කෝවිඩ්-19 පැතිරීමත් සමඟ ඇඟලුම් කම්කරුවෝ බංග්ලාදේශයේ විරෝධතා දක්වති

විමල් පෙරේරා
16 අප්‍රේල් 2020

මෙම ලිපිය 2020 අප්‍රේල් 15 දා ඉංග්‍රීසි බසින් පලවිය.

බංගලාදේශයේ අගනුවර වන ඩකාහි සහ රට පුරා කාර්මික කලාපවල දහස් ගනන් ඇඟලුම් කම්කරුවෝ හිඟ වැටුප් ඉල්ලා සිටිමින් සේවයෙන් පහ කිරීම හා දොට්ට දැමීම්වලට විරෝධය පල කලහ. පෙර සතියේ උද්ඝෝෂනවලින් පසුව, තක්සේරුවලට අනුව, ඇඟලුම් කම්කරුවන් 20,000 ක් ද පෙර දින උද්ඝෝෂනය කලහ.

අවාමි ලීගය ප්‍රමුඛ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාගේ ආන්ඩුව මීට පෙර මාර්තු 26 සිට අප්‍රේල් 4 දක්වා රට පුරා අගුලු දැමීමක් පනවා තිබුනි. අත් පිරිසිදු කිරීම සඳහා විෂබීජනාශක ද්‍රව්‍ය, මුහුනු ආවරන, අත්වැසුම් සහ නිසි සමාජ-දුරස්ථ භාවිතයන් ඉල්ලා සිටින කම්කරුවන්ගේ පුලුල් ක්‍රියාමාර්ගයන්ට මුහුන දෙන ලදුව, ආන්ඩුව අගුලු දැමීම අප්‍රේල් 25 දක්වා දීර්ඝ කලේය.

කම්හල් වසා දැමීම, තාවකාලික කම්කරුවන් දහස් ගනනක් සේවයෙන් නෙරපීම සහ හිඟ වැටුප් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම මගින් හාම්පුත්තු අගුලු දැමීමටත් හා විදේශ ඇනවුම් විශාල වශයෙන් පහත වැටීමටත් ප්‍රතිචාරය දැක්වූහ.

අගුලු දැමීම ආරම්භ වූ විට, මාසික වැටුප වන ටකා 8,000 ක් (ඇමරිකානු ඩොලර් 95 ක්) පමනක් ලබන ප්‍රධාන වශයෙන් කාන්තා ඇඟලුම් කම්කරුවන් දහස් ගනනකට, කිසිදු වැටුපක් නොමැතිව ඔවුන්ගේ දුර බැහැර ගම්මාන වෙත ආපසු යාමට බල කෙරුනි. මාධ්‍ය වාර්තාවලට අනුව ඇඟලුම් කර්මාන්තශාලා 300 කට අඩු සංඛ්‍යාවක් වැටුප් ගෙවා ඇති අතර තක්සේරුගත කර්මාන්තශාලා 200 ක් තවමත් ක්‍රියාත්මක වේ.

අසරනභාවයට මුහුන දෙමින්ද තම කර්මාන්තශාලා අප්‍රේල් 4 වනදා නැවත විවෘත කරනු ඇතැයි අපේක්ෂා කරමින් කම්කරුවෝ කාර්මික කලාප වෙත ආපසු ඇදී ආහ. එහිදී පෙර නොවූ විරූ තත්වයකට ඔවුහු මුහුන දුන්හ. කර්මාන්තශාලා ගනනාවක දොරටු වසා දැමීමේ දැන්වීම් තිබුනි. කම්කරුවන් දහස් ගනනක් දොට්ට දමා තිබුනි. සමහර කම්හල්වල කර්මාන්තශාලා කලමනාකරුවෝ ඉල්ලා අස්වීමේ ලිපිවලට කම්කරුවන් ලවා අත්සන් කරවා ගැනීමට උත්සාහ කලහ.

පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම නිසා කම්කරුවන්ගේ ගමන් අනතුරුදායක විය. ඔවුහු ගමන් කලේ මගීපාරු, වෑන් රථ, ඔටෝ රික්ෂෝ, ට්‍රක් රථ සහ යතුරුපැදි මගිනි. තවත් සමහරු ඩකා සහ වෙනත් කාර්මික කලාප කරා ලඟාවීම සඳහා පැය 30 ක් පමන දුර ගමන් කලහ.

චීනයෙන් පසු ලෝකයේ දෙවන විශාලතම ඇඟලුම් නිෂ්පාදකයා බංග්ලාදේශයයි. එහි නිල වශයෙන් ලියාපදිංචි කෙරී ඇති කර්මාන්තශාලා 4,500 කට වඩා වැඩි ප්‍රමානයක් වන අතර එයින් රටේ ඩොලර් බිලියන 40 ක වාර්ෂික අපනයන ආදායමෙන් සියයට 84 ක් පමන ලැබෙයි. හසීනාගේ රජය සහ ඇඟලුම් කර්මාන්තයේ හාම්පුත්තු, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ඔවුන්ගේ සගයන් මෙන්, කර්මාන්ත නැවත විවෘත කරන ලෙස ඉල්ලා සිටිති.

ඩකා සිට කි.මී. 150 ක් දුරින් පිහිටි නෙට්රෝකෝනා ගම්මානයේ සිට ආපසු පැමිනි ඇඟලුම් කම්කරුවෙකු වන මෙහෙඩි හසන් ඩකා ට්‍රිබියුන් වෙත මෙසේ පැවසීය: “අපි [කර්මාන්තශාලා හිමිකරුවන්ගේ] මෙම අවදානම් ක්‍රීඩාවේ ඉත්තෝ වෙමු.” මොහුට නැවත තම කර්මාන්තශාලාවට යාමට ටකා 1,000 කට අධික මුදලක් වැය වූ අතර මෙය අඩු වැටුපක් ලබන කම්කරුවකුට විශාල මුදලකි.

ගාසිපූර් හි මවුචක් හි ටීඑස්එස්-ෆැෂන් කම්හලේ තවත් කම්කරුවකු නිව් ඒජ් වෙත මෙසේ පැවසීය: “මම හෙට මගේ කර්මාන්ත ශාලාවට යාම සඳහා ගාසිපූර් බලා යන ගමනේදී මගේ ජීවිතය පරදුවට තැබුවෙමි. එය මගේ ජීවනෝපායයි. ඇඟලුම් කර්මාන්තශාලා හැර අනෙක් සියල්ල වසා දමා ඇති බැවින් රජයේ ප්‍රතිපත්තිය මට තේරෙන්නේ නැත.”

ඇඟලුම් කම්කරුවෙකු වන 21 හැවිරිදි සජෙදුල් ඉස්ලාම් ඒඑෆ්පී වෙත මෙසේ පැවසීය: “අපි කොරෝනා වෛරසයට බිය වෙමු. මෙම රෝගයෙන් බොහෝ දෙනෙක් මිය යන බව අපට අසන්නට ලැබුනි, නමුත් අපට වෙනත් විකල්පයක් නොමැත. අපි බඩගින්නේ ඉන්නේ. අපි නිවසේ රැඳී සිටියහොත්, අපට වෛරසයෙන් අපව ගලවා ගත හැකි නමුත් සාගින්නෙන් අපව ගලවා ගන්නේ කවුද?”

නිව් ඒජ් සමඟ අදහස් දක්වමින් බංගාබදු වෛද්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන ඉක්බාල් අර්සලාන් අනතුරු ඇඟවූයේ “ඩකා නුවරට පැමින කායික දුරස්ථභාවය පවත්වා ගත නොහැකි කර්මාන්තශාලා වල වැඩ ආරම්භ කිරීමට ඉඩ දීමෙන් අපි අවදානම් සාධක වැඩි කර ගන්න්නෙමු.”

පසුගිය සතියේ මයිමන්සිං දිස්ත්‍රික්කයේ ක්‍රවුන් වේආර්ස් කම්හල වසා දැමීම සහ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් ඇඟලුම් කම්කරුවන් සිය ගනනක් විරෝධතා දැක්වූහ. ඔවුන්ට පොලීසිය විසින් දරුනු ලෙස පහර දුන් අතර 20 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. ට්‍රක් රථයක් ඔවුන් යටකර යාමෙන් විරෝධතාවේ නිරත කම්කරුවන් දෙදෙනෙකු මිය ගියේය.

ගාසිපූර් හි ඒපීඑස් හෝල්ඩිංග්ස් කම්කරුවෝ ද ඔවුන්ගේ හැඳුනුම්පත් කලමනාකරනය විසින් අත්පත් කර ගැනීමටත් ඔවුන් රැකියාවෙන් නෙරපීම සඳහා භාවිතා කල හැකි හිස් කඩදාසි පත්‍රවලට අත්සන් කිරීමට බල කිරීමට උත්සාහ කිරීමටත් එරෙහිව විරෝධය පල කලහ.

සාවාර් හි රයිසින්ටෙක්ස් ෆැෂන් කම්කරුවෝ 150 ක් පමන එකම ඉල්ලීම් ඉදිරිපත් කලහ. මාධ්‍ය වාර්තාවලට අනුව ගාසිපූර්, අෂුලියා, සාවාර් සහ චැටෝග්‍රෑම් යන ප්‍රදේශවල කර්මාන්තශාලා 20 කින් කම්කරුවන් 3,000 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කෙරී තිබේ.

මෙම වැඩෙන කම්කරු  පන්තියේ කෝපයට මුහුන දුන් ආන්ඩුව පුද්ගලික ආරක්ෂක උපකරන නිෂ්පාදනය කරන කම්හල් හැර සියලුම ඇඟලුම් කම්හල් වසා දැමීමට නියෝග කලේය. ඇඟලුම් කර්මාන්ත හිමියන් සමඟ කල සාකච්ඡාවෙන් අනතුරුව, අගුලු දැමීම් අප්‍රේල් 25 දක්වා දීර්ඝ කරන බව ආන්ඩුව නිවේදනය කලේය.

මෙයින් අදහස් වූයේ තම ගම්වලින් සංචාරය කල කම්කරුවන්ට ආපසු පැමිනීමට නොහැකි තත්වයකට මුහුන දුන් අතර ඩකා නගරයට ඇතුලුවීම හෝ පිටවීම වැලැක්වීම සඳහා පොලිස් බාධාවන්ට මුහුන දුන් බවයි.

රට පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත දුප්පත් ජනතාවට ඔවුන්ගේ ඉපැයීම් අහිමි වී ඇති අතර ආන්ඩුවේ ආහාර ආධාර නොලැබෙන නිසා ඔවුහු කුසගින්නේ සිටිති. මෙය සියදිවි නසාගැනීම් හා විරෝධතා වලට තුඩු දී තිබේ. සියදිවි නසාගැනීම් අතර මහේෂ්පූර් උප දිස්ත්‍රික්කයේ දල්බංග ගම්මානයේ වෑන් රථ කම්කරුවකු සහ දරුවන් හතර දෙනෙකුගේ පියෙකු වු 30 හැවිරිදි වහිදුල් ඉස්ලාම් ද විය.

පසුගිය සතියේ නාරායංගන්ජ් හි පදිංචිකරුවෝ ආධාර ඉල්ලා සිටිමින් පොදුවේ එකට එකතුවීමේ තහනම් සහ නිල සමාජ දුරස්ථභාවය පිලිබඳ ක්‍රියාමාර්ග නොතකා බදාදා දිස්ත්‍රික් පරිපාලන කාර්යාලයක් දෙසට පාගමනින් ගමන් කලහ.

කාරුනික ආධාර සපයන බවට ආන්ඩුවේ ප්‍රකාශයන් රාජ්‍ය නොවන සංවිධානයක් වන බ්‍රැක් විසින් කරන ලද සමීක්ෂනයකින් හෙලි විය. අප්‍රේල් 5 වන විට ජනගහනයෙන් සියයට 4 කට පමනක් හදිසි සහන ආධාර ලැබී ඇති බවත්, අඩු ආදායම්ලාභීන්ගෙන් අවම වශයෙන් සියයට 14 කටවත් නිවසේ ආහාර නොමැති බවත් එය සොයාගෙන තිබේ. අගුලු දැමීමට පෙර ටකා 14,599 ක සාමාන්‍ය කුටුම්භ ආදායම මේ මාසයේ ටකා 3,742 ක් දක්වා එනම් සියයට 75 කින් විශාල ලෙස පහත වැටී ඇති බව ද එය අනාවරනය කලේය.

ඩකාහි ප්‍රදේශ ද ඇතුලුව බංග්ලාදේශයේ දිස්ත්‍රික්ක 64 න්  30 කට පමන මේ වන විට අගුලු දමනු ලැබ ඇත. බහුතරයක් ජනතාවට, එනම් නාගරික ජනගහනයෙන් තුනෙන් එකක් පමන ජීවත් වන මිලියන 4.8 ක ජනතාවක් වාසය කරන ඩකාහි මුඩුක්කු නිවාසවල ජනතාවට “සමාජ දුරස්ථභාවය” සැබවින්ම රැකිය නොහැක්කකි.

අප්‍රේල් 13 වන දින සෞඛ්‍ය ඇමති සහීඩ් මාලෙක් ප්‍රථම වරට ප්‍රජා සම්ප්‍රේෂනය පුලුල් ලෙස සිදුවන බව පිලිගත්තේය. පුද්ගලයින් 1,012 කට කෝවිඩ්-19 ආසාදිත වී ඇති බව පරීක්ෂනවලින් තහවුරු වී ඇති අතර අප්‍රේල් 14 වන විට මරන 46 ක් වාර්තා වී තිබේ. අප්‍රේල් 14 වන දින ආසාදිතයින් 209 කු පරීක්ෂනවලින් තහවුරු වු අතර මෙය එක් දිනක මෙතෙක් ඉහලම සංඛ්‍යාව විය.

මෙම අඩු සංඛ්‍යාවන්ට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි මහා පරිමාන පරීක්ෂන නොමැති වීමයි. අප්‍රේල් 10 වන විට, මිලියන 160 ක ජනගහනයෙන් 7,359 දෙනෙකු පමනක් පරීක්ෂාවට ලක් කරනු ලැබ තිබිනි. ෂාහිඩ් සුහ්රාවඩි වෛද්‍ය විද්‍යාලයේ  වෛරස් විද්‍යාඥයෙකු සහ සහකාර මහාචාර්යවරයෙකු වන ජාහිදූර් රහ්මාන් දිනකට අවම වශයෙන් පරීක්ෂන 10,000 ක් නිර්දේශ කලේය.

අප්‍රේල් 12 ඩේලි ස්ටාර් හි සටහනක් කියා සිටියේ කොරෝනා  වෛරසය පැතිරීම සම්බන්ධයෙන් රජය දක්වන ප්‍රතිචාරය "මුල සිටම නුසුදුසු තීරන, ප්‍රමාද වූ ක්‍රියාමාර්ග සහ අවුල් සහගත චින්තනයන් විසින් පීඩාවට පත්ව ඇති බවයි."

කෝවිඩ්-19 ව්‍යාප්ත වුවහොත් එය ප්‍රායෝගිකව පාලනය කල නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවූවත්, අගමැති හසීනා මුලිදී වසංගතය අවතක්සේරු කලේ එය “එතරම් මාරාන්තික නොවේ” යනුවෙනි.

ඇගේ ආන්ඩුව ඇඟලුම් කර්මාන්තය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 8.56 ක දැවැන්ත ඇපදීමේ පැකේජයක් ප්‍රකාශයට පත් කල අතර එය අවලංගු වූ අපනයන ඇනවුම් වූ ඩොලර් බිලියන 3.02 ක අලාභය මෙන් තුන් ගුනයකි. කම්කරුවන්ගේ වැටුප් සඳහා ආන්ඩුව නිර්දේශ කල මුදල හාම්පුත්තුන්ට ලබා දුන් මුදලින් සියයට 7 ක් පමන වේ.