ඉන්දියානු සෞඛ්‍ය කාර්ය මන්ඩල සාමාජිකයෝ කොවිඩ්-19 ගෝලීය වසංගතය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරති

මෙම ලිපිය 2020 අප්‍රේල් 06 වැනි දින ඉංග්‍රීසි බසින් පලකෙරුනි. 

අප්‍රේල් 5 වැනි දා ඉන්දියාව කොරෝනා වෛරසය නිසා සිදූ වූ මරන 18ක් වාර්තා කලේ ය. ගෝලීය වසංගතයට රට ගොදුරු වීමෙන් පසු ව දිනක දී වාර්තා වුනු ඉහල ම මරන සංඛ්‍යාව එයයි. ඒත් සමග ම සමස්ත මරන ගනන 118 දක්වා ඉහල නැංවිනි. ඊයේ කොරෝනා වෛරස ආසාදිතයන් 700 දෙනෙකු වාර්තා වුනේ සමස්ත ගනන 4 280 දෙනෙකු දක්වා ඉහල නංවමිනි. 

යුරෝපය සහ එක්සත් රාජධානිය හා සසඳන කල සාපේක්ෂ ව කුඩා සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන්නේ පරීක්ෂා කිරීම් අවම සංඛ්‍යාවක් පමනක් කරන තතු යටතේ ය. බිලියන 1.3කට අධික ජනගහනයක් ඇති ඉන්දියාව මෙ තෙක් සිදු කර ඇත්තේ පරීක්ෂන 48,000ක් පමනි. රජයේ අනුමත පරීක්ෂන මධ්‍යස්ථාන රට පුරා ඇත්තේ 51ක් පමනි. අවදානම් කලාපවල සංචාරය කර නැති නම් නියුමෝනියාවෙන් පෙලුන ද පරීක්ෂනයට ලක් වීමට ප්‍රතික්ෂේප වෙයි.

මෑත කාලීන වාර්තාවන්ට අනුව, වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය සමග පොර බදන සෞඛ්‍ය සේවා කාර්ය මන්ඩල සඳහා ඉන්දියාවට අඩු ම තරමේ මුඛ ආවරන මිලියන 38ක් සහ පෞද්ගලික ආරක්ෂිත උපකරන මිලියන 6.2ක් අවශ්‍ය කෙරෙයි.

ඉන්දියානු සෞඛ්‍ය කම්කරුවන්ට වැහි කබා සහ ප්ලාස්ටික් බෑග් ආරක්ෂිත උපකරන ලෙස භාවිතා කිරීමට බල කෙරී ඇත. අක්ෂි ආරක්ෂාව සම්බන්ධ ව පැහැදිලි අඩුවක් පෙනෙන්නට ඇත. දැනට වෛද්‍යවරු හය දෙනෙකු සහ හෙදියන් සහ සෙසු සෞඛ්‍ය කාර්ය මන්ඩලවල කම්කරුවන් ගනනාවක්  කොවිඩ්-19 වැලඳුනා යයි නිල වශයෙන් ප්‍රකාශ කෙරී ඇත.

මේ භයානක තත්ත්වය පෙන්වා දෙන්නේ වසර ගනනාවක් තිස්සේ අවශ්‍ය අරමුදල් හිඟයෙන් පෙලෙන ඉන්දියාවේ මහජන සෞඛ්‍ය සේවයේ කඩාබාන්දු වූ සහ පමනට වඩා පිරී ඉතිරී ගිය ස්වභාවයයි.

ඉන්දියාවේ සමස්ත සෞඛ්‍ය වියදම දල ජාතික නිෂ්පාදිතයෙන් හරියට ම 3.7කි. ඉන් රාජ්‍ය වියදම්වල පංගුව හතරෙන් එකකි. 2019-20 සඳහා සෞඛ්‍යය වෙනුවෙන් රාජ්‍ය අය වැයෙන් වියදම් වෙන් කිරීම් ඉන්දියානු රුපියල් බිලියන 630ට (ඇමරිකානු ඩොලර් බිලියන 8) වඩා අඩු ය. ලෝක සෞඛ්ය සංවිධානයට අනුව, දල ජාතික නිෂ්පාදිතයේ සෞඛ්ය සේවාවන්ගේ කොටස අනුව ඉන්දියාව රටවල් 191ක් අතරින් 184 වැනි ස්ථානය දරයි.

දැනට සෑම ඉන්දියානුවන් 1 457 දෙනෙකුට ම සිටින්නේ එක් වෛද්‍යවරයෙකුටත් වඩා අඩුවෙනි; ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අනුපාතය 1: 1 000කි. රට සතුව ඇති සමස්ත ශ්වසනාධාර යන්ත්‍ර ගනන 30 000ත් 50 000ත් අතර ගනනකි. නමුත් අවම වශයෙන් 200 000ක්වත් අවශ්‍ය කෙරෙයි. 2016 දී රොයිටර් වාර්තා කල ආකාරයට ඉන්දියාවට දැඩි සත්කාර විශේෂඥයන් 50 000ක් අවශ්‍ය කෙරුනත් සිටියේ 8 350 දෙනෙකු පමනි. එක් ඇස්තමේන්තුවකට අනුව, මිනිසුන් 100 000 දෙනෙකුට ඉන්දියාවේ පොදු සෞඛ්‍ය සේවය සතුව ඇත්තේ දැඩි සත්කාර ඒකක 3.63ක් පමනි.

2020 ජනවාරියේ දී, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ප්‍රකාශ කලේ රජයේ දිසා රෝහල් පෞද්ගලික සංගතවලට භාර දීමට සැලසුම් කරන බවයි. එය මහජන සෞඛ්‍ය සේවය වැඩි දුර අඩපන කර ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දැරීමට මාර්ගය විවෘත කරනු ඇත.

පසුගිය සතියේ දී ලෝසවෙඅ වාර්තාකරුවෝ දකුනු ඉන්දීය ප්‍රාන්තයක් වන තමිල් නාඩුවේ වෛද්‍ය වෘත්තිකයන් තිදෙනෙකු සමඟ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය සම්බන්ධයෙන් සාකච්ඡා කලහ.

වෛද්‍ය ප්‍රභූ මනෝහරන් (33) විරුධුනගර් රජයේ රෝහලේ විකලාංග රෝග විශේෂඥයෙකි.

ලෝසවෙඅ: ඔබත් ඔබේ සගයනුත් මුහුන දෙන ප්‍රධාන ප්‍රශ්න මොනවා ද?

වෛද්‍ය ප්‍රභූ මනෝහරන්

 වෛද්‍ය ප්‍රභූ මනෝහරන්: වෛද්‍යවරුන්ට, හෙදියන්ට සහ පරිපූරක වෛද්‍ය සේවා කම්කරුවන්ට නියමිත තත්ත්වයේ පෞද්ගලික ආරක්ෂිත උපකරන නෑ. මගේ රෝහලේ හෙදියන් තමන්ටත් තම පවුලේ අයටත් කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් ඉන්නේ. ඉන්දියාව වගේ රටවල රෝගීන්ට වෛද්‍යවරු කිට්ටුව ඉන්න ඕන නිසා සමාජ දුරස්ථකරනය පහසු නෑ.

ඉන්දියානු ආන්ඩුව සෞඛ්‍ය සේවය වෙනුවෙන් වැය කරන්නේ ඉතා සුලු ප්‍රමානයක්. ග්‍රාමීය ප්‍රදේශවල නියමිත තත්ත්වයේ සනීපාරක්ෂක පහසුකම්වල හිඟයක් පවතිනවා. ප්‍රාන්ත සහ දිස්ත්‍රික්ක සීමාවල මුරකුටිවල මුඛ ආවරන හෝ අත් ආවරන හෝ නැති ව වෛද්යවරු සේවයේ යෙදී ඉන්න හැටි මම දැකලා තියෙනවා. ඔවුන් රෝගීන් පරීක්ෂා කරන්නේ තම නිරාවරනය වූ දෑත්වලින්. ඇතැම් පරීක්ෂනයකට අනුව N95 මුඛාවරනයකින් පවා ඇත්තේ සියයට 10 ආරක්ෂාවක්. නමුත් මෙහි වෛද්‍යවරුන් සඳහා ශල්‍ය මුඛ ආවරන පවා ඇත්තේ කීපයක්.

ලෝසවෙඅ: ඉන්දියානු ආන්ඩුවේ දින 21ක කොරෝනා වෛරස් අගුලු ලෑම ගැන ඔබ සිතන්නේ කුමක් ද?

ප්‍ර.ම.: මම හිතන්නේ ඒක සම්පූර්නයෙන්ම අසමත් කමක්. මාස දෙකකට කලින් ආන්ඩුවට මේ ගැන සැලකිලිමත් වෙන්න තිබ්බා. එහෙම වුනා නම් මේ දේවල කල් ඇතිව කරන්න තිබුනා. මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන්න පමා වීමෙන් කලේ වැරැද්දක් කියලා.

ලෝසවෙඅ: දියුනු විද්‍යාත්මක සහ තාක්ෂනික වර්ධනයන් ඇති පසුබිමක කොරෝනා වෛරස් වසංගතය ඔබ දකින්නේ  කොහොමද?

ප්‍ර.ම.: මේ වෛරස් ආසාදනය අලුත් සංසිද්ධියක් නෙවෙයි. වවුලන් සහ කුහුඹුවන් අතර පවතින මෙම වෛරසය දැන් මිනිසුන්ට ආසාදනය වීමට පටන් ගෙන. මිලිටරියට සහ අභ්‍යවකාශ ගවේශනයට දැවැන්ත පරිමාන මුදල් වෙන් කරනු වෙනුවට, වැඩිපුර මුදල් මේ වසංගතය සහ අනාගතයේ ඇති විය හැකි එ වැනි තර්ජන හඳුනා ගෙන වලක්වා ගැනීමට පර්යේෂන කිරීමට වෙන් කල යුතුයි.

අගුලු ලෑම නාගරික සහ ග්‍රාමීය සැපයුම් ජාලවලට සම්පූර්නයෙන් ම බලපාලා තියෙනවා. දැන් දුප්පත් මිනිස්සු සාගින්නෙන් මැරෙනවා.

ලෝසවෙඅ: ආන්ඩුවේ පෞද්ගලීකරන ප්‍රතිපත්ති මහජන සෞඛ්‍ය සේවයට බලපාලා තියෙන්නෙ කොහොම ද? ඉන්දියාවේ කොරෝනා වෛරස ගෝලීය වසංගතය පැතිර යාමට සමඟ ඊට සම්බන්ධයක් තියෙනවා ද?

ප්‍ර.ම.: ඔව්. ඇත්තෙන් ම. ලෝක සෞඛ්‍ය සංවිධානය නැවත නැවතත් කියන්නේ ටෙස්ට් කරන්න කියලා. නමුත් ඉන්දියාව, අප්‍රිකාව සහ වෙනත් දිලිඳු රටවල් සතු ව ඇත්තේ පරීක්ෂන කට්ටල ස්වල්ප ප්‍රමානයක් පමනයි. ධනේශ්වර මාධ්‍ය මේ සම්බන්ධයෙන් ආන්ඩුවේ බේගල් පතුරුවනවා. දැන් ඉන්දියාවේ දෙ වැනියට වැඩියෙන් ම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන ප්‍රාන්තය තමිල්නාඩුවයි. ආන්ඩුව සහ මාධ්‍ය මේ කාරනාව දිග කාලයක් වසං කර ගෙන හිටියා.

ඉන්දියාවට රෝගීන්ට යොදවන්න ශ්වසනාධාර යන්ත්‍ර තියෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමානයක් පමනයි. ඒත් දැන් අන්තිම මොහොතෙ දි තමයි මෝදි ආන්ඩුව එම යන්ත්‍ර ගන්නව ද හදනව ද කියලා කල්පනා කරමින් ඉන්නේ.

රක්ෂිතා සමාජ සේවා අංශයේ සෞඛ්‍ය සේවා කම්කරුවෙකි.

ලෝසවෙඅ: කොවිඩ්-19ට ඉන්දියානු ආන්ඩුවේ ප්‍රතිචාරය ගැන ඔබ මොකද සිතන්නේ?

රක්ෂිතා

රක්ෂිතා: මම හිතන්නේ නෑ එය ප්‍රමානවත් කියලා. චීනයේ කොරෝනා වෛරසය හඳුනා ගත්තේ 2019 දෙසැම්බර් තරම් කලින්. ඉන්දියාව කියන්නේ චීනයට ඉතා ම කිට්ටුවෙන් පිහිටා ඇති රටක්. ඒ නිසා ඉන්දියාවට මේ ගැන කල් ඇති ව සැලකිලිමත් වීමට තිබුනා. දැන් ඉන්දියානු ආන්ඩුව කියනවා අපි සූදානම් නෑ කියලා.

දැනට බහුතරයක් සෞඛ්‍ය සේවා කම්කරුවන් පාවිච්චි කරන මුඛ ආවරනය “ඒකපාර්ශ්වීය-ආවරනයක්”. එය ක්ෂුද්‍ර ජීවීන් පිටතින් පැමිනීම ආවරනය කරන්නේ නෑ. එය ආවරනය කරන්නේ ක්ෂුද්‍ර ජීවීන් පිටතට යාම පමනයි. ඉන්දියානු ආන්ඩුව මහජන සෞඛ්‍ය ගැන හරි ම නොසැලකිලිමත්. මේ අංශය ඉතාමත් දුර්වලයි.

ලෝසවෙඅ: රජයේ රෝහල්වල වර්තමාන තත්ත්වය ගැන ඔබට අදහස් දැක්විය හැකි ද?

රක්ෂිතා: රජයේ රෝහල් කාර්ය මන්ඩලවල දැඩි හිඟයක් තියෙනවා. සෞඛ්‍ය කම්කරුවන්ට නියමිත තත්ත්වයේ පෞද්ගලික ආරක්ෂිත උපකරන ඇත්තේ නෑ. රෝහල් පාලනාධිකාර හෙදියන්ව දකින්නේ මැෂින් හරි රෝබෝලා හරි වගේ. ගෙවන්නෙත් අඩු පඩි. ග්‍රාමීය සහ අර්ධ නාගරික රජයේ රෝහලවල ජලය සහ සනීපාරක්ෂාව වැනි නියමිත මූලික පහසුකම්වත් නෑ.

ලෝසවෙඅ: චෙන්නායි මුඩුක්කු නිවාසවල කොරෝනා වෛරසය පැතිර යාමක් මතු කරන්නේ මොන වගේ අන්තරායක් ද?

රක්ෂිතා: චෙන්නායිවල කන්නගි නගර් සහ පෙරුම්බක්කම් වැනි මුඩුක්කු ප්‍රදේශවල එක් ගොඩනැගිල්ලක පවුල් සියයක් පමන ජීවත් වෙනවා. එක් තට්ටුවක පමනක් පවුල් 10 සිට 12කටත් වඩා වැඩි ප්‍රමානයක් ඉන්නවා වෙන්න පුලුවන්.

මේ ප්‍රදේශවල සෞඛ්‍ය සේවා පහසුකම් ඇත්තේ ස්වල්පයක් පමනයි. සමාජ දුරස්ථකරනය පහසු කාරනයක් නෙවෙයි. විෂබීජවලට තෝතැනි වූ විවෘත කානු ගනනාවක් තියෙනවා. වතුරවල ගුනාත්මක බව අන්ති ම පහලයි. වතුර හිඟකම නිසා පාවිච්චි කල වතුර නැවත නැවතත් පාවිච්චි කරන්න සිදු වී තියෙනවා.

කන්නගි නගර් (ඡායාරූප අනුග්‍රහය: අබ්දුල් රහ්මන්)

ආන්ඩුව කියන්නෙ “හැම මිනිත්තු 20කට ම වරක් අත සෝදන්න” කියලා. හැබැයි අත හෝදන්න වතුර බොහෝම ස්වල්ප ප්‍රමානයක් තියෙන්නෙ. ඇත්ත ම කිව්වොත් සතියට එක දවසයි වතුර ලැබෙන්නෙ. මේ මුඩුක්කු ප්‍රදේශ මට නම් පෙනෙන්නේ හරියට රැඳවුම් මධ්‍යස්ථාන වගෙයි.

චෙන්නායිහි වෛද්‍යවරයෙක් ලෝසවෙඅට පැවසුවේ ප්‍රජා පරීක්ෂා කිරීම් ඉතාමත් හදිසි බවකින් අවශ්‍ය කෙරී ඇති බවයි.

වෛරසය සැමට ම එක විදියට බලපාන්නේ නැහැ. එයට සමාජීය පැතිකඩක් ද තියෙනව. එනම්, කොරෝනා වෛරසයට ගොදුරු විය හැකි බව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනව. වෛරසයේ සැකසුම දිනෙන් දින එය සම්ප්‍රේෂනය වනවාත් සමග ම වෙනස් විය හැකි යි. ඉතින් වෛරසයේ බලපෑම දින ගෙවෙනවාත් සමග ම වෙනස් වීමට සහ විවිධාංගීකරනයට ලක් විය හැකි යි. ප්‍රජා පරීක්ෂා කිරීම් විසඳුමයි. හුදෙක් අගුලු ලෑම විසඳුම නොවෙයි. ඉන්දියානු ආන්ඩුව මෙම අගුලු ලෑම ක්‍රියාවට දැම්මේ කිසිදු පෙර සූදානමකින් තොරවයි. එ මෙන් ම, තවම ප්‍රජා පරීක්ෂා කිරීම් පටන් ගෙන නැහැ. දැන් මිනිසුන් මියැදෙමින් සිටින්නේ කොරෝනා වෛරසය නිසා නොව, සාගින්නෙන් සහ දරිද්‍රතාවයෙනි.

සනීපාරක්ෂක කම්කරුවන්, සෞඛ්‍ය සේවා කම්කරුවන්, හෙදියන්, වෛද්‍යවරුන්, ගිලන් රථ රියදුරන් සහ වෛද්‍ය ශිෂ්‍යයන් අඛන්ඩ ව පරීක්ෂාවට ලක් කල යුතු ය. තව ද, ආසාදනය වූවන් ඇසුරු කල අය සොයා යෑම වඩා කාර්යක්ෂම ආකාරයකට කල යුතු ය. මෙම ප්‍රජා මට්ටමේ පරීක්ෂා කිරීමේ සහ ඇසුරු කල අය හඳුනා ගැනීමේ අඩුව නිසා ඉතාලිය, ස්පාඤ්ඤය සහ ඇමරිකාව අත්දැක්කාක් වැනි දැවැන්ත මරන සංඛ්‍යාවක් ඇති විය හැකි ය.

කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තිය මහජනතාවට දැවැන්ත මානසික බලපෑමක් ඇති කර ඇත. මෑත දී, කොයිම්බටෝර්හි තරුනයෙක් තමන්ට කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂන පහල වූ නිසා සියදිවි නසා ගත්තේ පරීක්ෂා කරනු ලැබීමකින් තොර ව ය.

ධනවාදය සෞඛ්‍ය සේවය දකින්නේ ඩොලර්, දත්ත, තම නිෂ්පාදිතයන් සහ ඖෂධ සඳහා වෙලඳපොල ආදී ප්‍රවර්ගවලින් සහ හුවමාරු භාන්ඩයක් වශයෙන් පමනයි. මෙය කොරෝනා වෛරසයේ අර්බුදයක් නොව, ධනවාදයේ අර්බුදයකි.

දැන් ඉන්දියානු ආන්ඩුව මුස්ලිම් ජනතාව පිට වරද පැටවූව ද, ප්‍රථම වරට මේ රෝගය හඳුනා ගත්තේ 2019 දෙසැම්බරයේ දී ය. මේ වෛරසය කුල, ආගම හෝ ජාතිකත්වය තකන්නේ නැති වුවත් ට්‍රම්ප් සාපරාධී ලෙස එය “චීන වෛරසය” ලෙස හඳුන්වයි.

ඇමරිකාවේ සහ ඉතාලියේ කම්කරු පන්ති අරගල පැන නැගී ඇත. අනාරක්ෂිත පරිසරයක මිය යාමට කම්කරුවන් සූදානම් නැහැ. මෙම සිදු වීම් පෙන්නුම් කරන්නේ ධනවාදයේ ආන්තික අර්බුදයයි.

මම වාමාංශික චින්තකයෙක්මි. එ මෙන් ම, සමාජවාදී සෞඛ්‍ය සේවයක් සඳහා සටන් කරන්නෙක් වෙමි. මා පෙර පටන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය කියවනව. එය ගෝලීය ඉසව් සම්බන්ධයෙන් කදිම ආවරනයක් සපයනව. කොරෝනා වෛරසයේ බලපෑම ගැන වැඩිදුර දැන ගැනීමට මම ඔබේ වෙබ් අඩවිය කියවන්නෙමි.

Loading