මහා සමාගම් කම්කරුවන්ගේ වැටුප් සහ රැකියා කප්පාදු කරයි

කොරෝනා වසංගතයෙන් උද්ගත කෙරී ඇති අර්බුදය තුල රැකියා කප්පාදු කිරීමේ සැලැස්මක් ක්‍රියාවට දැමීමට සොෆ්ට්ලොජික්, ජෝන්කීල්ස් සහ ඇඟලුම් සමාගම් තීන්දු කර ඇති බව ඩේලි එෆ්ටී, ඩේලි මිරර්, සන්ඩේ ටයිම්ස් ඇතුලු ප්‍රධාන  පෙලේ ධනපති මාධ්‍ය ගනනාවක පසුගිය දිනවල වාර්තා කෙරුනි. ඇඳිරි නීතිය සහ පාර්ශවීය වසා දැමීම් තව සති කිහිපයක් පැවතුනොත් බොහොමයක් සමාගම් වැටුප් ගෙවීමේ ගැටලුවලට මුහුන දෙනු ඇතැ”යි ව්‍යාපාරික ප්‍රධානියෙකු  පැවසූ බව අප්‍රේල්  9 වෙනිදා ඩේලි එෆ්ටී පත්‍රය වාර්තා කලේ ය.  

අප්‍රේල් මාසයේ වැටුප් ගෙවීමේ “මුල්‍ය ධාරිතාව” බරපතල ලෙස දුර්වල වී ඇති බව තවත් ව්‍යාපාරිකයෙක් පවසා ඇත. ඇඳිරි නීතිය සහ පාර්ශවීය වසාදැමීම දිගටම පැවතුනොත් සේවකයන්ට නිවෙස් වල සිට වැඩ  කිරීමට හෝ නොකර සිටීමට ඉඩහරිමින් වැටුපෙන් අඩක් හෝ වැටුප් නොගෙවා සිටීම පිලිබඳව බැරෑරුම් තීන්දුවක් ගැනීමට  කර්මාන්ත හිමිකරුවන්ට බල කෙරෙනු ඇති” බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ධනපති සමාගම් වල මෙම තීන්දු පිටු පසින් ඇත්තේ කොරෝනා වසංගතය මගින් නිර්මානය කෙරී ඇති අර්බුදයේ බර වැටුප්, රැකියා හා සමාජ සුබසාධන කප්පාදුව හරහා කම්කරුවන් මත පටවා ඉන් ගොඩ ඒමේ දුෂ්ට පිලිවෙතකි.   සොෆ්ට්ලොජික්  හා ජෝන්කීල්ස් වානිජ සමාගම් දෙක සහ බ්‍රැන්ඩික්ස් ඇතුලු ඇඟලුම් අපනයන සමාගම් මෙම කප්පාදු සැලසුම් දැනමත් ප්‍රකාශයට පත් කර තිබේ.

සිල්ලර වෙලඳාම, මුල්‍ය සේවාවන්, කොම්පියුටර් සහ ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරන හා දැව භාන්ඩ අලවිය ඇතුලු ව්‍යාපාර සමූහයක් පවත්වාගෙන යන විශාලතම වානිජ  සමාගමක් වන සොෆ්ට්ලොජික්හි වර්තමාන සේවක සංඛ්‍යාව 10,000 කි. සොෆ්ට්ලොජික් විශාල ලාබ ලබන සමූහ ව්‍යාපාරයකි. 2019 -2020 මුදල් වර්ෂයේ මුල් මාස නවය තුල එය ලැබූ ආදායම රුපියල් බිලියන 59.4 ක් වන අතර එය කලින් වර්ෂයට වඩා සියයට 11 ක වැඩිවීමකි. එම කාලය තුල දල ලාබය  රුපියල්  බිලියන 21.7 කි. එය ද සියයට 11 වැඩි වීමකි.

රුපියල් 50,000 ට වැඩියෙන් මූලික මාසික වැටුපක් ලබන සියලු සේවකයන්ගේ වැටුප සියයට 5 සිට සියයට 30 දක්වා කප්පාදු  කරන බව ද මෙම වසර සඳහා ප්‍රසාද දීමනා සහ වැටුප් වර්ධක මාස තුනකට අත් හිටුවන බවද  සොෆ්ට්ලොජික් සමාගම නිවේදනය කර තිබේ. ඊට අතිරේකව අතිකාල දීමනා ලබා නොගෙන අමතර කාලයක් ස්වේච්ඡාවෙන්  වැඩ කරන ලෙස සේවකයන්ගෙන් ඉල්ලා සිටින සමාගම අත්‍යවශ්‍ය වියදම් හැර පුහුනු කිරීම්, සංවර්ධන හා සේවක සුබසාධන වියදම් කැටි කිරීම ට ද තීන්දු කර තිබේ.

මෙම කප්පාදු පිලිවෙත් වල යතා  අර්ථය පැහැදිලි කරමින්  සමාගමේ සභාපති අශෝක් පතිරගේ මෙසේ සඳහන් කර ඇත: ”සමාගමේ උත්සුකයන් ට අවධානය යොමුකරමින් නාස්තිකාර වියදම් අඩු කිරීම, එකම කාර්ය නැවත කිරීම මග හැරීම සඳහා ක්‍රියාකාරිත්වය මධ්‍යගත කිරීම,  නිශ්ඵල ව්‍යාපාරික පුරුදු මුලිනුපටා දමමින් නිවැරිදි මුලෝපාය අනුගමනය කිරීම ආදිය සඳහා මෙම  අවස්ථා ප්‍රයෝජනයට ගන්නා අතරම රැකියා අහිමිවීම අවම කිරීම පිනිස වියදම්  අඩු කිරීමේ පියවරයන් ක්‍රියාවට දැමීමට අපි තීන්දු කර ඇත්තෙමු”  

සරල භාෂාවෙන් කිවහොත් සමාගම කොරෝනා වසංගතයෙන් උද්ගත ඇති අවස්ථාව යොදා ගන්නේ වියදම් කප්පාදු කර ලාබ  තර කර ගැනීමේ ව්‍යාපාරික මූලෝපාය ක්‍රියාවට දැමීම පිනිසය. එමෙන් ම රැකියා  ආරක්ෂා කර ගැනීම සඳහා  කම්කරුවන් කප්පාදු පිලිවෙත් පිලිගත යුතුය. 

කොලඹ හුවමාරු වෙලඳ පොලේ ලැයිස්තු ගත විශාලතම සංගතයක් වන ජෝන් කීල්ස් සමාගම, සංචාරක හෝටල්, පුද්ගලික ප්‍රවාහන  ව්‍යාපාර, ආහාර සහ බීම නිෂ්පාදනය, සුපිරි වෙලඳසැල් ඇතුලු විවිධ ව්‍යාපාරික සමාගම් 70 පමන ඒකාබද්ධ ව පවත්වාගෙන යන සමූහ ව්‍යාපාරයකි. සමස්ත ශ්‍රම බලකාය 15,000 ක් පමන වේ.  මෙම සංගතයේ  2019-20 මුදල් වර්ෂයේ මුල් මාස නවය තුල  බදු ගෙවීමට පෙර ලාබය සියයට  47 න් රුපියල් බිලියන 7.6 දක්වා පහත වැටුනි. එය ලාෆ්ස්, කාර්ගිල්ස් හා ග්ලෝමැක්ස් ඇතුලු සමාගම් සමග  වෙලඳපොල තුල මුහුන දී  ඇති  තරඟකාරිත්වයේ ප්‍රතිවිපාකයකි. කෙසේ නමුත් පසුගිය කාල පරිච්චේදය තුල ජෝන්කීල්ස්  දැවැන්ත ලාබ පොදී  ගසා ගත් සමුහ ව්‍යාපාරයකි. 

අලාබයේ සහ කොරෝනා වසංගතය නිසා මුහුන දීමට සිදු වී ඇති අර්බුදයේ බර කම්කරුවන්ගේ කරමත පැටවීම සඳහා රුපියල් 50,000 ට වැඩි මාසික මූලික වැටුපක් ලබන  සියලුම  සේවකයන්ගේ වැටුප සියයට 5 සිට සියයට 35 දක්වා කප්පාදු කිරීමට ද සුබසාධන සහ කාර්ය මංඩලයේ සෙසු වියදම් තියුනු ලෙස අඩු කිරීමට ද ජෝන් කීල්ස් සමාගම තීන්දු කර ඇත. පසුගිය සතියේ රැස්වූ කීල්ස් සමූහ ව්‍යාපාරයේ විධායක කොමිටිය සමාගමේ මෙහෙයුම් කලමනා කිරීම සඳහා සියලුම ආකාරයේ කප්පාදු පියවරයන් ගැන සමාලෝචනය කල බව සභාපති ක්‍රිෂ්නා බාලේන්ද්‍ර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනි. ”කාර්ය මංඩල වියදම් ඇතුලු සියලුම වියදම් අඩුකිරීම සඳහා වඩාත් දැඩි පියවර පවා ගැනීමට අපට දැන් බල කෙරී ඇති” බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

සියලුම නව බඳවා ගැනීම් අත්හිටුවීමට හා  අත්‍යවශ්‍ය  වියදම් හැරුන විට සියලු ප්‍රාග්ධන  වියම් ද නතර කිරීමට  සමාගම තීන්දු කර තිබේ.     

සමස්ත ශ්‍රම බලකාය 47,000 ක් පමන වන ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් අපනයකරු ලෙස සැලකෙන බ්‍රැන්ඩික්ස් සමාගම ද වැටුප්  මට්ටම් අනුව සියයට 5 සිට සියයට 60 දක්වා වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දමා ඇත. ඊට අමතරව තාවකාලික සේවකයන් සියලු දෙනා රැකියාවෙන් දොට්ට දැමීමට තීන්දු කර තිබේ. “ඉදිරි දින කිහිපය තුල වඩාත් තීරනාත්මක තීන්දු ගන්නා” බව ප්‍රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් ප්‍රකාශ කර ඇත.  

ඉදිරි ඇනවුම් අවලංගු කර  ඇති බවත් කලින් ඇනවුම් වලට අනුව දැනටමත් නිෂ්පාදනය කර තිබෙන ඇඟලුම් නැව් ගත කිරීම නතර කරන ලෙසත් ගනුදෙනු කරුවන් දැනුම් දී ඇති බව ද ඕමාර් සඳහන් කර තිබේ.  

එමෙන් ම, අර්බුදය නිසාවෙන් සමස්ත ඇඟලුම් කර්මාන්තයේ ශ්‍රම බලකායෙන්, ස්ථීර සේවකයන් ද ඇතුලුව සියයට 30 ක් දොට්ට වැටෙනු  ඇතැයි  ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති රෙහාන් ලක්ෂානි බිස්නස් ටයිම්ස් පත්‍රයට අප්‍රේල් පස්වෙනිදා ප්‍රකාශ කර තිබුනි. ගැනුම්කරුවන්  ඇනවුම් අවලංගු කිරීම සහ යුරෝපා සංගමයේ හා  එක්සත් ජනපදයේ සිල්ලර වෙලඳ ගබඩා වැසෙමින් පවතින තතු තුල ඉදිරි මාස තුන ඇතුලත අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 කින් පහත වැටෙනු ඇතැයි ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය අපේක්ෂා කරයි. ඔවුන් එය පියවා ගැනීමට උත්සාහ කරන්නේ කම්කරුවන්ගේ වැටුප් හා රැකියා සියයට 30  ක් කප්පාදු කිරීමෙන් සහ  සේවක අර්ථසාධක හා සේවක  භාරකාර අරමුදල් සඳහා ගෙවීම් මාස 6 ට නතර කිරීම ඇතුලු කම්කරුවන්ගේ සමාජ සුබසාධන සඳහා වියදම් කැපීමෙනි.

ඇඟලුම් කර්මාන්තය තුල රැකියාවේ නියුක්ත කම්කරුවෝ 400,000 සිටිති. සියයට 30 ක රැකියා කප්පාදුවක් යනු කම්කරුවන් 120,000 ක රැකියා අහිමි වීමකි. 

මෙම සමාගම් විසින් ක්‍රියාවට දැමීමට තීන්දු කර තිබෙන කප්පාදු සැලසුම්වලින්  කම්කරුවන්ගේ රැකියා සහ ජීවන තත්වයන්ට බරපතල ලෙස පහර වදිනු ඇත.  තම රැකියා සහ වැටුප් වලට එල්ල කෙරෙන  ප්‍රහාරය ගැන දැන ගැනීමෙන් කම්කරුවෝ දැනටමත් කම්පනයට පත්ව  සිටිති. 

රත්මලාන  බ්‍රැන්ඩික්ස් කම්හලේ ඇඟලුම් මදින අංශයේ කම්කරුවෙක් වැටුප් කප්පාදුවෙන් ඇතිවිය හැකි බලපෑම ගැන මෙසේ සඳහන් කලේ ය: “දැනට ආරංචි විදිහට මාස දෙකක් මූලික වැටුප පමනයි ගෙවන්නේ. දීමනා සහ අතිකාල කපනවා. එහෙම වුනොත් ලොකු ප්‍රශ්නයකට මුහුන දෙන්න වෙන්නේ. මගේ මුලික වැටුප රුපියල් 21,000 යි. අතිකාල සහ අනෙකුත් දීමනා එක්ක රුපියල් 45,000 ක් පමන ලැබුනා. ඉහල යන බඩු මිලත් එක්ක මුලික වැටුප පවුලේ වියදම පියවා ගන්න ප්‍රමානවත් නැහැ”.

කටුනායක නෙස්ට් ඇඟලුම් කම්හලේ සේචිකාවක් මෙසේ සිය අදහස් ප්‍රකාශ කලා ය: “මගේ මූලික වැටුප රුපියල්  24,500 යි. නිවාඩු නොගෙන වැඩ  ඉලක්කය සම්පූර්න කලොත්  රුපියල්  31000 ක් පමන ලබාගත හැකි යි. ගේ හැදුවේ මහත්තය ගේ වැටුපෙන් කැපෙන්න නයක් අරගෙන. එයා වැඩ කරන්නේ හමුදාවේ. එයාගේ වැටුපෙන් මාසයකට රුපියල් 33,000 ක් නයට කැපෙනවා. පවුලේ ආහාර, බෙහෙත්, දරුවන්ගේ අධ්‍යාපනයට,  ගමන් වියදම්, බිල්පත් ගෙවීම් සඳහා මාසකෙට රුපියල් 40,000 ක් පමන වැය වෙනවා. ගෙදර ඉතිරි වැඩ නිමකිරීමට මමත්  නයක් ගත්ත. 

“මාර්තු මාසේ වැටුප විදිහට බැංකුවලට දාලා තියෙන්නේ මූලික වැටුප  විතරයි. අවුරුදු බෝනස් එකත් භාගයක් කපල. ඉතිරිය යලි වැඩ පටන් ගත්තොත් දෙනවා කියනවා. වසංගත තත්වය නිසා කම්හල් දිගටම මාස කීපයක් වසා තැබුවොත් අපට කිසිම මුදලක් ගෙවන එකක් නැහැ. ආන්ඩුවෙන් ලබාදීමට පොරොන්දු වූ කිසිම  ආධාරයක් මේ වනතෙක් අපට ලැබුනෙත් නැහැ.  ඇඟලුම් අපනයන සංගමය කියන විදිහට සියයට 30  කින් සේවකයන් ඉවත්කලහොත් අපට ගම්වලට ගිහින් කරන්න දෙයක් නැහැ. අපි කබලෙන් ලිපට වැටෙනවා” යැයි ඇය පැවසුවාය. 

ධනපති සමාගම් විසින් ක්‍රියාවට දමා ඇති මෙම කප්පාදු පිලිවෙත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ  හා ජාත්‍යන්තර  කම්කරු පන්තියේ රැකියා වැටුප්  සහ සමාජ සුබසාධන වලට එරෙහිව ධනපති ආන්ඩුවල සහ වෘත්තීය සමිති වල සහයෝගය ඇතිව එල්ල කරන ගෝලීය ප්‍රහාරයේ කොටසකි. 

ධනපති සමාගම් වල ලාබ  පහත වැටීමට හෝ කොරෝනා වසංගතයෙන් උද්ගත වී ඇති අර්බුදයට කම්කරුවන් වග කිවයුතු නැත. වග කිවයුත්තෝ ධනපති සමාගම් සහ ධනපති පාලක පන්තීහුය. කම්කරුවන් මෙම කප්පාදු පිලිවෙත් වලට එකහෙලා විරුද්ධ විය යුතුය. 

ගෝලීය ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරය  දිය හැක්කේ කම්කරු පන්තියේ ගෝලීය අරගලයක් තුලින් ම පමනි. එම අරගලය ධනපති ලාබ  පද්ධතිය පෙරලා දමන ජාත්‍යන්තර  සමාජවාදී ඉදිර්දර්ශනයක් මත පාදක කල යුතුය. මෙම අරගලය සඳහා, ධනපති සමාගම්වල ප්‍රහාරයට මුහුන දී සිටින කම්කරුවන් ඇතුලු ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සැම වැඩපලකම හා නිවහන් ප්‍රදේශයකම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව  තහවුරු කරගත යුතුය.

Loading