ඉදිරිදර්ශන

වෝල් වීදිය මලකඳන් මත සවුදිය පුරයි

මෙම ලිපිය අප්‍රේල් 15 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

අප්‍රේල් 14දා වන ඊයේ, කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා සිදු වූ මරන සංඛ්‍යාව 126,000 ඉක්මවා ගියේ ය. 14දා එක්සත් ජනපදය තුල  පුද්ගලයින් 2,400 කට වැඩි පිරිසක් මිය ගිය අතර මුලු මරන සංඛ්‍යාව 26,000ක් විය. මෙම නිල සංඛ්‍යා නිසැකව ම, කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාවට වඩා සැලකිය යුතු ලෙස පහල ය.

1930 ගනන්වලින් පසු ඇමරිකානු ජනතාවගේ සමාජ යහපැවත්ම මත මෙතරම් විනාසකාරී බලපෑමක් ඇති කල අර්බුදයක් එක්සත් ජනපදය, තම රට තුල අත්දැක නො තිබුනි. රූපරාමු වලින්, නිව් යෝක් නගරයේ හාරමින් තිබෙන සමූහ මිනීවලවල්, ඩෙට්රොයිට් රෝහලේ ගොඩගැසෙමින් තිබෙන මියගියවුන්ගේ මෘත කලේබර දැමූ මලු, තම පවුල්වල කෑමබීම සඳහා ආහාර එකතු කර ගැනීමට  රියදුරන් බලා සිටින සිය ගනන් මොටර් රථ පෙන්වයි.

මිලියන ගනනක් ඇමරිකානුවන්ට තම උකස් හා කුලී, රක්ෂන වාරික, හිඟ නය සඳහා පොලිය හා මඟහැරිය නො හැකි දෛනික, සතිපතා හා මාසික වියදම් පියවා ගැනීමට ආදායමක් ද ප්‍රමානවත් ඉතිරිකිරීම් ද නොමැත. මිලියන 16 කට වැඩි පිරිසක් විරැකියා සහන ඉල්ලුම්පත් ගොනුකර ඇත. ඔවුන්ගේ විරැකියා සහන චෙක්පත් ලැබීමට තවත් සති ගනනක් නැත්නම්  මාස ගනනක් ගත වනු ඇත. කොන්ග්‍රසය විසින් පසුගිය මාසයේ සම්මත කරන ලද කොරෝනා වෛරස් ආධාර, සහන හා ආර්ථික සුරක්ෂිතතා (කෙයාර්ස්) පනතේ කොටසක් යැයි කියනු ලබන ඩොලර් 1,200 ක පොරොන්දු  මුදල බැරවී තිබුනේ බැංකු ගිනුම් කිහිපයක පමනී.

සමාජ ව්‍යසනයක් දිග හැරෙමින් පවතින අතර, “දැල්වෙන බලාපොරොත්තුව ” පිලිබඳ ජනමාධ්‍යවල ප්‍රීතිමත් දැක්ම,  ජනගහනයෙන් අතිමහත් බහුතරයක් අත්විඳිමින් සිටින යථාර්ථයට කිසිදු සම්බන්ධයක් නො දක්වයි. “මුදුන්” හා “සමතලාවීම” පිලිබඳ සඳහන් කිරීම  බොහෝ දුරට මවාගත් ස්වභාවයකි. වසංගතය රට පුරා පැතිරෙමින් තිබේ. තවමත් රැකියාවෙහි යෙදී සිටින මිලියන සංඛ්‍යාත පිරිසකට, රැකියාවට යාම යනු කොරෝනා වෛරසයට නිරාවරනය වීමේ බරපතල අවදානම දරා ගැනීමකි.

එහෙත් මෙම දැවැන්ත අර්බුදය මධ්‍යයේ සමාජයේ  කුඩා කොටසක්, ආපදා  කාලය තුල බෙහෙවින් සමෘද්ධිමත් වී ඇත.

සති තුනකට පෙර එනම් මාර්තු 23 වන දින ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය 18,591 ක් ලෙස සටහන් විය. වසංගතයේ බරපතලකම අනුක්‍රමයෙන් හා අකමැත්තෙන් වුවත් පිලිගනින් තිබුන ඊට පෙර සති පහ තුල ඩව් ජෝන්ස්, පෙබරවාරි 13 වනදා පැවති ඉහලම 29,551 අගයේ සිට සියයට 35 කට ආසන්න ප්‍රමානයකින් පහත වැටී තිබුන

මාර්තු 23 සිට, සංඛ්‍යා දෙකක් එක හා සමානව ඉහල ගොස් ඇත: එනම් කොවිඩ්-19 මරන හා අනෙකුත ප්‍රධාන වෙලඳපල සාමාන්‍යයන් වන එස් ඇන්ඩ් පී500 සහ නාස්ඩැක් සමඟ, ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය. 

මාර්තු 23 වන දින එක්සත් ජනපදය තුල වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 556 දක්වා ඉහල ගොස් තිබුනි. ඊලඟ දින හතර තුල කොන්ග්‍රසය, මූල්‍ය හා ව්‍යාපාරික සංස්ථාවලට සහ  ආයෝජකයින්ට ඩොලර් ට්‍රිලියන ගනනක ඇප දීමේ පනතක් කඩිමුඩියේ සම්මත කර ගත්තේ ය. මාර්තු 27 වන දින “කෙයාස් පනත” නීතියක් ලෙස සම්මත කෙරුනි. එදින ගනුදෙනු අවසානයේ ඩව් ජෝන්ස් සාමාන්‍යය ඒකක 21,636ක් විය. ඇපදීම ආසන්න වශයෙන් සම්මත වනු ඇතැයි අපේක්ෂාවෙන්  දින හතරක් තුල කොටස් වෙලඳපොල ඒකක 3,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහල ගියේය. නමුත් මාර්තු 23 සිට මාර්තු 27 දක්වා කාලය තුල එක්සත් ජනපදයේ වසංගත මරන සංඛ්‍යාව තුන් ගුනයකින් වැඩි වී 1,697 දක්වා ඉහල නැඟුනි.

මාර්තු 30දා ඇරඹි සතිය තුල වසංගතයට ගොදුරු වූවන්ගේ තවත් පුපුරන සුලු වැඩිවීමක් දක්නට ලැබුනි. අප්රේල් 3 වන සිකුරාදා වන මිය ගිය අයගේ සංඛ්‍යාව 7,139 ක් විය. සති අන්තය පුරාම, මරන සංඛ්‍යාවේ තවදුරටත් සීග්‍ර  ඉහල නැඟීමක් සඳහා මාධ්‍යය ජනතාව සූදානම් කිරීමේ නිරත වූහ. එහෙත් මාධ්‍ය ආඛ්‍යානයේ පැහැදිලි වෙනසක් ද විය. “බලාපොරොත්තු සහගත සංඥා”, “දුෂ්කර කාලයේ වෙනසක්” හා නොවැලක්විය හැකි “දිදුලන බලාපොරොත්තුව”වැනි වාක්‍ය ඛන්ඩ මාධ්‍ය ප්‍රචාරන ප්‍රසංගයේ කොටසක් බවට පත්විය. මෙය  අඩු වැඩි වශයෙන්  නැවත වැඩට දැක්කීම සඳහා යොමුවූ, ආක්‍රමනශීලී ව්‍යාපාරයක් සමඟ ඒකාබද්ධ කෙරුනි.

සතිය පුරා, මරන සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යාම සමාජ ඛේදවාචකයේ පුලුල් වන පරිමානය හෙලි කලේ ය. කොටස් වෙලඳපොල සාමාන්‍යය ඉහල යාම පිලිබිඹු කලේ, ආන්ඩුව විසින් ඩොලර් ට්‍රිලියන ගනනක් ප්‍රදානය කිරීම හමුවේ, මෙම අර්බුදයෙන් ලාභ ලබන බව හා වෙන කවරදාටත් වඩා ධනවත් හා බලවත් ලෙස මතු වන්නේය  යන මූල්‍ය ප්‍රභූවේ අපේක්ෂාව යි.

අප්‍රේල් 6 වන සඳුදා කොවිඩ්-19 මරන සංඛ්‍යාව 10,895 ක් විය. දවස අවසානයේ ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 22,679 ක් ලෙස සටහන් විය. අප්‍රේල් 9 වන විට මරන සංඛ්‍යාව 16,712 දක්වා ඉහල ගොස් තිබුනි. ඩව්  ජෝන්ස්  ඒකක 23,319 ක් විය. ඊයේ, දැවන්ත ලෙස මියගිය සංඛ්‍යාව 26,000 ඉක්මවා යාමත් සමඟ, ඩව් ජෝන්ස් තවත් ඒකක 569ක වාසියක් ලබා ගනිමින් ඒකක 23,935 දක්වා නැඟුනි. දවසේ නිමාව දෙස ආයෝජකයෝ හා සමපේක්ෂකයෝ ප්‍රීතිමත්ව  බලා සිටියහ.

පාඨකයාට මෙම සංඛ්‍යා සම්බන්ධයෙන් විරාමයක් ලබා දෙමු. නිල සංඛ්‍යාලේඛනවලට අනුව, මාර්තු 23 සිට කොවිඩ්-19 , එක්සත් ජනපදයේ 25,000 කට වැඩි පිරිසකගේ ජීවිත බිලි ගත්තේ ය. එම කාලය තුල ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය සියයට 30 කට වඩා වැඩි වී තිබේ.

මතුපිටින් ගත් කල, වෙලඳපලවල අසාමාන්‍ය ලෙස වේගවත් ඉහල යාම සාධාරනීකරනය කරන කිසිවක්, ආර්ථික ප්‍රවෘත්තිවල නොමැත. ඇත්ත වශයෙන්ම පවතින සියලු තොරතුරු වලින් පෙනී යන්නේ, වසංගතයේ ගෝලීය බලපෑම 1930 ගනන්වල මහා ආර්ථික අවපාතය තරම් බරපතල මෙන් ම දිගු කල් පවතින බව යි.

ඊයේ උදෑසන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් “මහා අගුලු දැමීම: මහා ආර්ථික අවපාතයෙන් පසු එලඹි දරුනුතම ආර්ථික අවපාතය” යන මාතෘකාව යටතේ වාර්තාවක් නිකුත් කරන ලදී. ජාමූඅ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් විසින් ලියන ලද මෙම වාර්තාව, පවතින තත්වය “වෙනත් කිසිදු අර්බුදයක්” මෙන් නො වේ යයි විස්තර කරන අතර, ගෝලීය ආර්ථික වර්ධනයේ දීර්ඝ කාලීන පහත වැටීමක් පුරෝකථනය කරයි. “ මහා අගුලු දැමීම මහා අවපාතයෙන් පසු දරුනුතම පසුබෑම බවට පත් කර, [2008-2009] ගෝලීය මූල්‍ය අර්බුදයටත්  වඩා දරුනු තැනකට ඇද දමයි." වාර්තාව දිගටම මෙසේ කියයි:

2020 සහ 2021 ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට වසංගත අර්බුදයෙන් සිදුවිය හැකි සමුච්චිත අලාභය ඩොලර් ට්‍රිලියන 9 ක් පමන විය හැකිය. එය ජපානය හා ජර්මනියේ එකාබද්ධ ආර්ථිකයන්ටත් වඩා විශාල ය.

පැහැදිලිව ම, වෝල් වීදියේ ප්‍රමෝදයට හේතු වී ඇත්තේ වර්තමාන ආර්ථික ප්‍රක්ෂේපන නො වේ. පෙර නොදුටු පරිමානයකින් ගෝලීය සංකෝචනය උග්‍ර වීමත් සමග, වර්තමාන ප්‍රකෘතිය පවත්වාගත හැකි ය යන්න, බොහෝ සේ නො විය හැක්කකි. නමුත් මේ වන විට ප්‍රමෝදය නංවමින් තිබෙන්නේ, ෆෙඩරල් මහබැංකුව විසින් සපයනු ලබන නිදහස් හා අධීක්ෂනය නො කෙරෙන ඩොලර් ට්‍රිලියන ගනන් මුදල් මගිනි. එමෙන්ම  එක්සත් ජනපදය තුල ද යුරෝපයේ ද සංගත-මූල්‍ය කතිපයාධිකාරයට, ධනේශ්වර පන්තියේ පෙට්ටගම් කරා  වේගයෙන් ධනය මාරුකිරීමට පහසුකම් සපයන ආකාරයකින් මෙම අර්බුදය, ධනේශ්වර ආර්ථිකය හා පන්ති සබඳතා ප්‍රතිව්‍යූහගත කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇතැ යි යන අපේක්ෂාවෙනි. 

නමුත් ප්‍රමෝදයට හරස් කපනු ඇති තවත් සාධකයක් තිබේ; එනම්, ඇමරිකාව හා ගෝලීය ආර්ථිකය ප්‍රතිව්‍යූහගත කල යුතු ආකාරය හා ධනය නැවත බෙදා හැරිය යුතු ආකාරය පිලිබඳ තමන්ගේ ම අදහස් වර්ධනය කරමින් සිටින කම්කරු පන්තියේ වැඩෙන සමාජ ප්‍රතිරෝධය යි.

ලේඛකයා පහත ලිපි ද නිර්දේශ කරයි

ප්‍රබන්ධය, යතාර්ථය හා ධනවාදයේ ගෝලීය අර්බුදය

Loading