නැගෙන සමාජ විරෝධයට එරෙහිව ශ්‍රී ලංකාවේ අගමැති කොවිඩ්-19 ට එරෙහි “එකමුතුව” සඳහා ආයාචනා කරයි

මෙම ලිපිය 2020 අප්‍රේල් 11 දින ඉංග්‍රීසි බසින් පලවින.

මාර්තු 7දා ජාතිය අමතා රූපවාහිනියෙන් කල කතාවක දී, ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ කොරෝනා වෛරසයට එරෙහි ව සටන් කිරීමට “එකමුතුවන” ලෙස ආයාචනා කලේ ය. “අපට ඇත්තේ කොවිඩ් -19 නමැති එක් සතුරෙක් පමනක්” යයි ප්‍රකාශ කල ඔහු “අවධානය, කැපවීම හා විනය” ඉල්ලා සිටියේය.

මාරාන්තික හා පහසුවෙන් බෝ වන වෛරසයට එරෙහි ව සටන් කිරීමට ආන්ඩුව ගෙන ඇති සොච්චම් පියවරයන්, “යෝධ සහන පියවරයන්” යි රාජපක්ෂගේ කතාවේ දී ව්‍යාජ ලෙස විස්තර කරනු ලැබී ය. එය වනාහි කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන කෝපය අපසරනය කිරීමේ මංමුලා සහගත උත්සාහයකි.

ශ්‍රී ලංකාවේ අගමැති මහින්ද රාජපක්ෂ (ස්තුතිය: විකිමීඩියා කොමන්ස්)

සමහර ප්‍රදේශවල පැය කිහිපයකට ඉවත් කිරීම් හැරුනු විට, මාර්තු 18දා පටන් ශ්‍රී ලංකාව පවතින්නේ සම්පූර්න අගුලු දැමීමක් යටතේ ය. එහෙත් ආහාර හා ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට මනා සැලසුම් යොදා නොමැති නිසා, රට පුරා කම්කරුවෝ හා දුගීහු ගැඹුරු වන අන්ත දුෂ්කරතාවන්ට මුහුන දෙති.

පුද්ගලික හා ස්වයං-රැකියා අංශවල කම්කරුවන් ලක්ෂ ගනනක් කිසිදු ආදායමකින් තොර ව ග්‍රාමීය ප්‍රදේශවලට තල්ලු කෙරී ඇති අතර, ගම්බද ප්‍රදේශවල දුගී ගොවීන්ට ඔවුන් නිෂ්පාදනය කරන දේවල් විකුනා ගැනීමට ක්‍රමයක් නැත.

කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට සුදුසු උපකරන හා පහසුකම් නො දුන හොත් වැඩ වර්ජනය කරන බවට, හෙදියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සමෘද්ධි නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් පසුගිය සති දෙක තිස්සේ තර්ජනය කර ඇත. නමුත්  ආන්ඩුව මහ ව්‍යාපාරිකයන්ට රුපියල් බිලියන ගනන් ප්‍රදානය කරන අතර, පාලක ප්‍රභූව හා ධනවත් මිනිසුන් අතලොස්සක් සුඛෝපභෝගී ලෙස ජීවත් වෙති.

නවතම නිල සංඛ්‍යාලේඛනවලට අනුව කොවිඩ් -19 හේතුවෙන් හත්දෙනෙකු මියගොස්, 197 දෙනෙකුට රෝගය වැලඳී ඇත. දහස් ගනනක් දෙනා නියමිත මධ්‍යස්ථානවල, නිවෙසවල් හෝ හුදකලා ගම්මානවල නිරෝධායනය යටතේ පසු වෙති. 

ලොව පුරා ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් මෙන් ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ද දැනට 100,000 ඉක්මවා ඇති දැවැන්ත ගෝලීය මරන සංඛ්‍යාව සහ මිලියන 1. 6ට වැඩි දෙනෙකු රෝගීවීම හේතුවෙන් කම්පනයට පත් ව සිටිති. මෙම ව්‍යසනය  සිදුවීමට ඉඩ දී සිටින්නේ කෙසේද? මන්ද? යැයි ඔවුහු ප්‍රශ්න කරති.

තම ගෝලීය සහකරුවන් හා ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) මෙන් ලංකාවේ ද බොහෝ  විද්‍යාඥයෝ හා වෛද්‍ය විශේෂඥයෝ, වසංගතය පරාජය කිරීම පිනිස මහා පරිමාන පරීක්ෂන සහ වෛද්‍ය හා මූල්‍ය සම්පත් පූර්න-පරිමානයෙන් බලමුලුගන්වන ලෙස ඉල්ලති. ප්‍රමානවත් සම්පත් වෙන් කිරීමට ආන්ඩුව අකමැති වන්නේ මන්දැයි සමහරු විවෘත ව ප්‍රශ්න කරති.

“එකමුතුව” හා “විනය” සඳහා රාජපක්ෂ ආයාචනා කරන්නේ මෙම නැගෙන විරුද්ධත්වයට එරෙහිව ය. .“එකමුතුව” සඳහා ඔහු කරන විධානයන්, ආන්ඩුවේ අප්‍රමානවත් පියවරයන් පිලිබඳ ව උත්සුකතා පලකිරීමෙන් මහජනයා වැලැක්වීමටත් වංසගතය හා ධනපති ලාබ පද්ධතිය විසින් නිර්මානය කර ඇති විනාශය පිලිගැන්නවීමටත් දරන උත්සාහයකි.

මහජනයා රැවටීමට උත්සාහ දරමින් කොලඹ ආන්ඩුව වසංගතයට ක්ෂනික ව ප්‍රතිචාර දැක්වූ බව අගමැතිවරයා කියා සිටියේ ය. “මෙම වෛරසය හඳුනාගත් පලමු මොහොතේ පටන් ම ජනාධිපති (ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ) හා ආන්ඩුව අපේ මහජනයාට සිදුවන්නේ කුමක් දැයි යන්න ගැන විශාල තැකීමකින් යුතු ව කටයුතු කලා” යි ඔහු ප්‍රකාශ කලේ ය.

මෙය බොරුවකි. ප්‍රධාන ධනේශ්වර රටවල ආන්ඩු මෙන් ම, ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයන් ද වෛරස් වසංගතයන් පිලිබඳ ව දශක ගනනක් තිස්සේ වෛද්‍ය විශේෂඥයන් විසින් කරන ලද අනතුරු ඇඟවීම්වලට අවධානය යොමු කිරීමට අසමත් විය.

ඔහුගේ ආන්ඩුව යෝධ සහන පැකේජ සම්පාදනය කර ඇති බව රාජපක්ෂ කීවේ ය. “මේ කාල පරිච්ඡේදයේ දුෂ්කරතා දරාගැනීම සඳහා උදවු වීමට අපි දැනට මත් මිලියන පහකට අධික අපේ පුරවැසියන්ට ඍජු සහන ලබා දී තිබෙනවා” යි ඔහු කීවේ ය. මෙය ප්‍රෝඩාවකි. රාජපක්ෂගේ ගනන් හිලවුවලට දැනට මත් සොච්චම් මාසික දීමනාවක් ලබන වැඩිහිටියන්, ආබාධිතයන්, වකුගඩු රෝගීන් හා විශ්‍රාම වැටුප් ලබන ගොවීන් ඇතුලත් වේ.

ආන්ඩුව කර ඇති එකම දෙය වන්නේ මාසික දීමනාවන් රුපියල් 5,000 දක්වා ඉහල දැමීමයි- එම දීමනාව මාසයකට එක අයකුට ආහාර සපයාගැනීමට වත් ප්‍රමානවත් නැත. සමෘද්ධි සහනාධාර ලාභීන් මිලියන 1.7කට වාරික දෙකකින් ගෙවනු ලබන රුපියල් 10,000ක නයක් ලැබෙනු ඇත. සමහර දුගීන් ද රුපියල් 5,000ක දීමනාවක් ලබනු ඇති වුවත් නිශ්චිත ප්‍රතිලාභීන් ගනන් නිවේදනය කරනු ලැබ නැත.

රාජපක්ෂ ඉදිරිපත් කරන සහනාධාර ලබන්නන්ගේ ලැයිස්තුවට මිලියන 1.5ක් වන රජයේ සේවකයන්ට හා විශ්‍රාමිකයන් 645,000ට පඩි ගෙවීම ද ඇතුලත් වේ. ත්‍රී-රෝද රියැදුරන්, පාසල් වෑන් රථ රියැදුරන් ඇතුලු ස්වයං-රැකියාවල නිරත කම්කරුවන්ට ලබා දෙනු ඇත්තේ කල්බදු සඳහා වන නය සහන කාලයක් පමනි. තව ද රැකියා අහිමි වීමේ අද්දර සිටින දසදහස් ගනනක් වන පුද්ගලික අංශයේ කම්කරුවන් ගැන රාජපක්ෂ කිසිවක් සඳහන් කලේ නැත.

රාජපක්ෂගේ කතාව හෙලිදරව් කලේ සෞඛ්‍ය කම්කරුවන් කෙරෙහි ආන්ඩුවේ අවඥාවයි. “මුඛ ආවරන තමන්ගේ ම අතින් මසාගෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැමිනෙන වෛද්‍ය කාර්ය මන්ඩලයක් සිටීම අපට ආශීර්වාදයක්” යි ඔහු කීවේ, හරියට ප්‍රාමනවත් පුද්ගලික ආරක්ෂක උපකරන රහිත ව වැඩකිරීම අනෙක් රටවල වෛද්‍ය කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කිරීම නීති-විරෝධී වන්නාක් මෙනි.

ලොව පුරා වෛද්‍ය කම්කරුවන් මෙන්ම  මෙරට සෞඛ්‍ය කම්කරුවෝ ද තම රෝගීන් රැකගැනීමට ධෛර්යයවන්ත ලෙස සටන් කරමින් සිටිති. පුද්ගලික ආරක්ෂක උපකරන හා අනෙකුත් පහසුකම් ඉල්ලා වර්ජන ඇතුලු කාර්මික ක්‍රියාවන්ට යොමු වීමට ඔවුන්ට සෑම අයිතිවාසිකමක් ම ඇත.

රාජපක්ෂලා නායකත්වය දරා ඇති ආන්ඩු ඇතුලු අනුප්‍රාප්තික ආන්ඩු, සෞඛ්‍ය වියදම් කප්පාදු කරමින් හා ලාබ උපදවන පුද්ගලික සෞඛ්‍ය කර්මාන්තය නංවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු පියවරයන් අනුකම්පා විරහිත ලෙස ක්‍රියාවට දමා ඇත්තේ, කොලඹ පාලනයේ 30-අවුරුදු දෙමල-විරෝධී යුද්ධයට රුපියල් බිලියන ගනන් යොදවන අතරේ ය.

කොරෝනා වෛරස් වසංගතය පලමුවරට වැලඳුනු විට වසංගත රෝග රෝහල -එවැනි රෝගවලට ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහල- සතුව හදිසි ප්‍රතිකාර අංශයේ තිබුනේ ඇඳන් හතරක් පමනි. මේ දක්වා එය යන්තම් ඇඳන් 18ක් දක්වා වැඩිකරනු ලැබ ඇත.

වෛරසය පැතිර යාම වැලැක්වීමට මහා පරිමාන පරීක්ෂන හා අනෙකුත් පියවරයන් අවශ්‍ය බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ  අධ්‍යක්ෂ ජනරාල්වරයා කල ආයාචනාවන් ගැන රාජපක්ෂ කිසිවක් කීවේ නැත. ඒ වෙනුවට අගමැතිවරයා කියා සිටියේ ඩබ්ලිව්එච්ඕ ප්‍රධානියා ශ්‍රී ලංකා ජනාධිපතිගේ පියවරයන් ප්‍රශංසාවට ලක්කර තිබුනු බව යි.

රාජපක්ෂගේ පූච්චානම්වලට පිටුපසින්, වසංගතය නිසා තියුනු ලෙස ගැඹුරු වෙමින් ඇති රටෙහි ආර්ථික අර්බුදයේ බර මිලියන ගනනක් වන කම්කරුවන් හා ගම්බද දුගීන් මත පැටවීමට කොලඹ ආන්ඩුව සූදානම් වෙමින් සිටී.

යුරෝපයට කරන ඇඟලුම් අපනයන වේගයෙන් ඇදවැටීම, සංචාරක ඉපැයීම් කඩාවැටීම සහ රටෙහි ප්‍රධාන විදේශ විනිමය උපයන්නන් වන ඉතාලියේ හා මැද පෙරදිග සංක්‍රමනික කම්කරුවන්ගේ ප්‍රේෂන ගෙවීම් ඇදවැටීම ආදියෙන් ආර්ථිකය මිරිකී ඇත.

කොලඹ ආන්ඩුව මෙයට ප්‍රතිචාර දක්වා ඇත්තේ රටෙහි සීමිත විදේශ සංචිත ඛාදනය වීම නැවැත්වීමට උත්සාහ දරමිනි. මාර්තු 8දා රටෙහි මුදල පෙර නුවූ විරූ ලෙස එක්සත් ජනපද ඩොලරයකට රුපියල් 200 මට්ටමට කඩා වැටුනි. මාර්තු 9දා විදේශ රටවල ආයෝජන සඳහා පිටව යන ප්‍රේෂනවලට ප්‍රදානය කර තිබූ පොදු අවසරය නැවැත්වීමටත් සංක්‍රමනික දීමනා සීමා කිරීමටත් මහ බැංකුව කල යෝජනාවකට කැබිනට්ටුව අනුමැතිය දුන්නේ ය.

ඉහල යන ආහාර හිඟය ගැන සඳහන් කරමින් රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කලේ ය: “මෙම සතුරාට විරුද්ධ ව ජයග්‍රහනය කිරීම අපට අවශ්‍ය වන  අතර, මේ වන විට අපේ ආහාර අපේ ගෙවත්තේ ම වගා කරගැනීම පිලිබඳ විශාල උද්‍යෝගයක් තිබෙනවා.”

යුද්ධයේ දශක ගැන සඳහන් කරමින්, මහජනයා එම “දුෂ්කර” කාලපරිච්ඡේදයන් ජයගත් බව ඔහු කීවේ මහජනයා තවදුරටත්  මිරිකා දැමීමට ආන්ඩුව සුදානම් වන බවට ඉඟි කරමිනි.

රාජපක්ෂගේ ආන්ඩුවට විරුද්ධ පක්ෂවල සම්පූර්න පිටුබලය ලැබේ. මෙය පොදු හතුරා වන කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා සියලුම දේශපාලන පක්ෂ නායකයින් ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත්වුනු  මොහොතක්.” 

එක්සත් ජාතික පක්ෂය හා ඉන් බිඳී ගිය ජාතික සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමල ජාතික සන්ධානය, මුස්ලිම් පක්ෂ හා ජනතා විමුක්ති පෙරමුන පසුගිය සති දෙකේ දී දෙවරක් අගමැතිවරයා මුන ගැසී ඇත්තේ ඔවුන්ගේ සහයෝගය පලකිරීමට ය.

ඔවුන් අතර පවතින සුලු උපායික මතභේද නො තකා, කම්කරුවන් අතර වැඩෙන විරෝධය පිලිබඳ ව බියපත් වන මෙම පක්ෂ, ජනාධිපතිවරයා විසින් නියමිත කලට පෙර විසිරවූ පාර්ලිමේන්තුව යලි කැඳවන ලෙස ඉල්ලා ඇත්තේ ආන්ඩුවේ අරමුදල්වලට රබර් මුද්‍රාව තැබීමට පොරොන්දුවෙමිනි. 

මෙම සහයෝගය ලබාගෙන ඇති ජනාධිපති හා ආන්ඩුව, පාලනය තව දුරටත් මිලිටරීකරනය කිරීම සඳහා වසංගතය යොදා ගනිමින් සිටී. වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයන් සෙවීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටුකරමින් සිටින මිලිටරි ඔත්තු සේවය වීදිවල සංචාරය කරමින් සිටී. අර්බුදයට පෙර ජනාධිපතිවරයා ආන්ඩුවේ මූලික තනතුරුවලට විශ්‍රාමික මිලිටරි නිලධාරීන් පත්කලේ ය.

කම්කරු පන්තිය, “එකමුතුව” සඳහා රාජපක්ෂගේ කැඳවීම ප්‍රතික්ෂේප කල යුතු ය. එය යොදාගනිමින් තිබෙන්නේ, පාලක ප්‍රභූව හා එහි ආන්ඩුව සියලු කම්කරුවන්ට හා දුගීන්ට එරෙහි ව දියත් කරන පන්ති යුද්ධය ආවරනය කිරීමට යි. කොරෝනා වෛරස් වසංගතයේ විනාශකාරී බලපෑම, වැඩකරන ජනයාගේ සැබෑ හතුරා වන ධනේශ්වර ලාබ පද්ධතියේ නිෂ්පාදිතයකි. සෑම රටක ම පාලක පන්තීන් වසංගතය යොදාගනිමින් සිටින්නේ ආඥාදායක පාලන ක්‍රම සූදානම් කිරීමට යි.

කම්කරුවෝ ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමග එකමුතු වී, ධනවාදය නිර්මානය කර ඇති විනාශකාරී කොන්දේසි පරාජය කිරීම සඳහා සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත තමන්ගේ ම ස්වාධීන පිලිවෙත් මත සටන් කල යුතු ය.

Loading