ගෝලීය වසංගතයෙන් ලංකාවේ සෞඛ්‍ය සේවය තුල මතු කෙරුනු බරපතල ගැටලු වඩාත් ගැඹුරු වෙමින් පවතී

ආන්ඩුව කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමට මාසයක කාලයක් පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කොට ඇත. ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුව, අද සිට අප්‍රේල් 24 දා තෙක් සෑම දිනකම,  කොලඹ, ගම්පහ, කලුතර සහ පුත්තලම හැර, අනෙක් දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය බලපවත්වන්නේ රාත්‍රි 8 සිට උදෑසන 5 දක්වා පමනි. ඉහත නම් කල දිස්ත්‍රික්ක හතරෙහි ඇඳිරි නීතිය අප්‍රේල් 27 වැනි දා උදෑසන 5.00 ට ඉවත් වෙයි. ගුවන්තොටුපල ද නැවත   ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

මෙම තීරනය කම්කරුවන් අනාරක්ෂිත කොන්දේසි යටතේ නැවතත් වැඩට දැක්කීමේ ගෝලීය ව්‍යාපාරයක කොටසකි. ගෝලීය වසංගතයෙන් මහජන සෞඛ්‍ය සේවාව තුල මතුකෙරුනු බරපතල ගැටලු තවමත් නොවිසඳී පවතිනවා පමනක් නොව, ඒවා වඩාත් ගැඹුරු කෙරෙමින් ද පවතී.

කොවිඩ්-19 ආසාදිතයන්ගේ සීඝ්‍ර නැග්මක් ඊයේ සහ අද දිනය තුල පෙන්නුමි කරයි. ඊයේ දිනයේ තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 19 කි. අද දිනය තුල සවස 6.00 දක්වා ගතවූ පැය 18 තුල තහවුරු කෙරුනු නව ආසාදිතයන් ගනන 32 කි. එය එක් දිනක් තුල වාර්තාගතවූ ඉහලම අගය යි. ඒ අනුව ලංකාව තුල කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගැනුනු සමස්ත සංඛ්‍යාව 303 ක් වෙයි. 

අප්‍රේල් 16 වැනි දා කොලඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොවිඩ්-19 ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගනු ලැබුනි. පුවත් වාර්තාවලට අනුව, ඉන්දියාවේ සංචාරය කර පැමින දින 14ක නිරෝධායන කාල සීමාවක් ද ගත කර තිබුනු ඇයට රෝග ලක්ෂන පහල ව ඇත්තේ දින 33කට පසු ව ය.

ආන්ඩුව දක්ෂ ලෙස රෝගය පාලනය කර ගැනීමට සමත් වී ඇතැයි යන චිත්‍රයක් මහජනතාවගේ සිත් තුලට කා වැද්දවීමට තම ප්‍රචාරක යාන්ත්‍රනය මෙහෙයවමින් සිටී. “සාමාන්‍ය ජනතාව අතරින් ලෙඩ්ඩු එන්නේ නෑ. දින ගනනාවක සිට ලෙඩ්ඩු වාර්තා වෙන්නේ නිරෝධායන කඳවුරුවලින් පමනයි. ඒ තත්ත්වයට ගන්න අපට පුලුවන්කම ලැබුනා” යැයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි    ප්‍රකාශ කලා ය. 

ලංකාවේ රෝගීන් අඩුවෙන් වාර්තා වීමට හේතුව රෝගය සනාථ කර ගැනීමේ පීසීආර් පරීක්ෂනයන්ගේ දැඩි අප්‍රමානවත්භාවය බව වෛද්‍ය විශේෂඥයෝ මීට පෙර සඳහන් කලහ. පසු ගිය සිකුරාදා සහ සති අන්තයේ දී රෝගීන් 30 දෙනෙකුට වඩා තහවුරු කර ගැනීමට හැකි වුනේ පීසීආර් පරීක්ෂන දෛනික ව පන්සියයකට ආසන්න ගනනක් සිදු කිරීමට පටන් ගැනීමත් සමගයි. එසේ පරීක්ෂනයට ලක් කෙරෙන අයගෙන් සියයට පහක් ආසාදිත බව තහවුරු කෙරෙන බවත් එම ප්‍රතිශතය ස්ථාවර අගයක පවතින බවත් නිල වාර්තාවන් හි සඳහන් වෙයි. එය ඉතා ඉහල අගයකි. එ මගින් පෙන්නුම් කෙරෙන්නේ දිනකට කෙරෙන පරීක්ෂන සංඛ්‍යාව ප්‍රමානවත් පරිදි ඉහල දැමුවහොත් ආසාදිතයන් බව තහවුරු කෙරෙන සංඛ්‍යාව දැවැන්තව ඉහල නගින බවයි. 

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහට අනුව ලංකාව තවමත් පවතින්නේ මූලාශ්‍රය දන්නා පොකුරු වශයෙන් අසාදිතයන් වාර්තා වන තෙ වැනි අදියරේ ය. “රෝගයේ අවදානම පහ ව ගොස් ඇති බවක් අපට පැවසිය නොහැකි ය” යයි අනිල් ජාසිංහ අප්‍රේල් 18 වැනි දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ ය. “සාමාන්‍ය ජනතාව අතරින් ලෙඩ්ඩු එන්නේ නෑ” යන සෞඛ්‍ය ඇමතිගේ ප්‍රකාශය නිවැරදි නොවන බව මේ නිවේදනයෙන් ගම්‍ය වෙයි. 

ආන්ඩුවට හිතවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවා දිවයින පුවත්පතට පවසා ඇත්තේ “වසංගතය හමුවේ රට ඉන්නේ කොතනද යන්න ගැන නිවැරදි චිත්‍රයක්” ඔවුන්  හමුවේ නොමැති බවයි.

අලුත්ගේට අනුව දිනකට පරීක්ෂන 1500ක් කල හැකි වුවත් මේ වන විට කෙරෙන්නේ පරීක්ෂන 500ක් පමනකි. ආසාදිතයන් සමීප ව ඇසුරු කල අය 3000ක් පමන පිරිසක් හඳුනා ගෙන ඇති නමුත් ඔවුන් තවමත් පරීක්ෂනවලට යටත් කොට නොමැති බව ද ඔහු පවසයි. ඔවුන් සිටිනා ප්‍රදේශ මොනවාද යන කාරනා රටට එලිදරවු කල යුතු බවත් එසේ නොමැති ව අවදානම නිවැරදි ව තක්සේරු කල නොහැකි බවත් ඔහු කියා සිටී. 

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වසංගත රෝග විද්‍යා අංශය සංඛ්‍යාලේඛන හෙලිදරවු නොකරන බවට ද අලුත්ගේ එහිදී “බරපතල ලෙස” චෝදනා කරයි.

ආන්ඩුවේ වසංගත මර්දන මෙහෙයුම ඉහලින්ම අගයන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් මෙම විවේචන එල්ල කරන්නේ සෞඛ්‍ය ඇමති, ජනාධිපති ඇතුලු ආන්ඩුවේ ලොක්කන් කොක්කෙන් ගලවා හැර වරද වසංගත රෝග විද්‍යා අංශය මත පැටවීමට ය. 

කෙසේ නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ හින්දු පුවත්පතට පවසා ඇත්තේ මෙතෙක් සිදු කර ඇති පරීක්ෂන සංඛ්‍යාව පිලිබඳ නිල සංඛ්‍යා ලේඛනයක් හෝ තම අංශයට සපයා නොමැති බවයි. එය සැපයිය යුත්තේ, කොරෝනා මැඩීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයෙනි. ගමගේ කර ඇති ප්‍රකාශයෙන්මත් ආන්ඩුවේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ කාර්යක්ෂමතාව පිලිබද පම්පෝරිවල පල්ල ගැලවී යයි.

අප්‍රේල් 17 වැනි දා “කොරෝනා පරීක්ෂන සඳහා ජනතා ඉල්ලීම් ඉහලට” යන මැයෙන් දිවයින පල කල ලිපියක සඳහන් වන්නේ,  පීසීආර් පරීක්ෂන දැනට සිදු කල හැකි උපරිම ධාරිතාවෙන්වත් දෛනික ව නොකෙරෙන්නේ ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත්වල සහ කාර්ය මන්ඩලවල සීමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජාසිංහ පවසා ඇත. නමුත්, වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ ගුවන්තොටුපල විවෘත කරන්නේ නම් සමූහ පරිමාන පීසීආර් පරීක්ෂන අනිවාර්ය වන බවයි.

කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ දී, එම රෝගයේ ජාත්‍යන්තර අත්දැකීම් ද පෙන්වා දෙමින් වෛද්‍ය විශේෂඥයන් දිගින් දිගට ම පෙන්වා දුන්නේ වෙන්ටිලේටර් උපකරන සහිත දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාවේ සීමිත බවත් රෝගයේ සීඝ්‍ර පැතිර යාමක් සමස්ත සෞඛ්‍ය පද්ධතියේ ම බිඳ වැට්ටවීමක් කරා යා හැකි බවත් ය. රෝගය පැතිර යාම “පාලනය කර” ඇතිබවක් පෙන්නුම් කරමින් ආන්ඩුව එම කටයුතු සාපරාධී ලෙස මග හැරියේ ය. 

දියුනු තාක්ෂනයෙන් සන්නද්ධ නවීන වෙන්ටිලේටර් උපකරන සපයා ගැනීමට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු වෙනුවට, රුපියල් 10,000ට 15,000ට වෙන්ටිලේටර් යන්ත්‍ර නිෂ්පාදනය කල හැකි බවට විවිධ වැඩසටහන් ඉදිරිපත් කරමින් සිටි ආන්ඩුව ගොඩවෙදකම් ප්‍රවර්ධනයට ද අනික් පසින් තම අනුග්‍රහය සම්පාදනය කලේ ය. 

මේ සියල්ල පෙන්නුම් කලේ මහජනතාවට දියුනු සහ නවීන   සෞඛ්‍ය සේවයක් අත්පත් කර දීම සඳහා තම පන්ති අවශ්‍යතාවන් පරදුවට තැබීමට ධනපති පන්තියේ ඇති තදබල අකමැත්තයි. තමන් කොලඹ නගරයේ ආදාහනාගාරවල පැයකට මිනිය බැගින් කොපමන මිනී ගනනක් දිනකට ආදාහනය කල හැකිදැයි ගනන් හදා ගෙන සිටි බවක් සෞඛ්‍ය ඇමති පසු ගිය සෙනසුරාදා රත්මලානේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ දී නරුම ලෙස  ප්‍රකාශ කලා ය. 

කොවිඩ්-19ට ඉක්මන් ප්‍රතිචාර දැක්වූවා යැයි ව්‍යාජ දර්ශක ගෙන හැර පාමින් ගසන පම්පෝරිය කෙසේ වෙතත් මාස ගනනාවක් තිස්සේ පවතින අත්‍යවශ්‍ය ඖෂධ හිඟයවත් නැති කර දැමීමට ආන්ඩුව සමත් ව නැත. මාධ්‍ය වාර්තාවන්ට අනුව අත්‍යවශ්‍ය ඖෂධ ඇතුලු ඖෂධ 500ක හිඟයක් පවතී. මේ අතර දියවැඩියාව, අධි රුධිර පීඩනය, වලිප්පුව වැනි රෝග තත්ත්වයන්ට අවශ්‍ය කෙරෙන ඖෂධ ද වෙයි. 

“තත්වය පාලනය කර ඇති” බවට කරන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් කොලඹ විශ්ව විද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අධ්‍යන අංශයේ   ප්‍රධානී වෛද්‍ය මනූජ් සී. වීරසිංහ හින්දු පුවත්පතට මෙසේ පවසා ඇත:  “දේවල් පාලනය කර ඇති බව නිශ්චිතවම පැවසීමට අවම වශයෙන් පූර්ව බීජෞෂන කාල පරිච්ඡේද හතරක් හෝ පහක් සලකා බැලිය යුතුය. අප්‍රේල් 20 වන විට නව රෝගී පර්ෂද කිසිවක් නොපෙනේ නම්, ඊලඟට කුමක් කල යුතුද යන්න තීරනය කිරීමේ වඩා හොඳ තත්වයක අප සිටිය හැක. එවිට, සැලසුම් සහගත, මන්දගාමී පිටවීමේ උපාය මාර්ගයක් සඳහා අපට යා හැකිද නැද්ද යන්න තීරනය කල හැකිවනු ඇත.” තදියම් පිටවීමක් මගින් වෛරසයේ යලි පැන නැගීමක බලගතු අවදානම මතුකෙරෙන බවද ඔහු සඳහන් කර ඇත.

මෙම පසුබිම යටතේ “තත්ත්වය පාලනය කල” බවට ආන්ඩුව බේගල් ඇදබාන්නේ කම්කරුවන්ගේ දිවි පරදුවට තබා ධනපතියන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් ඔවුන් වැඩට දැක්කීමටයි.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

කොවිඩ්-19 අවදානම ඉදිරියේ වෛද්‍යවරු දැඩි සත්කාර ඒකක සහ රෝග පරීක්ෂාව පුලුල් කරන ලෙස අවධාරනය කරති

ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයෝ කොරෝනා වෛරස් පරීක්ෂන ධාරිතාව විශාල වශයෙන් ඉහල නංවන්න යැයි ඉල්ලති

ආන්ඩුව මහා පරිමාන රෝග පරීක්ෂාව මගහැරීම හේතුවෙන් වසංගත පාලනය දුෂ්කර අඩියකට වැටේ

Loading