කම්කරුවන්ගේ පඩි පතෙන් කොරෝනා අරමුදලට මුදල් බැර කිරීමට වෘත්තීය සමිති දරන ප්‍රයත්නයට එරෙහිවෙනු

දේහින් වසන්ත සහ ප්‍රදීප් රාමනායක
18 අප්‍රේල් 2020

විවිධ ක්ෂේත්‍රයන්ට අයත් වෘත්තීය සමිති ගනනාවක්, කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂන අරමුදල (එච්එස්එස්එෆ්) සඳහා තම සාමාජික කම්කරුවන්ගෙන් මුදල් එකතුකරදීමේ ප්‍රතිගාමී ප්‍රයත්නයක යෙදී සිටිති. 

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු කලමනාකරන සහකාර හා කාර්මික සේවා සංගමය ඉන් කැපී පෙනෙයි. එක් සාමාජිකයෙකුගෙන් රුපියල් දාහක් බැගින් එකතු කොට විශ්වවිද්‍යාල කොමිෂන් සභාව හරහා උක්ත අරමුදල වෙත ලබා දීමට කටයුතු කරන ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති වලින් එම සංගමය ඉල්ලා ඇත. 

මීට අමතරව, රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විවිධ ශාඛාවන්හි නිලධරයන් ද මෙම යෝජනාව සාමාජිකත්වයට ඉදිරිපත්කර තිබේ. අධ්‍යාපන, තරුන කටයුතු සහ ක්‍රීඩා ඇමති ඩලස් අලහප්පෙරුම විසින්ද ඔහුගේ අමාත්‍යංශය යටතේ සිටින ගුරුවරුන් ඇතුලු සියලුම සේවකයන්ගෙන් තම දිනක වැටුප එකී අරමුදලට බැර කරන මෙන් ඉල්ලා සිටියේය. 

කොරෝනා වසංගතය හේතුවෙන් නිර්මානය කෙරී ඇති අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාවන්ගේ කර මත තැබීම සඳහා වෘත්තීය සමිති නිලධරය සහ ආන්ඩුවේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිගාමී ඉල්ලීමට කම්කරුවන් තරයේ විරුද්ධ විය යුතු ය. 

සෞඛ්‍ය සහ සමාජ සංරක්ෂන අරමුදලේ ප්‍රකාශිත අරමුනු අතරින් එකක් වනුයේ “ග්‍රාමීය සහ දුර බැහැර ප්‍රදේශවල බෙහෙත් ශාලා, පරීක්ෂන සහ ප්‍රතිකාර ස්ථාන, පවුල් සෞඛ්‍ය සේවා ඇතුලු මහජන සෞඛ්‍ය සේවා පද්ධති දියුනු කරමින් බෝ වෙන රෝග අවදානම අඩුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරනු පිනිස අවශ්‍ය අරමුදල් සපයා ගැනීම” යි. 

“මහජන සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම” අරමුදලේ එක් අරමුනක් බව ප්‍රකාශ කරනවිටමත්, එම සේවාව දැනට පවතින්නේ දුර්වල මට්ටමක බව ඉන් නිතැතින්ම ඇඟවෙයි. මෙම දුර්වල මට්ටමට වගකිව යුත්තේ, දශක ගනනාවක් පුරා සෞඛ්‍යය ඇතුලු සමාජ සුබසාධනයන් දැවැන්ත පරිමානව කප්පාදු කරමින් එම සේවාවන් විනාශකර දැමූ ධනපති පාලක පන්තිය මිස, එම ව්‍යසනයෙන් බැටකන කම්කරු-පීඩිත මහජනතාව නොවේ. 

“කොවිඩ්-19 හා සම්බන්ධ ඖෂධ, පරීක්ෂන උපකරන සහ ධාරිතා වියදම් ඇතුලු සියලු වියදම් පියවීම සඳහා අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම” අරමුදලේ තවත් අරමුනකි. 

සැබැවින්ම මේ සඳහා අවශ්‍ය අරමුදල් වහා සම්පාදනය කිරීම ආන්ඩුවේ වගකීමකි. එය ප්‍රතික්ෂේප කල ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව, වසංගතයෙන් මහා සමාගම්වලට සිදුව ඇති හානිය පූරනය කිරීම සඳහා රුපියල් බිලියන 400ක දැවැන්ත මුදලක් මුදල් පොම්ප කලේය.

වසංගතය මැඩපැවැත්වීම සඳහා මහාපරිමානයෙන් රෝග පරීක්ෂාව සිදුකිරීම අත්‍යවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විවිධ විද්‍යාඥයන් යලියලිත් අවධාරනය කරද්දී රාජපක්ෂ ආන්ඩුව එය මුලුමනින්ම නොතකා පරීක්ෂනයන් දැඩිලෙස සීමාකොට ඇත. 

ඉහලම ප්‍රමිතියෙන් යුත් පරීක්ෂන සඳහා නොමිලේ ප්‍රවේශය ලබා ගැනීම සෑම කෙනෙකුගේම අයිතියකි. කෙසේ නමුත් මෙම පරීක්ෂන සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මහජනතාවගෙන් කෙරෙන ඉල්ලීම් වලට ප්‍රතිවාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසා ඇත්තේ, ඒ සඳහා “ගතවන කාල සීමාව, යෙදවිය යුතු  කාර්යය මන්ඩල, මෙන්ම වියදම” පිලිබඳ සලකා බලා  “තෝරාගත් පිරිසකට” පමනක් පරීක්ෂන සිදු කරන බවයි. 

රාජපක්ෂ ආන්ඩුව පමනක් නොව, ලෝකය පුරා සෑම ආන්ඩුවක් ම වසංගතයෙන් මහජනතාව මුදාගැනීම උදෙසා දැවැන්ත පරිමානව මුදල් වෙන්කරනු වෙනුවට, වසංගතය මධ්‍යයේ අතලොස්සක් ධනපතියන්ගේ ලාභ පොදි තරකිරීම සඳහා බිලියන සංඛ්‍යාත මුදල්  පොම්ප කලහ. 

එහි ප්‍රතිඵලය ලෙස, වසංගතයෙන් මියයන සංඛ්‍යාව අතිමහත් ලෙස ඉහල නගිමින් පවතින අතර, එයට සමගාමීව කොටස් වෙලඳපල දර්ශකයන් සීඝ්‍රයෙන් ඉහල යෑමට පටන්ගෙන ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේ, “මේ අර්බුදයේ වේදනාව සියලු දෙනා බෙදාහදාගත යුතු” බවයි. නමුත් ඉතිහාසයේ අන් සෑම අවස්ථාවකදී මෙන්ම මෙවර ද ධනපති පන්තිය එය බෙදාහදා ගනු නැත. ඒ වෙනුවට, තම ලාභය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් කම්කරු පන්තිය ඇතුලු පීඩිත මහජනතාව බිල්ලට දෙමින් සිටී. 

ලංකාවේ මහ ධනපති සමාගම් දැනටමත් කම්කරුවන්ගේ වැටුප් පූර්නව හෝ අර්ධ වශයෙන් කප්පාදු කර ඇති අතර නව බඳවාගැනීම් අත් හිටුවමින් රැකියා කප්පාදු කිරීමේ සූදානම ප්‍රකාශයට පත්කර ඇත.

කොවිඩි-19 සෞඛ්‍යය සහ සමාජ සංරක්ෂන අරමුදල පිහිටවූයේ ද “අර්බුදයේ වේදනාව සියලු දෙනා බෙදාහදා ගැනීමේ” මෙම වංචනික සංකල්පය මතය. ලැබෙන සොච්චම් වැටුපෙන් මාසික වියදම පියවාගත නොහැකිව ජීවත්වීමේ අරගලයක යෙදී සිටින කම්කරුවන්ගේ දිනක වැටුප අරමුදලට බැර කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියදී මහධනපතියන් එයට දායක වන අයුරු විමසා බැලීම අර්ථභාරීය.

ලංකාවේ ප්‍රමුඛතම ධනපතියා ලෙස සැලකෙන ධමිමික පෙරේරා ගෙන් අරමුදලට ලැබී ඇති දායකත්වය රුපියල් මිලියන 70 කි. ඔහු සතු මහා ධනස්කන්ධය සමග සැසඳූවිට එය මහසයුරෙන් ගත් දියදෝතක් වැනිය. පෙරේරා ට අයත් ව්‍යාපාර අතරින් හේලීස් සමූහ ව්‍යාපාරයේ පමනක් 2018-19 වසරේ ආදායම රුපියල් බිලියන 219 කි. පෙර වසරට සාපේක්ෂව එය සියයට 34 ක වැඩිවීමකි.

කම්කරුවන්ගේ වැටුප්පතෙන් අරමුදල් සොයාගැනීමේ ආන්ඩුවේ මෙම වංචනික වෑයම සාක්ෂාත් කරදීම සඳහා වෘත්තීය සමිති ඉදිරිපත් වීමෙන්ම ඔවුන් පෙනී සිටින්නේ කම්කරු පන්තිය වෙනුවෙන් නොවන බව යලිත් සනාථ වෙයි.     

වෘත්තීය සමිතිවල ද්‍රෝහී ක්‍රියාකලාපය මෙලෙස ඉස්මතු කෙරුනේ කොරෝනා වසංගතය මධ්‍යයේ පමනක් නොවේ. දශක ගනනාවක් මුලුල්ලේ කම්කරුවන්ගේ අරගල පාවාදීමේ ඉතිහාසයකට උරුමකම් කියන මෙම සමිති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිනීමෙන් පසු ලංකාව පුරා පුපුරාගිය පන්ති අරගල සියල්ල ආන්ඩුවේ ව්‍යාජ පොරොන්දු වලට යට කරමින් පාවා දුන්හ. 

වසංගතයෙන් පැන නංවා ඇති ව්‍යසනකාරී තත්වයට කිසිසේත්ම වග නොකිවයුතු කම්කරු-පීඩිත මහජනතාව මිරිකා මුදල් සොයා ගැනීමේ ආන්ඩුවේ පිලිවෙතට සහ එයට පූර්න සහයෝගය දෙන වෘත්තීය සමිති වලට එරෙහිව සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් පහත ඉල්ලීම් ඉදිරිපත් කරයි: සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුනු කිරීමට දැවැන්ත අරමුදල් යොදනු, සියලු දෙනා සඳහා නොමිලේ පරීක්ෂන හා වෛද්‍ය සේවා සපයනු, සෞඛ්‍ය කම්කරුවන්ට අවශ්‍ය සියලු ආරක්ෂක උපකරන හා පහසුකම් සම්පාදනය කරනු.

කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් පිහිටුවමින්, බැංකු, මහා වතු හා විශාල ව්‍යාපාර කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ අස්වාමික කිරීමකින් තොරව එම ඉල්ලීම් සාක්ෂාත් කල නොහැක. 

ඊට විපරීතව ධනපති ආන්ඩු සහ ඒවායේ ආවතේවකාරයින් උද්ඝෝෂනය කරන පරිදි කම්කරුවන්ගේ වැටුප් වලින් සම්මාදම් කරගැනීම මෙවැනි දවැන්ත අර්බුදයක් විසඳීමේ මාවත නොවේ.  

ආපදාවකදී එකිනෙකාට උදවු උපකාර කර ගැනීම කම්කරු පන්තියේ ස්වභාවික පෙලඹුම බව සැබෑය. ධනපති පන්තිය ඇතිකරන ආගමික වාර්ගික බේද නොතකා සුනාමි ව්‍යසනය හා තවත් එවැනි ස්වභාවික ආපදා වලදී විපතට පත්වුවන්ට හැකි සෑම අයුරකින්ම උදවු උපකාර කිරීමට ඔවුන් ඉදිරිපත් වීම මගින් පෙනුම්කලේ එයයි. වෘත්තීය සමිතිවල උදව්ව ඇතිව ධනපති ආන්ඩු විසින් ගසාකෑමට උත්සාහ කරන්නේ කම්කරු පන්තියේ මෙම මානුෂීය ගුනාංගයයි.

කම්කරුවන්ගේ සහ අනෙකුත් පීඩිත කන්ඩායම් අන්‍යයන්ට පිහිටවීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම අගය කරන අතර විප්ලවවාදී පක්ෂය ඊට ඉහලින් කැපවී සිටින කර්තව්‍යය වනුයේ මෙම අර්බුදය සහ ඊට සැබෑ විසඳුම පැහැදිලි කරමින් කම්කරු පන්තියේ විඥානය සමාජවාදී මාවතට හැරවීම යි.

සසප ප්‍රධාන ලේකම් විජේ ඩයස් සුනාමි ව්‍යසනයෙන් මාස දෙකකට පසු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති ප්‍රසිද්ධ රැස්වීමකදී කල කතාවක් තුල මේ පිලිබඳ පහත දීප්තිමත් ප්‍රතිපදානය කලේය:

“අප මෙහිදී එලඹෙන්නේ, සියලුම ප්‍රශ්නයන් අතුරෙන් තීරනාත්මක වන දේ කරායි. මාක්ස්වාදී පක්ෂයේ කර්තව්‍යයයි ඒ. අපට සුනාමියට ගොදුරු වූ අය ගැන හුදෙක් ශෝකවිය නොහැකි යි: එසේම සහනාධාර නැතිකම පිරිමසාලීමට ආදේශවීම ද අපගේ මූලික කටයුත්ත නොවේ. අප ස්වෙච්ඡා සේවක සංවිධාන කරගෙන යන සහන වැඩවලට එරෙහි නැහැ.”

“ඔවුන්ගේ ප්‍රයත්නය හා පරිශ්‍රමය අපි අගය කරනවා. එහෙත් සමාජවාදී විප්ලවවාදීන් ලෙස අපගේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ, මරනාසන්න ධනේශ්වර පද්ධතිය යටතේ මහජනතාව වහල් බවට පත් කොට ගෙන තිබෙන පීඩාකාරී සමාජ හා දේශපාලන කොන්දේසි පෙරලා දැමීම උදෙසා ඉදිරි දර්ශනයක් හා ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීම යි.” 

“සුනාමි ව්‍යසනයට ගොදුරු වූවන්ට අවශ්‍ය දෑ ඇති තරම් සම්පාදනය කිරීම රජයේ හා ආන්ඩුවේ වගකීම ය යන වැටහීම අප වැඩකරන ජනතාව තුල ප්‍රචලිත කල යුතු යි. මෙම මූලික අවශ්‍යතා සපුරා ලීමට ආන්ඩුව අසමත් වන තතු තුල විකල්පය වන්නේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක ස්වරූපයෙන් රාජ්‍ය බලය කම්කරු පන්තිය අතට ගැනීමය යන්න අප ඉදිරිපත් කල යුතු යි.”

මෙම ව්‍යයසනය මධ්‍යයේදී, කම්කරු පන්තියට තීරනාත්මක වන්නේ ධනපති ක්‍රමයේ අර්බුදය වටහා ගැනීම සහ ධනපති ක්‍රමය පෙරලා දැමීම සඳහා තමන් සතුවන ඓතිහාසික හැකියාව පිලිබඳව සවිඥානික වීමයි. වෘත්තීය සමිතිවලින් බිඳෙමින් තමන්ගේ දේශපාලනික ස්වාධීනත්වය සඳහා සටන් වැදිය යුතු කම්කරුවෝ, කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනගමින් ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ්‍රීලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමට පෙරට ආ යුතුය.