හිටපු අගමැති වික්‍රමසිංහ වසංගතයට මුහුනදීම සඳහා ඊනියා ගෝලීය නායකත්වයක් යෝජනා කරයි

ලංකාවේ සාම්ප්‍රදායික ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ නායක මෙන්ම හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, ඉන්දියානු උපමහද්වීපීය පුවත් වාර්තාකරනය මත මූලිකව පදනම් වන ජාත්‍යන්තර පුවත් සේවයක් වන විඔන්  (WION) වෙත අප්‍රේල් 14 වනදා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී, වසංගතයේ පැතිරීයාම හමුවේ “ගෝලීය නායකත්වයන් සිය සාමූහික අසමත්කම” ප්‍රදර්ශනය කර ඇතැයි පැවසීය.

“මේක [ගෝලීය] නායකයින්ගේ සහ ආයතනවල සාමූහික අසමත්කමක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝකබැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය (ලෝසෞස), එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන ඉදිරිපත් විය යුතුව තිබුනා. කවුරුන් හෝ ඉදිරියට පැමින මේක කරන්නේ මෙහෙමයි කියල පෙන්නා දිය යුතුයි. නමුත් ඒක වෙන්නෙ නැහැ” වික්‍රමසිංහ පැවැසීය. 

ලොව පුරා දහස් ගනන් මහජනතාව අකල් මරනයට ඇද දමමින් ව්‍යාප්ත වන කොරෝනා වසංගතය පාලනය කිරීමේ අසමත්කම, ඒ හෝ මේ නායකයෙකුගේ හෝ ආයතනයක අඩුපාඩුවකට ලඝු කරමින් වික්‍රමසිංහ කරන්නේ වංචාවකි. ඊට විපරීතව, වසංගතය මගින් ගැඹුරින්ම හෙලිදරව් කෙරී ඇත්තේ සමස්තයක් ලෙස ධනපති ක්‍රමයේ ඓතිහාසික නොහැකියාවයි. 

වසංගතය ජයගැනීම සඳහා ලෝසෞස ඉදිරිපත්කල නිර්දේශ නොතකමින්,  ලොවපුරා පාලක පන්තීන් ක්‍රියාවට නංවා ඇති මානව-විරෝධී පියවර සම්බන්ධයෙන්, එම සංවිධානය කල විවේචනයන්ට ධනපති ආන්ඩු දැක්වූ ප්‍රතිචාරයන් විභාග කිරීමෙන් පමනක් වුව, මෙය පැහැදිලි වෙයි.

ජනගහනයෙන් සැලකියයුතු කොටසකට වෛරසය ආසාදනය වීමට ඉඩ දෙමින් “සාමූහික ප්‍රතිශක්තිකරනයක්” ජනනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ බටහිර ආන්ඩු ප්‍රකාශිතව සහ අප්‍රකාශිතව ක්‍රියාවට නංවා ඇති පිලිවෙත් මගින් පෙන්නුම් කෙරෙන්නේ “සදාචාරාත්මක පරිහානිය” බව ලෝසෞස සභාපති ටෙඩ්‍රොස් ඇඩනොමි ගෙබ්‍රයේසස් ප්‍රකාශ කලේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එයට ප්‍රතිචාර දැක්වූයේ, කොරෝනා වැනි වසංගතයන්ට එරෙහිව සටන් කිරීමට ඇති වඩාත්ම වැදගත් ගෝලීය ආයතනය වන ලෝසෞස ට එක්සත් ජනපදයෙන් ලබාදෙන ප්‍රතිපාදන සියල්ල නවතා දමන බව ප්‍රකාශ කරමිනි. ට්‍රම්ප් ගේ මෙම ප්‍රතිචාරය පැමිනියේ, වසංගතය හමුවේ ලෝසෞස ට වඩවඩාත් මුල්‍ය ප්‍රතිපාදන අවශ්‍යවූ තීරනාත්මක මොහොතකය. 

මෙම සදාචාරාත්මක පරිහානිය රනිල් වික්‍රමසිංහගෙන්මත් ප්‍රකාශයට පත්වෙයි.

කොරෝනා වසංගතය මැඩීමේ අත්‍යවශ්‍යම අංගය ලෙස ලෝසෞස විසින් යලියලිත් අවධාරනය කරන මහා පරිමාන පරීක්ෂාවන් මුලුමනින්ම නොතකා හරිමින්, ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙල වික්‍රමසිංහ අගය කලේය. 

පසුගිය මාසයේදී රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික හමුවට සහභාගී වූ වික්‍රමසිංහ, රෝග පරීක්ෂාව ප්‍රමානවත් ලෙස වර්ධනය කිරීම සඳහා ආන්ඩුවේ ප්‍රතිපාදන ඉහල නැංවීමට විරුද්ධත්වය ප්‍රකාශ කලේ “අපිට දවසකට පරීක්ෂන 5,000 ක්, 6,000 ක් කරන්න ශක්තියක් නෑ. ඒත් පුද්ගලික රෝහල් සම්බන්ධ කරගෙන තත්වය වැඩිදියුනු කරගත්තොත් තත්වය පාලනය කරගත හැකියි” පවසමිනි.

නමුත්, අර්බුදයෙන් මහා සමාගම් වලට සිදුවන හානිය පූරනය කිරීම සඳහා රුපියල් බිලියන ගනනින් රාජපක්ෂ ආන්ඩුව පොම්ප කරන විට “අපිට එවැන්නකට ශක්තියක් නැතැ”යි වික්‍රමසිංහ පවසන්නේ නැත. 

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සිට ජර්මනියේ චාන්සලර් ඇන්ජෙලා මර්කල් දක්වා අධිරාජ්‍යවාදී නායකයන් මෙන්ම, වික්‍රමසිංහ ද උත්සුක වන්නේ වසංගතයෙන් පීඩා විඳින මිලියන සංඛ්‍යාත මහජනතාව සම්බන්ධයෙන් නොව, වසංගතය හේතුවෙන් ධනවත් ප්‍රභූවට සිදුවන හානිය සහ ගෝලීය ධනේශ්වර අර්බුදය වඩාත් ගැඹුරුවීම සම්බන්ධයෙනි. 

වික්‍රමසිංහ සිය සම්මුඛ සාකච්ඡාවේදී, තමන් යෝජනා කරන අන්දමේ ගෝලීය නායකත්වයකට උදාහරන ගෙන හැර පෑමට 1930 ගනන් වලින් ඇරැඹි මහා ආර්ථික අවපාතය සහ ඉනික්බිති එලැඹි දෙවන ලෝක යුද සමයට සමාන්තරයක් ඇන්දේය. එක්සත් ජනපදයේ එවක ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ නම සඳහන් කරමින් ඔහු විසින් හුවාදක්වනු ලැබුයේ එම කාල වකවානුවේ ගෝලීයව මතුවූ අර්බුදයන් විසඳාලීමට රූස්වෙල්ට් සමකාලීන රාජ්‍ය නායකයින් හා එක්ව පිලියම් යෙදූ බවයි. 

1930 ගනන්වල සිටි රූස්වෙල්ට් වැන්නෙකු 2020 දී නොමැත්තේ ඇයි?

2008 වසරේ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය ඉතා නිවැරදිව විශ්ලේශනය කල පරිදි: “ඔබාමා පාලනයේ ප්‍රතිපත්ති මුලුමනින්ම තීරනය කරන්නේ, ව්‍යාපාරික හා මූල්‍ය වංශාධිපතිත්වයේ ආසක්තයන් මඟිනි. මේ අර්ථයෙන් ඔබාමා රූස්වෙල්ට් සමඟ සැසඳීමේ යෙදී සිටින්නෝ, එක්කෝ ස්වයං මිත්‍යාවේ නැතිනම් පොදු වංචාවේ ගැලී සිටිති. ආර්ථික අර්බුදයේ බරපතලකම තිබියදීම, ඇමරිකාව සතුව 1930 ගනන්වල තිබුනු දැවැන්ත ආර්ථික සම්පත්, සමාජ ප්‍රතිසංස්කරන සමග අත්හදා බැලීමට රූස්වෙල්ට්ට අවකාශ සලසා දුන්නේය. එම විකල්පය අද දවසේ තවදුරටත් පවතින්නේ නැත. සමකාලීන ධනවාදයට එවන් සම්පත් හිඟය.”  

මේ අනුව රූස්වෙල්ට් ගේ “ගෝලීය නායකත්වය” බැඳී පැවතියේ එවකට එක්සත් ජනපදය සතුව තිබූ දැවැන්ත ආර්ථික ශක්තිය මතය. 2008 මුල්‍ය අර්බුදයෙන් ඇලලී බිඳවැටීමක් තුලින් ගමන් කරන ගෝලීය ධනේශ්වර පද්ධතිය තුල, 1930 ගනන්වලදී ලෝක ධනපති ක්‍රමය බේරාගත් ඇමරිකාව හා සමාන කලහැකි ආර්ථික යෝධයෙකු නොමැත.

වැඩෙන අර්බුදය මධ්‍යයේ ලොවපුරා පාලක පන්ති කම්කරු පන්තිය සූරා කෑම තියුනු කර ඇති අතර, සමාජ සුභසාධන සඳහා වන ප්‍රතිපාදන දිගටම කප්පාදු කරමින්, එම මුදල් ට්‍රිලියන ගනනින් මුල්‍ය වංශාධිපතියන්ගේ ආසක්තයන් වෙනුවෙන් හරවා යවා ඇත. 19 වන සියවසේ මෙන් තවදුරටත් ආර්ථිකයේ නිදහස් තරගයක් නොපවතින, අතලොස්සක් මුල්‍ය ප්‍රාග්ධන හිමියන් විසින් සමස්ත භූගෝලයම පාලනය කරන යුගයක, මෙවැනි වසංගතයකින් මානව වර්ගයා ගලවාගැනීම වෙනුවෙන් සීමිත පියවරයන් ගැනීම උදෙසා හෝ ප්‍රමානවත් ධනයක් යෙදවීම අභව්‍ය දෙයකි. 

වඩ වඩාත් එලිදරව් වී ඇත්තේ සෑම රටකම පාලක පන්තීන් මහජන ජීවිත පරදුවට තබමින්, ලාභ පද්ධතිය ආරක්ෂා කිරීමට කැපවෙන ආකාරයයි. ආසාදිතයන් සහ මරන නොකඩවා ඉහල යද්දී ඇමරිකාව සහ යුරෝපය ප්‍රමුඛව රටවල් ගනනාවක කම්කරුවන්ට යලි රැකියාවන්ට වාර්තා කිරීමට බලකෙරී ඇත. එය නිසැකවම වසංගතයේ ව්‍යාප්තිය උත්සන්න වීමක් කරා මග පාදනු ඇත. 

වසංගතයේ පැතිරීම උග්‍ර වෙද්දී ඊනියා ජාත්‍යන්තර සහයෝගීතාවන්ගේ පල්ල අරිමින් රටවල් හුදකලා කෙරී ඇත. දේශසීමා කඩිනමින් වසා දැමුනු අතර  සහනාධාර ලෙස කෙසේ වෙතත්, සෞඛ්‍ය ආරක්ෂක උපාංග ආදී වසංගතය මර්දනය සඳහා අත්‍යවශ්‍ය වන භාන්ඩ මුදල් ගෙවා ආනයනය කරගැනීමට පවා තහංචි පැනවිනි. යුරෝපයේ රටවල් අතර දේශපාලනික සහ ආර්ථික සහයෝගීතාවය ගොඩනැගීමේ නාමයෙන්  පිහිටවූ යුරෝපා සංගමය (යුස) වසංගතය මධ්‍යයේ දෙදරා ගියේ එහි සාමජික රටවල් තුලම බරපතල ඛේදවාචකයන් නිර්මානය කරමිනි. 

ගැඹුරුවන ආර්ථික අර්බුදය හේතුවෙන් එකිනෙකට පසමිතුරුව පිහිටා ඇති ජාතික රාජ්‍යයන් අතර ගැටුම් වඩාත් උග්‍ර වෙමින් පවතී. සුසානයක් බවට පත්වෙමින් තිබූ ඉතාලියට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් අපනයනයට අසල්වැසි ජර්මනිය සහ ප්‍රන්සය විසින් සම්බාධක පනවන ලදී. තමන්ගේ අසාර්ථකත්වය යුරෝපීය කම්කරු පන්තියේ පිලිකුලට භාජනය වෙද්දී ඉතාලිය හුදකලා කිරීම සම්බන්ධයෙන් තමන්ගේ “හදපත්ලෙන්ම සමාව අයදින” බව යුරෝපා සංගමය නිවේදනය කලේය.

ගෝලීය නායකත්වයක්  පිලිබඳ තවත් ඓතිහාසික උදාහරනයක් ලෙස වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කලේ රටවල් 197 ක සහභාගීත්වයෙන් 2016 දී අත්සන් තැබූ පැරිස් ගිවිසුමේදී එවක ප්‍රන්සයේ සහ එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් වූ ෆ්‍රන්සුවා ඔලන්ද් සහ බැරක් ඔබාමා විසින් ගනු ලැබූ මූලිකත්වයයි. පැරිස් ගිවිසුම යනු ගෝලීය උෂ්නත්වය ඉහල යාම ඇතුලු  අහිතකර දේශගුනික විපර්යාස වලක්වාගැනීමේ අරමුනෙන්, 1997 කියෝටෝ ගිවිසුම වෙනුවට හඳුන්වාදෙනු ලැබුවකි. 

වික්‍රමසිංහ පවසන පරිදි පැරිස් ගිවිසුම පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා ගෝලීය නායකත්වයන් පෙරමුන ගත් අවස්ථාවක් නොවීය. කියෝටෝ ගිවිසුමට වඩා බෙහෙවින් බෙලහීන කල එකක් වූ මෙම ගිවිසුම, ඊට අත්සන් යෙදූ රටවල් දේශගුනික විපර්යාස වැලැක්වීම සඳහා කිසිඳු නිශ්චිත බැඳීමකට යටත් කලේ නැත. කෙසේ වෙතත්, එවැනි බෙලහීන ගිවිසුමකින් පවා මහා සංගතවල විනාශකාරී ජාවාරම් වලට යම් හෝ සීමාමාත්‍රයක් පැනවීම නොරිස්සූ ට්‍රම්ප් ගිවිසුමට යන්තමින් අවුරුදු දෙකක් ගතවීමට ප්‍රථම ඉන් ඉවත්විය. 

ට්‍රම්ප් ඇතුලු ප්‍රමුඛ රාජ්‍ය නායකයින්ගේ මෙවැනි ප්‍රතිගාමී ක්‍රියාකලාපයන්, හුදෙක් ඔවුන්ගේ පෞද්ගලික දුෂ්ඨකමක හෝ ප්‍රතිඵලයක් නොවන අතර එය සමස්ථ ධනපති ක්‍රමයේ ආන්තික කුනුවීමේ ප්‍රකාශනයකි.

එක්සත් ජනපදයේ ලක්ෂ 8කට ආසන්න ආසාදිතයින් සහ 40,000කට ආසන්න කොරෝනා මරන වාර්තා වෙමින් පොදු මහජන ජීවිතය නරකාදියක් වී ඇති තත්වයක් තුල පවා, මුල්‍ය වංශාධිපතියන් වෙනුවෙන් පොම්ප කල මුදල් කන්දරාවේ ආනුභාවයෙන් කොටස් වෙලඳපල දර්ශකයන් එක දිගට ඉහල යමින් තිබේ. මහජනතාවගේ ජීවිත ආරක්ෂාවට පයින් ගසමින් රට තුල රුදුරු ධනපති ලාභ අවශ්‍යතා හඹා යන අතරේ ට්‍රම්ප් ආන්ඩුව, ප්‍රතිමල්ලව රටවල් වලට එරෙහිව දියත් කර ඇති ආර්ථික සම්බාධක සහ යුද මූලෝපායික වැඩකටයුතු තවත් දැඩි කර ඇත.

කොවිඩ්-19 වසංගතය විදේශීය ආක්‍රමනයක් ලෙස පින්තාරු කරන ට්‍රම්ප්, කොරෝනාව චීන වෛරසයක් ලෙස නම්කරමින් චීන-විරෝධී උද්ඝෝෂනයක යෙදී සිටින අතර, ජර්මනිය සහ ප්‍රන්සය එම උද්ඝෝෂනය වටා පෙලගැසී ඇත.  

වෙනිසියුලාවේ මෙන්ම, ඉරානයේ ආර්ථිකය අඩපන කරන සම්බාධක වොෂින්ටනය විසින් අඛන්ඩව ක්‍රියාත්මක  කලේ ඉරානය ලෝකයේ කොරෝනා වෛරසය මගින් ඉහලම මරන අනුපාතයකට මුහුන දී සිටින විටදීය. 

ඇමරිකාව මෙන්ම අනෙකුත් අධිරාජ්‍යවාදී බලයන් තම ආර්ථික සහ දේශපාලනික අධිකාරයන් තහවුරු කරගැනීමට විවිධ පරිමානයන්ගෙන් මෙවැනිම ප්‍රතිපත්තිවල එල්බී සිටින අතර අන්තර් රාජ්‍ය එදිරිවාදිකම් මොහොතකට හෝ අමතක කර ගෝලීය ප්‍රයත්නයකට උරදීමේ ඉඟියක් හෝ පලකලේ නැත. 

1930 ගනන් වල අර්බුදය පරයා යන ලෝක ආර්ථික අර්බුදයක් හමුවේ එයට උරදීමට සමත් දැවැන්ත ධන සම්භාරයක් සතු කවර හෝ රාජ්‍යයක් මිහිමත නොමැතිවා පමනක් නොව, අන්තර්-අධිරාජ්‍යවාදී පසමිතුරුකම් ද පෙරනොවූවිරූ පරිදි උග්‍රවී ඇත. එම තතු යටතේ ධනපති පන්තියේ “ගෝලීය නායකත්වයක්” සහ “ගෝලීය ප්‍රයත්නයක්” පිලිබඳව වික්‍රමසිංහ කරන යෝජනා පුස්සක් බවට පත්වෙයි. 

එපමනක් නොව, ධනේශ්වර වර්ධනය කල්පමා වූ ශ්‍රී ලංකාව වැනි ජාතික රාජ්‍යයන්හි ඓතිහාසික වශයෙන් බෙලහීන පාලක පන්තීන්ට ඒ හෝ මේ අධිරාජ්‍යවාදී බලයක “නායකත්වය” පැතීම හැර ස්වාධීන ක්‍රියාමාර්ගයක් නොමැතිබව ද, ගෝලීය නායකත්වයක් වෙනුවෙන් වික්‍රමසිංහ කරන කන්නලව්වෙන් යලිත් තහවුරු වෙයි. 

Loading