්කනය සුවිශේෂී ලෙස ඉදිරියට දමනු ලැබේ: පාලක පන්තිය පැත්තෙන් ගත්කල, එය එහි ධනය සුරක්ෂිත කරගැනීම, අනාරක්ෂිත කොන්දේසි යටතේ කම්කරුවන් ආපසු වැඩට යැවීම හා සමාජ සුභසාධනවල ඉතුරු පහදු වුනු යමක් වෙතොත් එය ඉරාදැමීම පිලිබඳ ප්‍රශ්නයකි. කම්කරු පන්තිය පැත්තෙන් ගත්කල, එය වනාහි, ජීවිත රැකගැනීම, අත්‍යවශ්‍ය නො වන සියලු නිෂ්පාදන නැවැත්වීම හා පුද්ගලික ලාබය වෙනුවට සමාජ අවශ්‍යතාවේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිව්‍යුහගත කිරීම පිලිබඳ ප්‍රශ්නයකි.

එක් මාවතක් ආඥාදායකත්වයට පාර කපන අතර අනෙක සමාජවාදී විප්ලවයට මග පෙන්වයි. අපගේ යුගයෙහි අතිමූලික යථාර්ථයේ මර්දනය කල නො හැකි සමාජ හා දේශපාලනික තර්කනය වන්නේ මෙය යි: ලෝක ධනවාදයේ ගෝලීය අර්බුදය හා මරලතෝනිය යි.

කතුවරු පහත ලේඛන නිර්දේශ කරති.

2008 සිට “කොටස් වෙලඳපොලට මුදල් ගලා යන ප්‍රධාන මූලාශ්‍රය” වුනේ කොටස් යලි මිල දී ගැනීම්ය

කම්කරු පන්තිය, සමාජවාදය සහ වසංගතයට එරෙහි සටන

 

Loading