ඉදිරිදර්ශන

ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් කපාහරියි: “මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්”

මෙම ලිපිය 2020 අප්‍රේල් 16 දින ඉංග්‍රීසියෙන් පලවින.

එක්සත් ජනපදය කෝවිඩ්-19 සහ වෙනත් බෝවන රෝගවලට එරෙහි සටනේ වැදගත්ම ගෝලීය ආයතනය වන ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන බව, 14දා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ ය.

බාහිර සතුරන්ට දොස් පවරමින් ගත් ට්‍රම්ප් මෙම පියවර, කෝවිඩ්-19 වසංගතය පාලනය කිරීමට ඔහුගේම පාලනාධිකාරය අසමත් වීම කෙරෙන් අවධානය වෙනතකට හැරවීමේ විනිවිද පෙනෙන උත්සාහයකි: එනම්, චීනය සහ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ආරක්ෂන අංශය යි. ඇමරිකාවේ පමනක් රෝගීන් 644,000 ක් සහ 28,500 කට වැඩි පිරිසක් මරනයට පත් කරමින් වසංගතය, මේ වන විට ලොව පුරා මිලියන දෙකකට අධික ජනතාවක් ආසාදනයට ගොදුරු කර ඇති අතර, ජීවිත 134,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ කර ඇත.

අශිෂ්ට සහ පසුගාමී දේශපාලන ගනන් බැලීම් මත පදනම් වී ඇති  ට්‍රම්ප්ගේ තීරනය, සැබෑ හා විනාශකාරී බලපෑමක් ඇති කරනු ඇත. කෝවිඩ්-19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබියදී, ඩබ්ලිව්එච්ඕවේ අරමුදල් කපාහැරීමට ට්‍රම්ප් ගත් තීරනයෙන් අදහස් වන්නේ, සිය සෞඛ්‍ය සේවා පද්ධතීන් සඳහා ඩබ්ලිව්එච්ඕවෙන් උපකරන, පිරිස්බලය සහ විශේෂඥ සහාය ලබන සංවර්ධනය වෙමින් පවතින රටවල නො මිනියහැකි මිනිසුන් මිය යාමයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 අප්‍රේල් 15 වන බදාදා වොෂිංටන්හි ධවල මන්දිරයේ රෝස උද්‍යානයේදී කෝවිඩ්-19 ගැන කතා කරයි. (AP Photo/Alex Brandon)

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදල් කපාහැරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරනයේ අර්ථය, හුදෙක් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක්” යැයි ලැන්සෙට් වෛද්‍ය සඟරාවේ ප්‍රධාන කර්තෘ රිචඩ් හෝර්ටන් පැවසීය. “සෑම විද්‍යාඥයෙක්ම, සෑම සෞඛ්‍ය සේවකයෙක්ම, සෑම පුරවැසියෙක්ම මෙම  ගෝලීය සහයෝගීතාව ජුගුප්සාජනක ලෙස පාවාදීමට එරෙහිව කැරලි ගසා නැඟී සිටිය යුතුයි.”

ඩබ්ලිව්එච්ඕවේ  සම්පත් වලින් වැඩි ප්‍රමානයක් යොදවන්නේ අප්‍රිකාවට සහ මැද පෙරදිගට ය. මේ වන විට මෙම ප්‍රදේශවල පිලිවෙලින් කෝවිඩ්-19 මරන 910 ක් සහ 6,815 ක් වන අතර සංඛ්‍යාවන් වැඩිවෙමින් පවතී.

මේවා ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් දරිද්‍රතාවට පත්කර සූරාකනු ලැබූ, ලෝකයේ වඩාත්ම අවදානමට ලක්ව ඇති ප්‍රදේශ වේ. ඉරාකය, සිරියාව, ලිබියාව, පලස්තීනය සහ යේමනය වැනි රටවල රෝහල් සහ සෞඛ්‍ය යටිතල පහසුකම් පසුගිය වසර 30 ක කාලය තුල ඇමරිකාව සහ එහි සහචරයින් විසින් බෝම්බ හෙලා විනාශ කර ඇත. ආසාදන අනුපාතයේ සුලු වැඩිවීමක් පවා මෙම රටවල විශාල වශයෙන් නොපවතින සෞඛ්‍ය සේවා පද්ධති වසා පැතිර යන අතර ආසාදන හා මරන වේගයෙන් ඉහල යනු ඇතැයි නැවත නැවතත් අනතුරු ඇඟවීම් කර තිබේ.

ඩබ්ලිව්එච්ඕ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්රෝස් ඇඩ්හැනොම් ගෙබ්‍රෙයෙසුස් 15දා සිය ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කල පරිදි, ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයට එරෙහි සටනේ පෙරමුන පමනක් නොව, එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ බොහෝ දුරට දක්නට නොලැබෙන “පෝලියෝ, සරම්ප, මැලේරියාව, ඉබෝලා, එච්.අයි.වී, ක්ෂය රෝගය… සහ තවත් බොහෝ රෝග සහ තත්වයන්” ඇතුලු, රෝග කාරක වලට එරෙහිව ද පෙරමුනේ සිටියි. මෙම වසංගතවලට එරෙහිව සටන් කිරීම සඳහා සංවිධානය දශක ගනනාවක් තිස්සේ එන්නත් මිලියන ගනනක් ලබා දී ඇති නමුත් අරමුදල් නොමැතිව මෙම වැඩසටහන් දැන් බිඳවැටීමේ තර්ජනයට ලක්ව ඇත.

කෝවිඩ්-19 වසංගතය පිලිබඳව බටහිර ආන්ඩුවල ප්‍රතිපත්ති ඩබ්ලිව්එච්ඕවේ දැඩි විවේචනයට ලක් වී ඇති අතර, වසංගතය මර්දනය කිරීම සඳහා හදිසි පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ. කෝවිඩ්-19 ට ප්‍රතිචාර දැක්වීමේදී, ආන්ඩුවල පැත්තෙන් පලව තිබෙන “භයානක මට්ටමේ අක්‍රියතා” ගැන මාර්තු 11දා ආචාර්ය ටෙඩ්‍රොස් අනතුරු ඇඟවීය.

ජනගහනයේ සැලකිය යුතු කොටසකට “රංචු ප්‍රතිශක්තිය” ජනනය වීම සඳහා වෛරසය පැතිරීමට ඉඩ දීම යන බ්‍රිතාන්‍ය ආන්ඩුවේ ප්‍රකාශිත ප්‍රතිපත්තියට සහ අනෙකුත් බටහිර ආන්ඩු වල අප්‍රකාශිත ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වමින් වෛද්‍ය ටෙඩ්‍රොස් “සදාචාරාත්මක පරිහානියක්” ගැන අනතුරු ඇඟවීය.

“වැඩිහිටි හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මරන බරපතල කාරනයක් ලෙස නොගැනීම සදාචාරාත්මක පරිහානියකි.  වයස කුමක් වුවත් ඕනෑම පුද්ගලයෙකු, ඕනෑම මානව සත්වයකු වැදගත් වේ,” යයි ඔහු පැවසීය.

ඊට වෙනස්ව, වසංගතයට ප්‍රතිචාර දක්වන ට්‍රම්ප්ගේ මූලෝපාය, බොහෝ දුරට ප්‍රතික්ෂේප කිරීමකි. ජනවාරි මාසයේ දී චීනයේ අනතුරු ඇඟවීම් හෝ ආසාදිත රටවල්,  “ක්‍රියාකාරී, පරිපූර්න ආසාදිතයින් සොයා ගැනීමටත්, ක්ෂනික පරීක්ෂන සහ හුදකලා කිරීමටත්, මහන්සි වී සම්බන්ධතා සොයා ගැනීමටත්,  සමීප සම්බන්ධතා පැවැත්වූ අය දැඩි ලෙස නිරෝධායනය කිරීමටත් ප්‍රමුඛතාවය දිය යුතු” බව චීනයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දූත පිරිස විසින් පෙබරවාරි 24 වන දින කල හදිසි ප්‍රකාශ නොතකා, මාර්තු මැද භාගය වන තෙක් පාලනාධිකාරය, සමූහ පරීක්ෂන ක්‍රියාත්මක නොකලේය. ඒ වන විට වෛරසය මාස දෙකක පමන කාලයක් තිස්සේ පරීක්ෂාවට භාජනය නොවී පැතිරෙමින් තිබුනි.

එහි ප්‍රතිඵල වශයෙන් එක්සත් ජනපදයේ, චීනය මෙන් හත් ගුනයක් ආසාදිතයින් ද  නවගුනයක් පමන මරන ද සිදුව ඇත. ට්‍රම්ප් 15දා නැවතත් කියා සිටියේ, “අපගේ ආක්‍රමනශීලී මූලෝපාය ක්‍රියාත්මක වන බව පැහැදිලිය” යනුවෙනි. මෙහිදී, පිලිවෙලින් 14 සහ 15 දිනවල වාර්තාගත 2,407 සහ 2,482 ක්වූ මරන ගැන සඳහන් නොකෙරිනි.

රෝගය මර්දනය කිරීම සඳහා කිසිදු බැරෑරුම් පියවරක් ගන්නවා වෙනුවට ට්‍රම්ප්, නව කොරෝනා වෛරසය “චීන වෛරසය” හෝ “විදේශීය වෛරසය” ලෙස නැවත නැවතත් හඳුන්වමින් වෛරසය විදේශීය ආක්‍රමනිකයෙකු ලෙස පින්තාරු කිරීමට උත්සාහ කල අතර, ව්‍යප්තිය “කුන්ග් උන” ලෙස හැඳින්වූ ධවල මන්දිරයේ නිලධාරියෙකු ආරක්ෂා කලේය.

අරමුදල් කප්පාදුව නිවේදනය කරමින් ට්‍රම්ප් කියා සිටියේ “කාලෝචිත හා විනිවිදභාවයකින් යුතුව තොරතුරු ප්‍රමානවත් ලෙස ලබා ගැනීමට, විමසිලිමත් වීමට හා බෙදා ගැනීමට ඩබ්ලිව්එච්ඕව අසමත් වූ” බවයි. “චීනයේ හෙලිදරව් කිරීම් කෙරෙහි  ඩබ්ලිව්එච්ඕව විශ්වාසය තැබීම නිසා ලොව පුරා ආසාදිතයින් විසි ගුනයකින් වැඩි  විය.”  “ඔවුන්ගේ වැරදි නිසා මෙතරම් මරන සිදුවී ඇත” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය. 

චීන විරෝධී ප්‍රචාරයන් මගින් වර්න ගැන්වීමට පෙර, පැතිරී යාම පිලිබඳ ආරම්භක ප්‍රවෘත්ති වාර්තා සමාලෝචනය කිරීමෙන්  මෙම ප්‍රකාශ බොරු බව හෙලිදරව්වේ.

ජනවාරි 6 වන දින චීන ආන්ඩුව ඩබ්ලිව්එච්ඕව ට හා සෙසු ලෝකයට නව නියුමෝනියාව වැනි රෝගයක් පිලිබඳව අනතුරු ඇඟවීය. ජනවාරි 11 වන විට ඩබ්ලිව්එච්ඕව නව ආකාරයේ ශ්වසන ආසාදන වලට මුහුනදීම පිලිබඳ අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර තිබුන අතර, පසු දින චීනය විසින් ජාන කේත  බෙදා හදා ගන්නා ලදී. මෙම කාලය තුල, ඇමරිකාවේ රෝග පාලනය කිරීමේ සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය, වෙනත් තැනක ආසාදනය අනාවරනය වීම පිලිබඳ එහි අනතුරු ඇඟවීමේ මට්ටම ඉහල නැංවීය.

ඩබ්ලිව්එච්ඕ ඇමරිකානු නියෝජිතයින් ද ඇතුලු ජාත්‍යන්තර කන්ඩායමක් චීනයට වහාම පිටත්කර හැරිය අතර, ඔවුන් සියල්ලන්ම පැහැදිලි කලේ, ඔවුන්ගේ ගමන්බිමන් සඳහා කිසිදු සීමාවක් නොතිබුනු බවයි.

ශතවර්ෂයකින් මෙපිට ඇති වූ භයානක වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ට්‍රම්ප් ඩොලර් බිලියන භාගයක් වෙන්කල නමුත්,  දැනටමත් ඔහු අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 5 ක ඇප දීමනා වෝල් වීදියට සහ ප්‍රධාන සමාගම්වලට ලබා දී ඇත. තවත් දේ ලබාදෙන බවට පොරොන්දුවී ඇත. ඇමරිකානු මිලියනපතියන්ට ලබා දුන් ඩොලර් බිලියන 73.8 ක බදු විරාමයක් ද මෙයට ඇතුලත් වන අතර එය කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ඩබ්ලිව්එච්ඕව ඉල්ලා ඇති ප්‍රමානය මෙන් 100 ගුනයකටත් වඩා වැඩිය.

ආචාර්ය ටෙඩ්‍රොස් විසින් 15දා  ගෙනහැර දක්වන ලද ඩබ්ලිව්එච්ඕ ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් වේ. “ජාතිය, ආගම, දේශපාලන විශ්වාස, ආර්ථික හෝ සමාජ තත්ත්වය යන කිසිදු වෙනසකින් තොරව, ලබාගතහැකි ඉහලම ගුනාත්මක සෞඛ්‍ය තත්වයක් භුක්ති විඳීම සෑම මිනිසෙකුගේම මූලික අයිතිවාසිකම්වලින් එකකි” යනුවෙනි.

මේවා උසස් පරමාදර්ශයන් ය. කෝවිඩ්-19 ට එරෙහි අරගලයේදී ලොව පුරා සිටින වෛද්‍යවරුන්, වසංගත රෝග විද්‍යාඥයින් සහ විද්‍යාඥයින් විසින් අනුගමනය කරනු ලබන විද්‍යාව, තාර්කිකත්වය සහ සහයෝගීතාවයේ මූලධර්ම මේවායින් මූර්තිමත් කරයි. එහෙත් මෙම පරමාදර්ශයන්, ට්‍රම්ප් සහ ඔහුගේ සෙසු සගයන් වන බ්‍රිතාන්‍යයේ, ප්‍රන්සයේ, ජර්මනියේ සහ අනෙකුත් රටවල පාලක පන්තියට සහ විවිධ නියෝජිතයින්ට ආයාචනා  කිරීමෙන් ඉටුකර ගත නොහැකි බව වැඩකරන ජනතාව පැහැදිලි කර ගත යුතුය.

මෙම මූලධර්ම ආරක්ෂා කල හැකි එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි. වසංගතයට දෙන ඕනෑම විසඳුමක් සඳහා පරීක්ෂන දැවැන්ත පරිමානයකින් පුලුල් කිරීම, වෛද්‍ය ප්‍රතිකාර, පුද්ගලික ආරක්ෂක උපකරන නිෂ්පාදනය ඉහල නැංවීම වැනි ජීවිත බේරා ගැනීමේ සටනේදී, සැලසුම්ගත සහ ගෝලීය සහයෝගීතා මට්ටමක් අවශ්‍ය බව කම්කරුවන් වටහා ගත යුතුය. ධනවාදයට මෙය සරලවම කල නොහැකිය. සියල්ලටමත් වඩා වසංගතයට එරෙහි සටන, සමාජවාදය සඳහා වන අරගලයෙන් වෙන් කල නොහැකි ලෙස බැඳී තිබීම පිලිබඳ පාඩම් උකහා ගත යුතුය.

Loading