ආරක්ෂාව තහවුරු නොකර පාසල් විවෘත කිරීමට ගුරුවරු සහ දෙමව්පියෝ විරුද්ධත්වය පල කරති

ලංකාව තුලත් ජාත්‍යන්තර පරිමානවත් කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිද්දී, මාර්තු 13 දා සිට වසා දැමූ ලංකාවේ පාසල්, දෙවන වාරය සඳහා එලඹෙන මැයි මස 11 දා යලි ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබේ. 

වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් නොතකා ආන්ඩුව ගනු ලබන මෙම මුංමුලා සහගත පියවර “වසංගතය මර්දනය කර ඇතැයි“ මවාපෑම සඳහා ගෙන යන පලල් ප්‍රචාරයක කොටසකි. 

කල්දමන ලද මහ මැතිවරනය යලි පැවැත්වීමටත්, අපනයන   ක්ෂේත්‍රයට අදාල ඇගලුම් කර්මාන්ත ශාලා, අපනයන බෝග වගාව හා ඒ ආශ්‍රිත කර්මාන්තවලට කම්කරුවන් යලි දැක්කීමටත් දතකන ආන්ඩුවට “වසංගතය මර්දනය කර ඇතැයි“ මවාපෑමට අවශ්‍ය ය. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ අදියර හතරක් යටතේ රටපුරා විශ්වවිවිද්‍යාල ද එදිනම විවෘත කරන බවයි. 

වසංගත තත්වයක් වඩා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ඇති ක්ෂේත්‍රයක් ලෙස ජාතික සහ ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥයින් විසින් පාසල් පද්ධතිය නම්කර තිබියදීත් ආන්ඩුව ගෙන ඇති මෙම තීරනයට පාසල් ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ විරුද්ධත්වය  ප්‍රකාශ වී තිබේ. 

සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) ගුරු කන්ඩායම පසුගිය සතියේ සංවිධානය කල අන්තර්ජාල සාකච්ඡාවකට සම්බන්ධ වූ ගුරුවරියක් මෙසේ ප්‍රකාශ කලා ය: “පවතින තත්ත්වය යටතේ පාසල් ආරම්භ කලොත් ගුරු-විදුහල්පතිවරුන්ට දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරි වෙයි. උගන්වන්න මානසිකත්වයක් නැති වෙයි. ගිය අවුරුද්දේ අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පස්සේ දරුවන්ගේ ආරක්ෂාවට කියලා ගුරුවරුන්ට, දෙමාපියන්ට පාසල් මුර කරන්න බල කලා. මේ පාර තව දේවල් කියයි“. 

පසුගිය වසරේ අත්දැකීම් යලි ගෙන හැර දක්වමින් ඇය වැඩි දුරටත් කියා සිටියේ පාසල් වසා දැමීමේ පාඩුව පියවීමට ගුරුවරුන් මත වැඩ පැටවනු ඇති බවත් එවන් ක්‍රියාමාර්ග මගින් සිදු වන්නේ ගුරුවරු සහ ශිෂ්‍යයන් හෙම්බත් කිරීම පමනක් බවයි. 

නුවර ප්‍රදේශයේ දෙදරු පියෙක් මෙසේ පැවසුවේය: “මෙච්චර සංඛ්‍යාවක් ආසාදනය වෙලා තියෙද්දි ලමයි පාසල් අරින්නේ කොහොමද. චීනයෙත් නැවත රෝගීන් වාර්තා වෙනවා. මේ තීන්දු අරන් තියෙන්නේ මිනිස්සු ගැන හිතලා නෙමේ. ධනපති පන්තියේ අවශ්‍යතා උඩ ගන්න තීන්දු තමයි මේවා“ 

මුද්‍රිත මාධ්‍යවල පාසල් යලි ආරම්භ කිරීම සම්බන්ධව පල කර තිබූ   ප්‍රවෘත්තීන්ට අනුව ආන්ඩුවේ අරමුනු වෙනුවෙන් දරුවන් බිල්ලට නොදිය යුතුයැයි පවසමින් මහජනයා සිය විරුද්ධත්වය පල කරමින් සිටිති. 

ලොවපුරා ධනපති ආන්ඩු අනුයමින් ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව,  රෝගීන් හඳුනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය යැයි විශේෂඥයන් විසින් යලියලිත් නිර්දේශ කරන මහා පරිමාන රෝග පරීක්ෂාවන් ක්‍රියාත්මක කිරීම නොතකා හැර ඇත. රෝග ලක්ෂන මතුවීමට ප්‍රථම හැකිතාක් සැක කටයුතු පුද්ගලයන් පීසිආර් පරීක්ෂනයට භාජනය කරන්නැයි වෛද්‍ය විශේෂඥයෝ ඉල්ලා සිටිති. රෝග ලක්ෂන මතුවන තෙක් කල් මැරීම මගින් සිදු වන්නේ ආසාදිතව ඇති පුද්ගලයන් තවත් පුද්ගලයන් ආසාදනය කිරීම පමනකි.  

දැනට ලංකාවේ ආසාදිත රෝගීන් 219 ක් වාර්තාවන ආතර ඔවුන් ඇසුරු කල පුද්ගලයන් සංඛ්‍යාව දහස් ගනනක් වන බව වාර්තාවේ. ආන්ඩුව මෙතෙක් පීසිආර් පරීක්ෂන සිදු කරන්නේ දිනකට පුද්ගලයන් 300 ක් තරම් අඩු සංඛ්‍යාවකි. 

ගැඹුරු වෙමින් පවත්නා ලෝක ධනේශ්වර අර්බූදයේ බර මහජනයා මත පැටවීම සඳහා ආඥාදායක පාලනයක් ස්ථාපිත කර ගැනීම කොරෝනා වසංගතය ආරම්භ වීමට පෙර සිටම රාජපක්ෂගේ අරමුන විය. මෙම අරමුන සාක්ෂාත් කිරීමෙහි ලා, ව්‍යවස්ථා සංශෝධනයක් මගින් තම විධායක ජනාධිපතිත්වයට ඇති සීමිත බාධාවන් පවා ඉවත් කර ගැනීමට ඔහු බලාපොරොත්තු වෙයි. 

බරපතල මහජන ව්‍යසනයක් මැද්දේ මහ මැතිවරනය පැවැත්වීම සම්බන්ධ ආන්ඩුවේ නො ඉවසිල්ල පිටුපසින් ඇත්තේ එම ප්‍රතිගාමී අරමුනයි. මැතිවරනය කල්ගියහොත්, ආන්ඩුවට එරෙහිව වැඩෙන මහජන අතෘප්තිය තමාට එරෙහිව පිහිටා, ව්‍යවස්ථා සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය තහවුරු කරගැනීමට නොහැකි වෙතැයි රාජපක්ෂ ගනන් බලයි. 

මේ අතර, කඩනමින් මැතිවරනයක් කැඳවීමට ගන්නා ප්‍රයත්නය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් විරුද්ධත්වය මතු වී ඇති අතර මැතිවරන කොමිෂන් සභාව හා රාජපක්ෂ අතර මතභේද වර්ධනය වී තිබේ. 

රාජපක්ෂ, කෙසේ නමුත්, ආඥාදායක පාලනයකට අවශ්‍ය මිලිටරීකරන වැඩකටයුතු වේගවත්ව ඉදිරියටම ගෙන යමින් සිටී. කොරෝනා ව්‍යසනය වහා ඩැහැගත් ඔහු, වසංගතය මැඩීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කරමින් රටපුරා මිලිටරිය සහ පොලීසිය දිගේලි කලේය. මේ වන විට පොලීසිය විසින් 25,000 ට ආසන්න පිරිසක් ඇඳිරි නීතිය කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. 

අධිරාජ්‍යවාදී බලයන්ගේ සිට ලොව පුරා ධනපති පාලක පන්තීන්ගේ පරිපූර්න නො තැකීම මත ඔඩුදුවා ඇති වසංගතය මගින් ලෝක ආර්ථික අර්බුදය, දෙවන ලෝක යුද්ධයට පූර්වයෙන් හට ගත් 1929 මහා අවපාතය ඉක්මවා යන ගැඹුරු අර්බූදයක් දක්වා වර්ධනය කෙරී ඇත. එහි කොටසක් ලෙස ලංකාවේ ආන්ඩුව බරපතල විදේශ විනිමය අර්බූදයකට මුහුන දී සිටී. ලංකාවේත්, ලෝකය පුරාමත් කම්කරුවන් වැඩට දැක්කවීමේ හදිසිය මතු වී ඇත්තේ ඒ තත්වය තුලයි.  

වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය කල අනතුරු ඇඟවීම් නොතකා හැරි සහ වසංගතය මැඩීමට අත්‍යවශ්‍ය ඒකාබද්ධ ගෝලීය ප්‍රයත්නයකට හතුරු ලොව පුරා ධනපති පාලක පන්තීන්, ලොව පුරා බිලියන 1.7 ට වැඩි පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම සම්බන්ධව මුලුමනින්ම වගකිව යුතු ය.    

මේ වනවිට වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත් වී තිබෙන ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පාසල් වසා දැමීම බලධාරීන් විසින් කල් පමා කිරීම හේතුවෙන් එහි ගුරුවරුන් හා අනධ්‍යන කාර්ය මන්ඩල සේවකයන් දුසිම් ගනනක් ආසාදනයට ලක්ව තිබේ. 

දිනපතා රෝගීන් දහස් ගනනින් මියයමින් තිබිය දී ට්‍රම්ප් පාලනාධිකාරිය, ව්‍යසනයෙන් මූල්‍ය කතිපයාධිකාරිය ගලවා ගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන 2 ක් මුදා හැරියේ ය. සෞඛ්‍ය කාර්ය මන්ඩලවලට පවා නිසි ආරක්ෂක උපකරන සම්පාදනය කර නැති   ට්‍රම්ප්, අවශේෂ කම්කරුවන්ට බල කරන්නේ නැවත වැඩට යන ලෙසයි. රෝග ව්‍යාප්තිය හේතුවෙන් වැඩෙන මහජන විරුද්ධත්වය මධ්‍යයේ දී ඔහු පසුගිය ඉරිදා සිට රටපුරා හදිසි තත්වයක් නිවේදනය කර තිබේ.  

ට්‍රම්ප් පාලනාධිකාරියේ සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා ධනපති පාලක පන්තියේ උත්සුකය පවතින්නේ මහජන ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධව නොව මහා ධනපතියන්ගේ ලාභය සහ ධනපති ක්‍රමයේ ආරක්ෂාව සම්බන්ධවයි. 

කම්කරු පන්තියේ ආස්ථානය විය යුත්තේ අනාරක්ෂිත කොන්දේසි යටතේ කිසිසේත්ම යලි වැඩට නොයන බවයි. වසංගතය පාලනය කිරීම සඳහා විද්‍යාඥයන් කරඇති නිර්දේශයන්ට අනුකූලව පාසැල්, විශ්ව විද්‍යාල සහ අත්‍යවශ්‍ය නොවන නිශ්පාදන සහ සේවාවන් තවදුරටත් වසා තැබිය යුතු ය. අත්‍යවශ්‍ය නිශ්පාදනයන්හි සහ සේවාවන්හි නිරත කම්කරුවන්ට ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු උපකරන ලබා දෙමින් ආරක්ෂක සේවා කොන්දේසි තහවුරු කල යුතුය.

සෞඛ්‍ය සේවාවේ පරිහානිය සහ අත්‍යවශ්‍ය සේවාවන්හි ප්‍රමාදය සම්බන්ධව පැනනැංවෙන මහජන වෛරය පිලිබඳව උත්සුක වෙමින් ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති ඊනියා සහන පියවරවලට පිටුපසින් මහා ව්‍යාපාර, කර්මාන්ත හා කොටස් වෙලඳපොල මුල්‍ය සම්පාදකයන්ට දැවැන්ත සහන පුදා ඇත. 

ලාබ නය පොරොන්දු වෙමින්, පොලී අනුපාත අඩුකරමින්, ව්‍යවස්ථාපිත සංචිත අනුපාත කපා දමා ව්‍යසනයෙන් මහා ධනපතියන් රැකීමට ඔහු විවිධ පියවර ගෙන තිබේ. ව්‍යසනය හේතුවෙන් කඩාවැටීමට ලක්වී තිබෙන ව්‍යාපාර ගොඩගැනීම සඳහා රුපියල් බිලියන 400 ක් බැංකු වලට වෙන් කරන බව මහ බැංකුව අප්‍රේල් මුල නිවේදනය කලේ ය. 

ගෝඨාභය රාජපක්ෂ පිහිටුවා ඇති කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂන අරමුදලට, මහජන මුදල් ගසා කමින් මහා ධන ස්කන්ධයන් සමුච්චය කරගත් ආන්ඩුවේ මැති ඇමතියන් සිය වැටුප් හා තවත් සොච්චම් මූල්‍ය “පරිත්‍යාග“ කරමින් කම්කරු පන්තියට ද කැප කරන්නැයි ඉල්ලා සිටී. 

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම ඔහුගේ වැටුප “පරිත්‍යාග“ කොට ගුරුවරු ඇතුලු සිය අමාත්‍යංශයේ සියලුම කාර්ය මන්ඩලවලට පරිත්‍යාග කරන්නැයි ඉල්ලා ඇත. වසංගතයෙන් උද්ගත කෙරී ඇති ආර්ථික අර්බූදයේ බර මහජනයා මත පැටවීමේ ආන්ඩුවේ එල්ලය කම්කරු පන්තියේ සියලු අයිතීන්වලට කෙටීමේ කොටසකි.  

කම්කරු පන්තියේ සහ අවශේෂ මහජනයාගේ පුලුල් විරුද්ධත්වය තලා දමමින් බලයට පත් ආන්ඩු විසින් සෞඛ්‍යය, අධ්‍යාපනය හා අනෙකුත් මහජන සුභසාධන සේවාවන් කප්පාදු කොට ඇත්තේ වෘත්තීය සමිති නිලධරයේ සහ ව්‍යාජ-වාම පක්ෂවල සහයෝගයෙනි. 

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මත ලැග සිටින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකාර කලමනාකාර සහකාර හා කාර්මික සේවා සංගමය දැනටමත් ආන්ඩුව හා ඒකාබද්ධ වෙමින් දිනක වැටුප පරිත්‍යාග කිරීමට යෝජනා කොට තිබේ. පාසල් ගුරු සංගම් තවම මේ සම්බන්ධ කැඳවුමක් කොට නැතැත් කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමට හතුරු සියලූම වෘත්තීය සමිති ආන්ඩුව සමග පෙලගැසෙනු නියතය. 

කම්කරු පන්තියේ ආධාර මගින් පැන නංවා ඇති මහා ව්‍යසනයට පිලියම් කල නොහැක. එවැනි ක්‍රියා මගින් මගින් යලි පෙන්නුම් කර ඇත්තේ ධනපති පන්ති පාලනයේ පරිපූර්න නොහැකියාවයි. 

Loading