ඉදිරිදර්ශන

ඇමරිකානුවන් මිලියන 6.6ක් විරැකියා ප්‍රතිලාභ ඉල්ලීමත් සමග සමාජ හා ආර්ථික ව්‍යසනය තීව්‍ර වේ

මෙම ලිපිය අප්‍රේල් 10වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් ජනපද කම්කරු දෙපාර්තමේන්තුවට අනුව, කොරෝනා වෛරස් වසංගතය විසින් ඇති කරන ලද සෞඛ්‍ය අර්බුදය 1930 ගනන්වලින් පසු ඇති වූ විශාලතම ආර්ථික අර්බුදය දක්වා වර්ධනය වීමත් සමග, පසු ගිය සතියේ කම්කරුවෝ මිලියන 6.6 ක් විරැකියා ප්‍රතිලාභ ඉල්ලීම් ඉදිරිපත් කලහ.

පසුගිය සති තුන තුල, එක්සත් ජනපදයේ වාර්තාගත ඉතිහාසය තුල විශාලතම හා වේගවත්ම රැකියා කප්පාදු රැල්ලේ දී, ඇමරිකානුවෝ මිලියන 16 .8ක් විරැකියා ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කලහ. 2008-09 ගෝලීය මූල්‍ය කඩාවැටීම අතරතුර, ජාතික විරැකියා ප්‍රතිලාභ ඉල්ලීම්, ඒවා දැන් ඇති මට්ටමට ලඟා වීමට සති 44ක්, දල වශයෙන් මාස 10ක් ගත වුනි.

මෙම සංඛ්‍යා පුදුමාකාර වන්නේ යම්සේද, ඒවා ව්‍යසනයේ සම්පූර්න පරිමාව එ පරිද්දෙන්ම ලඝු කොට දක්වයි. අවන්හල්, ඉදිකිරීම්, සේවා රැකියා සහ වෙනත් අංශවල රැකියා අහිමි වූ මිලියන සංඛ්‍යාත ලේඛනගත ශ්‍රමිකයින්ට විරැකියා ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබිය නො හැකි අතර, ඒ නිසා ඔවුහු සංඛ්‍යාලේඛනවල ගනන් නො ගැනෙති.

ලාස් වේගාස් හි ‍රැකියා කාර්යාලක් ඉදිරිපිට විරැකියා ප්‍රතිලාභ සඳහා ජනතාව පෙලගැසී සිටිති. (AP ඡායාරූපය / ජෝන් ලොචර්)

එපමනක් නොව, පසුගිය සති තුන තුල අයදුම්කරුවන්ගේ වැඩිවීම ප්‍රාන්ත විරැකියා කාර්යාලවලට දරාගත නොහැකි වූ අතර එවායේ දුරකථන මාර්ග අවහිර වී, වෙබ් අඩවි බිඳ වැටී තම ප්‍රතිලාභ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට නො හැකි වූ සිය දහස් ගනනක් අතහැර දැමුනි. 

පසුගිය සතියේ ෆ්ලොරිඩාවේ ප්‍රතිලාභ ඉල්ලීම් 170,000 ක් අලුතෙන් වාර්තා වූ අතර, සති තුනක මුලු එකතුව මිලියන භාගයකට ආසන්න විය. දින හතරක කාලයක් තුල ඇමතුම් 860,000 ක් ලැබීමෙන් පසු මාර්තු මස අවසානයේ දී ප්‍රාන්තයේ ස්වයංක්‍රීය පද්ධතිය බිඳ වැටුනි. මියාමි අසල හියාලියා හි සේවයෙන් ඉවත් කරන ලද සිය ගනනක් කම්කරුවන්ට තම ජීවිත හා සෞඛ්‍යය අවදානමට ලක් කර ගනිමින්, මුද්‍රිත අයදුම්පත් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය පුස්තකාලයකින් පිටත පෙල ගැසී සිටිමට බල කෙරුනි.

පසුගිය සතියේ කැලිෆෝනියාවේ මුල්වටයේ ප්‍රතිලාභ ඉල්ලිම් 925,450 ක විශ්මයජනක අගයක් ලෙස වාර්තා වූ අතර, එය මාර්තු 28වැනිදා ඇරුඹනු සතියේ කෙරුනු ඉල්ලිම් මිලියන 1.06ට හා  මාර්තු 21වැනිදා ඇරඹුන සතියේ ඉල්ලුම් කෙරුනු 186,000ට බොහෝ ඉහල ය. රටේ සෙසු ප්‍රදේශවල මෙන් ම ප්‍රාන්ත මට්ටමේ අගුලු දැමීම නිසා විශාල හා කුඩා ව්‍යාපාර ද වසා දමා ඇත. 

මේ සතියේ, සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රද්ශයේ වැඩසටහන්-සංවිධාන සමාගමක් වන ඉන්වෙන්ට්බ්‍රයිට් සිය ශ්‍රම බලකාය අඩකින් පමන අඩු කරන බව නිවේදනය කලේ ය. ඔන්ලයින් සමාලෝචන සමාගමක් වන යෙල්ප්, “කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ දිවි ගලවා ගැනීම සඳහා දැඩි පිරිවැය අඩුකිරීම්” පැනවීමත් සමග, කම්කරුවන් 1,000 ක් සේවයෙන් ඉවත් කර, 1,100ක් දීර්ඝ කාලීන නිවාඩු යවන බව තම කම්කරුවන්ට පැවසූ බව  සැන් ජෝස් මර්කරි නිවුස් වාර්තා කරයි.

විරැකියා ප්‍රතිලාභ ඉල්ලිම් 2008 සිට 2020 දක්වා විචලනය වූ ආකාරය (මූලාශ්‍ර: කම්කරු දෙපාර්තමේන්තුව)
අනෙකුත් විශාල ප්‍රාන්ත අතර, ජෝර්ජියාව නව ප්‍රතිලාභ ඉල්ලීම් 388,175ක්, මිචිගන් 384,844, නිව් යෝක් 345,246, ටෙක්සාස් 313,832 සහ ඔහියෝ 272,129 ක් වාර්තා කර ඇත.

නිව් යෝක් නගරයේ, බෘක්ලින් හි අලෙවිකරන සේවිකාවක වන, 23 හැවිරිදි කොරින් චින් වෝල් ස්ට්‍රීට් ජර්නලයට පැවසුවේ, ඇය සමහර විට දිනකට සිය වතාවක් නිව් යෝක් හි කම්කරු දෙපාර්තමේන්තුවට කතා කරන නමුත්, මාර්තු මැද සිට සතයක්වත් එකතු කර ගැනීමට නොහැකි වී ඇති බව යි. 

අර්බුදයට පෙර මිලියන සංඛ්‍යාත කම්කරුවෝ සිය වැටුප යාන්තමින් පිරිමසාගත්හ. එක් මසක වැටුප එම මාසයේ වියදම් වලට මුලුමුනින්ම වියදම් වන අතර ඊලඟ මාසයේ දිවි රැක ගැනීමට එම මස වැටුප ලැබිය යුතුමය. වැරදියට නම් කරන ලද කොරෝනා වෛරස් ආධාර, සහන සහ ආර්ථික සුරක්‍ෂිතතා පනත යටතේ පොරොන්දු වූ එක් වරක් පමනක් ලැබෙන ඩොලර් 1,200ක ගෙවීම, කවදා හෝ ලැබුන හොත්, එයින් කිසිත් පලක් නොවනු ඇත.

වැඩිහිටියන් 1,500 කට ආසන්න සංඛ්‍යාවක් පිලිබඳ නව බැන්ක්‍රේට්.කොම් වෙබ් අඩවි  සමීක්ෂනයකට අනුව, ඇමරිකානුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු (සියයට 31 ක්) අපේක්ෂා කරන්නේ දිරි ගැන්වීමේ මුදල් ඔවුන් මාසයක් නඩත්තු කරනු හෝ ඔවුන්ට කිසිසේත් උදව් නො කරනු ඇති බව යි. මහල් නිවාසවාසීන්ගෙන් තුනෙන් එකකට ආසන්න සංඛ්‍යාවකට ඔවුන්ගේ අප්‍රේල් මස කුලිය ගෙවීමට නො හැකි වූ අතර, ඩොලර් 1,200 ක මුදල මාසයක කුලියට වඩා අඩුය.

මිලියන ගනනක් ආර්ථික අසරනභාවයට මුහුන දෙන අතර, දිරි ගැන්වීමේ පැකේජය බැංකු හා සංගතවලට ට්‍රිලියන ගනනක් ලබා දෙනු ඇත. නව රැකියා විරහිත සංඛ්‍යා නිකුත් කල දිනයේ ම, ෆෙඩරල් මහ බැංකුව වෝල් වීදියේ හා යෝධ සමාගම්වල බොල් නය මිල දී ගැනීමට ඩොලර් ට්‍රිලියන 2.3 ක් යොදවනු ඇති යි යන ආරංචිය මත ඩව් ජෝන්ස් සහ එස් ඇන්ඩ් පී 500 වේගයෙන් ඉහල ගියේ ය.

කොරෝනා මරන ප්‍රමානය සමඟ ඩව් ජෝන්ස් දර්ශකය විචලනය වූ ආකාරය (මූලාශ්‍ර: ඩව් ජෝන්ස් දර්ශකය, වර්ල්ඩ්මීටර්)
පසුගිය සති දෙක තුල, කොරෝනා වෛරස මරන 550 සිට 17,000 දක්වා ඉහල ගිය විට, ඩව් සියයට 28 කින් වැඩි විය, එය ඉතිහාසයේ වේගවත් ම වැඩිවීම යි. මූල්‍ය කතිපයාධිකාරයට, එක්සත් ජනපද ආන්ඩුවෙන් තම දීමනා ලබා ගැනීමට පෝලිම් වල සිටිය යුතු නැත. කුඩා ව්‍යාපාරවලට නය සඳහා සුදුසුකම් ලැබිය නො හැකි බාධක හමු වන අතර, මහ බැංකුවේ වත්කම් හා එහි මුදල් මුද්‍රන කටයුතු වෝල් වීදියට පවරා ඇත.

මේ අතර, ට්‍රම්ප් පරිපාලනය නරුම ලෙස උත්සාහ කරන්නේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම් හා අගුලු දැමීම් හේතුවෙන් ඇති වන දැවැන්ත ආර්ථික දුෂ්කරතා උපයෝගී කර ගනිමින් වැඩබිම් හරහා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන තත්වයන් යටතේ නො කල් හි නැවත සේවයට පැමිනීම සඳහා තර්ක කිරීමට යි.

වසංගතයෙන් හා එහි විනාශකාරී ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාකවලින් ප්‍රමානවත් ආරක්ෂාවක් ඉල්ලා සිටීම සඳහා එක්සත් ජනපදයේ හා ලොව පුරා සමාජ විරෝධය වැඩිවෙමින් පවතී. සෞඛ්‍ය රැකවරනය හා ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්විය යුතු අත්‍යවශ්‍ය මූලධර්මය වන්නේ කම්කරු පන්තියේ අවශ්‍යතා ධනවතුන්ගේ ධනය හා ලාභයට වඩා පරම ප්‍රමුඛතාවය ගත යුතු බව යි.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා හදිසි පියවර ඉල්ලා සිටී:

සියලු කම්කරුවන්ට සම්පූර්න වැටුප් හා වසංගත කාලපරිච්ඡේදය සඳහා කුලී, උපයෝගිතා හා අනෙකුත් ගෙවීම් අවලංගු කරනු

සංගත-වෝල් වීදියේ ඇපදීම අවලංගු කරනු. වසංගතයට එරෙහිව සටන් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂනය සැපයීමට අවශ්‍ය කෙරෙන සේවා හා අවශ්‍ය උපකරන සහිත කාර්මික කම්කරුවන් ලබා දීමට අවශ්‍ය මූල්‍ය හා කාර්මික සම්පත් වහාම ලබාදෙනු

රැකියා නැතියවුන් ඇතුලු, සෑම අයෙකුට ම නිදහස් හා විශ්වීය සෞඛය රැකවරන. දොට්ට දමා ඇති සියලු සංක්‍රමනික කම්කරුවන්ට සම්පූර්න වැටුප් හා පුරවැසි අයිතිය ලබා දෙනු.

කොවිඩ්-19 වසන්ගතය නතර කරනු! වෛද්‍ය රැකවරන, පරීක්ෂන, හා ප්‍රතිකාර ව්‍යාප්ත කිරීමේ හදිසි පියවර මගින් දහස් ගනන් කම්කරුවන්ගේ ජීවිත රැක ගනු!

ආන්ඩුව විසින් ඇප දෙමින් තිබෙන සියලු කර්මාන්ත ඒ වෙනුවට කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ මහජන උපයෝගිතාවන් බවට පත්කල යුතු අතර, තීරනාත්මක අවශ්‍යතාවන් නිෂ්පාදනය වෙත ආපසු හරවා යැවිය යුතු ය.

පොහොසතුන් මත දැවන්ත බදු පනවා සංගත හා මූල්‍ය කතිපයාධිකාරිය විසින් සඟවා තබා ගන්නා ඩොලර් ට්‍රිලියන ගනන් අල්ලා ගනු

වසංගතය සමාජයේ මූලික පන්ති භේද නිරුවත් කර තිබේ. කම්කරු පන්තිය යනු සමාජයේ අත්‍යවශ්‍ය හා ප්‍රගතිශීලී බලවේගයයි. එය ජීවිත බේරා ගැනීම, ආහාර, ඖෂධ හා වෙනත් අවශ්‍ය භාන්ඩ නිෂ්පාදනය හා ප්‍රවාහනය කිරීම මෙන්ම නවීන මහජන සමාජයක යටිතල පහසුකම් පවත්වා ගැනීමට උර දෙන පන්තිය යි. පාලක පන්තිය, තෙමේ ම පොහොසත් වීමේ ඔල්මාදය තුල, වසංගතයට විද්‍යාත්මක හා මානුෂීය ප්‍රතිචාර දැක්වීමට ඇති ලොකුම බාධකය බව ඔප්පු කර තිබේ.

පසුගිය මාස තුන තුල ගත් සෑම ක්‍රියාමාර්ගයක දී ම පාලක පන්තිය කම්කරු පන්තියේ සෞඛ්‍යය හා ජීවිත කෙරෙහි දක්වන අවඥාව පෙන්නුම් කර තිබේ. එපමනක් නො ව, එක්සත් ජනපදයේ කොන්දේසි සෑම ධනේශ්වර රටක ම විවිධ ස්වරූපවලින් පුනරාවර්තනය වේ. පාලක ප්‍රභූව තමන්ට ම ට්‍රිලියන ගනන් ඩැහ ගැනීමට ආන්ඩුව මත තම පාලනය උපයෝගී කර ගන්නා අතර කම්කරුවෝ මරනයට, විරැකියාවට හා පීඩාවට මුහුන දෙති.

සිදුවීම් සනාථ කරමින් තිබෙන්නේ සමාජවාදයේ පදනම මත සමාජය සම්පූර්නයෙන් ම ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව යි. හදිසි සමාජ අවශ්‍යතා සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම්ව කම්කරු පන්තිය විශාල වශයෙන් බලමුලු ගැන්වීම හා දේශපාලන බලය ධනේශ්වර පන්තියේ සිට කම්කරු පන්තිය වෙත මාරු කිරීමෙනි. මෙම වැඩපිලිවෙලට සටන් කිරීම සඳහා සමාජවාදී සමානාතා පක්ෂයට බැඳෙන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

Loading