ලොව පුරා කොරෝනා වෛරස් හානිය මිලියන 2 ඉක්මවා යමින් ඇති අතර එක්සත් ජනපදයේ 30,000 ක් පමන මිය ගොස් ඇත

මෙම ලිපිය 2020 අප්‍රේල් 16 දින ඉංග්‍රීසියෙන් පලවින.

කොවිඩ්19 ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15දා මිලියන දෙක ඉක්මවා ගිය අතර, වසංගතයෙන් එක් දිනක් තුල පුද්ගලයින් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියේය. ඉන් අඩක්ම තවමත් වඩාත්ම පීඩාවට පත් මහාද්වීපය වන යුරෝපයේය. විශාලතම තනි රටක මරන එක්සත් ජනපදයේ සිදුවිය. සංඛ්‍යාව 2,482 ක් පමන විය.

පසුගිය දින දෙක තුල ඇමරිකානුවන් 5,000 කට ආසන්න සංඛ්‍යාවක්  වෛරසය හේතුවෙන් මියගොස් ඇති නමුත් ඇමරිකානු ආන්ඩුව හෝ ව්‍යාපාරික මාධ්‍ය ඒ ගැන තකන බවක් නොපෙනේ. ධවල මන්දිරයේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී ට්‍රම්ප් සිය දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව දුක්ගැනවිලි ගෙනහැර දැක්වූ අතර ආසාදනය පැතිරීම නැවැත්වීමට හෝ දැන් තර්ජනයට ලක්ව සිටින දස දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් නොකර, කොන්ග්‍රසය වසා දමන බවට තර්ජනය කලේය.

ඇමරිකානු රූපවාහිනී ජාලයන් 14දා වාර්තාගත මරන සංඛ්‍යාව පවා සැලකිල්ලට නොගත් අතර 15දා මෙම සංඛ්‍යාව ඉක්මවා ගිය විට පැවසුවේ ඊටත් වඩා අඩුවෙනි. ඒ වෙනුවට ඔවුන් වාර්තා කලේ, ආර්ථිකය නැවත විවෘත කිරීම සහ සිය සෞඛ්‍යය ආරක්ෂාවට හා ජීවිතයට ඇති අන්තරායන් නොසලකා කම්කරුවන් නැවත රැකියාවලට යැවීම සඳහා බල කිරීමට  මහා ව්‍යාපාරිකයන්ගෙන් සහ අන්ත දක්ෂිනාංශිකයන්ගෙන් යෙදෙන වැඩිවන බලපෑම් පිලිබඳව ය. මේ අතර, හමුදාව විසින් ක්ෂේත්‍ර රෝහල් ඉදිකරමින් සිටියි. ඒ, වර්තමානයේ සිටින රෝගීන් සඳහා නොව ඉදිරියේදී පැමිනෙන තව බොහෝ දෙනෙක් සඳහා ය.

මෙක්සිකෝ සිටිහි බෙනිටො ජුවාරෙස් දිස්ත්‍රික්කයේ යකඩ බඩු වෙලඳසැලක්, 2020 අප්‍රේල් 15 -(ඒපී ෆොටෝ. අනුග්‍රහයෙන්/රෙබෙකා බ්ලැක්වෙල්)

කොවිඩ්19 යනු ගෝලීය අර්බුදයක් වන අතර ඒක පුද්ගල පදනමක් මත මියගිය සංඛ්‍යාව ඉතාලිය, ස්පාඤ්ඤය, ප්‍රන්සය සහ බ්‍රිතාන්‍යයේ එක්සත් ජනපදයට වඩා ඉහල අගයක් ගනී.

වර්ල්ඩ්මෝමීටර් හි පල වූ සංඛ්‍යාවලට අනුව මෙම වසංගතයෙන්, ප්‍රන්සයේ පුද්ගලයින් 1,438 ක්, බ්‍රිතාන්‍යයේ 761 ක්, ඉතාලියේ 578 ක් සහ ස්පාඤ්ඤයේ 557 ක් මිය ගිය අතර, මෙම රටවල් හතරේ සමුච්චිත මරන සංඛ්‍යාව 70,492 දක්වා ඉහල ගොස් ඇත.   වෛරස් රෝගීන් 100,000 ක් අද දින බ්‍රිතාන්‍යය වාර්තා කලේය.

මිලියනයකට මියගිය මිනිසුන් සම්බන්ධයෙන් ගත් කල, වඩාත්ම පීඩාවට පත් රටකි  බෙල්ජියම. එරටේ  4,440 ක් මිය ගොස් ඇති අතර එය, 100 ගුනයකින් වැඩි ජනගහනයක් සිටින චීනයේ වාර්තාගත මරන සංඛ්‍යාවට වඩා වැඩිය. ජනගහනය මිලියනයකට ඉතාලියේ 15935ක් ද ඇමරිකාවේ 8138ක් ද පරීක්ෂන සිදුකර ඇතත්, ඉන්දියාවේ ජනගහනය මිලියනයකට පරීක්ෂා කර ඇත්තේ එක් අයෙක් පමනි.  යුරෝපයේ සංසන්දනාත්මක “සාර්ථකත්වයක්” ලෙස නිරූපනය කරන ලද ජර්මනියට ද චීනයට වඩා පුරවැසියන් සංඛ්‍යාවක් අහිමි වී ඇත.

වර්තමානයේ එක්සත් ජනපදය කොරෝනා වෛරස් රෝගීන්ගෙන් සියයට 30 ක් ද යුරෝපයේ සියයට 50 ක් ද වාර්තා කරයි. බ්‍රසීලය, ඉන්දියාව, ඊජිප්තුව, ඉන්දුනීසියාව සහ ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමරිකාව තුල අන් රටවල ද රෝගීන් වැඩි වී තිබේ. මෙම සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ,  21 වන සියවසේ මෙම වසංගතය, දුර්වලම මහජන සෞඛ්‍ය හා සනීපාරක්ෂක පද්ධති  ඇති දුප්පත් රටවල ව්‍යාප්ත වූ විට විය හැකි සන්තෑසිය පිලිබඳ ඉඟියක් පමනි. කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන දායක අරමුදල්  නවතා දමා මානව වර්ගයාගේ බහුතරයට පිටුපස හැරවීමයි.

ධවල මන්දිර පුවත්පත් සාකච්ඡාවල සහ නිල ප්‍රකාශනවල වෛරසයේ බලපෑම අඩුවෙමින් තිබෙන බවට පලවන අනාවැකි වලට ප්‍රතිවිරුද්ධව, නව ආසාදිතයන් සංඛ්‍යාව නොනැවතී ඉහල නඟින අතර එක්සත් ජනපදයේ දිනකට සිදුවන මරන සංඛ්‍යාව දින නවයකින් දෙගුන වී තිබේ.

ආසාදිතවූ මිලියන දෙකක මිනිසුන් පිලිබඳ මෙම භයානක සන්ධිස්ථානයේදී, පෘථිවියේ ධනවත්ම හා තාක්‍ෂනිකව දියුනු සමාජයන් වන යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ධනේශ්වර ආන්ඩුවලට, වසංගතය පැතිරී යන වේගය සහ එය නැවැත්වීමට ඕනෑම පලදායී පියවරක් ගැනීමට ඇති පූර්න නොහැකියාව ගැන පිරික්සා බැලීම වටී. 

වුහාන් කේන්ද්‍රකරගෙන හටගත් කොරෝනා වෛරස් සිද්ධීන් ගනනය කිරීම වර්ල්ඩෝමීටරය විසින් ආරම්භ කරන ලද්දේ ජනවාරි 22 වනදා සිටය. එදින පුද්ගලයින් 580 දෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරු විය. මුලදී 2019-එන්කොවි ලෙස නම් කරන ලද මෙම වෛරසයට නිල වශයෙන් සාර්ස්-කොවි-2 යන නම ලබා දුන් අතර ඒ හා සම්බන්ධ රෝගය කොවිඩ්-19 (කොරෝනා වෛරසය2019) බවට පත් විය.

මිලියන 60 කට ආසන්න ජනතාවකට බලපාන, දැවැන්ත භූගෝලීය ප්‍රදේශයක, පෙර නොවූ විරූ නිරෝධායනයක්, වුහාන් නගරය සහ හුබෙයි පලාත තුල ක්‍රියාත්මක කරමින් දැවැන්ත අගුලු දැමීමක් චීන බලධාරීන් විසින් නිවේදනය කල ජනවාරි 24 වන දිනය වන විට නිල මරන සංඛ්‍යාව සඳහන් වුනේ දහසකට වඩා යන්තම් වැඩි ගනනකි. මේ වන විට වෛරසය සඳහා ජාන කේතය ලෝකය සමඟ බෙදාගෙන තිබුන අතර, වෛරසය හඳුනාගත හැකි පරීක්ෂනයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සියලු රටවලට ලබා දී තිබුනි. දින හයකට පසු ලෝක සෞඛ්‍ය සංවිධානය,  ජාත්‍යන්තර සෞඛ්‍ය පිලිබඳ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා නිල දැන්වීමක් නිකුත් කලේය.

දකුනු කොරියාව, තායිවානය, සිංගප්පූරුව, ප්‍රන්සය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, රුසියාව, ස්පාඤ්ඤය, එක්සත් ජනපදය වැනි රටවල් තම රටට වෛරසය පිටින් ආනයන වී ඇති බව තහවුරු කිරීමත් සමඟ,  ජනවාරි මස අවසානයේදී රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ගියේය.

ජාත්‍යන්තර මට්ටමින් විද්‍යාඥයින්, වසංගත රෝග විශේෂඥයින්, වෛරස් විද්‍යාඥයින් මෙම සාස් වැනි කොරෝනා වෛරසයේ ස්වභාවය පැහැදිලි කිරීමේ නිරත විය. ආසාදනය පිලිබඳ සායනික අත්දැකීම් විස්තර කරන ප්‍රකාශන කිහිපයක් මාර්ගගත සඟරාවල නොමිලේ බෙදාහරින ලදී.

ප්‍රායෝගිකව ගත් කල මුලින් වෛරසය පිලිබඳ පුලුල් පරාසයක ජාතික අත්දැකීම් පැවතුනි. චීනයේ දැවැන්ත අගුලු දැමීම, රටේ සෞඛ්‍ය සේවා නිලධාරීන් සහ ආර්ථික සම්පත් බලමුලු ගැන්වීම මධ්‍යයේ, කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් දෙකක් දින කිහිපයකින් ඉදිකරන ලද අතර අවසානයේ, ඒවායින් බලපෑමක් ඇති කල බව පෙනී ගියේය. වුහාන් සහ හුබෙයි පලාතේ රෝගීන් සංඛ්‍යාව අඩුවූ අතර, චීනයේ අනෙකුත් ප්‍රදේශවලට වෛරසයෙන් විශාල බලපෑමක් ඇති නොවීය.

කෙසේවෙතත්, පෙබරවාරි මැද භාගය වන විට ඉරානයෙන් ලැබෙන්නට පටන්ගත් වාර්තා අනුව පැතිරීම පාලනයෙන් තොරව සිදුවෙමින් තිබුනි. එක්සත් ජනපද සම්බාධක නිසා, විවිධ රටවලින් සහ ජාත්‍යන්තර ආධාර කන්ඩායම්වල සෘජු ආධාර ලබා ගැනීමට දරන උත්සාහයන් ව්‍යර්ථ විය. එම කාලය තුලම දකුනු කොරියාවේ ආගමික නිකායක පුද්ගල ආසාදන රැසක් හේතුකරගෙන ප්‍රජා සම්ප්‍රේෂනය සීග්‍රයෙන් ඉහල නැඟුන අතර, ඩේගු නගරය අවශ්‍යයෙන්ම අගුලු දැමීමට සිදුවිය. පැතිරීම දැඩි ලෙස මැඩපැවැත්වීම සඳහා දැවැන්ත පරීක්ෂන හා ආසාදිතයින් ඇසුරු කල පුද්ගලයින් සොයා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන ලදී.

කෙසේවෙතත්, මාර්තු මාසයේදී යුරෝපය සහ එක්සත් ජනපදය පුරා වෛරසය ඇවිල ගියේය. මාර්තු 6 වන දින ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව 100,000 ඉක්මවා ගියේය. මාර්තු 9 වන දින ඉතාලියේ අගුලු දැමීම මුලු රටටම බලපාන පරිදි පුලුල් කරන ලද අතර, රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වීමත්  සමඟ ඉතාලි වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවකයින් විශාල සංඛ්‍යාවක් මිය ගියේය. මිනී පෙට්ටි පුරවාගත් ට්‍රක් රථ,  අඳුරු රාත්‍රි කාලයේ ප්‍රවාහනය කරන වීඩියෝ දර්ශන ලෝක මහජන විඥානය මත ප්‍රබල කම්පනයක් ඇති කලේය.

එක්සත් ජනපදයේ බටහිර වෙරල තීරයේ පලමු රෝගී අවස්ථා කිහිපය වාර්තා විය. වොෂිංටනයේ සියැටල් අසල පලමු මරනය සිදුවූ අතර සියැටල් ප්‍රදේශයේ සාත්තු නිවාසයක ආසාදිතයින් ගනනාවක් සොයාගන්නා ලදී. ට්‍රම්ප් පරිපාලනය සිය කොරෝනා වෛරස් කාර්ය සාධක බලකාය පිහිටුවා ගත් අතර උප ජනාධිපති මයික් පෙන්ස් එහි ප්‍රධානියා ලෙසත්, ආචාර්ය ඩෙබොරා බ්‍රික්ස් ප්‍රතිචාර සම්බන්ධීකාරක ලෙසත් නම් කරන ලදී. මේවන විට, සීඩීසී විසින් සිදු කර  තිබුනේ පරීක්ෂන දහස් ගනනක් පමනකි. ධවල මන්දිරය දිගින් දිගටම උදාසීනත්වය සහ ඇල් මැරුනු ස්වභාවය පෙන්නුම් කලේය. ට්‍රම්ප් කෙලින් වුනේ, වසංගතය පිලිබඳ වාර්තා මූල්‍ය වෙලඳපොලවල තියුනු කඩාවැටීමක් පෙන්නුම් කල විටය.

මාර්තු 11 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම්,  කොරෝනා වෛරසය ගෝලීය වසංගතයක් ලෙස නිල වශයෙන් නම් කරමින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කලේ, “පසුගිය සති දෙක තුල චීනයෙන් පිටත රෝගීන්ගේ සංඛ්‍යාව 13 ගුනයකින් වැඩි වී ඇති අතර,  බලපෑමට ලක් වූ රටවල් සංඛ්‍යාව තුන් ගුනයකින් වැඩි වී තිබේ. මේ වන විට රටවල් 114 ක, රෝගීන් 118,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 4,291 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබේ.“

එක්සත් ජනපදයේ මුලු රෝගීන් සංඛ්‍යාව 2,000 ඉක්මවද්දී ට්‍රම්ප් මාර්තු 13 වන දින, එක්සත් ජනපද ප්‍රාන්ත සහ ප්‍රදේශ සඳහා ඩොලර් බිලියන 50 ක අරමුදල් සම්පාදනය කරන ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කලේය. ප්‍රාන්තයකින් පසුව ප්‍රාන්තයක් වශයෙන්, “එක තැනක රැඳී සිටින්න” ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල අතර, පලමුව පාසල් වසා දැමුනු අතර පසුව බොහෝ ව්‍යාපාර වසා දැමුනි. පරීක්ෂන සංඛ්‍යාව ඉහල දැමෙනු ඇති බවට ට්‍රම්ප් පොරොන්දු වුවද, ක්ෂනිකව රෝග ලක්ෂන නොපෙන්වූ අයට ඔහු පැවසුවේ, “එය මුලුමනින්ම අනවශ්‍යය. මෙය පහව යනු ඇත” යනුවෙනි.

අදට හරියටම මසකට පෙර  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ට්‍රම්ප් අන්තිමට පැවසුවේ, “සෑම කෙනෙකුම නිවසේ වැඩ කරන්න, හැකි නම්, අනවශ්‍ය ගමන් කල්දමන්න,  එක් සමාජ රැස්වීමක සහභාගිත්වය 10ට අඩුවෙන් තබාගන්න” යනුවෙනි.

එක්සත් ජනපදය තුල වසංගතයේ කේන්ද්‍රස්ථානය නිව්යෝර්ක් නගරය බවට පත් වීමෙන් සතියකට පසු,  එක්සත් ජනපදයේ රෝගීන් සංඛ්‍යාව 100,000 ඉක්මවා යාමත් සමඟ ට්‍රම්ප්ගේ කුප්‍රකට ප්‍රකාශය නිකුත්විය.  මරන සංඛ්‍යාවට වඩා මූල්‍ය පිරිවැය වැඩිය. “ප්‍රතිකාරයේ වියදම රෝගයේ වියදම ඉක්මවා නොගිය යුතුය.“   යනුවෙන් ඔහු ට්වීටර් සටහනක් යෙදීය.  

අප්‍රේල් 2 වන දින, ලෝකය මිලියනයක සීමාව පසු කලේය. මරන සංඛ්‍යාව 50,000 ඉක්මවීය. මෙම ගෝලීය අර්බුදය තවත් සති දෙකක් ඉදිරියට යද්දී සංඛ්‍යා දෙකම දෙගුනයකට වඩා වැඩි වී තිබේ.

මෙම ක්‍රියාවලිය පුරාවටම වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින් වීරයන් ලෙස වෙහෙස මහන්සි වී වැඩ කර ඇත. තමන්ගේම ජීවිත වලට එල්ලවන තර්ජන ද අනෙක් දුෂ්කරතා ද මධ්‍යයේ ඔවුන් විශාල කැපකිරීමක් කර ඇත. ජීවිත වලින් වන්දි ගෙවූ සොෟඛ්‍ය සේවකයින් සංඛ්‍යාව විශාලය. යුරෝපයේ සහ ඇමරිකාවේ ධනවාදී ආන්ඩු වෙනස් ගැටලුවක් සමඟ පොර බැදීය. මරන සංඛ්‍යාව කොතරම් ඉහල ගිය ද කම්කරු පන්තියේ වියදමින්, ධනේශ්වර පාලක පන්තියේ සමුච්චිත ධනය ආරක්ෂා කරන්නේ හා වැඩි කරන්නේ කෙසේ ද? යන්නයි.

Loading