ඉතාලියේ සිරවී සිටින ශ්‍රී ලාංකික කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියට කතා කරයි

කොරෝනා වසංගතයෙන් ලෝකය පුරා දැවැන්ත සමාජ ඛේදවාචකයක් නිර්මානය කෙරෙමින් පවතියි. එක් පසෙකින්, ජීවිතයත් මරනයත් අතර සටන් කරන රෝගීන්, දහස් ගනනින් ගොඩගැසෙන මල සිරුරු, ආදායම් මාර්ග අහිමි වී නිවාසවලට කොටුවී සාගින්නෙන් බැටකන මිලියන සංඛ්‍යාත කම්කරු-පීඩිත මහජනතාව ය.  අනෙක් පසින්, වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කිරීමට මුදල් වෙන්කරනු වෙනුවට මහධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කිරීමට දැවැන්ත ධනස්කන්ධයන් මුදාහරින ධනපති ආන්ඩු සහ වසංගතය මධ්‍යයේ සූරාකෑම තීව්‍ර කිරීමට වලිකන ධනපතියන් ය.

වසංගතය හේතුවෙන් බරපතල ව්‍යසනයකට මුහුන දුන් ඉතාලිය යුරෝපයේ වැඩිම මරන ප්‍රමානයක් වාර්තා වූ රටයි. මේ වනවිට එරට කොරෝනා ආසාදිතයින් 156,363ක් සොයාගෙන ඇති අතර වාර්තා වී ඇති මරන ගනන 19,899කි.

දේශීය පුවත්පතක් වන ඉකෝ ඩි බෙර්ගමෝ 2020 මාර්තු 17 වන දින සංස්කරනයේ ඉතාලියේ මෙඩිග්ලියා හි අවමංගල දැන්වීම් පිටු කිහිපයක් දක්වයි (AP Photo / Luca Bruno)

වසංගතයේ වර්ධනයත් සමගම නිසි වැඩපිලවෙලකින් තොරව කල අගුලු ලැම හේතුවෙන් මිලියන 4 කට අසන්න ආගමනික කම්කරුවෝ ඉතාලිය තුල සිරවී ආහාර හිඟයෙන් සහ මුදල් නොමැතිකමින් පිඩාවිදිති. ඒ අතරින්  ලංකාවේ සිට ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් සිටින තරුන කම්කරුවෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් පහතින් පලවේ.

ලෝසවෙඅ: අපේ සාකච්ඡාවට ආරම්භයක් වශයෙන් ඔබේ ඉතාලි ආගමනය සහ රැකියා කොන්දේසි පිලිබඳව කෙටියෙන් යමක් පැවසිය හැකිද?

කම්කරුවා: මම ඉතාලියට ආවේ 2018 සැප්තැම්බර් වල. මම ඉන්නේ ඉතාලි-ස්විට්සර්ලන්ත දේශසීමාව අසල පිහිටි ලොම්බාර්දියා පලාතට අයත් කොමෝ නගරයේ. මම තවත් පස්දෙනෙක් සමග නවාතැන් ගෙන සිටිනවා. මේ දක්වාම වැඩකලේ හෝටල් අංශයේ. අපිව සේවයට ගත්තේ කොන්ත්‍රාත් පදනමකට.  ඒත් කවදාවත් කොන්ත්‍රාත් එකේ සඳහන් වෙන වැටුප අපිට ගෙවන්නේ නැහැ. මුලු ඉතාලියේම කොන්ත්‍රාත් කම්කරුවන්ගේ තත්වය එහෙමයි. 

ලෝසවෙඅ: කොරෝනා වසංගතය සමස්ත ලෝකය අලලා ගත් දැවැන්ත සමාජ අර්බුදයක් විදිහට වර්ධනය වෙලා තියෙනවා.  ඉතාලිය තුල ඒ අර්බුදය වඩාත් තියුනුයි. මේ  තත්වය කොහොමද නිර්මානය වුනේ ?

කම්කරුවා: මාර්තු පලමු වෙනි සතියේ චීනයේ කොරෝනා වසංගතය උපරිමයට පැතිරිලා තිබුනේ. මේ කාලයේදී තමයි චීනයේ සංචාරය කරපු ඉතාලි යුවලකට වෛරසය අසාදනය වුනා කියලා   ප්‍රවෘත්ති වලින් දැනගත්තේ. එ්ත් ඉතාලි ආන්ඩුව මේකෙ බරපතලකම ගැන මිනිස්සු දැනුවත් කලේ නෑ. ආන්ඩුවේ නිලධාරීන් මාධ්‍ය වලට ඇවිල්ලා කිව්වේ මේක නිකන් සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා එකක් හැම අවුරුද්දකදීම මිනිස්සු 100ක් 200ක් මැරෙනවා. අපි ඒ සඳහා සූදානම්, ලෝකේ දෙවනියට හොඳම සෞඛ්‍ය සේවය තියෙන්නේ අපිට කියලා පම්පෝරි ගැහුවා. ඒත් වෛරසය බෝවෙන්නේ කොහොමද කියලවත් හරියට දැනුවත් කලේ නැහැ.

ලෝසවෙඅ: ඔබ පවසන්නේ ඉතාලි  ආන්ඩුවත් අනෙක් රටවල ධනපති ආන්ඩු වගේම මේ වසංගත අනතුර දැනුවත්වම නොතකා හල බවද?

කම්කරුවා: ඇත්තටම ඔව්. ඒක තමයි සිද්ධ වුනේ. තුන්වෙනි සතිය ගෙවීගෙන යනකොට මම ඉන්න ලොම්බාර්දියා පලාතෙන් කොරෝනා ආසාදිත ලෙඩ්ඩු එකසැරේ 100ක් 200ක් වාර්තා වෙන්න ගත්තා. එතකොට ඉතාලි රජය ලොම්බාර්දියා පලාත වහලා දැම්මා. එ්ත් මිනිස්සු නිතරම ගැවසෙන බැංකු හෝටල්, බාර්, සැලුන්, කොෆි ෂොප් වැහුවේ නැ. අපිත් රැකියාවට ගියා. මිනිස්සු සාමන්‍ය විදියට ගමන් බිමන් ගියා. එතකොට ඉතාලි රජය කිව්වේ. මේක ලොම්බාර්දියා වල ප්‍රශ්නයක් නිසා ඉතාලියේ අනිත්  නගර වහන්න ඕන කමක් නෑ කියලා. ආන්ඩුව මිනිස්සුන්ගේ ජීවිත ගැන තැකීමක් කලේ නැහැ. තුන්වෙනි සතිය වෙනකොට ලෙඩ්ඩු ඉතාලියේ අනෙක් නගරවලින් වාර්තා වෙන්න ගත්තම  එකපාරම මුලු ඉතාලියම ලොක් ඩවුන් කලා. මොකක්ද වුනේ කියලා මිනිස්සුන්ට හිතාගන්න බැරි වුනා. එතකොට මිනිස්සුන්ට වෙන්න  ඕනේ හරිය වෙලා ඉවරයි. 

ලෝසවෙඅ: අහාරපාන සහ සනීපාරක්ෂක උපකරන මිලදී ගැනීම සඳහා ඔබට රැකියාව කරන හෝටලෙන් වැටුප් ලැබුනාද ?

කම්කරුවා: මොනවත්ම ලැබුනේ නැ. අඩු තරමේ මාස්ක් එකක් ගන්නවත් බැරිවුනා. අපි අතරින් එක් කෙනෙක් සුපර් මාකට් එකක වැඩට යනවා. ඒ නිසා ඔහු ලවා කෑම බීම ගෙන්වා ගන්නවා. අනිත් අය හැමෝම රෙස්ටුරන්ට් වල වැඩ කලේ. කෑම හිඟ නිසා  අපි අපේ  කෑම බීම බෙදාගන්නවා. ගොඩක් වෙලාවට දවසට කන්නේ එක කෑම වේලක් විතරයි. වැඩ කරන තැන්වලින් මාස්ක් ඉල්ලුවාම ඒවා අපිට අදාල නැහැ ඔයාලා හොයාගන්න කියලා ආයතන ප්‍රධානියො කියනවා. ආන්ඩුවෙන් ආධාර දෙනවා කිව්වට ඒවා නිකන් නමට විතරයි. සමහර සුභසාධක සංවිධාන වලින් දෙන ආධාර සුලු ප්‍රමානයක් විතරයි මිනිස්සුන්ට ලැබෙන්නේ.  

ලෝසවෙඅ: ඔය අවස්ථාව වෙද්දී ඉතාලියේ සෞඛ්‍ය කාර්ය මන්ඩල  ක්‍රියාත්මක වුනේ කොහොමද?

කම්කරුවා: එකදිගටම ලෙඩ්ඩුන්ගෙන් රෝහල් පිරෙන්න ගත්තම වෛද්‍යවරු සහ හෙදියන් සෑහෙන්න කැපකිරීම් කලත් ඒ අයට කරගන්න දෙයක් තිබුනේ නැහැ. ඒ අයට ඕන කරන උපකරන, ආරක්ෂිත ඇඳුම් තිබුනේ නැහැ. මේ වගේ හදිස්සි අවස්ථාවක වැඩකරන්න අමතර සේවකයින් හිටියේ නැහැ. අඩු තරමේ ලෙඩෙකුට දෙන්න ගිලන් ඇඳක් වත් තිබුනේ නැහැ. මිනිස්සු රෝහල් පුරා කොරිඩෝ වල බිම හාන්සි කරලා බේත් කලේ. ලෙඩ්ඩු වෛද්‍යවරුන්ගෙ, හෙදියන්ගෙ අත් අල්ලාගෙන ජීවිතේ බේරලාදෙන්න කියලා අඬාවැටෙන වීඩියෝ සමාජ මාධ්‍යවල හුවමාරු වුනා. 

එන්න එන්නම වයසක මිනිස්සුන්ගෙ සහ කුඩා දරුවන්ගේ මිනී කඳු ගනන් රෝහල්වල ගොඩගැහෙන්න ගන්නකොට ලෝකයේ දෙවෙනි හොඳම සෞඛ්‍ය සේවය තියෙන්නේ ඉතාලියේ කියන්නෙ බොරුවක් බව එලිදරව් වුනා. ගොඩක් සෞඛ්‍ය සේවකයන්ගේ මානසික ආතතිය වැඩිවෙන්න ගත්තා. සමාජ මාධ්‍ය තුල, ඒ අය මුහුන දෙන ආතතිය ගැන වීඩියෝ පලකරලා තිබුනා. හුඟ දෙනෙක් නිදාගන්න උත්සාහ කලත් නින්ද යන්නේ නැහැ, නරක හීන පේනවා නැත්නම් තමුන් බෙහෙත් කරපු ලෙඩ්ඩු මැරිලා ඇති කියන සැකේට ගැස්සිලා ඇහැරෙනවා කියලා ඔවුන් සඳහන් කරල තිබුනා. මේ පීඩනය දරාගන්න බැරුව තමයි, මිලාන් වල හෙදියක් සියදිවි නසාගත්තේ. 

ලෝසවෙඅ: මේ වෙද්දී වත් ඉතාලි රජය කිසියම් නිශ්චිත පියවරක් අරගෙන නැද්ද වසංගතය මැඩීම වෙනුවෙන්?

කම්කරුවා: වසංගතය දරුනුවටම වැඩි වෙනකොට ඉතාලි ආන්ඩුව විශ්‍රාම ගිය වෛද්‍යවරුන්ට, හෙදියන්ට ආපහු සේවයට එන්න ඉල්ලීමක් කලා. එ්ත් ඒ අය වයස්ගත නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම ප්‍රශ්නයක් වුනා. ඊට පස්සේ  විශ්වවිද්‍යාල පාඨමාලා අවසන් කරන්න කිට්ටු වෛද්‍ය සහ හෙද සිසුන් සේවයට අරගෙන 5,000 ක කන්ඩායමක් හැදුවා. එ්ත් ඒ අයට ඕනේ කරන සෞඛ්‍ය ආරක්ෂිත උපකරන සෑහෙන තරමින් හිඟවෙලා තිබුනේ. ඇත්තෙන්ම ආන්ඩුවේ නොහැකියාව තමයි දිගටම ප්‍රදර්ශනය වුනේ.

දවසින් දවස ආන්ඩුව මිනිස්සුන්ට ගොඩක් බලාපොරොත්තු දුන්නා, අපි තමයි යුරෝපා සංගමේ පරනම සාමාජිකයෝ, අපි නේටෝ එකේ සාමාජික රටක් නිසා ඇමෙරිකාව අපිව තනිකරන්නේ නෑ කිව්වා. ඇමෙරිකාවෙන් උදව් ඉල්ලුවාම කිසිම ප්‍රතිචාරයක් ලැබුනෙ නැහැ. ඊට පස්සේ තමයි ඉතාලිය යුරෝපා සංගමෙන් උදව් ඉල්ලුවේ එ්ත් කිසිම රටක් උදව් කලේ නැ. අඩුම තරමේ  අසල්වැසි ස්විට්සර්ලන්තයෙන් වත්. ඔවුන් කලේ දේශසීමා වහල දාපු එක.  රතු කුරුස සංවිධානෙන් 100ක කන්ඩායමක් එක්ක කියුබාවෙන් වෛද්‍යවරු 200ක් ආවා. චීනයෙන් සහ රුසියාවෙන් ලැබුනු යම් ආධාර ප්‍රමානයක උදව්වෙන් දැන් යම් තරමක් තත්වය පාලනය කරල තිබෙන බවක් පේනව. ඒත් හරි ක්‍රමවේදයක් යොදාගෙන මිනිස්සුන්ගෙ ජීවිත යථා තත්වයට පත්කිරීම සම්බන්ධයෙන් නම් ආන්ඩුව මුලුමුනින්ම අසමත්. 

ලෝසවෙඅ: රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලෙන් ඔබලා මුහුන දෙන තත්වය ගැන සොයා බැලුවේ නැද්ද ?

කම්කරුවා: කිසි දෙයක් හොයලා බැලුවේ නැ. අපි කෝල් කරන්න උත්සාහ කලා ආහාර හිඟ වෙද්දී ආධාරයක් වත් ඉල්ලගන්න. ඒත් දුරකතන වැඩකලේ නැහැ. ලංකාවට යන අය සාමන්‍ය විදියට යැව්වා. එයාර් පෝට් එකෙන්වත්, තානාපති කාර්යාලයෙන් වත් කිසිම උපදෙසක් ලැබුනෙ නැහැ.  

ලෝසවෙඅ: කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යනවිට අපි දිගින් දිගටම අවධාරනය කරපු දෙයක් තමයි සෑම අයෙකුටම නොමිලේ ප්‍රවේශය ලැබිය හැකි වන අයුරින් මහා පරිමාන පරීක්ෂන ඇතුලු සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් දැවැන්ත පරිමානයෙන් මුදල් වෙන්කල යුතු බව. ඔබ ඒ ලිපි කියෙව්වද? 

කම්කරුවා: ඔව් මම ඉතා උනන්දුවෙන් ඒවා කියෙව්වා. ඒවායේ පැහැදිලිව සඳහන් කරනවා මේ වසංගතය අහම්බයක් නෙවෙයි කියන කාරනය. කල්තියා විද්‍යාඥයන් කරපු අනතුරු ඇගවීම් ධනපති ආන්ඩු විසින් නොතකා හැරීමෙන් මේ අපරාධය වෙන්න ඉඩහැරිය බව එයින් පැහැදිලි වෙනවා. මෙවැනි වසංගත වලින් මිනිස්සු ආරක්ෂා කරගැනීම සඳහා සෞඛ්‍ය පහසුකම් පුලුල් කිරීමට නම් මහධනපතියන්ගේ සල්ලි මලුවලට අත තියන්න වෙනවා. ධනපති පාලක පන්තිය ඒකට ඉඩදෙන්නේ නැහැ. 

මේ වෛරස් වසංගතයට පිලියමක් හොයන්න නම් ඒ වෙනුවෙන් ගෝලීය ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒ සඳහා කරන පරීක්ෂන වලට අනිවාර්යයෙන්ම දැවැන්තව මුදල් යෙදවීමක් අවශ්‍ය වෙනවා. ජාත්‍යන්තර සමාජවාදී ක්‍රමයක් අපට අවශ්‍ය ඒකයි. 

දැනටම වසංගත අවදානම නොතකා රස්සාවලට කම්කරුවෝ දක්කන්න ධනපති ආන්ඩු සූදානම් වෙනවා. ධනපතියන්ට ලාභ කොල්ල කන්න අපිව බිල්ලට දෙන එක වහාම නැවැත්විය යුතුයි.

Loading