වසංගතයේ අවදානම ඉහල යද්දී කම්කරුවන් වැඩට දැක්කීමේ ආන්ඩුවේ ප්‍රතිගාමී වැඩපිලිවෙලට ධනපති මාධ්‍ය රුකුල් දෙයි

කොරෝනා වසංගත අවදානම පහ ව යාමට පෙර කම්කරුවන් වැඩට දක්කා ගැනීමට, ආන්ඩුව දරන ප්‍රයත්නයට ධනපති පක්ෂ මෙන්ම, සංස්ථාපිතයේ මාධ්‍යයන් ද තම පූර්න සහයෝගය පල කරමින් සිටී. “ආර්ථික ජීවිතය පවත්වා ගැනීමේ වැදගත්කම” ගැනත්, වසංගතය පහව යාමක් ගැනත්, මහජන විඥානයට කා වැද්දවීම අරමුනු කර ගත් වෛවර්න සිරස්තල, කතුවැකි, විශේෂාංග ලිපි සහ වැඩසටහන්වලින් මාධ්‍යය පිරී පවතී.

සෙනසුරාදා ලංකාදීප පත්‍රයේ මුල්පිටුව එක සමාන වැදගත්කමක් දී තිබූ ප්‍රධාන සිරස්තල දෙකකින් සමන්විත විය. “කොරෝනා අවදානම පහ ව යයි” යනු ඉන් එකකි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උපුටා දැක්වීමක් වශයෙන් පල කෙරී තිබුනු එම වාර්තාවෙන් ප්‍රකට කෙරුනේ වසංගතයේ අවදානම පහව යමින් පවතින බවයි. 

අර්ථභාරී ලෙස අනෙක් ප්‍රධාන සිරස්තලය මහ මැතිවරනයේ දින නියම කිරීම සම්බන්ධයෙන් වූවකි. එය සටහන් වූයේ “ඡන්ද තීන්දුව ජනපති අතේ - නීතිවේදිහු කියති” යනුවෙනි.

මෙම සිරස්තල දෙක සහිත මුල් පිටුව, කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් ධනපති පන්තියේ ආකල්පය මනා ව චිත්‍රනය කරන්නකි. එය කම්කරුවන්ගේ ජීවිතය හා මරනය අතර ප්‍රශ්නයකට වඩා මැතිවරනය පවත්වන දිනය සම්බන්ධයෙන් ධනපති සංස්ථාපිතයේ විවිධ කොටස් අතර ඇති ගනන් බැලීම් උඩ යන වාද විවාද උඩ පදනම් වූවකි. කම්කරුවන්ගේ ජීවිත මතින් හෝ ධනපති ආර්ථිකය යලි පන ගැන්වීම සම්බන්ධයෙන් නම් විවාදයක් ඔවුන් අතරේ නැත.

සඳුදා දිනයේ “කොරෝනා සටනේ දෙ වැනි මෙහෙයුම” යන මාතෘකාවෙන් ලියැවී තිබුනු දිනමින කතුවැකිය මහජනතාවට යෝජනා කලේ “කොරෝනා සමග ජීවත් වන සැටි” ඉගෙන ගන්නා ලෙසයි. ආන්තික නරුමත්වයක් විදහා පාමින් කතුවැකිය කියා සිටින්නේ “කොරෝනා අභියෝගය අපට ලැබුනු මහඟු අවස්ථාවක් ලෙස සැලකිම වඩා නිවැරැදි” බවයි. 

ධනපති ආර්ථික අර්බුදයේ ගැඹුර අවධාරනය කරන එය තවදුරටත් සහනාධාර සැපයීම කල නොහැක්කක් නිසා සෑම පුරවැසියෙකු ම තමන් වෙත පැවරෙන වගකීම ඉටු කල යුතු බව යෝජනා කරයි. එනම්, කම්කරු පන්තිය කිසිදු විරෝධයකින් තොර ව සමාජ සහනාධාර කැපීම්, රැකියාවලිවන් දොට්ට දැමීම් සහ වැටුප් කැපීම් ඉවසා භාර ගෙන ගෙන පන්ති අරගලය නවතා දැමිය යුතු බවයි; ධනපති ක්‍රමයේ අර්බුදයට කම්කරු පන්තිය වන්දි ගෙවිය යුතු බවයි.

මේ සඳහා අවශ්‍ය ජාතිකවාදී විස නොයෙක් ආකාරයෙන් මහජනතාවට එන්නත් කිරීමට ජනමාධ්‍ය වැඩට බැස ඇත්තේ තරගයට මෙනි. 

වසංගතය පාලනය කර ඇති බව තහවුරු කෙරෙන කවර හෝ විශේෂඥ නිර්දේශයකින් තොරව කම්කරුවන් අන්තරායකාරී ලෙස වැඩට දැක්කීමේ ආන්ඩුවේ සාපරාධී වැඩපිලිවෙල ඔජවඩවමින්  ඉරිදා ලංකාදීප කතුවැකිය මෙසේ ලිවීය: “දියුනු යැයි සම්මත රටවල් තමන් ගත යුතු පියවර නිශ්චය කර ගත නොහැකි ව විපිලිසර ව සිටිය දී පාසල්, විශ්ව විද්‍යාල විවෘත කිරීමේ දින  ප්‍රකාශයට පත් කරන තරමට අප රට ඉදිරියට පැමින තිබේ.” 

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ විගස ම සංස්ථාපිතයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් කැඳවා, තමන්ගේ වැඩ විවේචනය කිරීමෙන් වැලකිය යුතු බවට වක්‍රාකාරයෙන් දැනුම් දුන් අතර පෙර යම් හෝ විවේචක ආකල්පයක් ගත් මාධ්‍ය පවා ඒ අනුව කීකරු ව ජනාධිපති රාජපක්ෂගේ වැඩපිලිවෙල සමග සමීප ව වැඩ කරන ආකාරයක් පසු ගිය කාලයේ දැක ගත හැකි විය.

මෙ බඳු තත්ත්වයක් තුල මහජන විරෝධය යම් ප්‍රකාශනයක් අත්පත් කර ගන්නේ සමාජ මාධ්‍ය හරහා යි. ආන්ඩුව පොලිසිය යොදා ගෙන සමාජ මාධ්‍ය තුලින් ආන්ඩුව විවේචනය කිරීම බිය ගැන්වීම සඳහා තැති ගැන්වීමේ ව්‍යාපාරයක් අරඹා ඇත. 

අප්‍රේල් 18 ඩේලිනිවුස් වාර්තා කරන ආකාරයට සිංහල දෙමල අලුත් අවුරුදු දිනයේ පමනක් “ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමේ වරදට” හිටපු ජනාධිපති කාර්ය මන්ඩල සාමාජිකයෙකු, වෛද්‍යවරයෙකු, විශ්ව විද්‍යාල පරිපාලන නිලධාරියෙකු සහ ශිෂ්‍යයෙකු ද ඇතුලත් වන 16 දෙනෙකු අත්තඩංගුවට ගෙන ඇත.

එම වාර්තාව සඳහන් කරන ආකාරයට සමාජ මාධ්‍ය තුල   ක්‍රියාකාරකම් ගැන තොරතුරු සෙවීමට විශේෂ පොලිස් කන්ඩායමක් පත් කර ඇති අතර සිද්ධීන් 70ක් ගැන ඔවුහු පරීක්ෂන පවත්වමින් සිටිති. ආන්ඩුවේ පනිවිඩය වන්නේ එහි හොරනෑවන් වන “ජාතික ජනමාධ්‍යය පමනක් විශ්වාස කරනු” යන්නයි.

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂන ලිපිය ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ලියැවුනු ක්ෂමාලාපයක් මට්ටමට පරිහානිගත වී තිබුනි. “මේ නයින් බලන කල [ඇමරිකාවේ ජනාධිපති ට්‍රම්ප් සහ මහා බ්‍රිතාන්‍යයේ අගමැති ජොන්සන් වැනි නායකයන්ගේ අසමත් වීම හමුවේ], ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ට එරෙහි ප්‍රහාරයට නායකත්වය දීම ගැන සියලු ප්‍රශංසාවන් හිමි විය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටයි. ... ඔහු එය සිදු කලේ වැඩිපුර උපකරන, වෙන්ටිලේටර් යන්ත්‍ර සහ මුඛ ආවරනවල විශාල තොග නොමැති ව ම ය.” යැයි එය සටහන් කලේ ය.

සන්ඩේ ටයිම්ස් මෙසේ ප්‍රශස්ති ගයන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානතම නිර්දේශය වන, මහා පරිමාන පරීක්ෂන මුලුමනින්ම නොතකා හරිමින්, වසංගතයේ ව්‍යාප්තිය පිලිබඳ පැහැදිලි චිත්‍රයක් නොමැතිව අඳුරේ අතපතගාන තත්වයට සෞඛ්‍ය ක්ෂේත්‍රයම පිරිහෙලා සමස්ත මහජනතාව අනතුරේ හෙලා ඇති රාජ්‍ය නායකයෙකු සම්බන්ධයෙනි.

මාධ්‍යවේදී හැඳුනුම්පත ඇඳිරිනීති කාලය තුල ගමන් බලපත්‍රයක් වශයෙන් පිලිගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ආන්ඩුවට කෘතඥ වියයුතුබව සන්ඩේ ටයිම්ස් ලියුම්කරු පවසයි. ඔහු මෙම නිර්ලජ්ජිත ප්‍රකාශය කරන්නේ, රට අගුලුදමා ඇති තත්වයකදී වුව තැනින් තැනට ගමන් කරමින් තමාට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට, මාධ්‍යවේදීන් සතු මූලික අයිතිය පවා පාවා දෙමිනි. 

සමාජ මාධ්‍යවල ඇතැමුන් ද ආන්ඩුවේ ක්‍රියා කලාපය එ ලෙස නොදකින බවට චෝදනා කරමින් ලියුම්කරු ජනාධිපති විවේචනය කරන්නන්ට කියා සිටින්නේ ඔහු තව දුරටත් ආරක්ෂක ලේකම් නොව රටේ ජනාධිපති බවයි. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කල සමයේ මාධ්‍යවේදීන්ට එල්ල වූ  ප්‍රහාර සහ ඝාතන සම්බන්ධයෙන් ජනාධිපති රාපක්ෂ මාධ්‍ය සංවිධානවල දැඩි දෝෂ දර්ශනයට ලක් වූවෙකි. ලියුම්කරු මාධ්‍යවේදීන්ට තර්ජනාත්මකව කියා සිටින්නේ, රාජපක්ෂ දැන් ඊටත් වඩා බලතල දරන තත්වයක සිටින බැවින් ප්‍රවේසම්වන ලෙසයි.

මෙලෙස සංස්ථාපිතයේ මාධ්‍ය එලිපිට ම ක්‍රියා කරන්නේ ධනපති පන්ති පාලනයේ ආරක්ෂක වලල්ලක් ලෙසයි. ඒවායෙන් ප්‍රකාශයට පත් වන්නේ, තමාට එරෙහිව වැඩෙන සමාජ ආතතීන් දැවැන්ත පන්ති අරගල ලෙස පුපුරා යතැයි බියපත්ව සිටින ආන්ඩුව ඇතුලු සමස්ත ධනපති පන්තියේ මනෝභාවය යි.

කලක් සංස්ථාපිතයේ මාධ්‍යවලට විකල්පයක් ලෙස ව්‍යාජ ව පෙනී සිටි රාවය මේ සතියේ තම කතු වැකිය සිරැසි ගන්වා ඇත්තේ  “ජනපති කිරි කලය වෙන්දේසි කරයි ද?” යනුවෙනි. ධනපති පාලක පන්තිය මුහුන දී සිටින දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදය ගැන දැවෙන උත්සුකයකින් ලියැවී ඇති එය, පන්ති යුද්ධය දියත් කිරීම සඳහා සමස්ත ධනපති පන්තියේ ඒකාබද්ධතාවයක අවශ්‍යතාව රාජපක්ෂට මෙසේ පෙන්වා දෙයි:

“පලමුව රටේ ආර්ථික ක්‍රියාවලිය නැංවීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු ය. මැයි මාසයේ පාර්ලිමේන්තුව කැඳවා මාස 3ක් රට එක අරමුනක් පෙරදැරි ව වැඩ කලහොත් සිදු වූ ව්‍යසනයෙන් ගොඩ එන මගට ප්‍රවිෂ්ට විය හැකි ය. එම කාලය තුල දේශපාලන භේද නොසලකා රටේ උන්නතිය පමනක් අරමුනු කර ගත යුතු ය. ජනපති මෙම වැඩපිලිවෙලට නායකත්වය දිය යුතු අතර එමගින් ඔහුට තම දේශපාලන ගෝත්‍රය ඉක්මවා ගිය පුලුල් ලෙස හිතන පතන ප්‍රශස්ත නායකයෙකු බවට ද පත් විය හැකි ය.” 

මෙහි එන “රටේ උන්නතිය” යනු අන් කවරක් නොව ධනපති පන්තියේ උන්නතිය යි.

Loading