ආන්ඩුව කොරෝනා වෛරසයට විකල්ප ප්‍රතිකර්ම විධි යෝජනා කරන්නේ ඇයි?

නවීන් දේවගේ
14 අප්‍රේල් 2020

මේ දිනවල ධනේශ්වර සංස්ථාපිතයේ මාධ්‍ය කොවිඩ්-19 නව කොරෝනා වෛරසය තේමා කර ගනිමින් සංවිධානය කෙරෙන වැඩසටහන්වලින් පිරී පවති. එහෙත් මේ වැඩසටහන්වලට වෛරසවේදීන් හෝ අනුක ජීව විද්‍යාඥයන් ආරාධනා නොලබන තරම් ය. ආන්ඩුවේ ලොක්කන්, පන්දම්කාරයන්, පූජකයන්, මිලිටරි පොලිස්  ප්‍රධානීන් අතරේ මේවාට ආරාධනා ලබන එක් කන්ඩායමක් වන්නේ ගූඪ පාරම්පරික වෛද්‍ය කර්ම මගින් නව කොරෝනා වෛරසයට ඖෂධ නිෂ්පාදනය කලේ යැයි කියා පාන්නන් ය.

මෙ බඳු වැඩසටහන්වල පරිහානිගත ස්වභාවය කැටිකොට පෙන්වන කැපී පෙනෙන උදාහරනයක් ආන්ඩුවේ හොරනෑවක් වන අරුන පුවත්පතෙන් සම්පාදනය කෙරේ. එහි ප්‍රධාන පිටුවේ “දුමක් අල්ලා කැඳක් පොවා දින තුනෙන් කොරෝනා සුව කල හැකි බව වෛද්‍යවරුන් සොයා ගනී” යන මාතෘකාව සහිත ව වීඩියෝවක් පලකර තිබුනි. 

රජයේ රෝහලක වෛද්‍යවරුන්යැයි පැවසෙන කීප දෙනෙක්, “වෛද්‍ය විද්‍යාව හදාරා නැති” ප්‍රියන්තා සේනානායක නම් තැනැත්තියකගේ නායකත්වය යටතේ කෙරෙන සාකච්ඡාවක් එහි අන්තර්ගත විය. භාවනාවෙන් “ඇසට නොපෙනෙන ශක්තීන් හා සම්බන්ධ වී” “දෙවිවරුන් වෙතින්” ප්‍රගුන කලාය කියන කැඳ පානයක් සහ දුම් හට්ටියකින් කෙරෙන දුමායනයක් මත පාදක වූ වෛද්‍ය කර්මයක් කොවිඩ්-19 ට ප්‍රතිකර්ම ලෙස යොදා ගැනීම ගැන ඔවුහු සාකච්ඡා කරති. 

ඔවුන් නිපදවා ඇති කැඳ සහ දුම් අල්ලන කුඩු විශේෂයක් කොවිඩ්-19 රෝගය සඳහා අත්දුටු ප්‍රතිඵල ලබා දී ඇති බව එහි දී පැවසේ. වැලිසර රෝහලේ ශ්වසන රෝග වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දෙනු ලබන අයෙක් තමන්ටත් දින කීපයකට පෙර කොවිඩ්-19 රෝග ලක්ෂන ඇති වූ බවත් තමන් දුම් හට්ටියේ ප්‍රතිකර්මය දින තුනක් භාවිත කිරීමෙන් පසු සුව වූ බවත් ප්‍රකාශ කලේ ය. තමන්ගේ ප්‍රතිකාර ක්‍රමයෙන් ඉතා වයෝවෘද්ධ අය පවා සුව වී ඇති බව ද “කොවිඩ් වෛරසය වේවා සියලු ම වෛරස් රෝගවලට මෙම දුම් හට්ටිය හොඳ ම ප්‍රත්‍යක්ෂ ඖෂධය” බව ද ඔහු ප්‍රකාශ කලේ ය.

මෙ බඳු වැඩසටහන්වල නිතර දෙවේලේ තහවුරු කිරීමට උත්සාහ දරන කාරනයක් වන්නේ කොවිඩ්-19 හමුවේ “බටහිර වෛද්‍ය විද්‍යාව” සම්පූර්නයෙන් ම අසරන තත්වයකට පත්ව ඇති බවත් දියුනු රටවලට අත් ව ඇති ඉරනමෙන් ම මේ කාරනය පැහැදිලි වන බවත් ය. 

විද්‍යාව යනු අන් කිසිවක් නොව, මිනිසා සිය පැවැත්ම සඳහා, ජීවන තත්වයන් වැඩි දියුනු කර ගැනීම සඳහා, ස්වකීය ශක්තීන් විපුලත්වයට පත්කර ගැනීම සඳහා, ස්වභාව ධර්මයට එරෙහිව ගෙනයන අනවරත අරගලයේදී අත්පත් කරගත් අතිමූලික ජයග්‍රහනයකි. එම ජයග්‍රහනය සමස්ත මානව ශිෂ්ඨාචාරය තුල ගෝලීය වශයෙන් අත්පත් කරගත් අත්දැකීම්වල ඓක්‍යයක් විනා “බටහිර” ගූඪ ආධානග්‍රාහයක් නොවේ.

විශ්වය ඈත කෙලවරට මෙන් ම, ඩීඑන්ඒ අනුව තුලට ද විනි විදි විද්‍යාත්මක චින්තනය, ආන්ඩුව සහ ධනපති ක්ෂමාලාපකයන් පවසන ආකාරයට, මේ වෛරසය ඉදිරියේ දී අසරන බවට පත් ව නැත. නූතන වෛද්‍ය තාක්ෂනය මේ වෛරසයේ ව්‍යූහය හඳුනා ගනිමින් දැනටමත් වැදගත් ඉදිරි පියවර ගනනාවක් ම තබා ඇත. ජනවාරි 3 වැනි දා, චීන විද්‍යාඥයෝ වෛරසයේ ඩීඑන්ඒ ව්‍යූහය හඳුනා ගත්හ. දින 10 කට පසු එහි ජෙනෝම සිතියම ප්‍රසිද්ධ කෙරුනි. 

කොරෝනා රෝගයට මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගත නොහැකිව ඇත්තේ විද්‍යාවේ අසමර්ථභාවයක් නිසා නොව, පසමිතුරු ජාතික රාජ්‍ය පද්ධතිය තුල මුල්බැසගත් සහ ලාභය අරමුනුකරගත් ධනපති ක්‍රමය, එවන් ගවේෂනයක් සඳහා අත්‍යවශ්‍ය ගෝලීය ඒකාබද්ධතාවයකට එරෙහිව පිහිටා සිටින බැවිනි. 

වසංගතයට ලංකාවේ ආන්ඩුව දක්වා ඇති ප්‍රතිචාරයෙන්මත් මෙය  පැහැදිලි වෙයි. කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ මහාපරිමාන පීසීආර් පරීක්ෂනයන්ගේ අත්‍යවශ්‍යභාවයද, වෙන්ටිලේටර් යන්ත්‍ර සවි කල අයිසීයූ ඇඳන් සංඛ්‍යාව ප්‍රමානවත් පරිදි ඉහල දැමීමේ හදිසිභාවය ද වෛද්‍ය විශේෂඥයෝ දිගින් දිගට ම පෙන්වා දුන්හ. එයට අවශ්‍ය මුදල් වෙන් කිරීම මුලුමනින්ම මග හැරි ආන්ඩුව මහ ධනපතියන්ට වසංගතයෙන් සිදුව ඇති හානිය අවම කිරීමට දැවැන්ත මූල්‍යමය සහන ප්‍රදානය කලේය. 

එපමනක් නොව, රෝගය තවදුරටත් පැතිරයාමේ බලගතු අන්තරාය ගැන විශේෂඥයන් යලියලිත් කරන අවධාරනයන් නොතකා, වසංගතය පාලනය කර ඇති බවක් පෙන්වමින් ආන්ඩුව දසදහස් සංඛ්‍යාත කම්කරුවන් නැවත වැඩට දක්කා ගැනීමට සූදානම් වන්නේ ඔවුන්ගේ ජීවිත මුලුමනින්ම නොතකමිනි. 

මෙ වන් පසුබිමක ආන්ඩුව පත් කල කොවිඩ්-19 පර්යේෂන කන්ඩායමේ ප්‍රධානියා ද පොදු ජන පෙරමුනේ දේශපාලන අන්ඩක් හැටියට ක්‍රියා කරන වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ද වන අනුරුද්ධ පාදෙනිය චීනයේ සියයට 85ක් ම රෝගය මර්දනය කලේ පාරම්පරික වෙදකමින් බවත් එවන් පාරම්පරික වෛද්‍ය කර්ම පිලිබඳ යෝජනා තම කන්ඩායමට ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටියේ ය. 

චීනය සම්බන්ධව පාදෙනිය ඉදිරිපත් කරන මෙම කරුනු ව්‍යාජය. චීනය වසංගතය යම්දුරකට පාලනය කර ගත්තේ, අගුලු ලෑම් මැද, පීසීආර්, සීටී ස්කෑන් ආදී නොයෙක් වෛද්‍ය පරීක්ෂන සමූහ පරිමානයෙන් සිදු කරමින්, තාවකාලික රෝහල් ඉදිකරමින් සහ සෞඛ්‍ය සේවා කම්කරුවන් ආරක්ෂිත උපකරනවලින් සන්නද්ධ කරමින් ගෙන ගිය ක්‍රියාන්විතය මගිනි. (“වසංගතයේ කේන්ද්‍රය වූ වුහාන් හි චීන වෛද්‍යවරුන් සිවු දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක්” යන හිසින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපිය කියවන්න)

විද්‍යාවට එරෙහි තම පරාගතවාදී යෝජනා වලින් නොනවතින පාදෙනිය, දෙරන “අලුත් පාර්ලිමේන්තුව” රූපවාහිනී වැඩසටහනක දී දකුනු කොරියාවේ සමූහ පරිමාන පරීක්ෂන ගැන සඳහන් කරමින් එය එතරම් නිවැරදි ක්‍රමයක් නොවේ යැයි පැවසීය.

මෙම විකල්ප ව්‍යාජ-විද්‍යාත්මක ක්‍රම වෙත යොමුව, වෛද්‍ය විශේෂඥයන්ගේ මෙන් ම ආයුර්වේදීන්ගේ ද විවේචනයට ලක් ව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ ලෝක ස්නායු සංගමයේ මහජන අවබෝධතා කමිටුවේ සභාපති වන මහාචාර්ය තිස්ස විජේරත්න කොරෝනා වෛරස් ආසාදිතයෙකු බේරා ගැනීමට ඇති එක ම මාර්ගය පහසුකම් ඇති දැඩි සත්කාර ඒකකයක විශේෂඥ දැනුම ඇති වෛද්‍ය හෙද කාර්ය මන්ඩලයක් යටතේ ප්‍රතිකර්ම කිරීම බවත්, විකල්ප ප්‍රතිකර්මවලින් විය හැක්කේ රෝගය උත්සන්න වීම පමනක් බවත් අවධාරනය කලේ ය. 

බීබීසී සිංහල සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ආයුර්වේද වෛද්‍ය කොමසාරිස් චතුර කුමාරතුංග පවසා සිටියේ කොවිඩ්-19ට ප්‍රතිකාර සොයා ගත්තාය යනුවෙන් කෙරෙන ප්‍රකාශ ආයුර්වේද සිද්ධාන්තයන්ට සහ සායනික මූලධර්මවලට පටහැනි බව ය. නිරෝගී පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරනය ඉහල නැංවිය හැකි පිලියම් ආයුර්වේදය සතු වුවත්, කොවිඩ්-19 ආසාදිතයෙකු රජයේ රෝහලකට යොමු වී වෛද්‍ය විද්‍යාත්මක පිලියම් සඳහා යොමු විය යුතු යැයි ඔහු එහි දී සඳහන් කලේ ය.

මෙම විවේචන සහ විරෝධතා නොතකා ආන්ඩුව එම වැඩපිලිවෙල ඉදිරියටම ගෙන යමින් සිටී. අප්‍රේල් 08 වැනි දා දිවයින වාර්තා කලේ, නිරෝධායන පනතට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් නිසි බලධාරියා වන නිසා ඔහුගේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු “දේශීය” ප්‍රතිකර්ම ක්‍රම කොරෝනා රෝගීන්ට නුදුරේ ම භාවිතයට ගනු ඇති බව ය. “කොරෝනා රෝගය මර්දනය කිරීම සඳහා දේශීය වෙදකම පිලිබඳ ජාතික කමිටුව” මෙම අනුමැතිය කඩිනමින් ලබා ගෙන ඒවා ක්‍රියාවේ යොදවන බව කොරෝනා මර්දන ජාතික කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසා ඇත. 

“විකල්ප ප්‍රතිකාර” යෝජනාවල අරමුනු

තම ජීවිත පිලිබඳව ආන්ඩුවේ සාපරාධී නොතැකීම සම්බන්ධයෙන් කම්කරුවන් සහ අනෙකුත් පීඩිතයන් අතර වැඩෙන විරෝධය අපසරනය කිරීම මෙහි මූලික අරමුනකි.

සරලව ගතහොත් “විකල්ප ප්‍රතිකාර” යෝජකයන් කියා සිටින්නේ මෙයයි: “විද්‍යාත්මක පරීක්ෂාවන් සහ ආරක්ෂක මෙවලම් සඳහා රුපියල් බිලියන ගනනින් වැය කිරීමට ආන්ඩුවට නොහැක. සැබැවින්ම එවන් පරීක්ෂාවන් සහ මෙවලම් අවශ්‍යම නොවේ. දුම් ඇල්ලීම වැනි ගොඩවෙදකමකින් එම ආරක්ෂාව ඔබටම කරගත හැක. එබැවින් ඉහත පහසුකම් නොසැපයීම සම්බන්ධයෙන් ආන්ඩුව සමග උරන විය යුතු නොවේ.”

ගොඩවෙදකම් යෝජනාකොට, ධනපතියන්ගේ ඉල්ලීම පරිදි කම්කරුවන් හැකි ඉක්මනින් වැඩට දැක්කීම ආන්ඩුවේ අභිලාෂය යි.

අනෙක් අතට, මෙම වසංගත අර්බුදය හමුවේ, ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයක අවශ්‍යතාව වඩාත් විශදව ඇති තතු තුල, ආන්ඩුව සහ අනෙකුත් ධනපති දේශපාලන පක්ෂ මෙන්ම ධනේශ්වර ක්ෂමාලාපකයන් තම ජාතිකවාදී දේශපාලනය වඩාත් ඉස්මත්තට ගනිමින් පවතී. ඒ සඳහා ගොඩවෙදකම් වැනි පරාගතවාදී කුනුකන්දල් පාලක පන්තියට අත්‍යවශ්‍ය කෙරෙයි.

දියුනු ම තාක්ෂනය ඇති මේ යුගයේ දී, සමෘද්ධිමත් නිරෝගී සමාජයක අත්දැකීම් ලබාගනු වෙනුවට මානව ඉතිහාසය තුල මුහුන දී ඇති දැවැන්ත ම සමාජ ව්‍යසනයට ලොවපුරා මහජනතාව මුහුන දෙමින් සිටීමේ විරුද්ධාභාසය ගැන විමසුම් සහගත වන කම්කරුවෙකුගේ හෝ තරුනයෙකුගේ චින්තන ක්‍රියාවලිය ග්‍රාම්‍යකරනය කර මොට්ට කිරීමට දැරෙන දැනුවත් විද්‍යා විරෝධී උත්සාහයක් මෙම ප්‍රචාරනයන් තුල මූලිකව ගැබ්ව පවතී. 

අවශ්‍යතාවන් ප්‍රතිවිරෝධී වූ පන්ති සමාජයක් වශයෙන් ලෝකය පැවතීම මෙ බඳු විරුද්ධාභාසයට මූලික හේතුවයි. ධනපති පන්තියේත් කම්කරු පන්තියේත් එකිනෙක ගැටෙන ආර්ථික-සමාජ අවශ්‍යතා මෙම ගෝලීය වසංගතය තුල වඩාත් විශද ව පෙනෙන්ට පටන් ගෙන ඇත. 

ලෝකයේ ධනවත්ම රට ලෙස සැලකෙන ඇමරිකාවේ කම්කරුවන් වෛද්‍යවරයෙකු හමුවට යා ගත නොහැකි තරම් දරිද්‍රතාවයෙන් පෙලී සිටිද්දී ඇමරිකාවේ ධනපති පන්තිය ඩොලර් ට්‍රිලියන 2 ක දැවැන්ත මුදලක් කොටස් වෙලඳපොල ක්‍රියාකාරකම් ස්ථාවර කර ගැනීමට වෙන් කර ගත්තේය. වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය වලකනවාට වඩා ඔවුන්ගේ අරමුන වී ඇත්තේ එය යුද අවියක් බවට පත් කර ගනිමින් තම පසමිතුරු රාජ්‍යයන් දුර්වල කර තම අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන්ට නම්මා ගැනීමටයි.

දියුනු තාක්ෂනය කැඳවා රෝගයට එරෙහි ව සටන් කිරීම වෙනුවට බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ජර්මනිය ආදි ප්‍රධාන පෙලේ අධිරාජ්‍යවාදී රටවල ආන්ඩු කම්කරු පීඩිත මහජනතාවට උපදෙස් දී ඇත්තේ රෝගයට නිරාවරනය වී සමූහ ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නා ලෙසයි. 

ලංකාවේ මෙන් ම ඉතාලිය සහ ඇමරිකාව වැනි දියුනු ධනපති රටවල ද ප්‍රමානවත් මහජන සෞඛ්‍යය සේවයක් නොමැත්තේ, 1980 දශකයෙන් පසු ධනපති ආන්ඩු ඒවා කාබාසිනියා කර දමා කඩා වැටෙන ලාභ රේට්ටුව රැක ගැනීමට එම ක්ෂේත්‍ර රක්ෂන සමාගම්වලට, ඖෂධ සමාගම්වලට සහ පුද්ගලික රෝහල් සේවාවවන්ට විවෘත කර දමා ඇති නිසයි.

අසමර්ථභාවය ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ නොව, එම දියුනු තාක්ෂනයට නොගැලපෙන යල් පිනූ සමාජ සම්බන්ධතා පද්ධතිය තුලය. 

මෙම විද්‍යා-විරෝධී නොමග යැවීම්වලට හසු නොවී, එම දියුනු තාක්ෂනයේ නියම ප්‍රතිලාභ ලැබීමට සටන් කිරීමට, කම්කරුවන් පෙරට පැමිනිය යුතු ය. 

එය කල හැකි එක ම ආකාරය ලෝක කම්කරු පන්තිය වැටුප් ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර යල් පිනූ සමාජ සම්බන්ධතාව අහෝසි කර දැමීම තුලින් පමනි. ආන්ඩුවේ නරුම ප්‍රතිචාර දෙස බලන කල මෙය කම්කරු පීඩිත මහජනතාවගේ ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් බැවින් කල් දැමීමට කාලයක් නොමැත.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි

වසංගතයේ කේන්ද්‍රය වූ වුහාන් හි චීන වෛද්‍යවරුන් සිව් දෙනෙකු සමඟ සම්මුඛ සාකච්ඡාවක්